නත්තලට මතක් වන අපේ පල්ලිවල අපූරු සිරිත්

නත්තල් කාලෙ උදාවුණත් මෙදා පාර ලෝකෙටම එහි අසිරිය විඳගන්න බාධක වැටිලා. කොවිඩ් වසංගතය හමුවේ අධ්‍යාත්මික නත්තලක් ගැන ආගමික නායකයන් උපදෙස් දෙනවා. ඒ අතරතුර තවමත් කරත්තවල නැගී ගොස් පල්ලියේ මංගල්ලයට සහභාගිවන දහස් ගණනක ජනකායක් සිටින බව ඔබ දන්නව ද? අපෙන් වැඩිදෙනෙක් නොදත් පෞරාණික රසබර කතෝලික සිරිත් විරිත් කිහිපයක් ගැන ඉතිහාසය පීරා සොයාගත් විස්තර ටිකක් ඔබට කියන්න යි මේ උත්සාහය.

කට්ටිමහනේ කරත්ත මංගල්ලයේ හැඩ

කරත්ත මංගල්ලයට පැමිණෙමින්-silumina.lk

අගෝස්තු මාසෙ දි මාදම්පේ දුම්මලසූරිය කට්ටිමහන ශාන්ත ආනා පල්ලියට ගොන්කරත්ත සිය ගණනක පෙරහරක් එවනවා. මේ කරත්ත අලංකාර ලෙස සරසලා ජැන්ඩියට හැඳගත් බාල තරුණ මහළු අයගෙන් පිරිලා. අපට මතක් වන්නේ අවුරුදු සීයකට විතර ඉස්සර කාලෙ ගිය වන්දනා ගමන්. හැබැයි මේ අයගේ අතේ නම් තියෙන්නෙ ස්මාට් ෆෝන්. මෙච්චර නවීන යුගයේ මාදම්පේ පැත්තේ කතෝලික ජනතාව වගේම බෞද්ධ ජනතාවත් කට්ටිමහනට ගොන්කරත්තවල එන්නේ පල්ලියේ වාර්ෂික මංගල්ලයට සහභාගි වීමට යි.  මෙම දෙව්මැඳුර කැප කර තිබෙනුයේ ශාන්ත ආනා මුනිවරියට යි. ශාන්ත ආනා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ මව වූ කන්‍යමරියතුමියගේ මෑණියන්.

මංගල්ලයේ අවස්ථාවක්- michael fb page

කට්ටිමහනේ මංගල්ලයට ගොන් කරත්ත තුන්සියක් පමණ එක පෙළට පැමිණෙනවා. එය අවට ජනතාවට අපූරු පෙරහරක් වගේ.  ඒ නිසාම පල්ලියේ මංගල්ලය හඳුන්වන්නෙත් කරත්ත මංගල්ලය කියල යි.

මංගල්ලය කාලය මුළු කට්ටිමහනම අමුතු සිරියකින් බබලන සමයක්. පල්ලියට යන මඟ දෙපස පොල්වතුවල තාවකාලිකව අටවාගත් කූඩාරම් දැකගත හැකියි. ඇතැම් කූඩාරම් ඉදිරිපිට කීපදෙනෙක් එක්වී රාත්‍රී ආහාරය පිසිනවා. ඇතැම් තැනෙක වටේම සිටින දරුවන්ට එකම පිඟානකට බත් බෙදාගෙන කවන කාන්තාවන් දකින්න ලැබෙනව. තවත් තැනෙක දිගේලි කළ ගවයන් තණ උලාකනවා.

කට්ටිමහන සාන්ත ආනා දේවස්ථානයේ ජෙරම් පෙරේරා ප්‍රධාන පියතුමා සිළුමිණ පුවත් පතට වසර කිහිපයකට පෙර ඒ ගැන මෙසේ පවසා තිබුණා.

