Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කවි ලියන හැමෝම කවියො නෙමෙයි – ප‍්‍රවීණ ගීත රචක රවී සිරිවර්ධන

සම්මානනීය ගේය කාව්‍ය රචක රවී සිරිවර්ධනගේ දෙවන ගේය කාව්‍ය සරණිය “ඉවුරු දෑලට එන්න” කෘතිය මාර්තු 23 වනදා සවස 3.00ට කොළඹ මහවැලි කේන්ද්‍රීය ශ්‍රවනාගාරයේදී පැවැත්වෙනවා. එම කාරණය අළළා රවී සිරිවර්ධනයන් සමගින් අපි  කළ සාකච්ඡාවක් මෙහි දැක්වේ.

ඉවුරු දෑලට එන්න කෘතිිය සම්බන්ධයෙන් මුලින්ම කතා කරමු…

(රවී සිරිවර්ධන)

පහුගිය අවුරුදු හතක විතර කාලයක් පුරාවට ලංකාවෙ විවිධ ගායක ගායිකාවන්ට ලියවුණු ගීතවල එකතුවක් හැටියට තමයි ඉවුරු දෑලට එන්න කෘතිය සම්පාදනය වෙන්නෙ. ගීත පනස් හයක් මේ පොතට ඇතුළත් වෙලා තිබෙනවා.

මීට පෙර මවිසින් පල කළ වසත් කාලය ගේය කාව්‍ය කෘතියට වැඩිය විශේෂත්වයක් තියෙයි කියලා හිතනවා. නමුත් වසත් කාලය කෘතියේ සිට මේ කෘතියට එනකොට තවදුරටත් ඒ සුභාවිත ගීතය ජනතාවත් එක්ක සම්බන්ධ වෙන මග තොට සියල්ල අහුරලා අවසන්. වසත් කාලය පොතේ ගීත පහක් විතර මිනිස්සු දැනගෙන හිටියා. නමුත් මේ පොතේ ජනප‍්‍රිය ගීත එකක් වත් නැහැ. ලංකාවේ සියලු මාධ්‍යය ආයතන ඒවා ජනතාවගෙන් ඈත් කරලා තිබෙනවා. ඒ අනුව සුභාවිත ගීතය වෙනුවෙන් කරන අරගලයේ ප‍්‍රතිඵලයක් විදියට අලුත් සංවාද මණ්ඩපයක් ගොඩ නගා ගන්න දරණ උත්සාහයක් මේක. නමුත් ඉතාම දුෂ්කර වැඩක්.

මිනිස්සු හිතන්නෙ සුභාවිත ගීතය තමන්ට බොහෝම ඈතින් තිබෙන දෙයක් හැටියට. ඇයි ඔවුන් සුභාවිත ගීතය පිළිබදව එහෙම හිතන්නෙ?

හුගක් අය සුභාවිත ගීත කියපුවාම බයයි. නමුත් සුභාවිත ගීතය කියන එකට බය වෙන්න ඕන නැහැ. සුභාවිත කියල කියන්නෙ යහපත් භාවිතාවට.

කලාකෘතියක් සැපිරෙන්න ඕන කොන්දේසි කිහිපයක් තිබෙනවා. එකක් තමයි කලාත්මක සෞන්දර්යය. දෙවැනි එක තමයි මානව ජීවිතය යථාර්ථවාදීව නිරූපනය කිරීම. ඒ කියන්නෙ මේ සමාජය වඩා යහපත් තැනක් බවට පත් කරන්න පුළුවන් උත්තේජනයක් ඒ කලා කෘතියෙන් සම්පාදනය වෙන්න ඕන. ගීතය පමණක් නොවෙයි සමස්තයක් විදියට කලාවම සුභාවිත විය යුතුයි. ඒ කියන්නෙ සහෘදයා ඥානනය කරන ගුණයෙන් යුක්ත විය යුතුයි. සම්‍යක් දෘෂ්ඨික විය යුතුයි. කලාව කියන දේ එය නිසැක වශයෙන්ම නිර්මාණාත්මක විය යුතුයි.

