Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රැකියා විරහිතභාවයේ පීඩනය අවම කර ගන්නේ කෙසේද?

රැකියා විරහිතභාවයෙන් ඇතිවන ආතතිය ඕනෑම තත්ත්වයක් යටතේ පුද්ගලයකුගේ මානසික යහපැවැත්මට සෘණාත්මකව බලපෑම් එල්ල කළ හැකි යි. පවතින ගෝලීය වසංගත තත්ත්වය හමුවේ එවැනි මානසික ආතතියක් කළමනාකරණය කර ගැනීම ඉතා අභියෝගාත්මක වෙන්න පුළුවන්. කොවිඩ්-19  අර්බුදයත් සමඟ අපගේ වර්තමාන සමාජීය ජීවිතය සහ ගෝලීය ආර්ථික තත්ත්වය සමඟ ඕනෑම වේලාවක නව රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව අව ම වීමේ හැකියාවක් පවතිනවා. සමාජ දුරස්ථකරණය අවම කළ හැකි කාලය සහ නැවතත් රැකියා අවස්ථා සුලබ වන පරිදි රටේ ආර්ථික තත්ත්වය යහපත් වන කාලය උදා වෙනකම් පවතින දුෂ්කරතා පිළිබඳ ව මනා අවබෝධයකින් යුතුව කටයුතු කිරීම වැදගත්.

 මූලික ම කාරණය වන්නේ මෙම ගැටලුවට මුළු ලෝකය ම දැන් එක සේ මුහුණ දෙන වාතාවරණයක් උද්ගත ව තිබීම යි. උදාහරණයක් ලෙස 2021 වර්ෂයේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ එක්සත් රාජධානියේ පමණක් රැකියා විරහිතභාවය 4.8% ක් ලෙස වාර්තා වුණා. ඒ අනුව පවතින වසංගත තත්ත්වය හමුවේ එක්සත් රාජධානියේ ඕනෑම විසි දෙනකුගෙන් එක් අයකු රැකියා විරහිත වීමේ හැකියාවක් තිබෙනවා.  මෙවැනි ගෝලීය අර්බුදයක් හමුවේ නැවතත් ප්‍රකෘති තත්ත්වයට පැමිණීමට මිනිසා දරුණු උත්සාහයක් ගන්නවා. ඒ උත්සාහය නිසා ම ලෝකය පුරා සැලකිය යුතු මට්ටමින් දක්නට ලැබෙන රැකියා විරහිතභාවයත් තාවකාලික බව සිතිය හැකි යි.

 වසංගත තත්ත්වයත් සමඟ පුද්ගලයකු රැකියා විරහිතභාවයට ලක් ව ඇත්නම්, තාවකාලික දුෂ්කර කාලපරිච්ඡේදය තුළ මානසික මට්ටම යහපත් අන්දමින් පවත්වා ගෙන යන්නේ කෙසේ ද? මේ ඒ ගැන කරන සොයා බැලීමක්.

කොවිඩ් වසංගතයත් සමඟ එක්සත් රාජධානියේ රැකියා වියුක්තිය සැළකිය යුතු මට්ටමකින් වර්ධනය වුණා. – www.bbc.com 

රැකියා විරහිතභාවය මනසට බලපාන හැටි

 ගැටලුව කළමනාකරණය කිරීමට කලින් එම ගැටලුව තමාට බලපාන අන්දම හඳුනාගත යුතු යි. රැකියා විරහිතභාවයත් සමඟ පැමිණෙන මූලික ම ගැටලුව ආර්ථික දුෂ්කරතා බව කාටත් පැහැදිලි ව දැනෙන සහ පෙනෙන කරුණක්. නමුත්, රැකියාවක් යනු කෙනකු ලබන වැටුප පමණක් නොවේ. රැකියාව මඟින් වෘත්තිකයකු ලෙස අපිට යම් අනන්‍යතාවක් ලැබෙනවා.

එම අනන්‍යතාව තවදුරටත් වැඩි වර්ධනය කර ගැනීමට රැකියාව තුළින් ම අපි උත්සහ ගන්නවා. ජීවිතයට ව්‍යුහයක් සහ අරමුණක් වෘත්තියකින් අපිට ලැබෙනවා. රැකියා විරහිතභාවයත් සමඟ කෙනකුට තාවකාලික ව අහිමි වන “මූල්‍යමය නොවන” කාරණාත් මානසික යහපැවැත්මට සෘණාත්මක ලෙස බලපානවා.

