ඩිජිටල් මාධ්‍යවලටත් අභියෝග කළ හැකි රූකඩ නාට්‍ය කලාව 

රූකඩ නාට්‍ය සංදර්ශන 1970- 80 දශකවල ගම්වල පාසල්වල, පොදු ශාලාවල බහුල ව පැවැත්වුණා. මේ නාට්‍ය සංදර්ශන බොහෝ විට සතියක් තිස්සේ විවිධ රූකඩ කතා ප්‍රදර්ශනය කරමින් පැවැත්වුණා. නරඹන්නන් කඳුළු සලමින් ඇහැලේපොළ කතාව නැරඹු බවත් පැරැන්නන් පවසනවා.

අද වනවිට ඒවා දකින්නට ලැබෙන්නේ කලාතුරකින්. මේ නිසා පාරම්පරික රූකඩ නාට්‍ය ශිල්පීන් අසරණ වෙලා. රූකඩ නාට්‍ය කලාවේ වතගොත සොයන ගමන් එම කලාකරුවන්ට සිදුවූ විපත ගැනත් සොයන්න අපි හිතුවා.

රූකඩ කලාවේ අවස්ථා කිහිපයක්- ccf.gov.lk

රූකඩ පුරාණය

ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන පැරණිත ම කලා මාධ්‍යයක් ලෙස රූකඩ කලාව සැලකෙනවා. ශ්‍රී ලාංකේය රූකඩ රූපන කලාවේ මූලාරම්භය අනුරාධපුර යුගය තෙක් ඈතට දිවෙන බව වංශකතා සහ සාහිත්‍යමය මූලාශ්‍රවලින් පැහැදිලි වෙනවා. සමින් කළ රූකඩ විශේෂයක් පිළිබඳ මහාවංශයෙහි සඳහන් වෙනවා. ඒ තොරතුරුවලින් එවකට පැවති ඡායා නාට්‍ය කලාවක් හෙළි වන බව ඇතැමුන් පවසනවා.  

අප රටේ  රූකඩ කලාව සඳහා මූලික ආභාසය ලැබී ඇත්තේ ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයෙන් බවට සමහරුන් මත ඉදිරිපත් කරනවා.  මෑත කාලීන දකුණේ ප්‍රචලිත රූකඩ කලාව සැලකූ විට දකුණු ඉන්දියානු ප්‍රභවයක් ඒවා සතු බව පෙනී යන කරුණක්.  ඉන් අනතුරු ව යටත් විජිත කාලේ විදේශීය අනන්‍යතා ලක්ෂණ ද මුසු වී ශ්‍රී ලාංකීය රුකඩ කලාව  දියුණු වුණා. ලාංකීය ශිල්පීන් අතින් වැඩි දියුණු වී රූකඩ කලාව පසුගිය කාලයේ වර්ධනය වී තිබෙනවා.

රූකඩ චරිතවලට ඇඳුම් අන්දවමින්- unesco.org

රිටි රූකඩ, අත් රූකඩ, සෙවණැලි රූකඩ ආදී වශයෙන් විවිධාකාරයෙන් රූකඩ කලාව ලොව විවිධ රටවල පැතිරී තිබෙනවා. ඒ අතරින් අපේ රටේ ජන කලාවක් ලෙස වර්ධනය වුණේ නූල් රූකඩ යි.

වර්ෂ 2018 දී ලංකාවේ නූල් රූකඩ අස්පෘශ්‍ය ලෝක උරුමයක් ලෙස සලකන ලෙස ඉල්ලීමක් යුනෙස්කෝ සංවිධානයට ලැබී තිබෙනවා. එම ඉල්ලීම ලියාපදිංචි කර තිබුණත් තව ම එය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශිත ව නැහැ.

රූකඩ විනෝදය

කදුරු ලීයෙන් රූකඩය කපා  වර්ණ ආලේප කර  නූල් භාවිතයෙන් කලාකරුවකු සියුම් ව හැසිරවීමෙන් ප්‍රාසාංගික ව නාට්‍යානුසාරයෙන් රූකඩය ඉදිරිපත් කෙරෙනවා. ලීයෙන් තැනූ රූප නූල් යොදා ගනිමින් රූකඩ ශිල්පීයා එහි චලන අවශ්‍යතාව මත හසුරුවනවා. පිළිගත් නියමයන්ට හැඩතල සිරස් ව සහ තිරස් ව හැසිරවීමට නූල් නමයක් යොදා ගැනෙනවා.   

