ආදරණීය “නරිබෑණා”ගේ කලා දිවියට වසර 37ක් පිරීම නිමිත්තෙන්: “03 Faces”

ප්‍රවීණ රංගනවේදී රොඩ්නි වර්ණකුලයන්ගේ කලා දිවියට වසර තිස් හතක් පිරී ඇත. එම සුවිශේෂී සංධිස්ථානය සළකුණු කරනු පිණිස ඔහුගේ සංකල්පයක් මත “ත්‍රී ෆේසස්” නමින් වූ ගී ප්‍රසංගයක් සැලසුම් කර ඇත. මෙම ප්‍රසංගයේ ප්‍රධාන මුහුණු තුන රොඩ්නි වර්ණකුල – කුමාර තිරිමාදුර – සමන් ලෙනින් යන කලාකරුවන්ගෙන් සමන්විත වේ. එළඹෙන මැයි දහ අට වැනි දින කොළඹ බණ්ඩාරනායක සමරු රඟහලේ දී සවස 6. 30ට ත්‍රී ෆේසස් ගී ප්‍රසංගය පැවැත්වීමට නියමිත ය. එම කාරණය අළලා මෙම සංලාපය සිදු වන්නේ ත්‍රී ෆේසස් ප්‍රසංගයේ රොඩ්නි වර්ණකුල සමඟිනි.

ත‍්‍රී ෆේසස්  ගී ප‍්‍රසංගයේ නිර්මාතෘවරයා ඔබ. මේ ප‍්‍රසංගය නිර්මාණය වුණේ කොහොමද? ඔබ මේක හඳුන්වාදෙන්නෙ කොහොමද?

මගේ අවුරුදු තිස් හතක කලා ජීවිතයේ විස්ස සැමරුවා “හා හා ළ‍ඳ‍ේ” සංයුක්ත තැටිය නිකුත් කරලා. ඊළඟට තිහ සැමරුවා ”සඳ එළිය වගේ” සංයුක්ත තැටිය නිකුත් කරලා. තිස් පහ සමරන්න මම හරි ආසාවෙන් හිටි නමුත් එය මට මගහැරුණා. අපි ක‍්‍රමක‍්‍රමයෙන් වයසට යන අයනෙ. ඉතින් එක එක සැතපුම් කණු ලකුණු කරන්න පුළුවන් නම් මිනිස්සුන්ට මතක හිටින විදියට, ඒක වැදගත්. කලා ජීවිතේට තිස් හතක් වුණත් තිස් පහක් කියලා මේක සමරන්නෙ කොහොමද  කියලා හිතමින් ඉන්නකොට, මුලින් මට හිතුණේ තනියම යමක් කරන්න ඕනෙ කියලා. මට පසුව හිතුණා අපි ගායකයෝ නොවුණත් ගීත ගැයීමේ හැකියාවක් තිබෙන නිසා ඒක පොඩ්ඩක් ඉස්මතු කරන්න ඕනෙ කියලා.

ඇත්තටම පුංචි කාලෙ පාසලේ ගායකයා මම. ඉස්කෝලෙ නියෝජනය කරමින් සමස්ත ලංකා තරග වලට පවා යන්නෙ මම. ඉස්කෝලෙන් ඉවත් වුණාට පස්සෙ තාරාවෝ ඉගිලෙති හරහා විසිවුණා වේදිකාවට, රංගන ශිල්පියෙක් හැටියට. එතනදිත් මගේ ගායනය ඔපමට්ටම් වුණා. ඉතින් මට හිතුණා මා තුළ ඉන්න ගායකයාව ඉස්සරහට ගන්න  ඕනෙ කියලා. ඒ සඳහා ප‍්‍රසංගයක් කිරීමේ උවමනාව තිබුණා. ඔය අතරෙදි අපේ තිරිමාදුර හිතවතා සංයුක්ත තැටියක් නිකුත් කළා “කුමාරයා මං” කියලා. මමත් ඒ ප‍්‍රසංගයට සම්බන්ධ වුණා සහෝදර ශිල්පියෙක් හැටියට. එතනදි මට හිතුණා වේදිකාවෙන් උපන් අපිට මේ වැඩේ කරන්න පුළුවන් කියලා.

ඊට පස්සෙ මමයි ඔහුයි මේ වැඩේට එකතු වුණා. ත‍්‍රී ෆේසස් කියන නම යෙදුණෙ මුහුණු තුනක් කියන අදහසින්. ඒකට අර විද්‍යුතයේ ධාරිතාවත් බලපානවා. ඊට පස්සෙ තිරිමාදුරත් එක්ක මේ ගැන කතා කරද්දි ඔහු කිව්වා සමන් ලෙනින් වගේ හඬ පෞරුෂයක් තියෙන කෙනෙක් මේකට සම්බන්ධ කරගමු කියලා. ඉතින් මුහුණු තුන හරි ගියා. සමන් කියල කියන්නෙත් වේදිකාවේ රංගන ශිල්පියෙක් හැටියට දස්කම් දක්වපු කෙනෙක්. ඒ නිසා මේ හඬවල් තුන විවිධාකාර හඬවල් තුනක්. මෙන්න මේ විශේෂත්වයන් ත‍්‍රිත්වය එකතු කරගෙන මගේ සැමරුම කරන්න ඕනෙ කියලා හිතුණා.