 රැකියා විරහිතභාවය නිසා ජීවිතයට අරුතක් හෝ අරමුණක් නොමැති වීම සහ සමාජයට දායක වීමට අවස්ථාවක් නොමැතිකම වැනි හැඟීමක් පුද්ගලයකුට දැනෙන්න පුළුවන්. ‍රැකියාවක් හරහා සමාජ අන්තර්ක්‍රියා යහපත් මට්ටමකින් පවත්වා ගෙන යෑමේ හැකියාව ලැබෙන හෙයින්, මූල්‍ය අස්ථාවරත්වය පමණක් රැකියා විරහිතභාවයෙන් සිටින පුද්ගලයකුට බලපෑම් එල්ල කරන බව කිව නොහැකි යි.

 දුෂ්කර කාල පරිච්ඡේදය තුළ මූලික අවශ්‍යතා සඳහා කාලය සහ ශ්‍රමය වැඩියෙන් කැප කිරීමට සිදු වන විට මානසික සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා ඇති සම්පත් ප්‍රමාණය අවම වීමත් ගැටලුවක්. එවිට සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටාවකට හැඩ ගැසීමේ අවදානමක් නිරායාසයෙන් ම මතු වෙන්න පුළුවන්. 

කොවිඩ්-19 සමඟ එක්සත් ජනපදයේ රැකියා වියුක්තිය
https://www.statista.com/chart/21669/unemployed-persons-in-the-us-by-industry/

ගැටලුව කළමනාකරණය කිරීම

 අහිමි වීම් ඉදිරියේ ශෝකය යනු ස්වාභාවික ප්‍රතිචාරයක් වන අතර එයට රැකියාව අහිමි වීමත් ඇතුළත්. ශෝකවීම සඳහා යම් කාලයක් ඔබ උදෙසා ම වෙන්කර ගැනීම සාමාන්‍ය දෙයක් බව තේරුම් ගැනීම වටිනවා. පුද්ගලයකු ශෝකජනක සිතිවිලි සමඟ ක්‍රියා කරන විවිධ ආකාර තිබෙනවා. ඒවා සෞඛ්‍ය සම්පන්න වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඇතැම් අය තම ශෝකජනක කාලය තුළ ආහාර සඳහා වැඩි රුචිකත්වයක් දැක්වීම වැනි අයහපත් පුරුදු දැකිය හැකි යි. ඒ අතර සමහර පුද්ගලයන් ඒකාකාරී ශෝක සිතිවිලිවලින් මිදීම පිණිස ක්‍රීඩාව, කලාව වැනි සාධනීය දේවල් වෙත යොමු වෙනවා. කෙසේ නමුත්, ශෝක සිතුවිල්ල මත්තේ ම සිටීම යෝග්‍ය දෙයක් නොවෙයි. අදාළ හැඟීම්වලට ඉඩ දීමෙන් පසු ඉක්මනින් ම ප්‍රශ්නය නිරාකරණය කිරීමේ ක්‍රියාදාමයට ඇතුළත් වීම වැදගත්.

 යතාර්ථය තේරුම් ගැනීමෙන් සහ වර්තමාන තත්ත්වය පිළිගැනීමෙන් පසු පුද්ගලයකුට කළ හැකි දේවල් කිහිපයක් තිබෙනවා. ඒ අතුරින් රැකියා විරහිතභාවය ගැන තමාට ම දොස් පවරා ගැනීමක් සිදු කරන්නේ නම් මුලින් ම එය නැවැත්විය යුතු යි. ඉන්පසු මෙම තත්ත්වය තාවකාලික බව නිතර මෙනෙහි කිරීමෙන් ඊළඟ පියවරට මනස යොමු කිරීමට උත්තේජනයක් ලැබෙනවා. ලෝකයේ බොහෝමයක් සාර්ථක පුද්ගලයන් තම වෘත්තිය ජීවිතය තුළ විශාල පසුබෑම්වලට මුහුණ දී තිබෙනවා.

එම කාලය තුළ ඔවුන් තමා ම ස්වයං අධ්‍යයනයට ලක් කිරීම, අත්දැකීම්වලින් ඉගෙන ගැනීම සහ නැවත උත්සහ කිරීම තුළින් සාර්ථකත්වය ලැබූ කතා අපිට අහන්න ලැබෙනවා. රැකිය විරහිතභාවය තුළ කෙනකුට ලැබෙන වටිනා ම දේ තමයි කාලය. අතීතයේ දවසක තමා ගැනවත් සිතීමට තරම් අවකාශය නොතිබුණු කාර්යබහුල පුද්ගලයකුට හිටිහැටියේ ලැබෙන “නිදහස් කාලය” ඇත්තටම වැදගත්.   