“මම පුංචි කාලේ, ඒ කියන්නේ අවුරුදු පහක් හයක් කාලේ, මේ මංගල්‍යයට ඇවිල්ලා තියෙනවා. ඒ මගේ අම්මා තාත්තා ඥාතීන් සමග. ඒක හරි සුන්දර අත්දැකීමක්. ළමයින් හැටියට අපි මේ පරිසරයේ පුදුම නිදහසක් ලැබුවා. අපි පුංචි කාලේ මේ පැත්තේ විදුලිය තිබුණේ නැහැ. ලන්තෑරුම් අරගෙන තමයි එන්නේ. ඒ කාලේ පල්ලිය තිබුණේ පොල් අතු සෙවිලි කරලා. තාත්තා අපිව එක්කගෙන එන්නේ කරත්තයෙන්. ඒ කරත්තය තමයි හවසට කරත්ත පෙරහරේ යන්නෙත්. ලංකාවෙන්ම මේ සිද්ධස්ථානයේ පමණයි කරත්ත මංගල්‍යය තියෙන්නේ. ඒ කාලේ පල්ලියේ මංගල්‍යයට පියතුමා එන්නෙත් ආපසු යන්නෙත් කරත්තයෙන්.”

 කට්ටිමහන ශාන්ත ආනා පල්ලිය- youtube.com

අද කට්ටිමහන ප්‍රදේශයේ වාසය කරන්නේ  එක්දහස් අටසිය ගණන්වල මුහුදුබඩ ප්‍රදේශවලින් ගොවිතැන් කිරීම සඳහා පැමිණි ජනතාව යි. අද පොල්වතු පිරී තිබුණත් එකල මෙම ප්‍රදේශ පැවතුණේ ඝන කෑලෑ වශයෙන්. ඔවුන් වනය කපා දමා හේන් වගා කරගත්තා.  ඔවුන් සිය ආරක්ෂාව පතා දෙවිඳුන්ට යාඥාකිරීම සිදුකළා. තම ආගමික ආගමික කටයුතු සඳහා පොල්අතු සෙවිලි කළ වරිච්චි බිත්ති සහිත ගොඩනැඟිල්ලක් ද ඉදිකරගත්තා. පසුව 1898 අවුරුද්දේ දී මට්ටාකොටුව මීසම් පාලක ජෝන් පහමුනේ පියතුමා මුල්වී ලබාගත් ඉඩමක තමයි පල්ලිය තනවා තිබෙන්නේ.  

දේවස්ථානය පටන් ගත් කාලයේ දී  සුරුවම් ප්‍රවාහනයට එක්වූ කරත්ත පෙරහර තමයි අද දක්වා නොකඩවා දැකගත හැකි කරත්ත පෙරහරට මුල්වී තිබෙන්නේ. මංගල්‍යයට සතියකට පමණ පෙර සිට පැමිණෙන ජනතාව අවට ඉඩම්වල කූඩාරම් ගසාගෙන නතර වෙනවා.

නමුත් කොව්ඩ් අවදානම හමුවේ පසුගිය අගෝස්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ 125 වැනි වාර්ෂික ජුබිලි මංගල්ලය වෙනදා මෙන් සරුවට පැවැත්වීමට අවස්ථාව ලැබුණේ නැහැ. කරත්ත පෙරහරත් නොපැමිණි අතර කූඩාරම් ගැසීමත් නවත්වා තිබුණා.

පේවී යන මරද මඩු වන්දනාව

මඩු දේවස්ථානය- amazinglanka.com

පෞරාණික වැවකින් සමන්විත, කුඹුක් ගස් බහුල ගම මරුද මඩු නම් වුණා.  දමිළ බසින් “මරුද” යනු කුඹුක් ගස්වලට කියන නමයි. “මඩු” යනු වැව හෙවත් ජලාශය යන්න යි. ලංකාවේ විශාල පිරිසක් වන්දනාමාන කරන්නේ මඩු පල්ලිය හා තලවිල පල්ලිය යි. මරුද මඩු වන්දනාව කියූ සැනින් අපගේ  මතකයට එන්නේ වර්ෂයක් පාසා අගෝස්තුවේ ලංකාවේ සතරදිග් බාගයේම කතෝලික බැතිමතුන් එකතු වන මහා මංගල්ලයක්. මන්නාරමට ආසන්නව අලි කොටි ගැවසෙන මහා වනයෙන් වටවුණු මඩු පල්ලියට කතෝලිකයන් පුරාණයේ වන්දනාවේ ගියේ බෞද්ධයන් ශ්‍රීපාද වන්දනාවේ යනවා වගේ. සැබෑ කතෝලිකයෙක් නම් මරදමඩු පල්ලිය වැඳපුදාගත යුතු බවට මතයක් පවතිනවා.

