මානසික ආතතිය නිසා ඇතිවන කායික ලක්ෂණ

මානසික ආතතිය කියන්නේ අද වන විට මඟහැර ඉන්නට නොහැකි දෙයක්. රූපවාහිනිය  ක්‍රියාත්මක කළත්, දුරකථනය අතට ගත්තත් ඒ හැම මාධ්‍යයකින් ම නොමිලේ ම ආතතියෙන් පිරී ඉතිරී යන්නට ඔබට දොරටු විවරවී තිබෙනවා. හැබැයි ඉතින් වරද ඒවාට ම පටවන්නත් බැහැ. ගින්දර ඕනෑතරම් තිබුණාට ඒක අල්ලලා කෙනෙක් පුළුස්සා ගත්තොත් එහි වරද ගින්දරෙහි නොවෙයි.

ආතතිය වුණත් ටිකක් ගින්දර වගේ ම තමයි. ඔබේ එදිනෙදා කටයුතුවල කාර්යක්ෂමතාව ඉහළ නංවාලන්නට එය උත්ප්‍රේරකයක් ලෙසින් භාවිතා කළ හැකි වගේ ම ඔබ එය හිස මතට අරගෙන කිසිවක් නොකර සිටියොත් ඉන් පිළිස්සී අළුවී යන්නටත් පුළුවන්. මෙන්න මෙහෙම ආතතිය නිසා ඔබ පීඩාවට ලක්වෙනවා නම් ඒක ශරීරයෙන් පිටතට ද පෙන්නුම් කරන්නට පටන් ගන්නවා.

1- සමේ පැල්ලම් ඇතිවීම

(stylecraze.com)

මානසික ආතතියට ලක්වී වැඩි වේලාවක් සිටීමෙන් පසුදින පමණ වන විට වෙනදාට වඩා සමේ පැල්ලම්, කුරුලෑ වැනි ඉලිප්පීම් වැනි දේ දකින්නට ලැබෙනවා. මෙය ආතති හෝමෝනයක් වන කෝටිසෝල් නිසා ඇතිවන අතර එමගින් සමේ ඡිද්‍රවල හැකිලීයාම සිදුවෙනවා.

මේවා ඇති වෙන්නට එක ම හේතුව ආතතිය ම නොවෙයි; ඇතැම් විට ඔබේ ආහාර වේල, ලබා ගන්නා ඖෂධ හෝ කාලගුණය ඊට බලපාන්නට පුළුවන්. ඒත් ඔබ ආතතියට ලක්වීමෙන් පසු මෙවන් දෙයක් අත්විඳින්නට සිදුවුණොත් ඉන් පුදුම වන්නට දෙයක් නැහැ.

2- දහදිය දැමීම වැඩිවීම

(huffpost.com)

වැඩ වැඩි වුණා ම ඒවා කොහොම ඉවර කරගන්න ද කියලා හෝ කරපු වැඩ ටිකක් නැවතත් මේසයට පැමිණ ඇති විට ඔබට දහඩිය දමන්නට පටන්ගෙන තිබෙනවාද? කොතරම් වායු සමීකරණය කළ කොටසක ඔබ සිටියත්, අනිත් අයට නොදැනෙන රස්නයක් සමඟ ශීඝ්‍ර දහදිය දැමීමක් මේ සමඟ අපේක්ෂා කරන්නට පුළුවන්.

සම සුදු පැහැ අයගේ විශේෂයෙන් කම්මුල් රතුවී යනවා. වෛද්‍ය නිකී මාර්ටිනස් පවසන පරිදි මෙම තත්වයට හේතු වන්නේ හෘද ස්පන්දන වේගය වැඩි කරමින්, ආශ්වාස ප්‍රාශ්වාස වේගය ඉහළ යවමින් සමස්ථිතිය පවත්වා ගැනීම සඳහා ආතතියෙන් බාධා පැමිණවීමයි.

3- දවස පුරා දැනෙන වෙහෙස

(hypersonic55.wordpress.com)

කාර්යබහුල දිනයක් අවසානයේ දැනෙන වෙහෙස සාමාන්‍යයි. ඒත් දවස පුරා ම කිසිම හේතුවක් නැතිව මහත් විඩාවක් ඔබට දැනෙනවා නම් ඒ ගැන ටිකක් සැලකිලිමත් වීම අත්‍යාවශ්‍යයි. ලබාගත් ඖෂධයක බලපෑමක් නොවෙයි නම්, මෙම තත්වයට හේතුව වන්නේ අධිවෘක්කවල ඇතිවන විඩාවයි.

කෝටිසෝල් හෝමෝනය අධිවෘක්ක ග්‍රන්ථිවල එක්රැස්වීමෙන් මෙම වෙහෙසකාරී බව දනවන අතර එක දිගට පවතින මානසික ආතතිය නිසා මෙය හට ගැනෙනවා. හැබැයි ඉතින් දවසේ ම නිදිමත බවක් දැනෙනවා නම් ඒකට වෛද්‍ය විද්‍යාව කෙසේවෙතත්, සාමාන්‍ය ව්‍යවහාරයේ නම් කියන්නේ කම්මැලිකම කියලා.