කලා කෘතියකින් ජනතාව ආමන්ත‍්‍රණය කරන්නේ දේශපාලඥයෙක් හෝ වෙනත් සමාජ ක‍්‍රියාකාරිකයෙක් ජනතාව ආමන්ත‍්‍රණය කරන විදියට නෙමෙයි. ඊට වැඩිය සෞන්දර්යාත්මක පසක පොළොවක ඉදන් තමයි කලාකරුවා ජනතාව ආමන්ත‍්‍රණය කරන්නෙ. ඒ නිසා තමයි ඒ කලාකෘතියෙ තිබෙන්නෙ වඩා ඉක්මනින් සමාජය අවශෝෂණය කිරීමේ ගුණය. ඒ නිර්මාණාත්මක ගුණය නිසා මිනිස්සු වහා අවබෝධයට පත්වීමේ ගුණය වැඩියි. එය මානව සම්බන්ධතා වැඩි දියුණු කරන ඒ මානව සම්බන්ධතා ඇතුළෙ මානව ජීවිතය වඩා සුපුෂ්පිත කරන තැනකට අරන් යන්න පුළුවන් විභවයක් ඒ කලාකෘතියෙ තියෙන්න ඕනෙ.

එබදු ගීතයක් ඇහුවම තමයි අපි හිතන මිනිසුන් බවට පත් වෙන්නෙ සහ අප තුළ කිසියම් රසයක් නිෂ්පාදනය වෙන්නෙ. සහෘදයාගෙ බුද්ධියට ආමන්ත‍්‍රණය කරන, බුද්ධියට ගෝචර වන, රසයට වග කියන ගීතයක් වෙද්ද අන්න ඒ ගීතය සුභාවිත ගීතය.

එතකොට සුභාවිත නොවන ගීත කියන්නෙ ඔය කියන ගුණයන් රහිත ගීත වලටද?

සුභාවිත ගීත නොවන ගීත කියන්නෙ නිර්මාණාත්මක රුව ගුණ අහිමි කර ගත්ත ගීත. තොල්ස්තෝයි කලාව කියල කිව්වෙ මිනිස්සුන්ගෙ විශිෂ්ඨතම මානව හැගීම් වලට. නමුත් දැන් අහෙන්නෙ මිනිස්සුගෙ ප‍්‍රාථමික හැගීම්. මිනිස්සුන්ගෙ ප‍්‍රාථමික හැගීම් ඇවිස්සීම තව දුරටත් සුභාවිත කලා භාවිතාවක් වෙන්නෙ නැහැ. අද හුගක් වෙලාවට ගුවන් විදුලි නාලිකා වලින් ප‍්‍රචාරය කරන්නෙ එවැනි ගීත තමයි. මේවායේ පද රචනා අරන් බැලූවොත් අතිශය නිසරු බොල් අදෝනා, චෝදනා පත‍්‍ර, වස් කවි. මේවයේ කලාව නැහැ. මේවා ප‍්‍රාථමික මනෝභාවයන්ට තමයි ආමන්ත‍්‍රණය කරන්නෙ.

උදාහරණයක් විදියට ඔබ ලියපු ‘සද ගිරි පවුව උසයි කිදුරා හරිම වසයි’ ගීතය ශ‍්‍රවණය කරන පුද්ගලයෙකුට ඒක තේරුම් ගන්න නම් සහෘදත්වය තිබෙන්නට ඕනෑ. සදකිදුරු ජාතකය පිළිබදව දන්නෙ නැති කෙනෙකුට ඔය ගීතය විදින්න බැහැ. එතකොට ඔය කියන සුභාවිත ගීත රසවිදින්න බැහැ නේද රසිකත්වයක් සහෘදත්වයක් නොමැති පුද්ගලයකුට. අන්න එවැනි ප‍්‍රශ්නයක් තිබෙනවා නේද මේ සමාජයේ?

