ගොඩනැගිලි නිර්මාණ ශිල්පයේ “ඇතුළත පිටත” සංකල්පය

ගොඩනැගිලි නිර්මාණය කරද්දී කාලයෙන් කාලයට නව ක්‍රම භාවිත කෙරුණත් එක දෙයක් වෙනස් නොවී පවතිනවා. එය තමයි ගොඩනැගිල්ලේ සැකිල්ල, විදුලි සම්ප්‍රේෂණ පද්ධති, ජල පරිවහන පද්ධති, අපවහන පද්ධති සහ වායු නළ පද්ධති ආදිය පිටතින් බැලුවිට නොපෙනෙන සේ වසන් කර තැබීම. මේවා පිටතට පෙනීමෙන් ගොඩනැගිල්ලකට සිත්ගන්නාසුලු පෙනුමක් ලබානොදෙන බව බොහෝ නිර්මාණ ශිල්පීන් විශ්වාස කරනවා. ඒත් තරමක් මෑත යුගයේදී ලොවට එක්වුණු “ඇතුළත පිටත” (Inside Out) ගොඩනැගිලි නිර්මාණ ශිල්පයෙන් කෙරෙන්නේ එයට සම්පුර්ණයෙන් ම ප්‍රතිවිරුද්ධ කාරණයක්.

ප්‍රංශයේ පොම්පඩු ගොඩනැගිල්ල

“ඇතුළත පිටත” ගෘහ නිර්මාණ ශිල්පය ගැන වඩාත් හොඳින් වටහාගත හැක්කේ එම ශිල්පය යොදා ගෙන ලොව මුල්වරට නිර්මාණය වූ ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි පොම්පඩු ගොඩනැගිල්ල (Centre Pompidou) ගැන අධ්‍යයනය කිරීමෙනුයි. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට සැලසුම් කෙරුණේ 1970 දී එවකට ප්‍රංශ ජනාධිපති ව සිටි Georges Pompidou ප්‍රංශයේ පෞරාණික පැරිස් නගර මධ්‍යයයේ සංස්කෘතික සහ කලාව වෙනුවෙන් වෙන්වූ ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ජාත්‍යන්තර ගෘහ නිර්මාණ තරඟාවලියක් සංවිධානය කිරීමට කටයුතු කිරීමත් සමඟයි. ඒ වන විට බොහෝදෙනකු නොදන්නා Renzo Piano සහ Richard Rogers යන දෙදෙනාගේ ගෘහ නිර්මාණ සැලසුම මෙහිදී ජයග්‍රහණය ලැබූ අතර 1972 දී එහි ඉදිකිරීම් ආරම්භ කෙරුණා. ඉදිකිරීම සඳහා සම්බන්ධ වූයේ ඕස්ට්‍රේලියාවේ ඔපෙරා ගොඩනැගිල්ලේ සැකිලි නිර්මාණය සිදු කිරීමට සම්බන්ධව වූ ඉංජිනේරුවන් වන Edmund Happold සහ Peter Rice යන දෙදෙනායි.

pompidou building
පොම්පඩු ගොඩනැගිල්ල – Wall Street Journal

Renzo Piano සහ Richard Rogers ගේ සැලැස්ම පාදක වී තිබුණේ මුලිකව ම 1960 ගණන්වලදී Cedric Price නම් වාස්තුවිද්‍යාඥයා නිර්මාණය කළ Fun Palace නම් ගොඩනැගිලි සංකල්පයයි. එය ඇතුළත පිටත ආකෘතිය අනුගමනය නොකළත් විශාල නිදහස් අවකාශ භාවිතයට වැඩි තැනක් දී තිබුණා. ඇතුළත වැඩි ඉඩක් ලබාගැනීම වෙනුවෙන් විදුලි සම්ප්‍රේෂණ පද්ධති, ජල පරිවහන පද්ධති, අපවහන පද්ධති සහ වායු නළ පද්ධති ආදිය ගොඩනැගිල්ලට පිටතින් සවිකරන්නට සැලසුම් කෙරෙන්නේ ඒ අනුවයි. Renzo Piano සහ Richard Rogers ඉහත පද්ධති වඩාත් කැපී පෙනෙන ලෙස වර්ණ ගන්වන්නට ද අමතක කළේ නැහැ. ඒ අනුව වායු නළ සඳහා නිල් පැහැයත්, ද්‍රව ගමන් කරන නළ සඳහා කොළ පැහැයත්, විදුලි පරිපථ නළ සඳහා කහ පැහැයත් විදුලි සෝපාන සහ උත්තෝලක නළ සඳහා රතු පැහැයත් මෙහි යොදාගෙන තිබෙනවා. පිටතින් බැලුවිට දිස්වන නළ රාශිය නිසා ගොඩනැගිල්ල බොහෝදෙනා හැඳින්වුයේ “තෙල් පිරිපහදු මධ්‍යස්ථානය” , “පයිප්ප නොට්‍ර ඩාම්” ආදී නම් වලිනි.

