Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයේ ඉහළ ම මිලකට වෙන්දේසි වූ සේයා රූ

සේයා රුවක සුන්දරත්වය රැඳී ඇත්තේ කාල වකවානුවකට කොටු නොවී නොයෙක් ප්‍රමාණයන්ගෙන් සහ ස්වරූපයන්ගෙන් ලෝකය වටා සංචාරය කිරීමට එයට අපූරු හැකියාව නිසාවෙන්. කැමරාවේ ආගමනයත් සමග එහි පැවැත්ම සඳහා සම්පූර්ණයෙන් ම තාක්ෂණය මත රඳා පැවතිය යුතු ප්‍රථම කලා නිර්මාණය බවට සේයා රූ පත් වුණා. මේ නිසා මුල් අවධියේ දී කලා ලෝකය සේයා රූ කලා කෘතීන් ලෙස හඳුනා නොගත්ත ද පසු ගිය දශක කිහිපය තුළ ඉහළ ම අදායම් ඉපැයිය හැකි අයෝජනයක් බවට පත් වූයේ ගත වී යන සෑම දිනක් පාසා ම ඡායාරූපවලට ඇති ඉල්ලුම ඉහළ දමමින්.

මේ ලෝකයේ ඉහළ ම මිලකට වෙන්දේසි වූ සේයා රූ කිහිපයක තොරතුරු යි.

Rhein II

balsamofcanada.wordpress.com

2011 නොවැම්බර් මාසයේ දී ඇමෙරිකානු ඩොලර් 4,338,500 ක අලෙවි වූ මෙය අදටත් සැලකෙන්නේ ලෝකයේ මිල අධික ම සේයා රුව ලෙස යි. ක්‍රිස්ටී’ස් වෙන්දේසි මැදුරේ නිව්යෝක් ශාඛාව ඔස්සේ අලෙවි කරන ලද එය ජර්මානු ජාතික දෘශ්‍ය කලාකරුවෙක් සහ ඡායාරූප ශිල්පියෙකු වන ඇන්ඩ්‍රියස් ගර්ස්කි විසින් 1999 වසරේ දී ඇක්‍රිලික් වීදුරුවක් මත වර්ණජනක වර්ණ මුද්‍රණය (chromogenic color print) යොදාගෙන ඡායාරූපයට නගන ලද්දක්.

Rhein II ඡායාරූපයට පදනම් වන්නේ අඳුරු වලාවන්ගෙන් අහස වැසී ගිය දිනෙක හරිත පැහැ තණබිම් අතරින් තිරස් ආකාරයට ගලා බසිනා රයින් ගංගාව යි. ඩිජිටල් සංස්කරණයන් යොදා ගනිමින් මෙහි තිබුණු කම්හලක් සහ ගං ඉවුරේ ඇවිදින්නන් ඉවත් කර තිබෙනවා. ඇන්ඩ්‍රියස් ගර්ස්කි විසින් රයින් ගංගාවේ සේයා රූ හයක් රැගෙන ඇති අතර වාර්තා තබමින් අලෙවි වූයේ එයින් දෙවැනි සහ විශාලත ම ඡායාරූපය යි. මෙය මිල දී ගත් පුද්ගලයා පිළිබඳ ව තොරතුරු අනාවරණය වී නැහැ.

නිර්නාමික #96

a1.ro

ඇමෙරිකානු ඡායාරූප ශිල්පිණියක් සහ චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වන සින්තියා මොරිස් ‘සින්ඩි’ ෂර්මන් විසින් 1981 වසරේ දී ඇගේ සෙන්ටර්ෆෝල්ඩ් සේයා රූ මාලාව සඳහා නිර්මාණය කරන ලද නිර්නාමික #96, 2011 මැයි මාසයේ දී ඇමෙරිකානු ඩොලර් 3,890,500 ක අලෙවි වූයේ එවකට ලෝකයේ මිල අධික ම සේයා රුව බවට පත් වෙමින්. ක්‍රිස්ටී’ස් වෙන්දේසි මැදුරේ නිව්යෝක් ශාඛාව මගින් අලෙවි කළ එහි දෙවැනි පිටපතක් 2012 මැයි මාසයේ දී ඇමෙරිකානු ඩොලර් 2,882,500 කට අලෙවි වී තිබෙනවා.