ඒ ප‍්‍රශ්නය ඇති කරලා තිබෙන්නෙ මේ රටේ පාලකයන් විසින්. රසිකත්වය දියුණු සමාජයක ජනතාව දියුණු චින්තනයක් සහ දියුණු වින්දනයක් සහිත සහිත අය. රසිකත්වයක් තිබන සමාජයක් මේ වගේ පිස්සු කෙලින්නෙ නැහැ.

අපි ජීවත් වෙන සමාජ වටපිටාවෙ අපට පේන්නෙ අමු පිස්සු කෙළින සමාජයක්නෙ. පාලකයාගේ සිට පාලිතයා දක්වාම පිස්සු කෙළිනවා. දියුණු වින්දනයක් සහිත මිනිස්සු ඉන්නවා නම් අපිට මේ ගැන එච්චර කතා කරන්න දෙයක් වෙන්නෙ නැහැ. අපිට තිබෙන්නෙ ඒ අයත් එක්ක නිර්මාණාත්මක ගනුදෙනුවක් කිරීම පමණයි. නමුත් අපට එහෙම ශ‍්‍රාවක සමාජයක් නැහැ. එතකොට වෙන්නෙ කලාකරුවා පාවිච්චි කරන නිර්මාණාත්මක ක‍්‍රමවේදයන් ඒ අයට තේරෙන්නෙ නැහැ.

ඔබ කිව්වා වගේ සදකිදුරු ජාතකය කියන්නෙ පුරාණ කතාවක්. ඒ ජාතක කතාව මම නූතනයට අරගෙන ඇවිල්ලා ඒ අභාෂයෙන් නූතන සමාජ ජීවිතයේ ඇදවැටීම තමයි කතා කරන්නෙ. එතකොට ඒක තේරුම් ගන්න පුළුවන් රහක් තිබෙන රසික සමාජයක් අපෙන් දුරස් කරමින් ඉන්නවා පාලකයො.

කිසිම නූතන කියවීමක් සහිත සහෘදයෙක් බිහි නොකරන තැනට පාසල් අධ්‍යාපනය හැඩ ගස්වමින් ඉන්නවා. එතකොට ඉතින් සදගිරි පවුව කියවගන්න බෑ තමයි. ඒක පටන් ගන්නෙම අධ්‍යාපනයෙන්මයි. අධ්‍යාපන ප‍්‍රතිපත්ති සම්පාදකයෝ විසින් ඇති කරන මහා ව්‍යවසනයේ අවසාන ඵලය තමයි ගීතයක් අවශෝෂණය කර ගන්න බැරි ඉතාම නොදියුණු සහෘදයෙක් බිහිවීම. එහෙම සහෘදයෝ අපිට ඇහුම්කන් දෙයි කියල කියන්න අමාරුයි. ඒ අය අපට ඇහුම්කන් නොදුන්නට මේ ක‍්‍රමය ආරක්ෂා කරන නිසා ඒ අයගෙ ආශිර්වාදය පාලකයන්ට තියෙනවා.

පාලකයන්ට ඕනෙ නිර්මාණකරුවන්ට ඇහුම්කන් දෙන ජනතාවක් නෙවෙයි. පාලකයන්ට ලෙහෙසියෙන් අන්දවන්න පුලූවන් චින්තනය සිදගත් වින්දනය විනාශ කර ගත් සහෘද ප‍්‍රජාවක් තමයි ඒ අයට අවශ්‍ය. එතකොට රාජ්‍ය පාලනය ප‍්‍රශ්න කිරීමකින් තොරවම වැළද ගන්නා ශ‍්‍රාවක සමාජයක් තමයි නිර්මාණය වෙන්නෙ. අද උසස් පෙළ විෂය ගත්තොත් නිර්දේශය එහෙන් පිටින්ම කප්පාදු කරලා. රත්න ශ‍්‍ර‍්‍රී විජේසිංහගෙන් පස්සෙ නූතන කවියක් සිංහල විශය නිර්දේශයේ කවි පොතේ නැහැ. ඒ මට්ටමට කවිය කප්පාදු කරළා තිබෙන්නෙ.

