පද්මාවතී චිත්‍රපටයට එල්ල වන විරෝධයට පසුබිම් වන ඉන්දියානු සමාජය

සංජේ ලීලා භන්සාලි විසින් නිපැයූ පද්මාවතී සිනමා නිර්මාණයට එරෙහි වූවන් ගැනය මේ සටහන. පද්මාවතී විරෝධයේ තිරය ඉදිරිපිට ජවනිකාව රඟ දක්වන්නේ හින්දු රාජ්පුත් කණ්ඩායමය. එනමුත් තිරය පිටුපස සිට මේ කලකෝලාහලයේ තිරනාටකය ලියන්නේ ඉන්දීය බලගතු දේශපාලනයයි. එබැවින් රාජ්පුත් කණ්ඩායම හරහා රඟදැක්වෙන අඩන්තේට්ටම් නාටකය හුදෙකලා සිද්ධියක් ලෙස තේරුම් නොගත යුතුය. එය සැබවින්ම ඉන්දීය දේශපාලනයේ සැබෑ පිළිබිඹුවක් ලෙසම තේරුම් ගැනීම වටී. රාජ්පුත්ලා මුලින්ම නැඟුවේ ගෝරනාඩුවකි. එය බලවත් ගෝරනාඩුවක් සහිත අඩන්තේට්ටමක් බවට පත්වූයේ ඊට ඉන්දීය දේශපාලනයේ හෙවණැල්ල සහ රැකවරණය ලැබීමත් සමඟය. ඉන් අනතුරුව මේ ගෝරනාඩුවක් සහිත අඩන්තේට්ටම විරෝධයක් බවට පත්විය. එය විරෝධයක් දක්වා වර්ධනය වන්නේ ඉන්දීය සමාජයේ පසුගාමීත්වයන් ඊට එක් වීමෙන් පසුවය. දැන් කතාව පැහැදිළිය.

නැවතත් එය පැහැදිළි කරගන්නේ නම්, මුලින්ම රාජ්පුත්ලා පද්මාවතී නිර්මාණයට එරෙහිව ගෝරනාඩුවක් පෑවෝහ. අනතුරුව ඉන්දීය දේශපාලනය ඊට රැකවරණය සැළසීය. පසුව එය පද්මාවති චිත්‍රපටයට එරෙහි ගෝරණාඩුවක් සහිත අඩන්තේට්ටමක් බවට පත් වීය. ඉන්දීය සමාජයේ පසුගාමීත්වයන් මතු කියූ ගෝරණාඩුවක් සහිත අඩන්තේට්ටමට බද්ධ වුවායින් පසු එය පහත් සමාජ විරෝධයක් දක්වා පැණනැගුණි. අප තේරුම් ගත යුතු සරළ සිද්ධීය මෙයයි.

රාජ්පුත්ලාගේ විරෝධයට ඉන්දීය දේශපාලනය පූට්ටු වන්නේ ඇයිදැයි මෙතනදී තේරුම් ගත යුතු කාරණාවකි. ඉන්දීය දේශපාලනය අප රටේ මෙන් නොවේ. භූමියේ සාධක අනුව එහි ඇත්තේ වෙනස් වෙනස් තත්ත්වයන්ය. අපේ රටේ මෙන් එක් ජාතික දේශපාලන තත්ත්වයක් එහි නොවේ. ඉන්දියාව ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වුණු දේශපාලන තත්ත්වයන්ගෙන් සමන්විත රටකි. ජාතික දේශපාලනය ප්‍රාන්ත වලට අදාළ නැතැයි කියනවා නොවේ. නමුත් ජාතික දේශපාලනයට වඩා ප්‍රාන්ත දේශපාලන තත්ත්වයන් තදින් කාවදින තත්ත්වයක් එහි තිබේ. සංස්කෘතික ලක්ෂණ ගණනාවක්, භාෂා ගණනාවක්, ආගම් ගණනාවක්, සිරිත් විරිත් ගණනාවක් ආදී වූ බහු සංස්කෘතීක දේශපාලනික තත්ත්වයන් ගෙන් සැදුම්ලත් රටකි.  ප්‍රාන්ත තුළ මේ බහු ලක්ෂණ ඉතා සුලබ ව දැකිය හැකිය.

