Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජලභීතිකාව ගැන දැනගනිමු

අනාදිමත් කාලයක සිට සුනඛයා මිනිසාගේ පරම මිතුරා ලෙස සැළකෙනවා. ගේ-දොර, වතු-පිටි, ඉඩ-කඩම් ආරක්ෂා කිරීම මෙන්ම ආදරය, ගෞරවය, හා ලෙංගතු කම ලබා දීමට ද ඔවුන් රුසියන්.

සුනඛයෙකුගෙන් මිනිසාට සැළසෙන යහපත අති මහත්. කෙසේ නමුත් ඔවුන්ගෙන් මිනිසාට සිදුවෙන අයහපතත් නැතුවාම නොවේ. මින් ප්‍රබලතම අයහපතක් වන්නේ මාරාන්තික රෝගයක් වන ජලභීතිකාව සුනඛයින්ගෙන් මිනිසාට බෝ විය හැකි ප්‍රවණතාවය යි. කෙසේ නමුත් වර්තමානය වන විට එන්නත් කිරීම තුළින් බොහෝ දුරට මේ අවදානම පහ කිරීමට නවීන විද්‍යාව සමත් වී තිබෙනවා. වර්තමානයේ තම සුරතල් සුනඛයාව ජලභීතිකාවෙන් ආරක්ෂා කර ගැනීමට මිනිසුන්ට හැකියාව තිබුණත්, මීට කලකට ඉහත දී එය ඉහළ මට්ටමේ අවදානමක් ගෙනදුන් රෝගයක් වුණා. අද වන විටත් ජලභීතිකා එන්නත් ලබා නොදුන් සුනඛයින්, බළලුන් වැනි සතුන් අයාලේ ගැවසෙන නිසා ලෝකයා ජලභීතිකා අවදානමෙන් සම්පූර්ණයෙන් මිදී ඇතැයි කියන්නට බැහැ.

මොකක්ද මේ ජලභීතිකා රෝගය?

ජලභීතිකා රෝගය හටගන්නේ රේබීස් නම් වෛරසය හේතුවෙනුයි. මොළය හා මධ්‍යම ස්නායු පද්ධතියට පහර දෙන මෙය, ක්ෂීරපායි සත්ත්වයෙකුගෙන් තවත් සත්ත්වයෙකුට ව්‍යාප්ත වන්නේ ආසාදනය වූ සත්ත්වයාගේ ඛේටය තවත් සතෙකුගේ රුධිරයට හෝ ශ්ලෙෂ්මල පටල වල තැවරී ඒවා ආසාදනය වීමෙන්. විශේෂයෙන් සමෙහි තුවාලයකට ආසාදනය වූ ඛේටය තැවරීමෙන් පහසුවෙන් ජලභීතිකාව සම්ප්‍රේෂණය වෙනවා. ශ්‍රී ලංකාව වැනි රට වල බොහෝ විට සුනඛයින් හේතුවෙන් ජලභීතිකාව පැතිරීම සිදු වූවත් නරින්, වඳුරන්, සාවුන්, වවුලන් වැනි ක්ෂීරපායී සතුන්ගෙන් ද මෙම රෝගය පැතිරීම සිදු වෙනවා.

mendocinocounty.org -ජලභීතිකාව පැතිරවිය හැකි සතුන්

ජලභීතිකාව ලොව සියළුම රටවල පාහේ පැතිරී තිබෙනවා. කෙසේ නමුත් මේ නිසා වැඩිමනක්ම මරණ සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ ආසියාව හා අප්‍රිකාව යන මහාද්වීප වලිනුයි.

රෝග ලක්ෂණ

ජලභීතීකා රෝගකාරකය ශරීරගත වූ වනම රෝග ලක්ෂණ මතු වන්නේ නැහැ. කෙසේ නමුත් රෝග ලක්ෂණ මතු වන්නට පටන්ගත් පසු එය ඉතා මාරාන්තික වන අතර රෝගියා බේරා ගැනීම උගහට යි.