ඒ කියන්නෙ ජනතාවට සමාජය ගැඹුරින් කියවාගත හැකි කලා ඉසව් සියල්ල කප්පාදු කරමින් ඉන්නවා. දැන් බද්දේගම තමයි උසස් පෙළ නවකතාවට දාන්න යන්නෙ. නූතන සාහිත්‍යය කුඩු පට්ටං කරළා විනාශ කරළා දාන්න තමයි මේ හදන්නෙ.

රටේ ජනමාධ්‍යයත් මේක තත්වයට වග කියන්න ඕන නේද?

රවී සිරිවර්ධනගේ ඉවුරු දෑලට එන්න කෘතියේ මුල් කවරය

මුදලාලිලා ටිකක් තමයි ලංකාවෙ සමස්ත මාධ්‍ය ක‍්‍රියාවලිය හසුරවන්නෙ. මුදලාලිට ඕන කරන්නෙ මේ රටේ රසිකයො හදන්නවත් පේ‍්‍රක්ෂකයො සංතෘෂ්ටිමත් කරන්නවත් නෙමෙයිනෙ.

ඒගොල්ලො යම් කිසි ආයෝජනයක් කරනවා ඒ ආයෝජනයට පෙරළා සල්ලි තමයි ඔවුන්ට ඕනෙ. මාධ්‍ය කියන්නෙ මිනිස්සුන්ගෙ සංස්කෘතික ජීවිතයේ මහා බල කණුවක් කියන එක ඔවුන්ට අදාල නැහැ. අද වෙනකොට මාධ්‍යවේදීන් කියල ජාතියක් නැහැ. පඩියට ඒගොල්ලන්ගේ උවමනාවන් ඉෂ්ඨ කරන පිරිසක් තමයි මාධ්‍යවේදීන් හැටියට පෙනී සිටින්නෙ. ඒ අය තමන්ගේ හාම්පුතා වියදම් කරන මුදලට උපරිම ලාබය ලබා දීම සදහා වන මාකටිං කැම්පේන් එක උපරිමයෙන් දියත් කරමින් ඉන්නවා.

එතකොට ඕක බද්ධ වන සමාජය අමු හරක් ටිකක් බවට පත්වෙනවා. ඊට පස්සෙ ඒ අය ගිහිල්ලා ඡන්දෙ දවසට ඒ පලාතෙ ඉන්න අමු තක්කඩියට මනාප දීලා එක කරලා ගෙදර එනවා. ඒක තමයි මේ යාන්ත‍්‍රනය ඇතුළේ අවසාන ඉලක්කය. එතකොට මේ අධ්‍යාපනය සහ මාධ්‍ය කියන ප‍්‍රධාන බලකනු දෙක කුඩු පට්ටම් කලාම සංස්කෘතික මිනිසා සම්පූර්ණයෙන් ඉවරයි. එහි ප‍්‍රතිඵලය අපි දැන් අත්විදිමින් ඉන්නවා. එවැනි තත්වයක අපි මේ උඩුගම් බලා යනවා. මේ සියල්ල අතරේ සුභාවිත ගීත අහන පිරිසක් රටේ ඉන්නවා කියල හිතාගෙන අපි මේ ලියනවා.

ගේය පද වලින් එහාට ගිය සංකල්පනාවන් අපිට කලාව ඇතුළෙ හමුවෙනවා. නමුත් එතුල පරිකල්පනයක් නැහැ. ප්‍රතිභාවක් පමණයි තිබෙන්නෙ. පරිකල්පනය කියන්නෙ ප්‍රතිභාවට වඩා දුරින් තිබෙන දෙයක් නේද?