යම් ප්‍රාන්තයක් ඒ මොහොතට සාපේක්ෂව කෙසේ චලනය විය යුතු දැයි තීරණය කරන්නේ ඒ ප්‍රාන්තයේ ආගමික පෙරමුණු විසින්ය. ඊට හේතුව වී ඇත්තේ ඉන්දීය ජන සමාජය දැඩි ආගම් භක්තියකින් පෙළීමයි. මිනිසුන්ගේ ආගමික අන්ධභාවය ප්‍රාන්ත වල පැතිරී තිබෙන විවිධ ආගම් වලට අතිශය වාසි දායකය. කෙටියෙන්ම කියනවා නම් ඔවුන්ට එය හතර මහා නිධානයකි. විවිධ දෙවිවරු පිළිබඳ සංකල්ප නිර්මාණය කොට මිනිසුන්ගේ මනස විකෘති කොට ඔවුන්ව අන්ධ කර තිබේ. මේ අන්ධ භාවය ඒ ඒ ප්‍රාන්ත වල චලනයන් ඇති කිරීමට පාවිච්චි කර ගන්නා අයුරු  අපට පෙනෙන්නට තිබේ. සමාජ පීඩනයන් ඉහවහා ගිය කඨෝර සමාජ පසුබිමක ජීවත් වන ඒ මිනිස්සුන්ට තිබෙන එකම පිහිට දෙවියන්ගේ බැල්ම යැයි ඔවුන් සිතා සිටිති. එබැවින් ඔවුන් දෙවින්ගේ කීම අකුරටම ඉෂ්ඨ කරති. දේවියන්ගේ නාමයෙන් ඔවුන් අන්ධ වී, ගොළු වී සිටිති. දැන් ඇස් අරපල්ලා, දැන් ගොළුවත බිදපල්ලා කියා දෙවියන් කීවොත් කඩු මුගුරු කිණිසි කැති පොරෝ පවා අමෝරා ගැනීමට ඔවුහු පසුබට නොවෙති.

මේ තත්ත්වය නැති කිරීමට එරට දේශපාලනයට හැකිය. එනමුත් ඒ දේශපාලන ප්‍රවාහයන් එසේ නොකරයි. ඔවුන් කරනුයේ මේ ආගම් වලට දේශපාලන රැකවරණය සැපයීමය. ඇත්තටම ආගම් ලෙසින් පෙනෙන්නට තිබෙන්නේ ඉන්දියාවේ දේශපාලනයයි. දෙවියන් ලෙසින් වෙස්මුහුණු පැළැද සිටින්නේ එරට දේශපාලකයන්ය. දෙවියන්ගේ හඬ ලෙසින්, දෙවියන්ගේ අණ ලෙසින් ඔවුන්ට ඇසෙන්නේ දේශපාලනයේත් දේශපාලඥයන්ගේත් අණ කිරීම ය. ආගමික අන්ධ භක්තියක ඇළී ගැලී සිටින මිනිසුන්ව එයින් මුදවා නොගෙන ඒ ආගම් තුළට දේශපාලනය රිංගවා ඇත. ඉන්දියානු මිනිසුන් දැන් පිළිපදින්නේ ආගම් ලෙසින් වෙස්වලාගෙන සිටින දේශපාලනයේ අණයි. ඔවුන් නොදැනුවත්වම ඉෂ්ඨ කරන්නේ දේශපාලන කණ්ඩායම්වල උවමනාවයි. සරළ කතාව මිනිසුන් ඇන්දවීමට එරට දේශපාලනය විසින් ආගම්, දෙවියන් සහ ඇදහිලි විශ්වාස පාවිච්චියට ගනිමින් සිටී. පසුගියදා පද්මාවතී සිනමාපටයට එරෙහි විරෝධය ගොඩනැ‍ගෙන්නේද මේ ආගමික විශ්වාසයන් පිළිබඳ​ පදනමින්ය.