හොඳ සවන්දෙන්නෙකු ආශ්‍රය කිරීමෙන් මානසික ආතතිය සෑහෙන දුරකට අවම කරගත හැකි යි.
https://marriagedynamics.com/friends-stick-adversity/

වටේ ඉන්න මිනිසුන් රන් හා සමාන යි!

 රැකියා විරහිතභාවයට තිබෙන හොඳ ම විසඳුම අලුත් රැකියාවකට අයදුම් කිරීම බව අමුතුවෙන් කිව යුතු නැහැ. එසේ නොමැති නම් තමා කලක පටන් සැලසුම් කළ ව්‍යාපාරික කටයුත්තකට අත්පොත් තැබීමත් කළ හැකි යි. වෘත්තිය ලෝකයට නැවත ඇතුළු වීම සඳහා ක්‍රියාකාරී ව සිටින අතරේ දී, ගතවන රැකියා විරහිත කාලය තුළ මානසික සෞඛ්‍ය යහපත් ව පවත්වා ගෙන යෑමත් එකසේ කළ යුතු යි. එහිදී තමා අවට සිටින පුද්ගලයන් කිසිසේත් අවතක්සේරු කරන්න එපා.

මානසික ආතතියට එරෙහිව සොබාදහම විසින් මිනිසාට දායාද කළ ප්‍රබලත ම ආයුධය වන්නේ සමාජ සම්බන්ධතා යි. හොඳ සවන්දෙන්නකු සමඟ මුහුණ මුහුණ කතා කිරීම මඟින් ඉතා හොඳ මානසික සහනයක් අත්කර ගත හැකි යි. ඇතැම් විට සවන්දෙන පුද්ගලයා සතු ව විසඳුම් නොමැති වන්නට පුළුවන්. එහෙත්, ගැටලුවක් හමුවේ තමා විනිශ්චය නොකරන සහ කලබල නොවන පුද්ගලයකු සමාගමයේ සිටීම මඟින් ඔබට මෙම දුෂ්කර කාල පරිච්ඡේදයට සාර්ථක අන්දමින් මුහුණ දිය හැකි යි.

අලුත් සබඳතා ඇති කරගන්න

රැකියාව අහිමි වූ විට රැකියා ස්ථානයේ ගොඩ නඟා ගෙන තිබූ මිත්‍රකම් සහ සමාජ ජාලාවල අහිමි වීමක් බොහෝවිට සිදු වෙනවා. රැකියාවෙන් පිටත සමාජ ජාලය පුළුල් කිරීම සඳහා කිසිවිටෙකත් රැකියා විරහිතභාවය බාධාවක් වන්නේ නැහැ. රැකියා අහිමි වීමේ ආතතිය සමඟ සාර්ථකව කටයුතු කිරීමට මෙන් ම නව රැකියා අවස්ථාවක් සොයා ගැනීමටත් එය වැදගත් වේවි. එහෙත්, පවතින වසංගත තත්ත්වයත් සමඟ පෙර දවස්වල මෙන් මිතුරු හමුවක් වෙනුවෙන් කාලය වෙන් කිරීම අවදානම් සහගත ක්‍රියාවක්. මෙයට පිළියමක් ලෙස තාක්ෂණය හරහා මිතුරු හමුවීම්, සහයෝගීතා කණ්ඩායම්වල ඒකරාශී වීම්, මේ දිනවල දැකගත හැකි යි.

දුෂ්කර කාල පරිච්ඡේදය තුළ වැදගත්ම සාධකය වන්නේ පවුල යි. – www.pinterest.com 

ඇතැම් රැකියා අවස්ථා ප්‍රචාරය කිරීමකින් තොරව පුද්ගලයන් අතර තිබෙන ජාලකරණය උපකාරයෙන් ගැළපෙන අයදුම්කරුවන් සොයා ගැනීමේ ප්‍රවණතාවක් තිබෙනවා. ඒ නිසා සමාජයත් සමඟ යම් ආකාරයකින් සබඳතාවක් පවත්වා ගෙන යෑම කාලෝචිත යි.