ජලභීතිකාව වැළඳුණු සුනඛයෙක්- northhillanimalhospital.com

ජලභීතිකා රෝගයේ මූලික රෝග ලක්ෂණය ලෙස දින කිහිපයක් පවතින උණ ඇති වෙනවා. මේත් සමග සාමාන්‍ය වෛරස් උණක ලක්ෂණ පහළ වෙනවා. කෙසේ නමුත් දින කිහිපයක් ගත වූ පසු එම උණෙහි වැඩි වීමක් පෙන්නුම් කරන අතර, ඒ සමග හිසරදය, ඔක්කාරය, වමනය ඇති වෙනවා. රෝගියා කලබල හා ආතතියට ලක්වූ ස්වභාවයක් පෙන්නුම් කරන අතර කෙමෙන් කෙමෙන් දැඟලීමට ද පටන් ගන්නවා. මෙම ලක්ෂණ උපරිමයට පැමිණීමේ දී රෝගියාට ගිලීමේ අපහසුතා ඇති වන අතර මුවින් ඛේටය වෑස්සීමට පටන්ගන්නවා. අනතුරුව රෝගියා ජලයට විශාල භීතියක් දක්වන්නට පටන්ගන්නා අතර භ්‍රාන්තිමය තත්ත්වයක් ඇති වී විකාරරූපී දර්ශන පෙනීමට පටන්ගන්නවා. නිදි වර්ජිතව මේ තත්ත්ව වලට මුහුණ දෙන මේ තැනැත්තා අවසානයේ පක්ෂඝාතයට ලක් වී බොහෝ විට මිය යනවා. මේ හේතුවෙන් ජලභීතිකාව වැළඳුණු සුනඛ හෝ වෙනත් ක්ෂීරපායී සතෙකුගේ සැපීමකට හෝ සීරීමකට ලක් වූ අයෙකුට රෝග ලක්ෂණ පහළ වීමට ප්‍රථමයෙන් ප්‍රතිකාර ලබා දීම ඉතා වැදගත් වනවා.

ජලභීතිකාව වැළඳුණු දැරියක් -YouTube

අවදානම් සාධක

පෙර සඳහන් කළ පරිදි ජලභීතිකා රෝගය වැළඳෙන්නේ සුනඛයින්ගෙන් පමණක් නොවේ. විශේෂයෙන් යමෙකු ක්ෂීරපායී සතුන් හා නිතරම ගණුදෙණු කරන රැකියාවක නිරතව සිටියි නම් එම පුද්ගලයා ජලභීතිකා වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමකට ලක් වෙනවා. මීට අමතරව විද්‍යාගාර වල ජලභීතිකා හෙවත් රේබීස් වෛරසය සමග පර්යේෂණ කරන අයවළුන් ද වැඩි අවදානමක සිටින පුද්ගලයින් වෙනවා. යමෙකුගේ හිස හෝ ගෙල ආශ්‍රිතව තුවාල පවතියි නම්, ඔහු හෝ ඇය සතුන් සමඟ සමීපව ගැවසීම ද සිදු කරයි නම්, වඩා ප්‍රවේශම් විය යුත්තේ එම තුවාල වලට වෛරසය ආසාදනය වුවහොත් ඉක්මණින්ම මොළය කරා එය ගමන් කළ හැකි බැවිනුයි.

