Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හින්දි සිනමාවේ සදාතනික රොමෑන්ටික් තරුව: රාජේෂ් ඛන්නා

වර්තමාන හින්දි චිත්‍රපට කර්මාන්තයේ දැවැන්ත ම ප්‍රතිරූපය වන සුපිරි නළු අමිතාබ් භච්චන් තමන්ගේ ට්විටර් ගිණුමෙහි එක්තරා සටහනක මෙසේ සඳහන් කර තිබිණි.

“සුපර් ස්ටාර් කියන වචනය ඔහු වෙනුවෙන්ම නිර්මාණය කරන ලද්දක් කියා මට හිතෙනවා. මට නම් එය දැනෙන්නේ හැමදාමත් ඔහුගේම මිසක වෙනත් කිසිවකු සඳහා නොවේ කියායි . ඔහුගේ පරම්පරාවට සහ පසු පරම්පරාවන්ට ඔහුගේ ඇදහිය නොහැකි සිනමා සංසිද්ධීන් පිළිබඳ විස්තර කිරීමට හෝ තේරුම් ගැනීමට කිසි විටෙකත් නොහැකි වනු ඇත.”

කඩවසම් රාජේෂ් ඛන්නා – odishabytes.com

 

බොලිවුඩ් සිනමා කර්මාන්තය තුළ ඔහු අන්වර්ථ විශේෂණ නාම බොහෝමයකින් හැඳින්විණි. ප්‍රථම ඉන්දීය සුපිරි තරුව, ආදර කථාවේ පළමු රජු, පැෂන් පාෂා, බොලිවුඩ් සිනමාවේ කාර්ය බහුල ම සුපිරි තරුව, හින්දි චිත්‍රපටයේ සිවාජි ගනේෂන් ආදී නාම ඒ අන්වර්ථ විශේෂණ පද අතර විය. ඔහු රාජේෂ් ඛන්නා නම් වූ හින්දි සිනමාවේ දිදුළන සුපිරි තරුවක් විය. අතිශය සුන්දර කඩවසම් පෙනුමෙන් යුතු වූ,  මනරම් රංගන කුසලතාවක් ප්‍රකට කළ ඔහු හමුවේ සිනමා රසිකයෝ උමතුවට පත් වූහ. යොවුන් වියේ තරුණියන් තමන්ගේ සියුමැලි අතැඟිලි කපාගෙන ගලන ලේවලින් සින්දූර් තබා ගෙන ඔහුගේ ඡායාරූප සමඟ විවාහ වූ බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.

රසික ආකර්ශනය

ඔහුගේ මෝටර් රථය යම් තැනක නවතා තිබිණි ද එය කාන්තා තොල් ආලේපන සහිත හාදුවලින් වැසී ගියේ ය. කාන්තාවන් ඔහුට ලිපි ලියා එවුවේ තමන්ගේ ම රතු රුධිරයෙනි. ඔහු රඟපාන චරිතය චිත්‍රපටය තුළ මරණයට පත්වන්නේ නම් පිටපත වෙනස් කරන ලෙස ඉල්ලා රසිකයෝ උද්ඝෝෂණ කළහ. ඔහු සිනමා පටවල රඟපාන ආකාරය සියැසින් දැක බලා ගැනීමට රසිකයින් කෙතරම් විශාල සංඛ්‍යාවක් පැමිණියේ ද යත්, වරෙක ගීතමය ජවනිකා කීපයක් රූප ගත කිරීමට නියමිතව තිබූ “හවුරා පාලම” දර්ශන තලය රසිකයන්ගේ බරට කඩා වැටේවි ය යන බියෙන් එතැන රූපගත කිරීම අවලංගු කිරීමට පවා නිෂ්පාදකයනට සිදු ව තිබිණි. රාජේෂ් ඛන්නා අරපයා වූ මේ රසික ආකර්ශනය, මේ රසික උමතුව මින් පෙර බොලිවුඩයේ නොවූ විරූ අරුමයක් විය.

වර්ෂ 1942 දෙසැම්බර් මස 29 වැනිදා ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිත්සාර් නගරයේ රාජේෂ් ඛන්නා උපත ලැබූ අතර ඔහුගේ පියා ලාලා හිරානන්ද ඛන්නා සහ මව චන්ද්‍රාණි ඛන්නා නම් විය. උපතින් මාපියන්ගෙන් ඔහු ලත් නම වූයේ “ජටින් ඛන්නා”ය. ජටින් ඛන්නා “කාකා” නම් සුරතල් නාමයෙන් ද හැඳින්විණී.

