උඩරට වෙස් නර්තනයේ ඇඳුම ගැන කියන කතා

නැටුම හෙවත් නර්තනය ප‍්‍රසාංගික කලාවක් ලෙසින් හැඳින්වෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන නර්තන සම්ප්‍රදායන් ත්‍රිත්වය අතරින් කන්ද උඩරට නර්තන කලාවට සුවිශේෂි ස්ථානයක් හිමි වන්නේ ලාංකීය අනන්‍යතාවය තහවුරු කරන ලක්ෂණ රැසක් මේ නර්තන කලාව සතුව පවතින නිසා. විචිත‍්‍ර වෙස් ඇඳුමෙන් සැරසුණු වෙස් නර්තන ශිල්පියා උඩරට නර්තනයේ ප‍්‍රතිමූර්තියක්. අනාදිමත් කාලයක පටන් වෙස් ඇඳුම් කට්ටලයට හිමි වන්නේ පූජනීය ස්ථානයක්. නර්තන ශිල්පීන් ඉතාමත් ගෞරවයෙන් මෙම වෙස් ඇඳුම් කට්ටලය භාවිත කරනවා. කාලය, අවකාශය භාවිත කරමින් වෙස් ඇඳුමෙන් විවිධ අර්ථ ප‍්‍රකාශ වෙනවා. වෙස් ඇඳුම පැළඳගෙන සිටින්නෙකු වෙස් නැට්ටුවෙකු ලෙස හඳුන්වන්නේ සංස්කෘතිකමය පදනමකින්. වෙස් ඇඳුම් කට්ටලය නිර්මාණය වීමේ පුරාණෝක්ති, මතවාද, සාක්ෂ්‍ය ආදිය ගවේෂණයෙන් වෙස් ඇඳුම ගැන කතා කිහිපයක් සොයා ගැනීමට හැකි වෙනවා.

සාම්ප්‍රදායික උඩරට වෙස් ඇඳුමෙන් සැරසුණු වෙස් නර්තන ශිල්පියෙක් (exploresrilanka.lk)

19 වන සියවස අග භාගයේ විතර ඉඳලා තමයි වෙස් නර්තන ශිල්පීන්ට දලදා පෙරහැරෙහි කංකාරී දෙවොල් සීමාවෙන් පිටතදී නැටුම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබිලා තියෙන්නේ. මේ විදිහට කාලය ගත වෙනවාත් එක්ක ම වෙස් ඇඳුමට මුල් කාලීනව මෙන් ම පසු කාලීනව විවිධ අංග එකතු වෙනවා. සංස්කෘතිකාංගයක් විදිහට බිහිවෙන වෙස් ඇඳුම වර්තමානය වන විට අන්තර් සංස්කෘතින් වල සම්ම්ශ්‍රනක් බවට පත් වෙලා.  ඓතිහාසික කරුණු, සාහිත්‍යය වගේ ම පුරාණෝක්ති මීට සාක්ෂ්‍ය දරනවා.

රාජ ආභරණ කට්ටලයක් සංකේතවත් කරන්නක් බව

සිංහල සංස්කෘතිය තුළ හා සිංහල නර්තන කලාව තුළ වෙස් ඇඳුම් කට්ටලයට ලැබී ඇති අර්ථයට අනුව යක්දෙස්සන්ගේ විශ්වාසය වන්නේ වෙස් ඇඳුම යනු මුලින් මලය රජු භාවිත කර පසුව කොහාඹා දෙවියන් ඇඳි ඇඳුම් කට්ටලය කියලා. යක්දෙස්සන්ට වෙන වෙනම ඇඳුම් කට්ටල ඇතත් ඒවායින් සංකේතවත් වන්නේ මලය රජුගෙන් ලැබුණු ඒ දිව්‍යමය ඇඳුම් කට්ටලයයි.