4- හැලී යන කොණ්ඩය

(huffpost.com)

කොණ්ඩය හැලීයාම, දුර්වර්ණ වීම සහ සවිමත් බව නැතිවී යාම කියන්නේ නූතනයේ ඉතා බහුලව දක්නට ලැබෙන ආතතියේ ප්‍ර‍තිඵලයක්. ආතති තත්වයන් ඉතා ඉහළ ප්‍ර‍මාණයන්ට ගිය විට කොණ්ඩය හැලීයාම නිතර දකින්නට ලැබෙන්නට පුළුවන්. ඔබේ කාර්යාල මේසය මත කොණ්ඩ ගස් රැසක් දකින්නට ලැබීම හෝ ස්නානය කරන විට කොණ්ඩය ගැලවී යන හැටි මෙහිදී දැකිය හැකි වෙනවා.

දිගු කාලයක් ආතතියෙන් සිටීම නිසා තුනී බව වැඩි කොණ්ඩයෙන් හිස් කබල වැසී යනවා. එහෙත් මෙම තත්වයට බිය විය යුතු නැහැ. පරම්පරානුගත ලක්ෂණයක් නොවේ නම් මෙසේ ආතතිය නිසා නැතිවී යන කොණ්ඩය ආතති මට්ටම අඩුව යාමත් සමඟ නැවතත් ලැබෙනවා.

5- රුධිර සීනි මට්ටම පහත වැටීම

ඉහළ ආතති මට්ටම් ඔබේ රුධිරයේ සීනි මට්ටම බෙහෙවින් පහත හෙලනවා. මේ නිසා වෙවුලන අප්‍රාණික ගතිය, දුර්වල බව සහ බිස්කට් ආදිය කෑමට දැඩි ආශාවක් ඇති කරවනවා.

වැඩි වශයෙන් නිදි වැරීම හෝ උදෑසන ඇතිවන කෝටිසෝල් මට්ටම් නිසා ද මෙම තත්වය ඇති වෙනවා. හැඟීම්වල ඇතිවන ක්ෂණික වෙනස්වීම්, හිටි හැටියේ ඇතිවන බියසුළු භාවය, හිසකැක්කුම, කැරකැවිල්ල සහ අවධානය ඒකාකාරීව පවත්වාගැනීමේ අපහසුතා මෙම අඩු රුධිර සීනි මට්ටම් නිසා ඇති වෙනවා.

6- දෑතේ වෙවුලන ස්වභාවය

(mer-cury.com)

ඇඟිලිවල සහ දෑතේ ඇතිවන වෙවුලන ස්වභාවය සඳහා ද ආතතිය වගකියනවා. කාර්යබහුල බව වැඩි විටකදී වතුර පානය කරන්නට හෝ දුරකථනය අතට ගත් විටදී ඔබට දෑතෙහි එක දිගට වෙව්ලීමක් දැනිය හැකි අතර පෑනක් භාවිතා කරමින් කටයුතු කරන කෙනෙක් නම් එය භාවිතයට ද අපහසුතාවයන් ඇති වන්නට පුළුවන්.

මෙය ද සෞඛ්‍යමය වශයෙන් මහත් අගතියක් සිදු නොකළත් තව දුරටත් කාර්යාලයීය කටයුතු කිරීමට බාධාවක් විය හැකි නිසා සිත තැන්පත් කරගෙන කළ යුතු දේ වෙත අවධානය යොමු කිරීම හෝ කෙටි විවේකයක් ලබා ගැනීම කළ යුතුයි.

7- නිතර හැදෙන සෙම්ප්‍රතිශ්‍යාව

(thesinusdoctor.com)

ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිය බිමට ඇද දමන්නට තරම් හැකියාවක් මානසික ආතතියට තිබෙනවා. එමගින් විශබීජවලට ඔබේ ශරීරයේ ආධිපත්‍යය ලබාගන්නට ඉඩ සලසා දෙන නිසා මානසික ආතතිය ඉහළ මට්ටම් වලින් අත්විඳීමේදී සෙම්ප්‍රතිශ්‍යාව සහ පසුව උණ රෝගයන් ද නිතර ඇතිවීමේ සම්භාවිතාවය ඉහළ යනවා.

වෛද්‍ය කැරොලින් ඩීන් පවසන්නේ, “ඔබේ ප්‍රතිශක්තිය, කාය බලය, සංස්ථිතිය සහ සෞඛ්‍යය හොඳින් පවත්වා ගන්නට නම් අධිවෘක්ක ඉතා හොඳින් ක්‍රියාකාරී මට්ටමේ පවත්වා ගත යුතුයි.”

ඉතින් ඔබ මානසික ආතතිය පාලනය කරගෙන අඩු කරගතහොත්, ලෙඩවෙලා වැඩටික අවසන් කරගන්නට නොහැකි වේයැයි නැවතත් ආතතිය ඇති කරගන්නවා වෙනුවට කරන්නට ඇති දේවල් එකින් එක අවසන් කරගෙන කාර්යාලයේ හොඳ නමක් වගේ ම හොඳ සෞඛ්‍යමත් ජීවිතයකටත් දොරගුළු හැරගන්නට හැකිවේවි.

මූලාශ්‍ර‍: WebMD, stress.org

Related Articles