බොලිවුඩ් සිනමාවට පිවිසීම 

පාසල් වියේ සිට ම රාජේෂ් පාසල් නාට්‍යවලට සම්බන්ධ විය. බොහෝ විට අන්තර්විද්‍යාල නාට්‍ය තරගවලට රංගනයෙන් ඉදිරිපත් වී එම තරග ජයග්‍රහණය කරමින් ඔහු නාට්‍ය රංගනයට පිවිසියේ ය. ඉන් අනතුරුව වර්ෂ 1965 දී ෆිල්ම්ෆෙයාර් සහ යුනයිටඩ් යන නිෂ්පාදකයන්ගේ සංවිධානත්වයෙන් ඇරඹි සමස්ත ඉන්දීය කුසලතා තරගයෙන් ජය ලබමින් සිනමාවට මුල් වරට පිවිසීමට රාජේෂ් ඛන්නා වරම් ලබා ගත්තේ ය. වර්ෂ 1966දී “ආක්රී කාත් (Aakhri Khat)” චිත්‍රපටයෙන් ඔහුගේ සිනමා ආගමනය සිදුවිය.

රාජේෂ් ඛන්නාගේ ප්‍රථම සිනමා රංගනය – www.cinestaan.com

 

මේ චිත්‍රපටය චේතන් ආනන්ද් අධ්‍යක්ෂණය කළ අතර මෙහි රාජේෂ් ඛන්නා සමඟ රඟපෑ රංගන ශිල්පිනිය වූයේ ඉන්ද්‍රාණි මුකර්ජි ය. ආක්රී කාත් චිත්‍රපටයෙන් සිය මංගල සිනමා රංගනය ඉදිරිපත් කළ ඔහු එවකට සිනමාවේ ප්‍රකට නිළියක් වූ බබීතා සමඟ “රාස් (Raaz)” චිත්‍රපටයට දායක විය. එහෙත් ඔහුගේ මේ මුල් චිත්‍රපට දෙක ම සිනමාව තුළ එතරම් සාර්ථකත්වයක් අත්ඊ කර ගන්ලනට සමත්ඟ නොවිණි. 1967 දී තිරගත වූ “බහරොන් කෙ සප්නෙ (Baharon Ke Sapne)”චිත්‍රපටයේ ඔහු ඉදිරිපත් කළ රංගනය පිළිබඳ විශාල අවධානයක් යොමු විය. නසාර් හුසේන් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ය. රංගනයෙන් රාජේෂ් ඛන්නා සමඟ ආශා පරේක්, ප්‍රේම්නාත් වැනි නළුනිළියෝ එයට දායක වූහ.

60 දශකයේ අගභාගය පමණ වින විට රාජේෂ් ඛන්නා බොලිවුඩ් සිනමා කර්මාන්තයේ බොක්ස් ඔෆීස් වාර්තා පිට පිට ම බිඳහෙළන අග්‍රගණ්‍ය සිනමා වීරයා මෙන්ම රොමැන්ටික් තරුව බවට ද පත් ව සිටියේ ය. රසිකයන් අමන්දානන්දයට පත් කරමින් ඔහු 1967 දී ම රංගනයෙන් දායක වූ “ඕරාත්( Aurat) චිත්‍රපටය ද ඉමහත් ජනප්‍රියත්වයක් ලැබී ය. මෙහි රාජේෂ් ඛන්නා සමඟ පද්මිණි, ප්‍රාන්,ෆෙරොස් ඛාන්, රඟපෑ අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ එස්.එස්. වාසන් ය. ඉන් අනතුරු ව ප්‍රේක්ෂයන් උමතු කරවන චිත්‍රපට දෙකකට ඔහු රංගනයෙන් දායක වූ අතර ඒවා “කාමෝෂි (Khamoshi)” සහ “ආරාධනා” නම් විය. ෂර්මිලා තාගෝර් නම් සුරූපී නිළිය සමඟ ආරාධනා චිත්‍රපටයේ ඔහු ද්විත්ව රංගනයක යෙදුණු අතර අද්විතීය සුන්දර රඟපෑමක ද නිරත විය.