කොහොඹා කංකාරී ශෘන්තිකර්මයේදී යක්දෙස්සාව නියෝජනය කරන්නේ මලය රජතුමා  බවට කතාවක් පවතිනවා. පොදුවේ සලකා බලද්දි මෙයින් අර්ථවත් වන්නේ ‘මෙය මලය රජුන්ගේ ඇඳුම් කට්ටලය’ බවයි. මෙකී ඇඳුම් කට්ටලයට පවතින ව්‍යූහගත අර්ථයට අනුව ආභරණ හැට හතරකින් සමන්විතයි. සිව් සැට කලා, සිව් සැට මායම් ආදිය සිහි කළ ඉතිහාසඥයන් මෙම සංඛ්‍යාව ම අනුව යමින් ආභරණ ද හැට හතර (සිව්සැට) ලෙස අර්ථ දක්වා ඇති බව සඳහන් වෙනවා. කොහොඹා කංකාරියේ මහායාතිකාව නම් කවි ගායනා වල  සිව් සැට ආභරණ ගැන මෙලෙස දැක්වෙනවා.

“……තෙවලූ නව නරු තබා දිව පිළි අන්දවමින්, ඉඳු මිණි රන් ඔටුන්න, රන් පිට ජටාව, යගප් ජටාව, රටාරැළ, පාඉම් පොත, සිඛා බන්ධනේ, නිත්ති මාල, නළල් සැද, කෙවුරාභරණ, කර්ණාවතංස, කර්ණ සූත‍්‍ර, තෝඹු පත‍්‍ර, කර්ණ කුණ්ඩල ආභරණ, ඒක වැල ගෙල, මුතුමාල, මිණි මුතු මාල, රන් මුතු මාල, රන් පෙති මාල, ලිය රන් මාල, වට රන් මාල, රුවන් මාල, රන් මිණි මාල, තුන් කොන් මාල, සිව් කොන් මාල, රන් දම්, මුතු දම්, සසත් දම්, රිදී දම්, මිණි දම්, රන් වැල, මුතු හැර, අවුල් හැර, පස් පෙරහැර, පස් රූ, රන් සවඩි, නිල් මිණි සවඩි, දෙව් රන් මල, හස්ත මෙත්ත බාහු, දණ්ඩි, කටක, මිණි බණ්ඩි, පත‍්‍ර වළලූ, රන් ගිරි වළලූ, හස්ත මුද්‍රික, හස්තාංගුලි, ඉණ සැද, ඉණ සැදුම, උදර බන්ධන, මකරපට, උරජාල, පාදජංඝා වළලූ, පාසළඹ, නූපුරු පාද සංඛ ජාල, පාද ජාල, කිංකිණි ජාල, පාද මුදු, පාදාංගුලි යනාදී සිවුසැට ආභරණයෙන් සැරසී….”

මේ වෙස් ඇඳුම පිළිබඳව නර්තනය හා සම්බන්ධ සාහිත්‍යයේ ව්‍යූහගත ව පවතින අර්ථයයි. මීට අමතරව රජකුටආභරණ කට්ටල් දෙකක් තිබුණු බවට සඳහනක් පවතිනවා.

  1. රාජ කකුධ භාණ්ඩ
  2. පෞද්ගලික ආභරණ

මෙයින් පෞද්ගලික ආභරණ කට්ටලයේ ආභරණ ගණනින් හැට හතරක්. මෙම ඇඳුම් කට්ටල දෙකෙහි බොහෝ සමානකම් හඳුනාගන්න පුළුවන්. මේ අනුව වෙස් ඇඳුම් කට්ටලයෙන් මලය රජු කෙසේ වෙතත් අවම වශයෙන් රජ කෙනෙකුවත් සංකේතවත් කිරීමට යක්දෙස්සන් විසින් උත්සහ කොට ඇති බව දක්නට ලැබෙනවා. මලය යනු රජකු බැවින් රජකුගේ ආභරණ කට්ටලයේ ආභරණ 64 ක් තිබිය යුතු බවට යක්දෙස්සන් උපකල්පනය කළ බවට කතාවක් තියනවා.

වෙස් නර්තනයක් (dahamlipi.blogspot.com)

වෙස් ඇඳුමේ ප‍්‍රායෝගික අර්ථය

වෙස් ඇඳුමේ ව්‍යුහගත අර්ථය එසේ වුව ද ප‍්‍රායෝගික අර්ථය එසේ නොවේ. එහි ආභරණ 64 ක් ඇතැයි සඳහන් වුව ද වර්තමාන වෙස් ඇඳුම් කට්ටලයේ දකින්න තියෙන්නේ ඇඳුම් ආභරණ කොටස් විස්සක් පම‍ණයි. වෙස් බැඳි නැටුම් ශිල්පියෙකුට ආවේණික වූ පරිපූර්ණ ඇඳුම බොහෝ අලංකාරයි. එය වෙස් ඇඳුම් කට්ටලය ලෙස හඳුන්වන අතර විවිධ සැරසිළිවලින් අලංකාර කරන ලද මෙම ඇඳුම, නැටුම් ශිල්පියාගේ හිසේ සිට දෙපතුළ දක්වා සරසන විවිධ අංගයන් පිළිවෙලින් මෙලෙස වෙනවා:

ජටාව, ජටාවැල (ඒකාවැල, ජටාපටිය), පායිම් පත, ශිඛා බන්ධනය (වෙස් තට්ටුව), නෙත්තිමාලය, තෝඩුපත්, කරමාලය (කරපටිය), අවුල්හැරය, දෙඋරබාහු, බන්දි වළලූ, කෛමෙත්ත, හස්තකඩ, ඉණ පටිය, ඉණ හැදය, දෙවල්ල (නරු), හඟල, රෙද්ද, පොත් පොට, උල්උඩය, මේස් කලිසම, සිලම්බු.

කොහොඹා කංකාරී සාහිත්‍යයෙන් කියවෙන ආභරණ හැට හතර ම වෙස් නැට්ටුවන් අතීතයේදී වත් පැළඳූ බවක් පේන්න නෑ. සංඛ්‍යාත්මක අගය මුලින් තිබුණු ගණනේ සිට විස්ස දක්වා අඩු වූ බවට තර්ක කරන්න පුළුවන්. එ් වගේ තර්කයන් දෙකක් මේ විදිහට දක්වන්න පුළුවන්.

  • සාහිත්‍යයේ හා ජනප‍්‍රවාද‍යේ කියවෙන පරිදි පරිත්‍යාග කර ගොස් ඇත්තේ ඔහුගේ ඇඳුම් කට්ටලයෙන් අර්ධයක් පමණක් වන හෙයින් වෙස් ඇඳුම් කට්ටලයේ ඇඳුම් හා ආභරණ ගණන 64 නොව 32 ක් විය යුතුයි.
  • මුලින් තිබූ ආභරණ ගණන කුමක් වුවත් කාලයාගේ ඇවෑමෙන් ඇතැම් ආභරණ භාවිතයෙන් ගිලිහී ගොස් වර්තමානයේ පවතින ගණන දක්වා අඩු වන්නට ඇත.

මෙම තර්ක දෙකම එක් කොට මලය රජු සිය හැට හතරක් වූ ඇඳුම් හා ආභරණ අතරින් 32ක් පරිත්‍යාග කරන්නට ඇතත් එයින් අද වන විට භාවිතයේ ඇත්තේ 20ක් පමණක් යැයි උපකල්පනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. කෙසේ වෙතත් වෙස් ඇඳුම් කට්ටලයේ අද පවතින ඇඳුම් ආභරණ විස්ස රාජාභරණ හැට හතරෙන් විස්සක් යැයි සිතීමට තරම් ප‍්‍රමාණවත් සාධක නෑ.

වෙස් ඇඳුම් කට්ටලයෙන් දේව ආභරණ කට්ටලයක් සංකේතවත් වන බව බව

කොහොඹා කංකාරියේදී වෙස් ඇඳුම් කට්ටලය කොහොඹා දෙවියන්ගේ ඇඳුම් කට්ටලය ලෙසින්   සලකනු ලබනවා. වලියක් මංගල්‍යය ශාන්තිකර්මයේදී එය වලියකුන්ගේ ඇඳුම ලෙසින් පිළි ගන්නවා. මෙහි දේව බලයක් ගැබ් වී ඇතැයි බොහෝ යක්දෙස්සන් සහ සිංහල බෞද්ධ ජනතාව විශ්වාස කරනවා. අසනීපයක් හෝ කරදරයක් සිදු වූ විට වෙස් ඇඳුමක් ඇති තැනකට ගොස් දෙවියන් සිහි කොට පඩුරු බැදීම ඇතැමුන්ගේ සිරිතක්. වෙස් ඇඳුම් බහාලන පෙට්ටිය ඉතා ගරු සැලකිල්ලක් ඇතිව දෑත් ඔසවා වැඳ අතට ගන්නා අතර එය කිසියම් උඩකින් තබා වැඳ නමස්කාර කරනවා. වෙස් නිවසින් පිටත සෑදූ දේවාලයක තමයි ආභරණ තැන්පත් කරන්නේ. අවශ්‍ය මොහොතක එම දේවාලය තුළදී ම අඳින අතර අවසානයේ එම දේවාලය තුළ දී ම ගලවා තැන්පත් කරනවා. මෙය පාරම්පරික ලක්ෂණයක්.  ඕනෑම නැට්ටුවෙකුගේ නිවසක ම මෙම දේවාලයක් ඇති අතර විශේෂ පුද පූජා ක‍්‍රම මගින් මෙම දේවාලය නමස්කාර කරනවා. වර්තමානයේ මෙම ක‍්‍රමය වෙනස් වුණත් වෙස් ඇඳුම් සහිත පෙට්ටියට කරනු ලබන ගරු සැලකිල්ලෙහි නම්, අඩුවක් නෑ.