වර්ණජනක වර්ණ මුද්‍රණය යොදාගෙන ඡායාරූපයට නගන ලද මේ සඳහා පෙනී සිටින්නේ නව යෞවනියක් ලෙස සැරසුණු සින්ඩි ෂර්මන් ම යි.

To Her Majesty

ridikul.hu

ක්‍රිස්ටී’ස් වෙන්දේසි මැදුරේ ලන්ඩන් ශාඛාව මගින් 2008 ජූනි මාසයේ දී මෙම ඡායාරූපය වෙන්දේසි කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් 3,765,276 කට යි. එය 1973 වසරේ දී නිර්මාණය කර ඇත්තේ ‘ගිල්බර්ට් හා ජෝර්ජ්’ යන නාමය යටතේ කටයුතු කරන ගිල්බර්ට් ප්‍රවුශ් සහ ජෝර්ජ් පාස්මෝර් විසින්.

හඳුනා නොගත් ගැනුම්කරුවෙකු විසින් මිල දී ගන්නා ලද එය මුද්‍රණය කර ඇත්තේ බ්‍රොමයිල් ජෙලටීන් රීදී මුද්‍රණ ක්‍රමය යොදා ගෙන යි.

Dead Troops Talk

deadroninstudios.wordpress.com

1986 ශීත ඍතුවේ දී සෝවියට් දේශය විසින් ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කිරීමේ දී පහර දීම සඳහා සැඟවී බලා සිටින රුසියානු සොල්දාදුවන් පිරිසක් පෙන්නුම් කරන මේ ඡායාරූපය ගෙන ඇත්තේ කැනේඩියානු ජාතික ජෙෆ්රි වෝල් විසින්. ඒ 1992 වසරේ දී ඡායාරූප මැදිරියක් තුළ නිර්මාණය කරන ලද කෘත්‍රිම පරිසරයක් තුළ දී යි. යුද්ධය නිසාවෙන් ඇති වන මරණයන්ගේ සංවාදයන් පිළිබඳ පණිවිඩයක් ලෝකයට ලබා දීම මෙහි මූලික අරමුණ වුණා.

ඇමෙරිකානු ඩොලර් 3,666,500 කට මෙය ක්‍රිස්ටී’ස් වෙන්දේසි මැදුරේ නිව්යෝක් ශාඛාව මගින් අලෙවි කරන්නට යෙදුණේ 2012 මැයි මාසයේ දී යි.

99 Cent II Diptychon

shesafineartist.blog

ඇන්ඩ්‍රියස් ගර්ස්කි විසින් (බොහෝ දුරට) 1999 වසරේ දී නිර්මාණය කරන්නට ඇතැයි සැලකෙන මෙය කොටස් ද්විත්වයකින් යුතු ඡායාරූපයක්. වර්ණජනක වර්ණ මුද්‍රණය යොදාගෙන ඡායාරූපයට නගන ලද මෙය 2007 පෙබරවාරි මාසයේ දී සදර්බී’ස් වෙන්දේසිකරුවන් ලන්ඩන් හි පවත්වන ලද වෙන්දේසියක දී අලෙවි වී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් 3,346,456 ක මුදලකට යි.

වර්ණ රටාවන් මතු වන ලෙස සුපිරි වෙළඳසැලක භාණ්ඩ අසුරන ලද රාක්ක සමූහයක් ඡායාරූපය සඳහා පාදක වී ඇති අතර එහි පර්යාලෝකය (perspective) අඩු කිරීම සඳහා එය ඩිජිටල් සංස්කරණයට ලක් කර තිබෙනවා.

