Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පෝෂ්‍ය පදාර්ථ රැසක් සහිත වට්ටක්කා

ශ්‍රී ලාංකිකයින් වැඩිමනක් අවස්ථා වල දී ප්‍රධාන ආහාරය වශයෙන් බත් හා ව්‍යංජන භාවිතා කරනවා. එම ව්‍යංජන අතරින් බහුතරය විවිධ එළවළු වර්ගයන්. ශ්‍රී ලාංකීය ගැමි බත්පතක බොහෝ විට අඩංගු වන එළවළුවක් ලෙස වට්ටක්කා හඳුන්වන්නට පිළිවන්. ලාංකේය පැරණි ගැමියා මෙහි පෝෂ්‍ය ගුණය පිළිබඳ විද්‍යාත්මක පදනමකින් නොදැන සිටියත් ඒවා ආහාරයට ගැනීමෙන් තම ශරීරයට සිදුවන යහපත ගැන ඔවුන් අත්දැකීමෙන් දැන සිටියා. ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනා ආශාවෙන් රස විඳින වට්ටක්කා ව්‍යංජනයක ගැබ් වූ පෝෂ්‍ය හා සෞඛ්‍යමය ගුණ පිළිබඳව මේ ලිපිය තුලින් ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කළා.

ශ්‍රී ලාංකීය ක්‍රමයට පිළියෙල කරගත් වට්ටක්කා- ankierenique.wordpress.com

වට්ටක්කා පිළිබඳ හැඳින්වීමක්

කුකබිටේසි කුලයට අයත් වට්ටක්කා පිළිබඳ ඉතිහාසය මීට වසර 7.500 ක් තරම් ඈතකට දිව යනවා. මෙහි නිජ භූමිය මධ්‍යම ඇමෙරිකාවේ මෙක්සිකෝව වන අතර, පසු කාලීනව දේශ ගවේෂකයන් විසින් මේ ‘අමුතු’ හැඩයක් ගත් විශාල මෙන්ම ප්‍රණීත ඵල හටගන්නා වැල් වර්ගය සිය රට වලට ගෙන යනවා. ඔවුන් මේවා බොහෝ විට බඩඉරිඟු වැනි භෝග සමඟ එකට වගා කොට තිබෙනවා. ලොව පුරා වට්ටක්කා ප්‍රභේදයන් කිහිපයක්ම හමු වනවා.

වට්ටක්කා ඒකගෘහී හෙවත් එකම ශාකයක පිරිමි හා ගැහැණු මල් පූදින වැල් විශේෂයක්. මෙහි පුං හා ජායා පුෂ්ප වෙන් කොට හඳුනාගත හැකි අතර පුං හෙවත් පුරුෂ මල් පීදී කෙටි කලෙකින් ගැහැණු මල් පූදිනවා. මේවා පරාගණය විය යුතු අතර බොහෝ විට කෘමි සතුන් මඟින් එය සිදු වෙනවා. කෙසේ නමුත් ආර්ථික භෝගයක් ලෙස මහා පරිමාණයෙන් වට්ටක්කා වගා කරන විට පරාගණය සිදු කෙරෙන්නේ කෘත්‍රිමව යි. වට්ටක්කා ඵලය ඉතා විශාල වන අතර, සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 4-6 පමණ වන ඵලත් හමු වනවා. කලාතුරකින් කිලෝග්‍රෑම් 25 ක් පමණ වන ඵලත් වාර්තා වී තිබෙනවා. ප්‍රමාණයෙන් කුඩා හා පැණි රසින් වැඩි ප්‍රභේදයන් ද තිබෙනවා.

