සුද්දා අපිට උරුමකර දීපු දේවල් වලින් දෙයියනේ කියලා ලැජ්ජාවක් නැතිව අපි තාමත් පාවිච්චි කරන රේල්ලුව කොළඹ කේන්ද්‍ර කර ගනිමින් යාපනය, නුවර සහ මාතර යන දිශාවන් තුනම ආවරණය කරන දිගු අතීතයක් සහ බොහෝ දෙනෙක්ගේ මතකයන් ගබඩා කරපු යකඩ ගොඩක්. මේක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යකඩ ගොඩක් වෙන්නේ දුම්රියත්, රේල් පීලිත් යකඩ නිසාම නෙවෙයි, තැන තැන දිරලා ගියපු කොටස්, හරියට වැඩ නොකරන විදුලි පංකා, නැළවිලි ගීය වගේ ඩක-ඩක සද්දෙ, තොටිල්ලෙ දැම්මා වගේ දෙපැත්තට පද්දන ගතිය සහ ඇතැම් තැන්වලදී “තෝ නිදාගන්නවද නැද්ද” වගේ තොටිල්ල ගස්සලා නලවලා දාන ගතිය නිසාමයි. හැබැයි ඉතින් ඒ දේවල් කොහොම වුණත් ඒවා අතරතුරේ අපූරු, රසවත් අත්දැකීම් බොහොමයක් ගොනුවෙලා තිබෙනවා.

දුර ගමන් යන කෝච්චි බොහොමයක් උදේට තමයි පටන් ගන්නේ. ඒ වගේ ම රෑට ‘නයිට් මේල්’ එක හෙවත් තැපැල් සේවාවට විශාල සහයෝගයක් දෙන තැපැල් දුම්රිය, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගැනෙන පෙට්ටි සහිත කෝච්චි, තෙල් වැනි දේ සඳහා ප්‍රවාහනයට සැකසූ ටැංකි වැනි පෙට්ටි ආදියද සහිත කෝච්චි අපිට කියාපාන්නේ මගී ප්‍රවාහනයෙන් ඔබ්බට යමින් ඉතා විශාල කාර්යභාරයක් මේ සේවාව හරහා සිදු කෙරෙන බවයි. ප්‍රවේශ පත්‍රයේ දැරිය හැකි ඉතා අඩු මිළ නිසාත්, මාර්ග තදබද වළකා ගනිමින් පහසුවෙන් ගමන් යා හැකි නිසාත් බොහෝ දෙනෙක් තමන්ගේ ගමන් සඳහා දුම්රිය තෝරාගන්නවා.

සාහිත්‍ය දුම්රිය

(voyagees.com)

කාර්යාලය සඳහා කොළඹට ළඟාවන අය, අනුරාධපුර-යාපනය වැනි පළාත්වල සේවයට හෝ වන්දනාවේ යන අය, නුවර සිරි නරඹන්නට යන අය ආදී හැම කෙනෙක්ට ම පහසුවක් වන මේ දුම්රිය සේවාව සමඟ රචනා සාහිත්‍යය, ගීත සාහිත්‍යය මෙන් ම නිසඳැස් ද ඕනෑතරම් බිහිව තිබෙනවා. රේල් පීල්ල යනු ‘කිසිදා හමු නොවන’ යන්නට හොඳ උපමාවක් වන අතර ප්‍රේමය සඳහා එය බෙහෙවින් උපයෝගී වන්නේ නොගැළපෙන වයස්, එකල ප්‍රචලිතව පැවති කුල හා පන්ති භේද ආදියත් සමඟයි. හැබැයි ඉතින් මේ හමු නොවන ස්වභාවය එලෙසින්ම කඳුළක රසයක් ලෙසින් සිත් දාර ගන්නවා මිසක් මේ රේල් පීලි එක්කරන්නට ගියොත් නම් කෝච්චිය පෙරළෙනවා සත්තයි. ඒ වගේ ම රටේ ප්‍රධාන නගර තුනක් යා වන නිසා සහ ජාතීන් යා කරන නිසා දුම්රිය සාමයේ සංකේතයක් ලෙසින් ද හැඳින්වීමෙහි වරදක් නැහැ.