රූකඩ නාට්‍ය ජවනිකාවක්- Sithuwamathwela.blogspot.com

නූල් කැබලි කිහිපයකින් එකට යා කරන ලද දණ්ඩක සවි කර  තමයි රූකඩ චරිතය රඟපාවන්නේ. කඩහඬ පසුබිමෙන් වෙනත් අයෙක් පවසනවා. මේ සඳහා බොහෝවිට උපයෝගී කර ගත්තේ බෞද්ධ කතා තේමා යි. එය වැඩිපුර ප්‍රචලිත වුණෙත් ගම් පළාත්වල යි. ග්‍රාමීය ජනයාට එකට හිඳ විනෝදාස්වාදය ලැබීම සහ උපදේශන ලබාදීම රූකඩ නාට්‍ය කලාවේ පරමාර්ථය වුණා.

  රූකඩ කැපීම

රූකඩ කැපීම සඳහා සුදුසු වෘක්ෂ ලෙස තෝරාගත්තේ රුක්අත්තන වෙල් කදුරු, කිරිවල්ල ආදී ශාක යි. ඒ අතරින් බහුලව ම භාවිත වුණේ වෙල් කදුරු ලීය යි. එය ඉතා සැහැල්ලු දැවයක්. තෝරා ගත් ගස කැපීමත් චාරිත්‍ර අනුගමනය  කර සිදුකරන්නක්. ගස  කැපීමේ දී ගස මුල මල්, බුලත් තටුවක් ලබා පහන් දල්වා සුවඳ දුම් අල්ලා සඳුන් කිරිපැන් ඉස ගසට අරක් ගත් වෘක්ෂ දේවතාවෙක් වේ නම් ඉන් ඉවත් ව යන ලෙස කන්නලව් කිරීමෙන් පසු තමයි එය කපා ගත්තේ. කැපූ ගස කුට්ටි කර පොතු ඉවත් කර කිරි වියළෙන්නට කිහිපදිනක් තබනවා. 

රූකඩ කපන අයුරු- unesco.org

පසුව  අවශ්‍ය ආකාරයෙන් කොටස් කර සකස් කර ගන්නවා. මෙසේ කදුරු ලීයෙන් කපා ගන්නා රූකඩ වර්ණ ගැන්වීම සාම්ප්‍රදායික ක්‍රමවේදයට අනුව කරනවා. පැරණි රූකඩ ශිල්පීන් ඒ සඳහා ස්වභාවික අමුද්‍රව්‍යවලින් නිර්මාණය කර ගත් වර්ණ තමයි යොදා ගත්තේ.  මකුළු මැටි, හිරිගල්, සාදිලිංගම්, සිවම්ගුරු, ගුරු ගල් වැනි ද්‍රව්‍ය කජු ලාටු, දිවුල් ලාටු ආදිය සමඟ මිශ්‍ර කර ලීයේ ආලේප කර වියළීමෙන් පසු ඒ  මත දෙරණ තෙල් ආලේප කර දීප්තිමත් බවක් ඇති කර ගන්නවා. පසුගිය දශක කිහිපය තුළ  සාම්ප්‍රදායික වර්ණ තාක්ෂණය වෙනුවට වඩාත් පහසු කෘත්‍රිම සායම් භාවිතය එයට පැමිණ තිබෙනවා.

රූකඩ චරිත

ජනකතා, බෞද්ධ ජාතක කතා, ඓතිහාසික හැඟීම්බර කතා රූකඩ නාට්‍යවලදී ඉදිරිපත් කෙරෙනවා. වෙස්සන්තර ජාතකය, ඇහැලේපොළ  කතාව, අන්දරේ ආදිය ඉතා ජනප්‍රිය ව පැවති කතා තේමා යි. ඒ අතර සමකාලීන හාස්‍ය පුවත් ද රූකඩ නාට්‍ය ලෙස යොදා ගෙන තිබෙනවා.  රූකඩ අතර දෙවිවරු, මුනිවරු, රජවරු, ඇමතිවරු, රාජ බිසෝවරු, නාට්‍යාංගනාවන්, සේවක-සේවිකාවන්, පොලිස් නිලධාරින් මෙන් ම ගැමියන් ද හමුවෙනවා.