Aradhana: How Rajesh Khanna zoomed to superstardom!
රාජේෂ් ඛන්නා රඟපෑ ආරාධනා – www.dnaindia.com 

රාජේෂ් ඛන්නා රඟපෑ චිත්‍රපට

වර්ෂ 1969ත් 1971 අතරතුර කාලයේ රාජේෂ් ඛන්නා රඟපෑ චිත්‍රපට අතිශය ජනප්‍රියභාවයට පත්විය. රඟපෑ එම චිත්‍රපට නිසා හින්දි සිනමා ක්ෂේත්‍රයේ ඔහුගේ නම කිසිදා නොමැකෙන අයුරින් සටහන් කරගන්නට ඔහු සමත් විය. වර්ෂ 1969 දී රඟපෑ ආරාධනා, දෝරාස්තේ,බන්ධන්,ඩෝලි, වැනි චිත්‍රපට ද, 70 දශකයේ ඔහු සිය රංගනයෙන් ඔපවත් කළ සච්චාදූතා,කටිපතන්,ආන් මිලෝ සජ්නා, සෆර්, ආනන්ද්, ද ට්‍රේන්, හාති මේරේ සාති, දුශ්මන්, මර්යාදා, අන්දාස්, අමර්ප්‍රේම් වැනි චිත්‍රපට ද ඉමහත් ප්‍රේක්ෂක ආකර්ශනයට ලක්විය. වර්ෂ 1972 දී ඔහු රඟපෑ අප්නා දේශ්, 1973 වර්ෂයේ දී රඟපෑ ඩාග්, නමක් හරාම්,  1974 දී රඟපෑ ප්‍රේම් නගර්, ආප් කී කසම්, රොටි වැනි චිත්‍රපට ද, ඔහු බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රයේ හිණිපෙත්තට ම නංවා තබන්නට සමත් සිනමා නිර්මාණ විය.

වර්ෂ 1976 පසු කාල පරිච්ඡේදයේ දී රාජේෂ් ඛන්නාගේ සිනමා ගමනේ අවපාතය උදාවිය. ඔහු කෙරෙහි තිබුණු රසික සහ ප්‍රේක්ෂක ආකර්ශනය, උන්මාදය, ක්‍රමක්‍රමයෙන් හීන වන්නට පටන් ගත්තේ ය. එයට එක් හේතුවක් වූයේ රාජේෂ් ඛන්නාගේ පුද්ගලික ජීවිතය සහ ඔහු සිනමාව සමඟ ගනුදෙනු කළ හිතුවක්කාර ප්‍රතිපත්තිය මත ය. නිසි වේලාවට දර්ශන තලයට සහ රූගත කිරීම්වලට පැමිණිම ඔහු අතින් ඉටු නොවූ බව මූලාශ්‍ර සඳහන් කරයි. ප්‍රමාදවීම මෙන් ම ඉක්මන් කෝපය ද දර්ශන තලයේ දී ආරවුල් ඇතිකර ගැනීම ද නිසා ඛන්නා ගේ ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් පහත වැටිණි.

රාජේෂ් ඛන්නාගේ වෘත්තීමය රංගන ජීවිතය බිඳ වැටෙන්නට තවත් හේතුවක් වූයේ එවකට සිනමාව තිබුණු සම්ප්‍රදායික සෞන්දර්යවාදී, විනෝදාත්මක සිනමා ආකෘතිය බිඳගෙන වීරයන් කිහිප දෙනකු පෙනී සිටින ක්‍රියාදාම චිත්‍රපට නිෂ්පාදනයට බොලිවුඩ් සිනමා කර්මාන්තය යොමුවීම ය.

රාජේෂ් ඛන්නාගේ වෘත්තීය ජීවිතයේ මුණ ගැසුණු පළමු පෙම්වතිය –  www.ibtimes.co.in

 

රාජේෂ් ඛන්නාගේ ප්‍රේම ලෝකය සහ විවාහය

තම සිනමා දිවිය ආරම්භ කළ 60 දශකයේ අගභාගයේ දී ම රාජේෂ් ඛන්නා අංජු මහේන්ද්‍රා නම් සුප්‍රකට නිළිය සමඟ හාදකමක් ඇති කර ගත්තේය. එය ඔහුගේ වෘත්තීයමය ජීවිතය තුළ හටගත් පළමු පෙම විය. අංජු මහෙන්ද්‍රා සමඟ රාජේෂ් ඛන්නා පුරා වසර හතක පමණ කාලයක් ආදර සම්බන්ධතාව පැවැත්වූ අතර ඇයගේ මවට මෙන්ම රාජේෂ් ඛන්නාට ද ඔවුන් අතර විවාහයක දැඩි අවශ්‍යතාවක් තිබිණි.