බොහෝ ගීත රචකයන් සහ සාහිත්‍යකරුවන් දුම්රියේ ගමන් කළ අය නිසාත්, ගමන් කළ යුතු කාලය දිගු නිසාත් නිදහසේ සොඳුරු කල්පනාවක නිමග්න වන්නට දුම්රිය ඉතාම හොඳ තැනක්. කොතරම් සෙනඟ හිටියත්, මොනතරම් කථාබහ වටපිටාවෙන් ඇහුණත් දුම්රියේ හඬ නිසා ඒ සියල්ල නිහඬ වන නිසා ජනේලය අසල ආසනයක හිඳගෙන දෙනෙත එපිටට විසි කළාම දැනෙන නිදහස අධි මිළ නිවාඩු නිකේතනයකින්වත් ලැබෙන්නේ නැහැ.

ගීත සාහිත්‍යය ගැන කථා කරනවා නම්, දුම්රිය ගැන ලියැවුණු ගීතයක් සඳහන් නොකර ම බැහැ.

කොළඹ දුවන්නියේ

හෙට පාන්දර ඇවිත්

මං එනතුරු ඉස්ටේසමේම නැවතී ඉඳපං

කීවාම මොකද බං

මට නම් බයත් හිතේ දැන්

උඹ වගේ ගමන් ගිහින් නෑනෙ මං

මේ ගීතයේ කියැවෙන්නේ මව්පියන් සමඟම රැඳුණු යුවතියක් දුම්රියෙන් කොළඹදී නව ජීවිතයක් අරඹන්නට දක්වන කුතුහලය පිළිබඳව යි. කොළඹ කියන්නේ ගමට වෙනත් රටක් මෙන් “කොළඹ රට” වන නිසා එහිදී කුමන ආකාරයේ දේවල් වලට මුහුණ දෙන්නට සිදුවනවාද යන්න කෝචිචයට තරම් ඇයට අත්දැකීම් නැහැ. ගීතය අවසානයේ එන “මඟ නොදැන ගිහින් මමත් පීලි පනීද මන්දා – අනෙ එහෙම වුණොත් මේ මෝඩිට හූ කියන්නෙපා” යන පද පේළිය හරිම රසවත්.

කළුතර පන්සලේ රාත්‍රී දර්ශනයක් (panoramio.com)

සුනිල් එදිරිසිංහයන් ගයන “පින්බර යාමේ සැවුලන් හඬලනවා” යන ගීතයේ ද “කොළඹ රේල්ලුව රජ ගමනට එනවා” යනුවෙන් දුම්රිය පිළිබඳ සඳහන් කරන අතර අළුයම ගැන කියද්දී දුම්රිය කියන්නේ අමතක කරන්නට නොහැකි දෙයක් බව මොනවට කියාපානවා. ඒ වගේ ම සේනානායක වේරලියද්දන්ගේ “පෙරුම් පුරාගෙන ආ සංසාරේ” ගීතය ද දුම්රිය ආශ්‍රිත දුක්ඛාන්තයක් සහිත කථාවක් ගෙන එන්නක් වන අතර එහි සංගීතය යොදා ඇත්තේ ද දුම්රිය නලාව වැනි දේවල් ආශ්‍රය කරගනිමිනු යි.