උඩරට වෙස් ඇඳුමට සමානතා දක්වන වෙනත් ඇඳුම

පුරාණ කන්ද උඩරට නිලමේවරු (pinterest.com)

වෙස් ඇඳුම ඇතැම් දේශීය ඇඳුම් සමඟ ඥාතී සබඳතා පවත්වන බව පැවසෙනවා. වෙස් නැට්ටුවාගේ ඉණෙන් පහළ ඇඳුම් සලකා බැලුවම එය අඳිනු ලබන ක‍්‍රමය උඩරට නිළමේවරයෙකුගේ ඇඳුමේ යටි කොටස අඳිනු ලබන ආකාරයටත් සහ බෞද්ධ භික්ෂුවක ස්වකීය උපසම්පදා කර්මයේදී අඳින ඇඳුමේ යටි කොටස අඳින ආකාරයටත් සමාන බව මුදියන්සේ දිසානායකයන්ගේ මතයයි.

බෞද්ධ භික්ෂුවක ස්වකීය උපසම්පදා කර්ම අවස්ථාවක් (sridaladamaligawa.lk)

එහෙත් ඇතැමෙකුගේ අදහස මෙය විදේශීය, විශේෂයෙන් ම ඉන්දියානු ඇඳුම් පැළඳුම් වලට වැඩි නෑකම් කියන බවයි. වෙස් ඇඳුමේ හිසට පළඳින ශීර්ෂාභරණ කොටස මලබාරයේ රාජකීය ශීර්ෂාභරණයේ අනුකරණයක් බව දැක්වෙනවා. එදිරිවීර සරච්චන්ද්‍රයන් දක්වන ආකාරයට වෙස් ඇඳුමේ යටි කොටස අඳින්නේ ගුජරාටි ධෝතිය අඳින ක‍්‍රමයටයි. වෙස් ඇඳුම් කට්ටලයට සමාන ඇඳුම් කට්ටලයක් දකුණු ඉන්දීය ‘තෙයියම්’ නම් නැටුමේ දී යොදා ගැනෙන බව මුදියන්සේ දිසානායකයන් පවසනවා. වෙස් ඇඳුමට සමාන ඇඳුමක් බෙංගාලී දඩයම්කරුවන් භාවිත කළ බවට ද මතයක් පවතිනවා.

තෙයියම් නර්තන ශිල්පියෙක්  (pinterest.com)

ජටාව

ජටාව (ලේකඛයාගේ ඡායාරූපයක් )

වෙස් ඇඳුම සඳහා භාවිතා කරන ශීර්ෂ ආභරණ අතර මුලින්ම දක්නට ලැබෙන්නේ ජටාවයි. මේ දැවයෙන් නිම කරන ලදුව වෙස් නැට්ටුවා හිස් මුදුනේ පළඳින ආභරණයයි. ජටාව මහා බ‍්‍රහ්මයා පැළඳ ගෙන සිටින සිළුමිණේ අනුරුවක් බවත් එහි බ‍්‍රහ්මයාගේ වරම ඇති බව ද යක්දෙස්සන්ගේ මතයයි. මෙය ස්ථූපයක හැඩය ගැනීම කෙරෙහි ප‍්‍රායෝගික අර්ථයට අමතරව බෞද්ධාගමික අර්ථයක් බලපාන්නට අතැ යි අනුමාන කෙරේ.