පවුලට ප්‍රමුඛතාව දෙන්න

 රැකියා වියුක්තිය මුළු පවුලට ම බලපාන බැවින් ඔබේ ගැටලු තනිව ම උසුලා ගෙන යාමට උත්සාහ කිරීම සුදුසු නැහැ. දුෂ්කර කාලයක් වුවත්, පවුලේ අයත් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන් සාර්ථකත්වයට නිසි අඩිතාලමක් ලැබෙනවා. පවුලෙන් ඈත් ව තනිව ම මානසික ආතතියත් සමඟ අරගල කිරීම පහසුයැ යි පෙණුනත්, තමා ගැන සැලකිලිමත් වන පුද්ගලයන් මත වැඩිපුර අවධානය යොමු කිරීම ධනාත්මක ලෙස බලපාන කාරණයක්. ඔවුන්ගේ පිටුපසින් හිඳ තමාගේ සහයෝගය ඔවුන්ට අවශ්‍ය වන ආකාරය විමසා බැලීම දුෂ්කර කාලයේ දී අත්‍යාවශ්‍යයෙන් සිදුවිය යුත්තක්. ඔබ මෙන් ම පවුලේ සාමාජිකයන් පවා ඔබගේ රැකියා විරහිතභාවය, ආර්ථික අස්ථාවරත්වය සහ අනාගතය ගැන කනස්සල්ලට පත්ව සිටිනවා විය හැකි යි. ඒ නිසා රැකියා සෙවීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කිරීමට සහ යෝජනා ඉදිරිපත් කිරීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න. ඒ අතරවාරයේ හැකිතාක් පවුල සමඟ සතුටින් සිටීමත් වැදගත්.

විනෝදාංශයක නිරත වීම යනු ඔබ ඔබවම සෞන්දර්යාත්මක ලෙස නිර්වචනය කර ගන්නා ක්‍රමයක් – www.lifehack.org 

ඔබ නිර්වචනය කරන වෙනත් ක්‍රම

 අප කරන වැඩවලින් අප වටා යම් අනන්‍යතාවක් ගොඩ නැඟෙනවා. එයින් අපි කවුරුන්ද යන්න වගත් නිර්වචනය වෙනවා. ඔබ අලුත් පුද්ගලයකු මුලින් ම හමුවන විට ඔවුන් ඔබෙන් අසන මුල් පෙළේ ප්‍රශ්න අතර “ඔබ මොකද කරන්නේ?” යන ප්‍රශ්නයත් බොහෝවිට අන්තර්ගත වෙනවා. රැකියා විරහිතභාවයත් සමඟ තමාගේ අනන්‍යතාව අහිමි වූ හැඟීමක් දැනෙන්න පුළුවන්. රැකියාව මත පිහිටා පුද්ගලයකු වශයෙන් නිර්වචනය වීම අවශ්‍ය නොවන බව මෙහි ලා සඳහන් කළ යුතු වෙනවා.

 අර්ථවත් විනෝදාංශ සඳහා කාලය වැඩියෙන් කැප කිරීම මඟින් රැකියා විරහිත කාල පරාසයේ දී මානසික සෞඛ්‍යය ඉතා යහපත් මට්ටමකින් කළමනාකරණය කරගත හැකි යි. එම විනෝදාංශය කිසියම් ආදායම් මාර්ගයක් බවට පරිවර්තනය කිරීමේ හැකියාව ගැනත් මෙහිදී සලකා බලන්න පුළුවන්. එමඟින් ඔබට ඔබ ම අර්ථකථනය කිරීමට හැකි නව මාර්ගයක් සොයා ගැනීමේ අවස්ථාවත් උදා වෙනවා. ඔබේ ආත්මය පොහොසත් කරන හෝ දිගු කලක් නොසලකා හරින ලද විනෝදාංශයක් තෝරා ගැනීම මඟින් අනාගතයේ එන රැකියා අවස්ථාවක වුවත් නොසිතූ අන්දමේ ප්‍රතිලාභයක් අත්විය හැකි යි. අලුත් යමක් ඉගෙන ගැනීම, වෘත්තිය අගය වැඩි කරන සමාජයකට (ටෝස්ට්මාස්ටර් වැනි) එකතු වීම, විදේශීය භාෂාවක් ප්‍රගුණ කිරීම, ලිවීම එවැනි විනෝදාංශ කිහිපයක් සඳහා උදාහරණ ලෙස දක්වන්න පුළුවන්.   