color coded pipe lines
විවිධ වර්ණ ගැන්වූ නළ මාර්ග දිස්වන ආකාරය – ArrivalGuides.com

1977 දී ගොඩනැගිල්ල ජනතාවට විවෘත වුණු අතර මෙය කොටස් දෙකකින් යුක්ත වනවා. තාක්ෂණික පහසුකම් සහ සේවා සඳහා වෙන් කෙරුණු මහල් තුනකින් සමන්විත කොටස ඉන් පළමුවැන්නයි. අන්තර් මහල් සහ තට්ටු (terrace) ඇතුළුව මහල් 7 කින් යුත් වීදුරු සහ වානේ ව්‍යුහය අනෙක් කොටස වනවා. මධ්‍යස්ථානයේ බොහෝ ක්‍රියාකාරකම් සිදුකෙරෙන්නේ මෙම කොටසේදීයි. ගොඩනැගිල්ලේ ලෝහ රාමුව තුළ පෝටිකෝ 14 ක් ඇති අතර එකිනෙකට මීටර් 13 ක් පමණ දුරින් පිහිටි ප්‍රවේශ මාර්ග 13 ක් ද තිබෙනවා. සෑම මහලක්ම මීටර් 7 ක් උසින් යුක්ත නිසා මෙයට ඇතුළුවන අයකුට දැනෙන්නේ සුවිසල් බවක්.

pompidou plan
ගොඩනැගිල්ලේ සැලැස්ම – archive.curbed.com

පොම්පඩු මධ්‍යස්ථානය තුළ නවීන කලා කෞතුකාගාර, විමර්ශන පුස්තකාල, කාර්මික සැලසුම් මධ්‍යස්ථාන, තාවකාලික ප්‍රදර්ශන අවකාශ, ළමා පුස්තකාල සහ කලා මධ්‍යස්ථාන, ශ්‍රව්‍ය දෘශ්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය (IRCAM) සහ අවන්හල් ආදිය ද දැකිය හැකියි. එය 1996 සිට 1999 දක්වා ප්‍රතිසංස්කරණයට ලක් වූ අතර 2000 ජනවාරි 1 වන දින නැවත විවෘත කෙරුණා. 2023 වසරේ සිට සම්පුර්ණ නවීකරණයක් සඳහා ගොඩනැගිල්ල වසාදැමීමට තීරණය කර තිබෙනවා. එය නැවත ගොඩනැගිල්ලේ 50 වන සංවත්සරය දිනයේදී එනම් 2027 දී යළි විවෘත කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

inside of pompidou
පොම්පඩු ගොඩනැගිල්ල ඇතුළත – chegg.com

ලොයිඩ්ස් ඔෆ් ලන්ඩන් ගොඩනැගිල්ල

Richard Rogers වෘත්තීයමය ලෙස Renzo Piano සමඟ 1977 න් පසුව කටයුතු කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු ඔහුගේ ම සමාගමක් ආරම්භ කරනවා. එහි නම වන්නේ Richard Rogers and Partners යන්නයි. Lloyd’s of London රක්ෂණ සමාගම සඳහා මුලස්ථාන ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීම එම සමාගමට ලැබුණු පළමු කොන්ත්‍රාත්තුව වනවා. ඒ සඳහාද Richard Rogers ඉදිරිපත් කර තිබුණේ “ඇතුළත පිටත” ගෘහ නිර්මාණ සැලැස්මක්. එය පොම්පඩු ගොඩනැගිල්ල ද ඉක්මවා යන විශිෂ්ට නිර්මාණයක් බව කිවහොත් වරදක් නැහැ. එම සැලැස්මට අනුව ඉදිකිරීම් අරඹන Lloyd’s of London ගොඩනැගිල්ල 1986 දී නිර්මාණය කර අවසන් කරනවා.