වට්ටක්කා පිරිමි පුෂ්පය (දකුණේ) හා ගැහැණු පුෂ්පය -randomfeelngsandweirdthoughts.blogspot.com

වට්ටක්කා වල පෝෂ්‍ය ගුණය

වට්ටක්කා පෝෂ්‍ය ගුණයෙනුත් ඉතා ඉහළ යි. මේවා ප්‍රතිඔක්සිකාරක හා විටමින් වලින් පොහොසත් වන අතර අඩු කැලරි අගයක් ගන්නවා. සාමාන්‍යයෙන් පිසින හෝ තම්බන ලද වට්ටක්කා අඬු කෝප්පයක ප්‍රමාණයක ප්‍රෝටීන ග්‍රෑම් 1.76 ක් ද, තන්තු ග්‍රෑම් 2.7 ක් ද, මේදය ග්‍රෑම් 0.17 ක් ද, ග්‍රෑම් 12.01 ක් ද අන්තර්ගත වන අතර මෙහි අඩංගු වන්නේ කැලරි 49ක ශක්තියක් පමණයි.

මීට අමතරව වට්ටක්කා අඬු කෝප්පයක, දෛනික නිර්දේශිත අගය මෙන් දෙගුණයක් විටමින් A ද, 90% ක් විටමින් C ද අන්තර්ගත වෙනවා. මීට අමතරව සැලකිය යුතු මට්ටමකින් විටමින් E, රයිබොෆ්ලෙවින්, තයමින්, විටමින් B 6, ෆෝලේට, පැන්ටොතෙනික් අම්ලය, හා නියැසීන් යන විටමිනත්, පොටෑසියම්, තඹ, මැංගනීස්, යකඩ, මැග්නීසියම්, ඇලුමිනියම්, හා පොස්ෆරස් යන ඛණිජ ලවණත් සැලකිය යුතු ප්‍රමාණයකින් අන්තර්ගත වෙනවා.

වට්ටක්කා වල සෞඛ්‍යමය ගුණ

වට්ටක්කා ආහාරයට ගැනීමෙන් ඉහළ පෝෂණය ලැබෙනවා මෙන්ම ශරීරයේ සෞඛ්‍යයත් ඉහළ නැංවෙනවා. මේවා ආහාරයට ගැනීමෙන් ළඟා කරගත හැකි සෞඛ්‍යමය වාසි බොහොම යි.

lovelygreens.com

ශරීරයේ බර අඩු කර ගැනීමට

වට්ටක්කා කෙඳි බහුල ආහාරයක්. මේ නිසා අනෙකුත් ආහාර වට වඩා එහි ජීර්ණ ක්‍රියාවලිය සිදු වන්නේ සෙමිනුයි. මේ නිසා වට්ටක්කා ආහාර මාර්ගයෙහි වැඩි වේලාවක් රැඳී පැවත, කුසගින්න ඇතිවීම අවම කරනවා. එසේම වට්ටක්කා අඩු කැලරි ප්‍රමාණයක් ශරීරයට දායක කරන නිසා ශරීර බර අඩු කර ගැනීමට වෙහෙසෙන අයවලුන්ට ඉතා සුදුසු ආහාරයක්.

ඇස් පෙනීම වැඩි දියුණු කර ගැනීමට

වට්ටකා වල තැඹිලි පැහැයට හුරු කහ පැහැය ලබා දෙන්නේ එහි අඩංගු බීටා කැරොටින නිසා යි. මේවා ශරීරගත වූ විට විටමින් A නිපදවෙනවා. විටමින් A මිනිස් ඇසෙහි දෘෂ්ඨි විතානයේ පැවැත්මට ඉතා වැදගත් සංඝටකයක්. ලිපියේ පෙර සඳහන් පරිදි වට්ටක්කා එක් කෝප්පයක ප්‍රමාණයක් මඟින් ශරීරය තුල දෛනික නිර්දේශිත අගය මෙන් දෙගුණයක විටමින් A නිපදවිය හැකි යි. වට්ටක්කා වල අඩංගු ලුටෙලින් හා සියාසැන්තීන් යන ප්‍රතිඔක්සිකාරක මඟින් ඇසෙහි සුද ඇතිවීම අතුළු අක්ෂි රෝග කිහිපයක්ම ඇතිවීම වලක්වනවා.

ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට

zipzapinsights.com -වට්ටක්කා වල යහමින් බීටා කැරොටින් අඩංගුයි

වට්ටක්කා වල අඩංගු බීටා කැරොටීන වලින් ශරීරය තුල දී සංස්ලේෂණය වෙන විටමින් A, ශරීරයට වැළඳෙන විවිධ ආසාදනයන්, වෛරස හා බැක්ටීරියා මඟින් වැළඳෙන රෝගයන් වලට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිශක්තීකරණ පද්ධතියට උදව් සපයනවා. වට්ටක්කා වල යහමින් අඩංගු විටමින් C සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගාබාධ වලින් සහනය සලසනවා.

සමෙහි තරුණ බව රැක ගැනීමට

වට්ටක්කා වල ඉතා වැඩි ප්‍රමාණයක් අඩංගු බීටා කැරොටීන හිරුගෙන් වැටෙන පාරජම්බුල කිරණ මඟින් සමට වන හානිය අවම කරනවා. මේ නිසා සම රැළි වැටීම අවම වී, තරුණ බව රැකෙනවා. මේ නිසා වට්ටක්කා නිතරම පාහේ ආහාරයට ගන්නා අයවලුන්ගේ සමෙහි දීප්තිමත්භාවය හා සුසිනිදුකම මෙන්ම තෙතමනය ද යහමින් පවතිනවා. ඒ හේතුවෙන් ඔවුනගේ තරුණ පෙනුම රැකෙනවා.

පිළිකා අවදානම අඩු කිරීමට

විවිධ වට්ටක්කා ප්‍රභේද-backyardchickencoops.com.au

වට්ටක්කා වල අඩංගු බීටා කැරොටින කිහිප ආකාරයකින්ම මිනිසුන්ගේ ශරීර සෞඛ්‍යය වැඩි දියුණු කිරීමෙහි ලා උපකාරී වෙනවා. ඇසේ නිරෝගී භාවය, සමෙහි තාරුණ්‍යය රකින බීටා කැරොටින ඉන් නොනැවතී පිළිකා ඇති වීමේ අවදානමත් පහත හෙළනවා. විශේෂයෙන්ම වට්ටක්කා වල අඩංගු ප්‍රතිඔක්සිකාරක, මුක්තඛණ්ඩක භක්ෂණය කොට උදාසීන  කිරීම නිසා පිළිකා වලට මුල් වන සෛල ඇති වීමේ අවදානම පහත හෙළෙනවා.

දියවැඩියාව පාලනය කිරීමට

ඉතාම මෑතක දී කළ පර්යේෂණ කිහිපයක ප්‍රතිඵල අධ්‍යයනයෙන්, වට්ටක්කා ආහාරයට ගැනීමෙන් රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය අඩු විය හැකි බවට විද්‍යාඥයින් මත පලකරනවා. දැනට හඳුනාගෙන ඇති පරිදි වට්ටක්කා ශරීරයේ ඉන්සියුලින් නිපදවීම කාර්යයක්ෂම කරන බවට සාක්ෂි ලැබී ඇති නමුත්, එය තවමත් පර්යේෂණාත්මකව නිශ්චිත වී නැහැ. දියවැඩියා රෝගීන්ට වට්ටක්කා ආහාරයට ගැනීම මඟින් ඇති වන අපහසුතා අවම යි.

මේ දිනවල වට්ටක්කා අස්වැන්නේ මිළ ඉතා පහත වැටී වට්ටක්කා ගොවීන් ඉතා දැඩි අසීරුතාවයන්ට මුහුණපාමින් සිටින බව ඇතැම්විට ඔබත් අසන්නට ඇති. ඉතින් ඔබට මේ දිනවල වට්ටක්කා ටිකක් වැඩිපුර මිළට ගැනීමට හා පරිභෝජනය කිරීමට හැකි නම් ඔබේ ශරීර සෞඛ්‍යය වැඩි දියුණු වී රෝගාබාධ වැළඳීමේ ඉඩකඩ අවම වනවා වගේම, රටට ආහාර සපයන ගොවීන් පිරිසකටත් එය සහනයක් සහ සහයෝගයක් වේවි.

කවරයේ පින්තූරය – Shutterstock

Related Articles