ඇහැලේපොළ දරු පවුල – vihindi.blogspot.com

ඇත්, අශ්ව, ගව, සිංහ, උරග, පක්ෂි ආදී සතුන් ද එහි දැකගත හැකි යි.   වීරයන්,   බිය සුල්ලන්, ආදරවන්තයන්, කපටින්, හොරුන්, මං පහරන්නන්, ශ්‍රමණයන් මෙන් ම යක්ෂයන් ද, රාක්ෂයන් ද යනාදී වූ කවරකු වුව ද  රූකඩ චරිතයක් බවට පත් කළ හැකි යි.

චරිතය සඳහා සුදුසු ලෙසට වස්ත්‍රාභරණ නිර්මාණය කර දැව රූකඩයට පැළඳවීම කරනවා. රූකඩ ක්‍රියාකරවන්නේ නූල්වලින්. මෙම නූල් හෝ කම්බි ප්‍රේක්ෂක ඇසට පෙනීම වැළැක්වීමට ඒවාට කළු පැහැය යොදා ගන්නවා.   

රඟදැක්වීම

නූල් රූකඩ රඟ දැක්වීමට  එයට ම සුවිශේෂ වූ වේදිකාවක් අවශ්‍ය වෙනවා. එම වේදිකාව තට්ටු දෙකකින් යුක්ත යි.  පහළ තට්ටුව ප්‍රේක්ෂකයා සඳහා විවෘත රූකඩය රඟ දක්වන වේදිකාවයි. එම වේදිකාව කොටස් තුනකට බෙදා තිබෙනවා. මැදින් පිහිටි  මධ්‍ය  වේදීකාව ප්‍රධාන දර්ශන සඳහා යොදා ගැනීම සිදුවෙනවා.

රූකඩ රඟදක්වන අයුරු පෙන්වමින් – uocfosrotaract.com

දෙපස වේදිකා අතුරු දර්ශන සඳහා යොදා ගැනීම සම්මත සිරිතක්. රූකඩයේ නූල් මෙහෙයවමින් රූකඩය නටවන්නා සිටින්නේ ඉහළ වේදිකාවේ තරමක් පිටු පසින්.  එහි කෙළවර වැටට බර දී සිටින රූකඩ ශිල්පියා රූකඩය නටවමින් චරිතයට අදාළ සංවාද ඉදිරිපත් කරනවා.

රූකඩ සඳහා යොදාගන්නේ නාඩගම් සංගීතයෙන් පොෂණය වූ සංගීතයක්.  සංගීතය සැපයීමට මද්දලය සහ සර්පිනාව යොදා ගන්නවා.

රූකඩ ජවනිකාවක් – news.lk

දකුණේ රූකඩ

රූකඩ නාට්‍ය දකුණූ මුහුදුබඩ මිරිස්ස,  අම්බලන්ගොඩ,  බලපිටිය වැනි  පෙදෙස්වල පාරම්පරික පවුල් කණ්ඩායම් කිහිපයක් සිදු කළ සංස්කෘතිකාංගයක්. සිංහල ගැමි නාටකය නම් කෘතියේ දී අදහස් දක්වන මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර  පවසන්නේ 1952 වසරේ ඔහු සිදුකළ පර්යේෂණයකට අනුව ශ්‍රී ලංකාවේ සිටි රූකඩ නාට්‍ය කණ්ඩායම් පහ ම අම්බලන්ගොඩ ප්‍රදේශයේ තිබෙන කණ්ඩායම් පහක්  බව හෙළිවූ බව යි.  වෙස්මුහුණු කැපීම හා සායම් කිරීම සිදු කළ කෝලම් නාට්‍ය  ශිල්පීන් ම රූකඩ ද කැපීම හා සායම් කිරීම සිදු කරන්නට ඇතැයි විශ්වාසයක්  පවතිනවා. 