Chicago, Board of Trade III

publicdelivery.org

මෙය චිකාගෝ හි වෙළඳ මණ්ඩලය පිහිටා ඇති ගොඩනැගිල්ලේ වෙළඳ කටයුතු සිදු කරනු ලබන මහලේ විශාල වර්ණ ඡායාරූපයක්. ඉහළ මහලක සිට ගන්නා ලද මේ ඡායාරූප මගින් වෙළඳ මහලේ කාර්යබහුල බව පෙන්නුම් කරන අතර පරිගණක වටා එක් රැස් වූ වර්ණවත් කබායන්ගෙන් සැරසුණු තැරැව්කරුවන් කණ්ඩායම් මෙහි විෂයය වස්තුව යි.

ඇන්ඩ්‍රියස් ගර්ස්කි විසින් 1999 – 2000 අතර කාලයේ දී ගන්නට ඇතැයි සැලකෙන මෙය 2013 ජූනි මාසයේ දී සදර්බී’ස් වෙන්දේසිකරුවන් ලන්ඩන් හි පැවැත් වූ වෙන්දේසියේ දී අලෙවි වී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් 3,298,755 ක මිලකට යි. මෙය ඇක්‍රිලික් වීදුරුවක් මත වර්ණජනක වර්ණ මුද්‍රණ ක්‍රමය යොදාගෙන මුද්‍රණය කරන ලද්දක්.

නිර්නාමික (කව්බෝයි)

sothebys.com

ඇමෙරිකානු ජාතික රිචඩ් ප්‍රින්ස් විසින් මෙය ඡායාරූපයට නගා ඇත්තේ 2000 වසරේ යි. ඔහු විසින් මෙය ඔහුගේ Cowboy සේයා රූ මාලාවට ඇතුළු කර තිබෙනවා. 2014 මැයි මාසයේ දී නිව්යෝක් හි පවත්වන ලද සදර්බී’ස් වෙන්දේසිකරුවන් වෙන්දේසියක දී මෙය අලෙවි වී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් 3,077,000 මිලකට යි.

නිර්නාමික චිත්‍රපට දසුන #48

100photos.time.com

සින්ඩි ෂර්මන්ගේ Untitled Film Still #48 ඡායාරූපය 2015 මැයි මාසයේ දී ක්‍රිස්ටී’ස් වෙන්දේසි මැදුරේ නිව්යෝක් ශාඛාව මගින් ඇමෙරිකානු ඩොලර් 2,965,000 කට අලෙවි කරන්නට යෙදුණා. එය මුද්‍රණය කර තිබුණේ ජෙලටීන් රීදි මුද්‍රණ ක්‍රමය යොදාගෙන යි.

වංගුවක් අසල පාර අයිනේ ඇඳුම් පෙට්ටියක් සමඟ වාහනයක් එනතුරු බලා සිටින කාන්තාවකගේ රුවක් මෙහි දැක්වෙනවා. සරල ඇඳුමකින් සැරසී කැමරාවට පිටුපස හරවා සිටින ඇය පාසල් යන යුවතියකගේ අහිංසක බව සහ බොළඳත්වය නිරූපණය කරන බව පැවසෙනවා.

The Pond—Moonlight

sothebys.com

1904 වසරේ දී එඩ්වඩ් ජීන් ස්ටයිකන් විසින් මෙය ඡායාරූපයට නගා ඇත්තේ නිව්යෝක් හි මැමෑරොනෙක් නම් ගම්මානයේ දී යි. එයින් වනාන්තරයක් තුළ ඇති පොකුණක් සහ ගස් අතරින් ඇති හිඩැස් තුළින් සඳ නැගෙන එන අයුරු නිරූපණය වෙනවා. මුල් කාලීන ඡායාරූපයක් වන මෙය නිර්මාණයේ දී ආලෝක සංවේදී මැලියම් යොදාගෙන සේයා රුවට  වර්ණ කිහිපයක් ලබා දී තිබෙනවා.

සදර්බී’ස් වෙන්දේසිකරුවන් 2006 පෙබරවාරි මාසයේ දී නිව්යෝක් හි පැවැත් වූ වෙන්දේසියක දී මෙය අලෙවි කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් 2,928,000 කට යි.

කවරයේ පින්තූරය : pexels.com

මූලාශ්‍ර :

  1. en.wikipedia.org
  2. craveonline.com
  3. christies.com
  4. sothebys.com
  5. icaboston.org

Related Articles