මෙතෙක් කල් අපේ ගායන විශාරදයෝ විවිධ ප‍්‍රසංග ඉදිරිපත් කළා මිනිස්සුන්ගේ රසාස්වාදය සඳහා. කම්පන, ස, සඳකඩපහන, ශ‍්‍රවණ ආරාධනා, අළුත් වැස්සක් වැනි ප්‍රසංග හරි අපූරු ප‍්‍රසංග වුණානෙ ලංකාවෙ. මට හිතුණා මෙන්න මේ ලෙවල් එකට අපිටත් දෙයක් කරන්න බැරි ද කියලා. මිනිස්සුන්ට හොඳ සුභාවිත රසාස්වාදයක් දෙන්න හැකියාවක් අපිටත්  තිබෙනවා. අන්න එහෙම හිතාගෙන තමයි මේ වැඩේ තනියම නොකර අපි කට්ටිය එකතු වෙලා කරමු කියන තැනට ආවේ.

අපි දන්නවා ලංකාවේ ගෘහස්ත සංගීත ප්‍රසංග විශාල ප්‍රමාණයක් විවිධ නාමකරණයන් යටතේ පැවැත්වෙනවා. මේ ප්‍රසංගය එවැනි ප්‍රසංග ගණනාවක් අතරින් විශේෂ ප්‍රසංගයක් වෙන්නෙ කොහොමද?

මේක සැමරුම් ප‍්‍රසංගයක් වුණාට මේකෙ පොල්තෙල් පහන් දැල්විලි කතා බතා අරවා මේවා මොකුත් නැහැ. පේ‍්‍රක්ෂකයෝ ප‍්‍රවේශ පත‍්‍රයක් අරන් ආවාම තුන් වෙනි සීනුව නාද කරපු තැන ඉඳන් අපි ප‍්‍රසංගයේ කටයුතු තමයි පටන් ගන්නෙ. ඒකට පෙර මඟ සකස් කරනවා අපේ සහෘදයා කැළුම් ශ‍්‍රීමාල්.

ගීතය සහ සංගීතය විශේෂයෙන්ම මේ ප‍්‍රසංගයේ අන්තර්ගතයි. අපි මේ ප‍්‍රසංගයේ දී. මම ඇවිල්ලා ඔන්න සිංදු කිව්වා ගියා, ඊට පස්සෙ තිරිමාදුර එනවා සිංදු කියනවා යනවා, සමන් ලෙනින් එනවා සිංදු කියනවා යනවා, එහෙම නෙමෙයි. මේ ප‍්‍රසංගයේ අපි තුන් දෙනාම මුල සිට අග දක්වාම වේදිකාවේ ඉන්නවා. අපි මිනිස්සුත් එක්ක බොහොම සජීවීව සම්බන්ධ වෙමින් තමයි වැඩේ කරගෙන යන්නෙ. ඔය අතරේ අපේ නාට්‍යයමය අත්දැකීම් තියෙනවා. කතා බහ තියෙනවා. මේවා කතා බහ කරමින් සජීවී විදියට හාස්‍යයත් මුසු කරගෙන තමයි මේ වැඩේ යන්නෙ. සිංදු අතර අපේ රසිකයින්ට අමුතු දේවල් අහගන්න දැන ගන්න පුළුවන් වෙයි.

ඊට පස්සෙ නාට්‍ය ගීත කිහිපයක් තියෙනවා. නාට්‍ය ගීත වලදි අපි නර්ථනාංග කිහිපයක් ඉදිරිපත් කරනවා.

ඒ ඇරෙන්න සමහර නූර්ති ගීත වලදි අපේ රංගනයන් එකතු වෙයි. ඒ නිසා මේක ප‍්‍රාසාංගික සහ සජීවී ප‍්‍රසංගයක් කර ගන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. එතකොට මම හිතනවා අනෙකුත් ප‍්‍රසංග වලට වඩා මේ ප‍්‍රසංගයේ වෙනසක් වෙයි. මොකද ඉද්ද ගැහුවා වගේ මයික් එක අරගෙන සිංදු කියලා බැහැලා යන්නෙ නැහැ. ප‍්‍රසංගය පුරාම අපි තුන් දෙනාම ඉන්නවා.