මම හිතන්නෙ මෙහෙමයි. භාරතීය පඩිවරු කියල තිබෙන විදියට අපූරු වස්තු නිර්මාණය කිරීමේ හැකියාවනෙ ප‍්‍රතිභාව කියන්නෙ. මම හිතනවා එවැනි කිසියම්ම දෙයක් තිබෙනවා කියළා. ඒක සමහර විට විඥානවාදී අදහසක් වෙන්නත් පුලූවන්. කෙනෙකුට කියන්න පුළුවන් ඕනෙ කෙනෙකුට කවි ලියන්න නාට්‍ය ලියන්න පුලුවන් කියලා. පශ්චාත් නූතනවාදී මතවාද දරණ අය කිව්වා ප‍්‍රතිභාව කියල දෙයක් නැහැ. අධ්‍යයනය කරළා කවි ලියන්න පුළුවන් කියලා.

නමුත් මම හිතනවා ප‍්‍රතිභාව කියල දෙයක් තිබෙනවා. භාරතීය පඩිවරු කියන්නෙ ඒක ජන්මයෙන් ගෙනෙන වාසනා ගුනයක් හැටියට. ප‍්‍රතිභාව නැතුව වෙන කිසිම අංගයක් තිබුණත් කවි ලියන්න බැහැ කියලා භාරතීය පඩිවරු කියනවා. ඒකෙ ඇත්තක් තිබෙන බව මට දැනෙනවා. ඒගොල්ලො කියනවා අංග තුනක් නිර්මාණකරුවෙකුට ඕනැයි කියලා. ඒ තමයි ප‍්‍රතිභාව ව්‍යුත්පත්තිය සහ සතත අභ්‍යාසය. ප‍්‍රතිභාව නැති කෙනෙකුට කොයි තරම් ව්‍යුත්පත්තිය තිබුණත් කවියෙක් වෙන්න පුලුවන්ද කියන ප‍්‍රශ්නය තිබෙනවා. ව්‍යුත්පත්තිය කියල කියන්නෙ පොත පත සහ ජීවිතය ඇසුරින් ලබන ඥානයනෙ. එවැනි අය හුගක් ඉන්නවා සමාජයේ. හැබැයි ඒ අයට කවියෙකුට එන සිතුවිලි එන්නෙ නැහැ.

ඒගොල්ලන්ගෙන් අපූර්ව වස්තු නිර්මාණය වෙන්නෙ නැහැ. ඒගොල්ලො ඒ දැනුමෙන් ලිපියක් ලියයි සමාජය විග‍්‍රහ කරයි. හැබැයි නිර්මාණයට අවශ්‍ය පරිකල්පනය එන්නෙ නැහැ. ඒ නිසා මම හිතනවා ප‍්‍රතිභාව කියලා උත්පත්ති ලක්ෂනයක් තිබෙනවා කියල මම හිතනවා. අපූරු වස්තු නිර්මාණය කිරීමේ හැකියාව තමයි පරිකල්පනය කියල කියන්නෙ. පරිකල්පනය කියල කියන්නෙ තමන් තුළ ඇතිවන ඒ අපූරු කියවීම. කවිය කියන්නෙම පරිකල්පන විශේෂත්වය. කවියාගේ විශේෂත්වය භාෂාවේවත් වෙන මොකක්වත් නෙමෙයි. පරිකල්පනය උපදින මනස තමයි ප‍්‍රතිභාව කියන්නෙ. කවියො හරි දුර්ලභයි මේ සමාජයේ. ඔය ලියන හැමෝම කවියො නෙමෙයිනෙ. වචන ටිකක් ගැලපුවට කවියෙක් වෙන්නෙ නැහැ.

ඉවුරු දෑලට එන්න කෘතිය ගේය කාව්‍ය සංග්‍රහයක් වශයෙන් සදහන් කර තිබෙනවා. එතකොට ගේය කාව්‍ය සහ ගේය පද කොහොමද ඔබ අර්ථගන්වන්නෙ?

මම විශ්වාස කරනවා සෑම හොද ගීතයකම හොද කවියෙක් ඉන්නවා කියලා. ඒ කවියා නිසා තමයි ඒ ගීතය බැබළෙන්නෙ. නමුත් ගේය පද ලියන්න පුළුවන් ඕන කෙනෙකුට. කවියෙක් අපට එතන හම්බවෙන්නෙ නැහැ. එනිසා කවියෙක් අහිමිව පද ටිකක් ගොඩ ගසා ගත්ත ගීත තමයි අති බහුතරයක් තියෙන්නෙ.