lloyds of london hq
Lloyd’s of London හි මුලස්ථාන ගොඩනැගිල්ල – Medium

මෙම ගොඩනැගිල්ල සෘජුකෝණාස්‍රාකාර අවකාශයක් වට කරමින් පිහිටි ප්‍රධාන කුළුණු තුනකින් සහ සේවා කුළුණු තුනකින් සමන්විත වනවා. එහි වඩා අවධානය දිනාගත් කොටස වන්නේ සුවිසල් ප්‍රතිරක්ෂණ (underwriting) කාමරයයි. එම කාමරයේ වහලය මීටර් 60ක් උසකින් පිහිටා ඇති අතර ස්වභාවික ආලෝකයෙන් ආලෝකමත් වන පරිදි සකස් කර තිබෙනවා. සිරස් අවකාශයේ ඉඩකඩ තවදුරටත් භාවිත කරමින් ගැලරි හතරක් එම අවකාශය වටා නිර්මාණය කර ඇති අතර ඒවා එකිනෙක සම්බන්ධ කෙරෙන්නේ ව්‍යුහය මධ්‍යයේ පිහිටුවා ඇති විදුලි සෝපාන මගිනුයි. ප්‍රතිරක්ෂණ කාමරය අවට ඇති අවකාශය විවෘත-සැලසුම් කාර්යාලවලින් සමන්විතයි. ඒවා කොටස් හා බිත්ති එකතු කිරීම හෝ ඉවත් කිරීම මඟින් ඉක්මනින් හා පහසුවෙන් ප්‍රතිනිර්මාණය කළ හැකි ලෙස නිපදවා තිබෙනවා. ඉහළ මහල් බිත්ති වීදුරුවලින් සකස් කර ඇති අතර ළඟා විය හැක්කේ පිටත උත්තෝලක හරහා පමණයි. මෙම උත්තෝලක ගමන් කිරීම ගොඩනැගිල්ල පිටතින් නරඹන්නකුට හොඳින් දිස්වන ආකාරයටයි සකස් කර ඇත්තේ.

underwriting room
ප්‍රතිරක්ෂණ කාමරය සහ දකුණු පසින් එහි ඉහළ කොටස දැක්වේ – Lloyds.com

Lloyd’s of London ගොඩනැගිල්ලේ වහලය තෙක් සම්පුර්ණ උස මීටර් 88 ක් වන අතර එය මහල් 14 කින් සමන්විතයි. ඊට ඉහළින් සැරසිල්ලක් ලෙස තබා ඇති ඉදිකිරීම් සඳහා භාවිත කළ දොඹකරය නිසා ගොඩනැගිල්ලේ උස මීටර් 95 දක්වා වැඩි වනවා. පොම්පඩු ගොඩනැගිල්ල මෙන් විවිධ නළ මාර්ග විවධ වර්ණ ගන්වා නොතිබුණත් රිදී පැහැයෙන් ඒවා සියල්ල දිස්වනවා. මේ නිසා මෙම ගොඩනැගිල්ල දිස්වන්නේ මිනිස් සිරුරට පිටින් එහි අස්ථි සැකිල්ල පෙනෙන ආකාරයටයි. මෙම ගොඩනැගිල්ල ඩබ්ලින් හි පිහිටි දේපල වෙළඳාම් සමාගමක් වන ෂෙල්බර්න් ඩිවලොප්මන්ට් සමූහයට අයත් වන අතර ඔවුන් 2004 දී ජර්මානු ආයෝජන බැංකුවකින් මෙම ගොඩනැගිල්ල මිලදී ගෙන තිබුණා.