 ශ්‍රී ලංකාවේ එතරම් ජනප්‍රිය නොවුණත්, රැකියා විරහිත කාලය තුළ ස්වෙච්ඡා සේවයක් වෙනුවෙන් කාලය කැප කිරීමත් කාලෝචිත ක්‍රියාවක්. ස්වේච්ඡා සේවය තුළින් වෘත්තීය පලපුරුද්ද, සමාජ සහයෝගය සහ සමාජීය අන්තර්ක්‍රියා සඳහා අවස්ථාව සැලසෙනවා. ඇතැම් රටවල වෘත්තීය සුදුසුකම් සඳහා ස්වෙච්ඡා සේවයෙන් ලැබෙන පිටුවහල ප්‍රබල යි. ශ්‍රී ලංකාව තුළත් එවැනි ප්‍රයත්නයන් අගය කරන ආයතන තිබෙන්න පුළුවන්.

ශරීරයේ යහපැවැත්ම

 මෙම කාල පරාසය තුළ ශාරීරික යෝග්‍යතාව ගැන මනා අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් වන අතර, මානසික ආතතිය පිටුදැකීමටත් එය රුකුලක් වෙනවා. මෙය දින චර්යාවේ ම කොටසක් වූ විට අනාගතයේ දී කොතරම් කාර්ය බහුල වුවත්, ශාරීරික සුවතාව වෙනුවෙන් කාලය වෙන් කිරීම සඳහා වූ උත්තේජනයක් ඔබ තුළ දිගින් දිගට ම පවතින්න පුළුවන්. ඒ වගේ ම කෑම පාලනය සහ කෑමට ගන්නා දේ ගැනත් වෙනදාට වඩා සැලකිලිමත් වීම වටිනවා.

සම්මුඛ පරීක්ෂණයකදී “රැකියා විරහිත කාලය” පැහැදිලි කරන අන්දම ගැන ඔබ ප්‍රවේශමෙන් සිතිය යුතු යි. – arthur.co.uk 

වසංගතය එක ම හේතුව කර ගන්න එපා

 අලුත් රැකියාවක් සඳහා ඔබ සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන විට‍ අයදුම්පත්‍රයේ නිර්මාණය වී ඇති “රැකියා විරහිත කාලය” ගැන ආයතනික පාර්ශවයෙන් ප්‍රශ්නයක් නැඟීම සාමාන්‍ය දෙයක්. ලෝකයට ම බලපා ඇති වසංගත තත්ත්වයත් සමඟ රැකියා සෙවීම දුෂ්කර බව ඔවුන් කොහොමත් දන්නා කාරණයක්. එහෙත්, ඔබේ රැකියා විරහිත කාලයට බලපෑ එක ම හේතුව වසංගතය පමණක්යැ යි පැවසීම එතරම් සුදුසු නැහැ. සේවා යෝජකයන්ට වින්දිතයන් බඳවා ගැනීම අවශ්‍ය නැති බව ඔබ මතක තබාගත යුතු කාරණයක්. ඔවුන්ට අවශ්‍ය වන්නේ අමාරු කාලවලදීත් එයට සාර්ථක ව මුහුණ දෙන වෘත්තිකයන්. ඒ නිසා “රැකියා විරහිත කාලය” තුළ ඔබ සිදු කළ දේවල් ගැන ධනාත්මක සාරාංශයක් ලබා දීමට හැකියාවක් තිබිය යුතු යි. සම්මුඛ පරීක්ෂණයකට යෑමට පෙර ඔබ ඔබෙන් අසාගත යුතු වැදගත් ප්‍රශ්න කිහිපයක් තිබෙනවා.

රැකියා විරහිතව සිටි කාලය කුසලතා ගොඩනඟා ගැනීම වෙනුවෙන් ඔබ ප්‍රයෝජනයට ගත්තා ද? අ

ර්ධකාලීන රැකියාවක් වෙනුවෙන් කාලය වෙන් කළා ද?

වෘත්තීය ජාලය සමඟ කොපමණ සමීපත්වයෙන් ඔබ කටයුතු කළා ද?

සරලවම කිවහොත්, ඔබ කොපමණ උත්සහ කළා ද?

 යන ප්‍රශ්න ඔබෙන් ම අසා ගැනීමෙන් “රැකියා විරහිත කාලය” සාධනීය ආකාරයෙන් ගත කළ අන්දම ගැන පිළිතුරක් ගොනු කර ගන්න පුළුවන්. ඒ අතරතුර වසංගත කාල පරිච්ඡේදය සාපේක්ෂ ව වෙනදාට වඩා අභියෝගයක් වූ බව සේවා යෝජකයන්ට හැඟවීම ප්‍රමාණවත්.