1971 වන විට ඉතා වේගයෙන් පැතිරගිය කට කථාවකට අනුව අංජු මහේන්ද්‍රා ඔහුට ද හොර රහසේ එවකට බටහිර ඉන්දියානු කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් සමඟ රහසිගත සම්බන්ධයක් පවත්වා තිබිණි. ඒ හේතුවෙන් රාජේෂ් ඛන්නා දැඩි සිත් තැවුලට පත්ව සිටි අතර ඔවුන්ගේ සම්බන්ධය විවාහයකින් කෙළවර නොවී අතරමඟ නතර විය. අංජු මහේන්ද්‍රාගේ හැර යාමෙන් අනතුරු ව ඔහුගේ ජනප්‍රියභාවයේ උච්චත ම අවස්ථාවේ දී වර්ෂ 1973 දී බොබී චිත්‍රපටයෙන් ජනප්‍රියත්වයට පත්ව සිටි එවක දහසය හැවිරිදි ඩිම්පල් කපාඩියා සමඟ විවාහ විය.

රාජේෂ් ඛන්නාගේ විවාහක බිරිය ඩිම්පල් කපාඩියා – mahfil.in

 

ඔවුන් අතර විවාහය සිදුවන විට රාජේෂ් ඛන්නා, ඩිම්පල් කපාඩියාට වඩා වසර දහසයකින් පමණ වැඩිමහල් අයකු වී සිටියේ ය. එම විවාහයෙන් දියණියන් දෙදෙනකු ඔවුන්ට ලැබිණි. වර්ෂ 1984දී රාජේෂ් ඛන්නා සහ ඩිම්පල් කපාඩියා එකිනෙකා අතර ඇතිවූ ප්‍රශ්න හා ආරවුල් මුල් කර ගෙන විවාහ ජීවිතයෙන් වෙන්වූහ. එසේ රාජේෂ් ඛන්නාගේ පුද්ගලික ජීවිතය විවිධ හේතූ මත බිඳ වැටෙද්දී ඔහු තරුණ නිළියක වූ “ටීනා මුනිම්” සමග සබඳතාවක් ඇති කර ගත්තේ ය. එහෙත් පසුකලෙක ඩිම්පල් කපාඩියා ඔහු පිළිබඳ සොයාබැලූ අතර ඩිම්පල් කපාඩියා සහ රාජේෂ් හොඳ මිතුරන් ව රාජේෂ් ඛන්නාගේ මරණය දක්වාම සිටි බව වාර්තා වේ.

රාජේෂ් ඛන්නා සමඟ වැඩියෙන් ම රඟපෑ නිළියෝ සහ සිනමා මිතුරෝ

ෂර්මිලා තාගෝර්:

රාජේෂ් ඛන්නා සුරූපී ෂර්මිලා තාගෝර් සමඟ මුලින් ම රංගනයේ යෙදුණේ එවකට රිදී තිරය ගිනි දැල් වූ ගීත හා ජවනිකාවලින් සපිරුණු ආරාධනා සිනමා පටයෙනි. එම චිත්‍රපටයේ රංගනය උදෙසා ෂර්මිලා තාගෝර් හොඳ ම නිළිය සම්මානය ද ලබා ගත්තා ය. ඔවුන් දෙදෙනා එවක් පටන් හින්දි තිරයේ වඩාත් ජනප්‍රිය ම පෙම් යුවළ වශයෙන් රසික ප්‍රසාදයට පත්ව සිටිය හ. ආරාධනා, සෆර්, අමර්ප්‍රේම්, ඩාග් වැනි චිත්‍රපටවල ඔවුහු එකට රඟපෑහ.

රාජේෂ් ඛන්නා ෂර්මිලා තාගෝර් සමඟ -www.bollywoodbubble.com

 

මුම්ටාස්:

රාජේෂ් ඛන්නා සහ මුම්ටාස් මහා වැස්සේ රූගත කළ ගීතමය නැටුම් ජවනිකාවල බොහෝවිට පෙනී සිට ඇත. ඒවා රසිකයින් උමතු කරවන තරමට සෞන්දර්යයෙන් පිරි ජවනිකා ය. දෝරාස්තේ, බන්ධන්, සච්ඡාජූතා, ආපි කී කසම්, වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපටවල ඔවුන් එක්ව රඟපා තිබිණි.

ආශා පරේක්:

ආශා පරේක් සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රිය ව සිටි අවිධියේ ඔහු කණිෂ්ඨ නවක නළුවකු වූ අතර, මුල් යුගයේ දී හෝ පසු යුගයේ දී ඇය ඔහු සමඟ සමීප බවක් නොදැක්වූ බව වාර්තා වේ. බහරොන් කේ සප්නේ, කතිපතන්, ආන් මිලෝ සජ්නා වැනි චිත්‍රපට වල ඔවුහු එකට රඟපෑහ.