නමුත් ගේය කාව්‍යක් කියල කියන්නෙ ඒ ගීතයේ ශරීරය ඇතුළෙ කවියෙක්ගෙ හෘදස්ඵන්දනය අපිට දැනෙන්න පටන් ගන්නවා. ඒ තුළ කවියෙක් ජීවත් වෙනවා. අන්න එතකොට ඒ කවිය අපිව රිද්දනවා. ඒ තමයි කවි කම.

අපිව සසළ කරන ගීත ඇතුලෙ කවියෙක් ඉන්නවා. ඒ තමයි ගේය කාව්‍ය. ඒ කවියා නිදහස අහිමි කර ගත්ත මිනිහෙක්. එයාට හැසිරෙන්න පුළුවන් සීමා මායිම් හරි සීමිතයි. එයාට අනෙක් කවියාට වගේ භාෂා නිදහසක් නැහැ. කාලය පිළිබද නිදහසක් නැහැ. භාෂාවේ තිබෙන වචන නිදහසක් නැහැ. ඒ කවියා හුගාක් සීමා මායිම් එක්ක තමයි ගනුදෙනු කරන්නෙ. මොකද එයා ලියන්නෙ ශ‍්‍රාවකයාට. අනිත් කවියා ලියන්නෙ පාඨකයාට. ස්ථර දෙකක්. එතකොට මේ සීමා මායිම් දෙක අදුරගෙන තමයි මේක ඇතුළෙ හැසිරෙන්න තිබෙන්නෙ. ගේය පද අපට අනන්තවත් මේ පාර තොටේ ඇහෙනවා. ඒවා වාක්‍ය රචනා ඉක්මවා යන්නෙ නැහැ. වාක්‍ය රචනාවක් අපට ඕනනම් පුළුවන් තනුවකට ගොනු කරන්න. ඒවා කතාකරන භාෂාවෙන් වෙනස් වෙන්නෙ සංගීතයක් ඇහෙන නිසා පමණයි. නමුත් කවියා ඉන්න තැන්වල ඊට වැඩිය අර්ථයක් ජනනය වෙනවා.

(රවී සිරිවර්ධන)

සංගීතය කියන්නෙ විශ්වීය භාෂාවක්. එතකොට ගීතය කියන්නෙ?

ගීතය කියන්නෙ සංගීතය නැමැති මහා සාගරයට වැටෙන පොඩි අතු ගංගාවක් කියන එක තමයි මගේ පුද්ගලික මතය. පොදු ජනතාව තමන්ගෙ වින්දනීය මාධ්‍යය හැටියට තෝරාගෙන තිබෙන්නෙත් මේ ගීතය. නාට්‍යයක් නම් වෙලාවක් වෙන් කරගෙන බලන්න යන්න ඕන. චිත‍්‍රපටයක් නම් ඒකටත් වෙලාවක් වෙන් කරගෙන බලන්න යන්න ඕන.

නමුත් ඒ සූදානම් වීම් අවම කර ගත්ත කලා මාධ්‍යය හැටියට ගීතය හදුන්වන්න පුළුවන් වෙන්නෙ. නමුත් සිම්පනීස් ඔපෙරාස්, කැන්ටාටා වගේ සංගීත ශානර වලට වෙනමම සූදානම් වෙන්න ඕන. එතකොට මිනිස්සු තමන්ට පහසුවෙන් පරිහරණය කරන්න පුළුවන් මෙවලම ලං කරගන්නවා.