මේකෙදි මම හරි ආස කරන අයිටම් එකක් තියෙනවා. ඉලෙක්ට්‍රොනික් භාණ්ඩත් එක්ක යල් පැනලා අහකට දාපු සංගීත භාණ්ඩ කිහිපයක් මේකෙදි පාවිච්චි කරනවා. විශේෂයෙන් ඒ අතර ෆුට් බැලෝ සර්පිනාව. දැන් අපි දකින්නෙ අතින් හුලං ගහන එකනෙ. නමුත් මං ගාව තිබෙන ෆුට් බැලෝ සර්පිනාව මගේ තාත්තාගේ පරම්පරාවෙන් මට උරුම වෙච්ච එකක්. මගේ තාත්තා ටීටර් නටපු කෙනෙක්. ඔහු ගෙදර තිබුණු ෆුට් බැලෝ සර්පිනාව හරි අපූරුවට වාදනය කරමින් ටීටර් සිංදු කියපු කෙනෙක්. නමුත් කාලයක දි ඒ සර්පිනාවට වෙච්ච දෙයක් තිබුණෙ නැහැ. නමුත් වාසනාවකට වගේ අපේ තාත්තාගේ සමකාලීන පරම්පරාවේ කෙනෙක්ගෙන් ඒ සර්පිනාවක් මට හොයාගන්න පුළුවන් වුණා. ඒක අබල දුබල වෙලා තිබුණෙ. නමුත් ඒක මම හදාගත්තා. ටීටර් මතකයයි ෆුට් බැලෝ සර්පිනාවේ වාදනයයි මම මේ ප‍්‍රසංගයේදී ඉදිරියට ගේනවා. ඒක අපේ පරණ ශිල්පීන්වත් මතක් කරමින් සහ ෆුට් බැලෝ සර්පිනාව කියන්නෙ මොකක්ද කියන එකත් මෙතනදි අපි හඳුන්වලා දෙනවා. ඉතින් ඒක විශේෂ අත්දැකීමක් වෙයි.

වත්මන් සංගීත ක්ෂේත්‍රයේ තිබෙන ඛේදවාචකයට මේ හරහා බලපෑමක් කරන්න පුළුවන් වෙයි කියලා ඔබ හිතනවද?

මෙන්න මෙහෙම අන්ත දෙකක් මට හිතෙනවා. වික්ටර් රත්නායකයන්ගේ ස ප‍්‍රසංගය දහස් ගාණක් පැවැත්වුණානෙ. මෑත කාලයේ පරම්පරාවත් ඒක දැක්කා. ඒ වගේ අනෙකුත් ගායකයන්ගේ ප‍්‍රසංගත් පැවැත්වුණා. ඒක එක අන්තයක්. ඊට අමතරව යූ ටියුබ් ෆේස් බුක් සහ රියැලිටි තරඟ හරහා එන තරුණ ගායක ගායිකාවන් යොදාගෙන කරන ප‍්‍රසංගත් තියෙනවා. ඒක මම හිතන්නෙ විශාල වශයෙන් පිරිවැය දරමින් තමයි සංවිධානය කරන්නෙ. ඔය අන්ත දෙකට අතරමැදිව තමයි අපි ඉන්නෙ. අපි ටෙ‍්‍රන්ඩ් එකට යන අය නෙමෙයි. අපිට රසික පිරිසක් ඉන්නවා මේ රටේ. නමුත් අපිට රටේ යන ටෙ‍්‍රන්ඩ් එක නවත්තන්න බෑ. ඒවා මිනිස්සුන්ගේ රසාස්වාදය කොයි විදියට සපුරනවා ද කියලා අපිට කියන්නත් බැහැ. හැබැයි රසවින්දනය කියන්නෙ මිනිසුන්ගේ භාවයන් යහපත් ලෙස උද්දීපනය කිරීම. කලාවේ අරමුණ ඒකයි. මිනිස්සුන්ව සංවේදී කිරීම. ඒ දේවල් තමයි අපේ පෙරගමන්කරුවො කළේ. අපිට ඒවයේ පුංචි හෙවනැළි හරි තියෙනවා. අන්න ඒවත් එක්ක මිනිස්සුන්ගේ රසවින්දනයට පුංචි හරි සංවේදීතාවයක් ගොඩ නගන්න තමයි අපි මේක කරන්නෙ.

ඒ නිසා ට්‍රෙන්ඩ් මොනවා තිබුණත් අපි අපේ ගමන හිමින් ඉදිරියට යනවා. සමහර වෙලාවට ඔය තියෙන ටෙ‍්‍රන්ඩ් මේ නිසා වෙනස් වෙන්න පුළුවන්. ත‍්‍රී ෆේස් වෙනම ටෙ‍්‍රන්ඩ් එකක් වෙයි.

Related Articles