මංගල්ලයට පැමිණි ජනතාව- ucanews.com

මඩු වන්දනාව ඇරඹීමට පෙර ජනතාව ඉටුකරන්නා වූ සිරිත් විරිත් බොහොමයක් තිබෙනවා. එයින් පළමුවැන්න තමයි,  ගමේ තමන් අයිති මීසමේ දේවස්ථානය වෙත ගොස් බාරහාර වී ඉටිපහන් දල්වා ගමනට ආශිර්වාදය ලබා ගැනීම. අසල්වැසියන් සියලුදෙනා සමග සුහදශීලිව, හා මිත්‍රශිලිව අමනාපකම් මඟහැර දමා හොඳහිත වර්ධනය කර ගනිමින් වන්දනාවට සරිලන ලෙස පේවීම තවත් සිරිතක්. මෙහිදී වැඩිහිටියන් තම දුවාදරුවන්ට ආසිරි ලබා දෙනවා. ඒ වගේම කටවරද්ද නොගන්නා ලෙස ද ඔවුනට උපදෙස් දෙනවා.

මරදමඩු දේවස්ථානය මරිය මව්තුමිය වෙනුවෙන් කැපවුණු ප්‍රධාන දේවස්ථානයක්. සෑම වසරකම අගෝස්තුවේ පැවැත්වෙන මංගල්‍යය සඳහා ලක්ෂ තුනකට අධික බැතිමතුන් සංඛ්‍යාවක් ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම වගේ වනගත මඩු පල්ලියට රොක් වෙනවා. තාවකාලික මඩු කූඩාරම්වල දින ගණනාවක් රැඳී සිටිමින් දේව මෙහෙයන්වලට සහභාගි වෙනවා. කොටි ත්‍රස්තවාදී තර්ජන නිසා වර්ෂ ගණනාවක් නැවතී තිබූ මඩු මංගල්ලය 2009 මැයි 18 වැනිදා යුද්ධය අවසන් වූ පසු නැවතත් ආරම්භ වුණා. මඩු මාතා ප්‍රතිමාව නැවත ගෙනවිත් මඩු පල්ලියේ තැන්පත් කෙරුණා. පල්ලිය මන්නාරම දියෝකීසියට අයත්ව, කතෝලික සභාවෙන් පාලනය වෙනවා. මඩු දේවස්ථානය 2018 අගෝස්තු මාසයේ පූජා භූමියක් ලෙස ජනාධිපතිවරයා විසින් නම් කෙරුනා.

මඩු මාතා ප්‍රතිමාව- amazinglanka.com

ඕලන්ද යුගයේ කතෝලිකයන්ගේ ප්‍රධානතම වන්දනා ස්ථාන අතුරින් වන්නියේ දේවමාතාවන්ට කැපවූ සිද්ධස්ථාන දෙකෙන් එකක් ලෙස මඩු සිද්ධස්ථානය සැලකෙනවා. ක්‍රි.ව. 1705 දී ජුසේ වාස් මුනිතුමා මේ ප්‍රදේශයේ ධර්මදූත සේවය පේද්‍රෝ ෆෙරාඕ පියතුමා හට පැවරූ බව සඳහන්.

මඩු මංගල්‍යය ආරම්භ කෙරී ඇත්තේ 1870 ජුලි මාසයේ 2 දා යාපනයේ එවකට සිටි බිෂොප්වරයා විසින්. එහෙත් එකල අද මෙන් විශාල මඩු පල්ලිය තිබුණේ නැහැ. මැටිවලින් තැනූ පල්ලියක් තමයි තිබූ බව පැවසෙන්නේ. පල්ලියට මුල්ගල තබා ඇත්තේ 1876 දී යි.

තලවිල කූඩාරම් මංගල්ලය

තලවිල දේවස්ථානය- youtube.com

පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටියට ආසන්නව පිහිටි තලවිල ශාන්ත ආනා පල්ලිය කතෝලික බැතිමතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එකතුවන තවත් පූජනීය ස්ථානයක්. තලවිල වෙරළ ආසන්නයේ ඉදිකර ඇති දේවස්ථානය අක්කර විස්සක පමණ භූමි ප්‍රමාණයක විහිදී තිබෙනවා.