දුම්රිය නිසා ජීවිකාව ගෙවන අය පිළිබඳව “පාන තියා බුදු සාදුට හිමිදිරියේ” ගීතය සටහන් තබනවා. මේ අතර දුම්රිය නිසා ලැබෙන අත්දැකීම් හරහා නිමැවුණු ගීතයක් ලෙස අමරදේවයන්ගේ “පීනමුකෝ කළු ගඟේ” ගීතය දක්වන්නට පුළුවන්. එතුමන් උතුරු-දකුණු කළුතර අතර ගමන් කරද්දි පසුකරන කළු ගඟේ පාලම සහ කළුතර බෝධිය පිළිබඳව සිහිකරමින් එය රචනා කොට තිබෙනවා. ලේඛන සාහිත්‍යයේදීද මාටින් වික්‍රමසිංහයන් වැනි රචකයන්ගේ දුම්රිය වටා ගෙතුණු අත්දැකීම් බොහොමයක් කථාවලදී සහ ස්වයං චරිතාපදානයන්හි දකින්නට ලැබෙනවා.

ඇන්ජින් පිස්සෝ

දන්නවා නම් මේ ඇන්ජිමේ වර්ගය කියමු බලන්න? (newsfirst.lk)

සාමාන්‍යයෙන් කාර්, වෑන් රථ පිළිබඳව ආසාවෙන් ඒවායේ වර්ග හොඳින් මතක තබා ගනිමින් ශබ්දය ඇහුණත් මේ අසුවල් වාහනයය, එය නිපදවා ඇත්තේ මේ රටේය, මේ සමාගමේ ය කියලා කියන අය බොහොමයක් දකින්නට ලැබුණත් දුම්රිය එන්ජිමේ විවිධ වර්ග පිළිබඳවත් සොයා බලමින්, ඡායාරූප එක්රැස් කරමින් හොඳින් කරුණු සොයන අයත් ඉන්නවා. අපිට රතු කාර්, කළු කාර් හෝ යාල් දේවි, රුහුණු කුමාරි වගේ වුණත් ඔවුන් ඒ කෝච්චි හඳුන්වන්නේ ඇන්ජිමේ නමිනුයි. ඉතින් ඔවුන් කෙතරම් ඊට අැලුම් කරනවා ද කියනවා නම් තරහා නැතිව ‘පිස්සා’ යන වචනය පාවිච්චි කරන්නටම වෙනවා. බටහිර ටෙලිකතා මාලාවක් වන The Big Bang Theoryහි ෂෙල්ඩන්වත් මේ වෙලාවේ අමතක කරන්නට බැහැ.

දුම්රියේ පවුල

බස්වල යද්දී අපි ළඟ ඉන්න මනුස්සයාගේ මුහුණවත් බලන්නේ නැති වුණාට දුම්රියේ දිනපතා යන අයගේ නම් කණ්ඩායම් වශයෙන් හොඳ බැඳීමක් තිබෙනවා. ඔවුන් යන ගමන් කෑ හැකි කෑම වර්ග එකිනෙකාට දිනපතා මාරු වෙන් මාරුවට පිළියෙළ කරගෙන එන හැටි, කාර්යාලයේ දේවල් ගැන විහිළු තහළු කරගන්නා හැටි වගේම ඔවුන්ටම වෙන් කරගත් කෝච්චි පෙට්ටි සහ සීට්ද දුම්රියේ සංස්කෘතිය තුළ දකින්නට ලැබෙනවා. නන්නාඳුනන අය වුණත් වැඩි වේලාවක් එකට සිටින නිසාදෝ බස් රථවලට වඩා අන් අය සමඟ කුළුපග වීමට පෙළඹෙන අතර ජාති-ආගම් භේද කිසිවක් ඊට බලපාන්නේ නැහැ. ඒ විතරක්ම නොවෙයි, උදේ පාන්දරින් ම ගිහින් රෑ බෝ වෙලා එන නිසා නිවසේ පවුලක් ගත කරන්නට වෙලාවක් නැති නිසා දුම්රියේදී ගෙවෙන ප්‍රේම කථා ද නැතුවා ම නෙවෙයි.