නමුත් අනිත් කලාමාධ්‍යයත් තිබෙන්නෙ දුරස්ථව. ගීතය කියන්නෙ සංගීතයෙත් සාහිත්‍යයෙත් මිශ‍්‍රණයක් කියන එක තමයි මගේ පුද්ගලික මතය. සාහිත්‍යයක් එතනට ඕනෙ. නැත්නම් ලාල ලලා කිව්වත් හරිනෙ. සංගීත භාණ්ඩ විතරක් පාවිච්චි කරන්නත් පුළුවන්නෙ. භාෂාවක් පාවිච්චි කරනවානම් ඒ භාෂාව අර්ථපූර්ණ බවකින් කැටි වුණොත් තමයි සෞන්දර්යය උපදින්නෙ. නව ජීවන අරුත් නිෂ්පාදනය වෙන්නෙ ඒකෙන්.

සංගීතය සහ සාහිත්‍ය සංකලනය හරි මාත‍්‍රාවට ආවොත් තමයි අපිට හොද කලා කෘතියක් නිර්මාණය කර ගන්න පුළුවන් වෙන්නෙ. ගීතය සංගීතය ඇතුළෙ පුංචි ශාඛාවක් බව හැබෑව. නමුත් ඒ පුංචි ශාඛාවෙන් කළ හැකි බලපෑමක් තියෙනවා.

අපේ රටේ දැන් බුද්ධිමය දේපළ පනත ක‍්‍රියාත්මක වෙනවා. එහි තිබෙන තර්කාණුකූල භාවය ගැන කුමක්ද ඔබේ අදහස?

ගීතයක පරිකල්පනමය අයිතිය තමයි බුද්ධිමය දේපල අයිතිය කියල කියන්නෙ. පරිකල්පණ අයිතිය තිබෙන්නෙ සංගීතඥයාට සහ ගීත රචකයාට. ඒකට හේතුව තමයි ගීත රචකයා එතෙක් නොතිබූ දෙයක් නිර්මාණය කිරීම. සංගීතඥයා එතෙක් නොතිබුණු නාදරටාවක් නිර්මාණය කරනවා. එතනට මුල් වෙන්නෙ ඒ අයගෙ පරිකල්පනය.

නමුත් ගායකයා නොතිබූ දෙයක් නිර්මාණය කරන්නෙ නැහැ. ගායකයා කරන්නෙ රචකයාගෙ වචන ටික. සංගීතඥයා විසින් හසුරවලා දීපු ස්වර මාලා ටිකයි ගායනා කරන එක. එතන තිබෙන්නෙ ශිල්පීය කුසලතාවයක්. ගායකයා කියන්නෙ නිර්මාණකරුවෙක් නෙමෙයි. ඒගොල්ලො වර්ධනය කරගන්නෙ ශිල්පීය කුසලතාවයන්. ශිල්පීය කුසලතාවය බුද්ධිමය නිෂ්පාදනයක් නෙමෙයි. ඒක පුහුණුවේ නිෂ්පාදනයක්. බුද්ධියේ නිෂ්පාදනයක් වෙන්නෙ අර නොතිබුණු දෙයක් උත්පාදනය කිරීම. මනස වෙහෙසලා හැදෑරීමකුත් එක්ක ඒ මනසෙන් අලූත් අර්ථ නිරූපනයක් තමයි බුද්ධිමය දේපලක් වෙන්නෙ. නමුත් ගායකයන්ට හඩ ලැබුණෙ බුද්ධියෙන් කරපු දෙයක් නිසා නෙවෙයිනෙ. හඩ ලැබෙන්නෙ උපතින්. ඒගොල්ලො ඒක පුරුදු කරනවා. ඊට පස්සෙ ලබා දෙන ගයිඞ් එක ඇතුළෙ ගායනා කරනවා.

ඒ නිසා මම විශ්වාස කරනවා ලෝක බුද්ධිමය දේපළ පනත තුළ යම් තර්කයක් තිබෙනවා. නමුත් මේ තුන්දෙනාම ගීතයේ කනප්පුවක් වගේ බල කණු තුනක්. මේ තිදෙනාගේම සංයෝජනය සාර්ථක ගීතයකට අත්‍යාවශ්‍යයි.

Related Articles