වෙස් තට්ටුව

වෙස් තට්ටුව (ලේකඛයාගේ ඡායාරුපයක්)

වෙස් තට්ටුව රාවණා රජුගේ ඔටුන්නේ නිරූපණයක් බව ද ඇතමෙකු තර්ක කරනවා. මලය රජුගේ ඔටුන්න සකසා ඇත්තේ රාවණ රජුගේ ඔටුන්නට අනුව බව මෙහි ඇති කතාවයි. රාවණ පෙලපතේ පාලන මධ්‍යස්ථානය වූ ආලකපුරය හෙවත් වර්තමාන සීගිරියේ චිත‍්‍ර වල නිරූපිත රජ බිසවකගේ හිස් පළඳනාව විශේෂයෙන් එහි පායිම්පත නම් කොටසින් වෙස් තට්ටුවට නෑකම් දක්වන බවට ද විශ්වාස කෙරෙනවා.

තෝඩුපත

තෝඩුපත් (ලේකඛයාගේ ඡායාරුපයක්)

තෝඩුපත වෙස් නැට්ටුවාගේ කන් වැසීමට ගන්නා කර්ණාභරණයයි. එහි පත්තිනියගේ වරම් ඇති බව යක්දෙස්සාගේ විශ්වාසයයි. ජනප‍්‍රවාද වලට අනුව පත්තිනි දෙවියන්ට උප්පත්ති ගණනාවක් ඇති අතර ඇය එක් අවස්ථාවක උපත ලබා ඇත්තේ අඹ ගෙඩියකින්. සාම්ප‍්‍රදායික වෙස් නැට්ටුවාගේ තෝඩු පත ද බොහෝ විට අඹ ගෙඩියක හැඩය ගන්නා නිසා එහි පත්තිනි දෙවියන්ගේ වරම් ඇතැයි විශ්වාස කෙරෙනවා.

පූජා කර්ම අවස්ථා හැරුණු විට විට උඩරට වෙස් නර්තනය විවිධ අවස්ථා වලට යොදා ගන්නවා. විවාහ මංගල අවස්ථා, පිළිගැනීමේ අවස්ථා ආදිය මේ අතර කැපී පේනවා. වෙස් ඇඳුමේ සාම්ප්‍රදායික වර්ණය සුදු පැහැය සහ රතු පැහැය වුව ද වර්තමානයේ දී කහ පැහැය ද එක් කළ අවස්ථා දකින්න පුළුවන්. නර්තන අංග විචිත්‍රවත් කර ගැනීම සහ ප්‍රේක්ෂක ඇස ආකර්ෂණය කර ගැනීම  මෙහි අරමුණයි. උඩරට විවාහ චාරිත්‍ර අතරට වෙස් නර්තනය එක් වීම වර්තමානයේ කැපී පෙනෙන ප්‍රවනතාවයක්. මනමාල මහතා මනමාලියගේ නිවසට පිළිගැනීම සහ විවාහපත් මනාල යුවළ නිවසින් පිටත්ව යන අවස්ථාවට උඩරට වෙස් නර්තනය යොදා ගැනෙනවා. සාම්ප්‍රදායික වෙස් නර්තනයේ ඇඳුම් කට්ටලය විවිධ හේතු නිසා මේ අයුරින් වෙනස්කම් වලට බඳුන් වී ඇති බව හඳුනාගන්න පුළුවන්.

උඩරට විවාහ මංගල අවස්ථාවකට යොදා ගත් වෙස් නර්තනයක් (Irosh Jayawardane)

මේ ලිපියේ අන්තර්ගත වන්නේ උඩරට වෙස් නර්තනය පිළිබඳ ඇති කතා වලින් කතා කිහිපයක් පමණයි.   කාලය ගත වෙනවාත් එක්ක ම වෙස් ඇඳුමට මුල් කාලීනව මෙන් ම පසු කාලීනව විවිධ අංග එකතු වෙනවා. මේ විදිහට විවිධ කතා ඇති වෙන්නේ කාලයත් එක්ක වෙස් ඇඳුමේ සිදු වෙලා තියන වෙනස්කම් නිසායි. ඔබත් මීට අමතරව මේ වගේ කතා දන්නවා නම් ඔබටත් පුළුවන් අනිත් අයත් එක්ක ඒ කතා බෙදා ගන්න.

කවරයේ පින්තුරය – jamoandjen.wordpress.com

Related Articles