ඉලක්කය ගැන ආපහු සිතන්න

 තවදුරටත් රැකියාවක් නොකරන පුද්ගලයකු ලෙස පහසුවෙන් ඔබ වෙතින් “අභිප්‍රේරණය (motivation)” ඉවත්ව යා හැකි යි. නිතිපතා දෛනික චර්යාවකට හෝ කාල සටහනකට අනුකූල ව වැඩ කිරීමෙන් මෙම තත්ත්වය මඟ හරවා ගත හැකි යි. අනෙකුත් කාර්යයන් සමඟ “රැකියා සෙවීම” යන ක්‍රියාකාරකමත් නියමිත කාල රාමුවකට අනුගත ව සිදු කිරීම වඩාත් ප්‍රායෝගික යි. ප්‍රධානම ගැටලුව එය වුවත්, මුළු කාලය ම රැකියාවක් සෙවීම වෙනුවෙන් කැප කරන්නට ගියහොත්, ඔබගේ මානසික මට්ටමට එය සෘණාත්මක ලෙස බලපාන්න පුළුවන්. ලොකු ඉලක්ක ගැන සිතා අධෛර්යයට පත්වීමෙන් වලකින්න. එම ඉලක්ක කළමනාකරණය කළ හැකි කුඩා ඉලක්කවලට කඩා ගැනීම වඩාත් සුදුසු යි. රැකියා සෙවීම තුළ ඔබ යම් අසාර්ථකභාවයකට ලක් ව ඇත්නම් ඔබගේ ඉලක්ක ගැන නැවත සිතා බැලීම වැදගත්. ඇතැම් පුද්ගලයන් වෘත්තී‍යේ නියුතු ක්ෂේත්‍රය වෙනස් කිරීම මඟින් නොසිතූ සාර්ථකත්වයක් අත්කර ගෙන තිබෙනවා.

 අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් වුවත්, රැකියා විරහිතභාවය යනු ජයගත හැකි ගැටලුවක්. වඩා වැදගත් වන්නේ රැකියාවක් සොයා ගැනීම නොව රැකියා විරහිත කාලය තුළ මානසික සෞඛ්‍යය යහපත් අන්දමින් පවත්වා ගෙන යෑම යි. එවිට ගැටලුව ගැටළුවක් ලෙස පමණක් දැකීමේ නැඹුරුව කෙමෙන් කෙමෙන් අඩු වෙනවා. රැකියා විරහිත කාලය තුළ මූල්‍ය කළමනාකරණය ගැන දැඩිව අවධානය යොමු කිරීමෙන් පවතින ආර්ථික අපහසුතා යම්තාක් දුරකට අවම කර ගන්න පුළුවන්. රැකියාවක් කරන කාලයට වඩා නොකරන කාලය තුළ ඇතැම් වියදම් අහෝසි වී යන බවකුත් ඔබට දැනේවි.

 ගෝලීය වසංගතයත් සමඟ බැඳුණු රැකියා වියුක්තිය කළමනාකරණය කරගන්නා අන්දම ගැන වැදගත් ලිපි මේ දවස් වල ප්‍රමුඛ රැකියා, ව්‍යාපාර සහ වෘත්තීය මාර්ගෝපදේශන වෙබ් අඩවිවල දැකිය හැකි යි. එම ලිපි සම්පාදනය කොට තිබෙන්නේ විවිධ විෂය ප්‍රාමාණික විද්වතුන්ගේ දැනුමේ උපකාරයෙන් වන අතර, ඒවා පරිශීලනය කිරීම ඉතා වැදගත්. සමහරවිට ඔබ රැකියා විරහිතභාවයට ලක් නොවූ පුද්ගලයකු වෙන්න පුළුවන්. එහෙත්, මේ දුෂ්කර කාල පරිච්ඡේදය හමුවේ අභියෝගයට ලක් වූ සහෘද‍යකු ඔබට සිටින්න පුළුවන්. මෙවැනි ගැටලුවක් ගැන වඩාත් විධිමත් අන්දමින් අධ්‍යයනයකර තිබීමෙන් ඔබට තවත් කෙනකුට සහාය වෙන අන්දම ගැන දැනුම්වත්භාවයක් ලැබෙනවා.

කවරයේ ඡායාරූපය: විරැකියාව - thestreet.com

මූලාශ්‍ර:

www.cnbc.com 

www.helpguide.org

www.verywellmind.com

www.bbc.com

Related Articles