මංගල්‍යයට පැමිණ ගස්යට නවාතැන් ගනිමින්- newcarolyn.worgpress.com

කොළඹ පුත්තලම මාර්ගයේ ගමන් කරන විට, පාලවිය හන්දියෙන් වමට හැරී කල්පිටිය මාර්ගයේ කිලෝමීටර් 31 පමණ ඉදිරියට ගමන් කළ පසු තලවිල පල්ලිය හමුවෙනවා. ලුණු ලේවායන්, ධීවර ගම්මාන, ඉස්සන් කොටු හා පොල්වතු මෙන්ම කරවල වාඩි ද සහිත ගම්මානයක පුත්තලම් කලපුවත් ඉන්දීය සයුරත් අතර හමුවන බිම් කඩෙහි ශාන්ත ආනා දෙව්මැදුර පිහිටා තිබෙනවා.

ශාන්ත ආනා ප්‍රතිමාව –  amazinglanka.com, Nishan Werasooriya

ජනප්‍රවාදයට අනුව, ශාන්ත ආනා නැමැති පෘතුගීසි නැවක් ආසන්න මුහුදේ ගමන් කරමින් සිටිය දී මන්නාරම වෙරළට ඔබ්බෙන් පිහිටි වැලි කන්දක හැපී මුහුදුබත් වුණා. අනතුරුව නැවෙහි තිබු බඩු බාහිරාදිය අතහැර දැමූ නැවියන් එහි තිබූ සුරුවමත් රැගෙන වෙරළට පීනාගෙන ආවා. එසේ රැගෙන ආ සුරුවම දැවැන්ත නුග ගසක  බෙනයක තැන්පත් කර තිබෙනවා. මෙකී තැන්පත් කිරීම 1703 ආසන්න කාලයක දී කර ඇතැ යි පැවසෙනවා. 

1739 වසරේ දී මේ ස්ථානයේ පොල් අතු සෙවිළි කළ දේවස්ථානයක් ඉදිකර ඇති අතර පසුව එය විශාල කර තනවා තිබෙනවා. වර්තමාන දෙව්මැදුර 1837 දී පමණ ඉදිකර ඇතැ යි සඳහන් වෙනවා. තලවිල පල්ලිය පුරාණයේ සිටම ප්‍රසිද්ධව ඇත්තේ සිතූපැතූ දේ ඉටුකර සිද්ධස්ථානයක් හැටියට යි. සමහර කතෝලිකයන්  බවබෝග ආරක්ෂා කර ගැනීමටත්, දරු සම්පත් ලබා ගැනීමටත්, පවුල් ජීවිත සුරක්ෂා කර ගැනීමටත් මේ පල්ලියට පැමිණ භාරහාර වෙනවා.

පල්ලිය ඉදිරිපසින් පෙනෙන අයුරු–  amazinglanka.com, Nishan Werasooriya

ලක්ෂ පහළොවකට අධික පිරිසක් චතාරික මංගල්‍යයටත්, අගෝස්තු මස මංගල්‍යයටත්  දේවස්ථාන භූමියට රොක් වී කඳවුරු බඳිනවා. ඒ එන අයට අවශ්‍ය නවාතැන් පහසුකම් සපයන්න ගොඩනැඟිලි කිහිපයක් තියෙනවා. ඒවා ප්‍රමාණවත් නැති නිසා කූඩාරම් දහස් ගණනක් අක්කර විස්සකට ආසන්න භූමියේ  ඉදිකරනවා. ඒ කූඩාරම්වල සති දෙකක් පමණ කාලයක් පවුලක් සේ සරල ජීවිතයක් ගත කරනවා. මේ නිසා තලවිල මංගල්ලය කූඩාරම් මංගල්ලය කියලත් හඳුන්නවනවා. කතෝලිකයන් පමණක් නොවේ, බෞද්ධ හා හින්දු, මුස්ලිම් ආගම්වල අයත් මේ මංගල්ලයට එක්වනු දැකගත හැකියි. මේ අවට ධීවර ගම්මානවල ධීවරයෝ වාරකන් සමය නිමා කොට යළි ධීවර රැකියාවට පිටත්ව යන්නේ පල්ලියේ මංගල්‍යය නිමාවීමත් සමග යි.

Related Articles