පද්මාවතී කාව්‍යය ලියා ඇත්තේ මාලික් මුහමද් ජයසි කවියා විසිනි. කවියා මෙය ගොඩ නඟා ඇත්තේ වීර කාව්‍යයක් ලෙසිනි. මේ කාව්‍යයේ එන පද්මාවතී කුමරිය ඉන්දියාවේ රාජ්පුත් පෙළපතට විවාහයෙන් එක්කාසු වෙයි. ඒ, රාවල් රතන් සිං රජුගේ අග බිසව ලෙසිනි. පද්මාවතී කුමරිය දුටු අය වශී කරවන රූ සපුවකින් යුතු, ගුණ නැණ බෙලෙන් අනූන කෙනකු ලෙස වර්ණනා කරමිනි කවියා පද්මාවත ලියා ඇත්තේ. එපමණක් නොව දෙපා නගද්දී ඇගේ පතුල ගැටි පොලොවෙන් මල් පීදුනු බවද කවියා කියා ඇත.

පද්මාවතී රැජිනගේ රූප ශ්‍රියාව පිළිබඳව දැන ගත් අලවුද්දීන් ඛිල්ජි (Alauddin Khalji) අධිරාජ්‍යයා රාජස්ථානය ආක්‍රමණය කරන්නට තීරණය කළේය. ඒ ඇයව බලහත්කාරයෙන් ලබා ගැනීමේ අරමුණෙනි. රාජපුතානා ආරක්ෂක භටයෝ චිතෝර් බලකොටුව බිඳ වැට්ටවීමට පෙර මරණය තෙක්ම සටන් විදිමින් සිටියහ. නමුත් අවසානයේ අත්වූයේ පරාජයයි. එම සටනින් රාවල් රතන් සිං රජු මිය ගියේය. ඉන් අනතුරුව සිදු වන්නට තිබුණේ අලවුද්දීන් ඛිල්ජි අධිරාජ්‍යයාගේ අවශ්‍යතාවය ඉෂ්ඨ වීමයි. නමුත් පද්මාවතී රැජිණ ආක්‍රමණිකයාගේ කාම ගොදුරක් නොවී සිය ගෞරවය රැක ගනු වස් බලකොටුවේ සිටි සෙසු කාන්තාවන්ද සමග සියදිවි හානි කර ගත්තාය. ඒ බව පුරාවෘත්ත වල සඳහන් වන්නේ, පද්මාවතී රැජින අලවුද්දීන් සමග සටනේදී මරණයට පත් සිය සැමියා වෙනුවෙන් ඔහුගේ චිතකයට පැන සති පූජාවේ යෙදෙමින් සිය ගරුත්ව රැක ගත්තා යන්නය. වීර කාව්‍යයේ කියවෙන්නේ එසේය. මේ සිදුවීමෙන් අනතුරුව පද්මාවතී රැජින කාන්තාවක් සිය ගරුත්වය රැක ගත යුතු ආකාරය සංකේතවත් කරන පවිත්‍ර චරිතයක් ලෙස රාජ්පුත් සමාජයේ බුහුමන් ලබන්නීය. වර්තමානයේද එය එලෙසම සිද්ධ වෙයි.