ජලභීතිකා එන්නත සොයා ගැනීම

ලුවී පාශ්චර් -biography.com

19 වන සියවසෙහි අග භාගය වන තුරු ජලභීතිකාව යුරෝපය තුළ සැබවින්ම භීතිකාවක්ව තිබුණා. හදිසියේවත් ජලභීතිකාව වැළඳුණු සත්ත්වයෙකුගේ සපාකෑමට ලක් වූ අයෙකුට එය ආසාදනය නොවී දිවි බේරා ගැනීමට කළ හැකිව තිබුණේ, හැකි ඉක්මණින් තුවාලය පිරිසිදු කොට ඉතිරිය දෙවියන්ට භාර කිරීමෙන් පමණයි. කෙසේ නමුත් ප්‍රංශ ජාතික විද්‍යාඥයෙකු වූ ලුවී පාශ්චර් ජලභීතිකාව වැලඳුණු සත්ත්වයින්ගේ ශ්ලේෂ්මල කොටස් වල වැඩී තිබූ වෛරස යොදාගෙන ඒ ඔස්සේ පර්යේෂණ සිදු කොට, ජලභීතිකාවට එරෙහි ප්‍රතිරෝධයක් ශරීරයේ ඇති වන පරිද්දෙන් එන්නතක් නිපදවීමට සමත් වෙනවා. ක්‍රි.ව 1885 දී ජලභීතිකාව වැළඳුණු සුනඛයෙකුගේ සපා කෑමට ලක් වූ ජෝසප් මෙයිස්ටර් නම් දරුවාට  එම එන්නත පාශ්චර් විසින් ලබා දෙන අතර ඔහුට එම රෝගය වැළඳෙන්නේ නැහැ. මෙය ඉක්මණින්ම ලොව පුරා ජනප්‍රිය වන අතර 20 වන සියවස මුල භාගයේදීම ලොව පුරා ජල භීතිකා එන්නත අවදානම් සහිත සත්ත්වයින්ට හා මිනිසුන්ට ලබා දීමට පටන් ගැණෙනවා.

ජලභීතිකාව වලක්වා ගැනීම

ජලභීතිකාව වැළඳුණු විට එය සුවකර ගැනීම කළ නොහැක්කක්. එබැවින් එය වළක්වාගැනීමට කටයුතු කිරීම වඩාත් නුවණට හුරු දේ වෙනවා.

තම නිවසේ ඇතිදැඩි කරන සුනඛයින් පමණක් නොවේ බිළාලයින්ටත් නිසියාකාරව ජලභීතිකා එන්නත ලබා දිය යුතු වෙනවා. මෙවා පළමු වරට පසු නැවත ලබා දිය යුතු සාමය පශු වෛද්‍යවරයාගෙන් අසා දැනගත යුතු වෙනවා. මීට අමතරව තම සුරතල් සුනඛයා හෝ බිළාලයා අයාලේ යන සතුන්ගේ සපාකෑම් හා පහරකෑම් වලට ලක් නොවෙන සේ ආරක්ෂා කරගැනීමත් වැදගත්.

සුනඛයින්ට නිසි කළ ජලභීතිකා එන්නත ලබා දිය යුතුයි -wagpets.com

තම ප්‍රදේශයේ අයාලේ යන සුනඛයින් වැනි සතුන් ගැවසෙනවා නම් ඔවුන් පිළිබඳව වගකිවයුතු පාර්ශව දැනුවත් කළ යුතු අතර, ඔවුන් වෙත ළං වීම හා අතපත ගෑම වැනි කටයුතු වලින් වැළකී සිටීම නුවණට හුරුයි. එමෙන්ම පශු වෛද්‍යවරයින් ඇතුළු සතුන් සමග නිතරම් ගැවසෙන පුද්ගලයින් නිස කලට වේලාවට ජලභීතිකා එන්නත ලබා ගැනීම ද සිදු කළ යුතු වෙනවා.

හදිසියේ හෝ ජල භීතිකාව වැළඳී ඇතැයි සැක ඇති සත්ත්වයෙකුගේ පහර කෑමට හෝ, කිසියම් ආකාරයකින් ජල භීතිකා වෛරසය තමාට ශරීරගත වූවායැ යි කුඩා හෝ සැකයක් ඇති වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමු විය යුතු අතර, රෝග ලක්ෂණ පහළ වීමට පෙර මූලික ප්‍රතිකාර ඇරඹීම ජීවිත අවදානමකට ලක් නොවීමට හේතුවක් වෙනවා. එමෙන්ම පහර දුන් හෝ සපාකෑ සත්ත්වයා පිළිබඳ අවධානයෙන් සිටීම හා දින කිහිපයක් තුළ එම සත්ත්වයා මියගියහොත් වෛද්‍යවරු දැනුවත් කිරීම ද අත්‍යවශ්‍ය යි.

කවරයේ පින්තූරය – northwoodanimal.com

Related Articles