යටත්විජිත යුගයේ මුල් කාලයේ ඇතැම් ලේඛනවල රූකඩ කලාව ගැන සඳහන් වෙනවා.  19 වන සියවසේ දි අම්බලන්ගොඩ පොඩිසිරිනා කලාකරුවාගේ මෙහෙයවිම යටතේ දක්ෂිණලංකා රූකඩ සංගමය පිහිටුවා රූකඩ ශිල්පීන් සංවිධානාත්මක කිරීමට උත්සාහ කළා. ඉන්පසු පරම්පරා කීපයක කලාකරුවෝ රූකඩ නාට්‍ය කලාව පෝෂණය කරමින් ඉතා උසස් ජන කලාවක් ලෙස එය ජනප්‍රියත්වයට පත් කළා.  මේ රූකඩ නාට්‍ය සංගම් මඟින් රට පුරා රූකඩ සංදර්ශන ඉදිරිපත් කිරීම සිදුවුණා.

යටත්විජිත යුගයේ මුල් කාලයේ ඇතැම් ලේඛනවල රූකඩ කලාව ගැන සඳහන් වෙනවා – puppeteersoflanka.com

පොඩිසිරිනා ගුරුන්නාන්සේ

1922 වසරේ දී බ්‍රිතාන්‍ය රජ පවුලේ වේල්ස් රජ කුමරු ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමියා. ඒ අවස්ථාවේ දී  කොළඹ බගතලේ වලව්වේ දී පොඩිසිරිනා ගුරුන්නාන්සේ  රූකඩ සංදර්ශනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබුණා. ලංකාවේ රූකඩ කලාව ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියක් ලැබීමට එය හේතුවුණා.

රූකඩ සංදර්ශන ගැන පැහැදුණු වේල්ස් කුමරු රන් පදක්කමක් සහ රුපියල් පන්සියයක මුදලක් පිරිනමා තිබෙනවා.  පොඩිසිරිනා ගුරුන්නාන්සේගෙන් ගෙන ගිය කොටස් 47 කින් යුත් රූකඩ කට්ටලයක් ජර්මනියේ මියුනික් නගරයේ කෞතුකාගාරයේ තිබෙන බව සඳහන් වෙනවා.

 අනාගතය අයහපත්

කොරෝනා වසංගතයෙන් පසු දකුණේ රූකඩ සංගම් ඉතා අසරණ තත්ත්වයට පත්වුණා. දැන් පවතින ආර්ථික අර්බුදය නිසා ඒ තත්ත්වය තවත් වර්ධනය වෙලා.  මේ නිසා පාරම්පරික රූකඩ ශිල්පීන් ඉන්නේ දැඩි ජීවිත දුෂ්කරතාවලට මුහුණදෙමින්.  රූකඩ  සංදර්ශන තිබුණා නම් තමන්ට කිසි ම ප්‍රශ්නයක් උදානොවෙන බව ඔවුන් පවසනවා. රූකඩ කලාවේ නිරත පාරම්පරික පිරිස් 100-150ක් අතර ප්‍රමාණයක් අම්බලන්ගොඩ, බලපිටිය අවට සිටිනවා.  රූකඩයක් කපා ගන්නට කදුරු ගහක් ලබා ගැනීමත් අද ප්‍රශ්නයක් බවයි ඔවුන් පවසනනේ. එම ගසට බලපත්‍ර නොදෙන බව පැවසෙනවා.  

රඟදක්වනු වෙනුවට විදේශිකයන්ට රූකඩ විකුණමින්- saffron srilanka tours  facebook page

රූකඩවලට සමාජයේ ඉල්ලුමක් පවතිනවා. එය නූතන ඩිජිටල් මාධ්‍යවලට අභියෝග කළ හැකි විනෝස්වාද මාධ්‍යයක්.  විදේශිකයන් ද රූකඩ නැරඹීමට උනන්දු යි. රූකඩ තනා සුද්දන්ට විකුණා ආදායමක් සොයන්නත් පුළුවන්. අදත් දකුණේ වෙරළබඩ මෙන් ම  දඹුල්ල, සීගිරිය ආදී ප්‍රදේශවලින් ඇවිත් තැනූ රූකඩ අලෙවියට රැගෙන යාම  සිදුවෙනවා. නමුත් ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් නම් නැහැ.

කවරයේ ඡායාරූපය - රජ බිසව රූකඩය-dinamina.lk
මූලාශ්‍ර:
ccf.gov.lk
silumina.lk
dinamina.lk
unesco.org

Related Articles