රාජ්පුත් කණ්ඩායම් පද්මාවතී චිත්‍රපටයට එරෙහිව නැගී සිටින්නේ එකී චරිතයට දීපිකා පදුකෝන් පණ දීම පද්මාවතී රැජිනගේ චරිතය කෙළෙසීමක් බව පවසමිනි. ඉන්දියාවේ භාරතීය පක්ෂය යටතේ ඇති රාජස්ථාන්, උත්තර් ප්‍රදේශ් සහ හර්යානා ඇතුළු ප්‍රාන්ත කිහිපයක පද්මාවතී සිනමාපටයට විරුද්ධව විරෝධතා පැවැත්විණි. රාජස්ථාන් මහ ඇමතිනී වසුන්දරා රාජේ පසුගියදා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තම ප්‍රජාව අතර පවතින සංවේදී ආකල්ප වලට හානියක් නොවන මට්ටමින් අවශ්‍ය වෙනස්කම් සිදු කෙරෙන තෙක් පද්මාවතී ප්‍රදර්ශනය නතර කළ යුත බවය. (එයින් කියවෙන්නේ භක්තිය ගොඩ නැගෙන ආකාරයේ දේවල් මිනිස්සුන්ට පෙන්වන ලෙසයි). රාජස්ථානයේ අතීත රජ පවුලට නෑකම් සහිත පුද්ගලයෝද පද්මාවතී චිත්‍රපටය තිරගත නොකරන මෙන් ඉල්ලා ඇත.

පද්මාවතී සිනමා පටයේ ප්‍රධාන චරිත දෙක අතර සරාගී දර්ශන ඇතුළත් බවට හින්දු සහ රාජ්පුත් කණ්ඩායම් විසින් චෝදනා එල්ල කරති. නමුත් ඒවා සාවද්‍ය බව සිනමාපටයේ නිෂ්පාදකවරයා සහ අධ්‍යක්ෂවරයා පැහැදිළිව සදහන් කර ඇත. රැඟුම් පාලක මණ්ඩලයද එම කාරණාව සනාථ කරයි.

පද්මාවතී යනු මිත්‍යාමය, උපකල්පිත, මනෝරාජික වීර කාව්‍යකි. එහි එන සිදුවීම් සනාත කරන්නට ඓතිහාසික වශයෙන් කිසිඳු සාක්ෂියක් නැත. අලිගාර් මුස්ලිම් සරසවියේ (Aligarh Muslim University) ඉතිහාසඥයකු වන ඉර්ධාන් හබීබ් මෙසේ කියයි. පද්මාවතී චරිතය සැබෑ ඓතිහාසික චරිතයක් නොව සංකල්පීය චරිතයකි. අලවුද්දීන් ඛිල්ජි අධිරාජ්‍යයා රාජපුතාන්හි චිතොර් බලකොටුව බිඳ හෙළීම ඓතිහාසික සත්‍යයක් වුවත් එම යුගයට අයත් පද්මාවතී නම් රාජකීය චරිතයක් පිළිබඳව සඳහන් නොමැත… යනුවෙනි ඉතිහාසඥ ඉර්ධාන් හබීබ් කියා ඇත්තේ.

පද්මාවතී සිනමා නිර්මාණයක් බව තේරුම් ගැනීමට නොහැකි තරමේ නූගත් මිනිසුන්ය ඉන්දියාවේ සිටින්නේ. පී කේ වැනි නිර්මාණයකින් පසු අමීර්ඛාන් වැනි අය​ ඉන්දියාවේ ජීවත් වෙනවා යනු ඇත්ත වශයෙන්ම පුදුමයකි. (එම චිත්‍රපටයේ පෝස්ටරයක් සම්බන්ධයෙන් අමීර්ඛාන්ට එරෙහිව විරෝධතාද පැවැත්වුණි). සනාථ කළ නොහැකි ඉතිහාසයක් පිළිබඳව නිර්මාණයක් බිහි වූ පසු එය අගෞරවයක් යැයි පවසමින් කටයුතු කරන​ රාජ්පුත්ලා වැනි ආගමික කණ්ඩායම් හරහා එරට ආගමික සංස්කෘතික තත්ත්වයද අපිට තේරුම් ගත හැකිය. ඒ තත්ත්වන් මකා දමනු වෙනුවට තව දුරටත් ඒවා ප්‍රවර්ධනය කිරීමේ කාර්යය ඉන්දීය දේශපාලන ධාරාව විසින් අකුරටම සිදුකරයි. රාජස්ථාන් මහ ඇමතිනී වසුන්දරා රාජේගේ ප්‍රකාශයෙන් ඒ බව මොනවට හෙළි වේ. අබිං කෑ ඉන්දියාව වැනි සමාජයකට අනුව නිර්මාණ යනු තහනම් කළ යුතු ඒවාය. නිර්මාණකරුවන් යනු පාවහන් වලින් තැලිය යුතු පිරිස්ය. නලු නිලියන් යනු හිස ගසා දැමිය යුතු කොට්ඨාශයකි. එහෙත් ඔවුන්ට අනුව ආගම් යනු හීලෑ විය යුතු මනස්ගාතයකි.