කූල් වතුර – කූල් බීම 50යි

(viiphoto.com)

උදේ පාන්දර හයේ කෝච්චියෙන් ඇවිත් දවසේ ම වෙහෙසිලා, හෙම්බත් වෙලා නැවතත් හවස පැය තුන-හතරක ගමනකට සැරසෙද්දී දුම්රියේ ඉන්න බොහෝ දෙනෙකුගේ හොඳ පණ ගිහින්. ඉතින් මෙහෙම තොලකට වේලිලා ඉන්න වෙලාවට කූල් වතුර – කූල් බීම 50යි, ඉස්සො වඩේ – පරිප්පු වඩේ, දැන් බැදපු කජු-කජේ-කජේ කිය කියා කෑ ගහන වෙළෙන්දන් මෙන් ම හැඩි දැඩි වෙළෙන්දියන්ගේ කෑම හින්නි සීනි කුරුල්ලෝ සහ වතු මොටෙයියා කන දකුණේ මට කොතරම් සෞඛ්‍ය පාඩම් ඉගෙන තිබුණත් ඒවා මේ වෙලාවට නම් ‘අදාල නෑ. ඊට පස්සේ ගාල්ලෙදි නවත්වාගෙන ඉඳිද්දි එතනින් නෙස්කැෆේ එකක් බීලා උණුවෙන්ම රෝල් එකක් කන්න පෙළඹෙන්නෙත් හරියට මාතර කියන්නේ ඊළඟ නගරය කියලා දන්නේ නැතුවා වගේ.

උඩරට මැණිකෙට – පට කුඩ දෙක දෙක

(YouTube/The Team Traveler)

රේල් පීලිවල ඇති වෙනස්කම් නිසා දුම්රිය ගමන් කරද්දී ඒවායේ වැටි වැටී යනකොට විවිධ ශබ්ද ඇතිවෙනවා. මේවා අතරේ ඉතා සුලබ හඬක් වන “උඩරට මැණිකෙට – පට කුඩ දෙක දෙක” ශබ්දය විශේෂයෙන් දුම්රිය මාර්ගයන් අතරින් ඉතා ම සුන්දර මාර්ගය ලෙසින් හැඳින්වෙන කොළඹ සිට උඩරටට දිවෙන මාර්ගයේදී අසන්නට පුළුවන්. මේ මාර්ගය පුරාම ඇති කොළ පැහැය, රත්මල්වල හැඩගැන්වුම, බිංගෙවල් තුළින් යද්දී දැනෙන අපූර්ව හැඟීම මෙන් ම අපේ ඉංජිනේරු තාක්‍ෂණයෙන් හැදුනු දෙමෝදර ආරුක්කු පාලම එහි රසවත් බව, සුන්දර බව වඩවන අතර එක එල්ලේ කන්දක් නගිනවාට වඩා පහළ සිට ඉහළට බැඳෙන ජටාවක් ලෙසින් ගමන් කළොත් පහසුවෙන් මුදුනට යා හැකිය යන්න ලාංකේය අපේ මොළකරුවන් සුද්දන්ට ඉගැන්නුවේ ද මේ මාර්ගය බිහිවන අවධියේයි

කුචු කුචු කෝච්චිය ගැන කසුකුසු බොහොමයි

කෝච්චි ගැන කථාව කෝච්චියක් තරම්ම දිග යි. ඒ ගැන ලියනවා නම් තුන්වැනි පන්තියේ ටිකට් එකෙන් දෙවැනි පන්තියේ යන අය, ටික්කෝ, කොටුව ඉස්ටේසමේ කළු තෙල් ගෑවුණු වේදිකාව, බඩු එහෙ මෙහ ගෙන යන පෝටර්වරු, නිදිමතේ කියන “පාළවේනි වේදීකාවට දෑං පෑංණි දූම්රිය” නිවේදන මෙන්ම අලින්ට වෙන කරදර‍ ගැනත් නිමක් නැතිව ලියන්නට පුළුවන්.

ඒත් අදට සිග්නල් නැති නිසා අපි දුම්රිය මඳකට නතර කරමු. ඒ අතරේ රියදුරු නැතිව යන කෝච්චි ගැනත් ටිකක් කල්පනාවෙන් ඉන්නවා හොඳයි.

කවරයේ පින්තූරය: wikimedia.org