“ඇතුළත පිටත” ගෘහ නිර්මාණයේ වාසි

ඇතුළත පිටත ගෘහ නිර්මාණා ශිල්පයේ වාසි කිහිපයක් ම තිබෙනවා. පළමුවැන්න වන්නේ එමගින් ගොඩනැගිලි ඇතුළත ඉඩකඩ විශාල ලෙස ඉතිරි වීමයි. විශාල ගොඩනැගිලි වල ජලාපවහන, විදුලිය, වායුසමන ආදී පද්ධති සඳහා විශාල ඉඩක් වැය වන අතර මෙම ක්‍රමය මගින් එම ඉඩ වෙනත් ප්‍රයෝජනවත් කටයුත්තකට යෙදවිය හැකියි. ඉහත පද්ධති සහ විදුලි සෝපාන ආදිය නිරන්තර නඩත්තු කිරීම්වලට භාජනය විය යුතු වනවා. නඩත්තු ශිල්පීන්ට ඒවා වෙත පිවිසීමත් ගැටලුව ඇති ස්ථානය නිවැරදිව සොයාගැනීමත් මෙම ගෘහ නිර්මාණ ශිල්පය මඟින් පහසු කරවනවා. ගොඩනැගිල්ලේ එදිනෙදා කටයුතුවලට බාධාවක් නොවෙමින් ප්‍රධාන නඩත්තු කටයුත්තක් වුව ද සිදු කිරීම මෙමගින් ඉතා පහසුයි. ගොඩනැගිල්ල තුළ ඉන්නා මිනිසුන්ගේ ආරක්ෂාවට ද ඉහත පද්ධති පිටතින් පිහිටා තිබීම බොහෝ සෙයින් වැදගත්. ගොඩනැගිල්ල ඇතුළතට ද මෙම නළ මාර්ග ඕනෑම අයකුට පෙනෙන අයුරින් නිර්මාණය කර ඇති නිසා ඒවා ආවරණය සඳහා වැය වන වියදම් ද කප්පාදු වී තිබෙනවා.

elevators of lloyds of london
Lloyd’s of London ගොඩනැගිල්ලේ උත්තෝලක ගොඩනැගිල්ලට පිටතින් පිහිටා ඇති ආකාරය – Pinterest

Renzo Piano සහ Richard Rogers දෙදෙනා පවසන ආකාරයට ඔවුන් මෙම නව ගෘහ නිර්මාණ ශිල්පයෙන් ලැබෙන පහසුකම්වලට අමතරව ජනතාවට පණිවිඩයක් ලබාදීමටත් කටයුතු කර තිබෙනවා. එය නම් සුවිසල් ගොඩනැගිලිවල පිටුපස කතාව ඒවා පරිහරණය කරන ජනතාව දැනගත යුතු වීමයි. ගොඩනැගිලි නිර්මාණයේ සංකීර්ණ බව, ඒවායේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳ ව අවබෝධයක් මෙමගින් සාමාන්‍ය ජනතාවට ලැබෙනවා. පොම්පඩු ගොඩනැගිල්ල ඉදිකිරීමට වෙන්වුණු භුමියෙන් හරි අඩක් පමණක් එය ඉදිකිරීමට වැය කිරීමේ හේතුව ද ඔවුන් පැහැදිලි කරනවා. ඔවුන් පවසන්නේ ගොඩනැගිල්ලේ තිබෙන කලාව රස විඳීමට පමණක් නොව මිනිසුන් එකිනෙකා හමුවීමත් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ සැලැස්මට තමන් එක් කළ බවයි. ඒ සඳහා එළිමහනේ විශාල ඉඩක් වෙන්කළ බවත් ඇතුළත ද මිනිසුන්ට ගැවසීමේ අවස්ථා පුළුල් කිරීම වෙනුවෙන් විශාල අවකාශ නිර්මාණය කළ බවත් ඔවුන් පවසනවා.

ගොතික් නිර්මාණ ශිල්පය, රෝමානු ගෘහ නිර්මාණ ශිල්පයට වඩා බොහෝ සෙයින් වෙනස් වීමත් ප්‍රායෝගික ගැටලු විසඳීමට සමත් වීමත් නිසා ජනප්‍රිය වූවා සේ ම “ඇතුළත පිටත” ගෘහ නිර්මාණ ශිල්පයද නව ආරක ගොඩනැගිලි කලාවක් ලොවට හඳුන්වා දුන් බව මෙහිදී සඳහන් කළ යුතුයි.

කවරයේ පින්තූරය - ප්‍රංශයේ පොම්පඩු ගොඩනැගිල්ල - economist.com

මූලාශ්‍ර:

dezeen.com

archdaily.com

architectuul.com

frenchmoments.eu 

ianvisits.co.uk

Related Articles