පද්මාවතී රැජින කාන්තාවක් සිය ගරුත්වය රැක ගත යුතු ආකාරය සංකේතවත් කරන පවිත්‍ර චරිතයකි. ඒ වෙනුවෙන් රාජ්පුත් සමාජයේ බුහුමන් ඇයට හිමිවෙයි. නමුත් එය ඉන්දීය සමාජය තුළ යථාර්ථයක්ද? කාන්තාවකගේ ගරුත්වය ඉන්දීය සමාජය තුළ රැකෙනවාද යන්න විමසා බැලිය යුතුය. ඉන්දියාවේ වාර්තාගත කාන්තා ලිංගික අපරාධ වසරකට හතලිස් දහසකට​ අධික ය. ඉන්දීය සමාජ විශ්ලේශකයන් පවසන්නේ වාර්තාගත නොවන කාන්තා ලිංගික අපරාධයන් මීට වඩා අධික බවයි.

ඉන්දියානු සමාජය දැනට ජීවතුන් අතර නැති එක් කාන්තාවකට ගරු කරමින් සිටිති. එහෙත් ජීවතුන් අතර සිටින කාන්තාවන් හතලිස්දාහකට අධික සංඛ්‍යාවක් වසරක් තුළදී දූෂණය කර දමයි. ඇතැම් කාන්තාවන්ව සමූහ දුෂණයට ලක් කොට මරා දමයි. දිල්ලි නුවරදී විසි තුන් හැවිරිදි නිර්භයා නම් වෛද්‍ය ශිෂ්‍යාවට අත්වූ ඉරණම ඔබ මතකයේ ඇතැයි සිතමි. එසේ කරන ඉන්දියානු සමාජය පතිවත රැක්කාට මනෝරාජික පද්මාවතියට ගරු බුහුමන් කරයි. ඇය ගැන චිත්‍රපටයක් හැදුවාම එය ඇයට අපහාසයක් යැයි කියමින් යකා නටයි. නමුත් ඉන්දියාවේ අතොරක් නැතිව සිදුවන කාන්තා හිංසනයන් කෙරෙහි හින්දු රාජ්පුත් සමාජයේ ඇහැ ඇරෙන්නේ නැත. එයින් කියවෙන්නේ ජීවත් ව සිටින කාන්තාවට ඉන්දීය සමාජය ගරු නොකරන බව නොවේද? දීපිකා පදුකෝන් නිළියගේ හිස ගසා දමන්නෙකුට මුදල් ත්‍යාග ලබා දෙන බවට හින්දු රාජ්පුත්ලා නන්දොඩවන්නේ ඒ නිසාය. ආගම්වලට වහල් වී අන්ධ වී සිටින ආගම් භක්තිකයන් රාජ්පුත්ලා කියන පදයට නටමින් සමාජය කළඹමින් සිටිති. එබැවින් මේවා පසුගාමී සමාජයක කෙරුවාවන් මිස, විසි එක් වැනි සියවසේදී මිනිසුන් කළ යුතු දේවල් නොවේ.

Related Articles