රාජේෂ් ඛන්නා හේමා මාලනි සමඟ –  www.dnaindia.com

හේමා මාලිනී:

රාජේෂ් ඛන්නා සමඟ වැඩි ම චිත්‍රපට ප්‍රමාණයක රඟපෑ නිළිය හේමා මාලිනි ය යි. ඒ අතර මෙහෙබූබා, ඩාර්ඩ්, කුද්රාත්, අන්දාස් වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපට බොහෝමයක් තිබේ.

සීනත් අමාන්:

1974 දී තිරගත වූ අන්ජාබී චිත්‍රපටය සඳහා රාජේෂ් ඛන්නා සහ සීනත් අමාන් මිනිත්තු හතරක් පුරා “හම්දොනෝ දෝ ප්‍රේමී” ගීතය ධාවනය වූ දුම්රියක වහළය මත සිට ගායනා කරමින් රඟපෑහ. ඔවුන් දෙදෙනා රිදී තිරය මත ඉතාම සාර්ථක පෙම්වත් යුවළක් වූහ. චායිලා බාබු, ආශික් හූන් බාරොන් කා, ජාන්වර්, වැනි චිත්‍රපටවලින් ඔවුන්ගේ සාර්ථක රංගන එළිදැක්විණි.

ටීනා මුනිම්:

වර්ෂ 1981 දී ” ෆිෆ්ටි ෆිෆ්ටි” චිත්‍රපටයෙන් ඔවුන් එක් ව රඟපාන්නට පටන් ගත්තේ ය. තිරයෙන් බැහැරව ද ඔවුන් දෙදෙනා කාලයක් පෙම්වතුන් ලෙස සිටි අතර සවුටෙන්, අලග් අලග් ඔවුන් රඟපෑ චිත්‍රපට අතරින් කීපයකි.

රාජේෂ් ඛන්නා, ගේ ඉතාම සමීප ළෙන්ගතු මිතුරන් ක්ෂේත්‍රය තුළ සිටියා නම් ඒ සුප්‍රකට ගායක කිෂෝර්කුමාර් සහ සුප්‍රකට සංගීත අධ්‍යක්ෂවරයකු වූ රහුල් දේව් බර්මන් ය. ඔවුන් තිදෙනා අතර වූයේ දැඩි ළෙන්ගතුකමක් සහ දිගුකාලීන මිත්‍රත්වයකි.

රහුල් දේව් බර්මන්-රාජේෂ් ඛන්නා-කිෂෝර් කුමාර්- අපූර්ව මිත්‍රත්වය – www.ndtv.com

 

ජීවිතයේ අවසාන භාගය

70 දශකයේ දිදුළන තාරකාවක් බවට පත් ව සිටි රාජේෂ් ඛන්නා 80 දශකය වනවිට කෙමෙන් කෙමෙන් ප්‍රභාව හීන වී ගිය අන්ධකාර තරුවක් බවට පත්විය. අනූව දශකය වන විට ඔහු බොලිවුඩ් සිහින අහසින් බැස ගියේ ය. ඔහු අනූව දශකයේ දී සිනමාව හා රිදීතිරය වෙනුවට දේශපාලනය තොරා ගත්තේ ය. වර්ෂ 1991 දී සහ වර්ෂ 1996 දී නවදිල්ලි මැතිවරණ කොට්ඨාශය ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයෙන් තරග කොට ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට ඔහු සමත් විය.

ජීවිතය කඩා වැටුණු අවස්ථාවල ඔහු මධුවිත සඳහා වැඩි වැඩියෙන් කාලය වැය කළ බව නොරහසකි. වර්ෂ 2011 ජූලි මාසයේ දී රාජේෂ් ඛන්නා පිළිකා රෝගයෙන් පෙළෙන බැව් සොයා ගැනිණි.

රාජේෂ් ඛන්නා මරණයට මුහුණ දෙමින් – www.indiaforums.com

 

ඒ සමඟ ම ඔහුගේ කායික ශක්තිය පිරිහෙන්නට වූ අතර කඩවසම් සුන්දර රූපය සැඟ ව ගොස් රෝගී පෙනුමක් ඔහු වෙතින් දිස් වෙන්නට විය. විටින් විට රෝහල් ගත කළත් පිළිකා මාරයාගෙන් රාජේෂ් ඛන්නාට ගැලවීමක් නොමැති විය. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායිහිදී හින්දි සිනමාවේ සදාතනික රොමැන්ටික් තරුව රාජේෂ් ඛන්නා සිය හැට නව වන වියේ දී,  2012 ජූලි මස 18 වැනි දින සදහට ම නිවී ගියේ ය.

කවරයේ ඡායාරූපය - indianexpress.com 

මූලාශ්‍ර: 

www.filmibeat.com

www.imdb.com

www.ndtv.com

odishabytes.com

www.thenationalnews.com

Related Articles