සමරිසි ආදරවන්තයන් පමණක් සිටි තීබ්ස් හි පූජනීය හමුදාව

ක්‍රිස්තු වර්ෂ 1818 දී බ්‍රිතාන්‍ය ජාතික ගෘහ නිර්මාණ ශිල්පියකු වූ ජෝර්ජ් ලෙඩ්වෙල් ටේලර් තම මිතුරන් දෙදෙනකු සමඟ ග්‍රීසියේ ලිවාඩියා ප්‍රදේශයට පැමිණියේ ගිම්හාන නිවාඩුව ගත කිරීම සඳහා යි. නිවාඩුවේ නිදහස උපරිමයෙන් ම භුක්ති විඳින අතරතුර ඉපැරණි ග්‍රීක ඉතිහාසයේ අක්මුල් සොයා යෑමත් ඔවුන්ගේ අරමුණ වුණා. එක් දිනෙක මිතුරන් තිදෙනා අශ්වයන් පිට නැඟී අසල පිහිටි කෙරෝනියා ගමට යාමට තීරණය කළා. කෙරෝනියාවට යන අතරතුර, ටේලර් නැඟ සිටි අශ්වයාගේ කකුලක් බිම වැළලී තිබූ කිරිගරුඬ පාෂාණ කොටසක ගැටුණා. පාෂාණ කොටස දෙස හැරී බැලූ ටේලර්ට යම් අමුත්තක් දැනුණා. තිදෙනා ම නැවතී පාෂාණ කොටස තවදුරටත් පරීක්ෂා කිරීමට තීරණය කළ අතර, එය වැළලී තිබෙන මූර්තියක කොටසක් බව ඔවුන් තහවුරු කර ගත්තා.

ටේලර්ට හමුවූ සිංහ මූර්තියේ හිස කොටස – www.ancient-origins.net

 එදා ඔවුන් සොයා ගත්තේ විශාල මූර්තිමත් සිංහයකුගේ හිස කොටස යි. මූර්තියේ ඉතිරි කොටස මතු කර ගැනීම සඳහා තවත් ගැඹුරට කැණීම් කළ යුතු ව තිබුණා. ටේලර් ප්‍රමුඛ මිතුරන් ඇතන්ස් වෙත පෙරළා පැමිණි විට ඔවුන්ගේ සොයා ගැනීම බලධාරීන්ට වාර්තා කළා.  ටේලර්ගේ ආගමනයෙන් පසු ග්‍රීසිය විවිධ අර්බුදවලට මුහුණ දුන් නිසා ඔහුගේ සොයා ගැනීමට නිසි අවධානය ලැබෙන්නට තවත් දශක කිහිපයක් ගත වුණා. 1902 වනවිට සිංහ මූර්තියේ ඉතිරි කොටස් ගොඩ ගෙන සම්පූර්ණ මූර්තිය පාදමක් මත පිහිටවූ අතර, සිංහ මූර්තියේ උස අඩි 12.5 ක් පමණ වුණා.

තීබ්ස් හි පූජනීය හමුදාව  

 තවදුරටත් කළ කැණීම්වලදී සිංහ මූර්තිය අතීතයේ දී විශාල හතරැස් කුටියක් මත පිහිටුවා තිබූ ස්මාරකයක් බව අනාවරණය වුණා. වළ දමා තිබූ මිනිසුන් 254 දෙනකුගේ ඇටසැකිලි පේළි හතක් ඒ අනුව සොයා ගැනීමට පුරා විද්‍යාඥයන් සමත් වුණා. මීට අමතර ව, ක්‍රිස්තු පූර්ව හතරවන සියවසට අයත් බඳුන් සහ කාසි කැණීම් අතරතුර මතු වුණා. වසර දහස් ගණනකට පෙර කෙරෝනියා ප්‍රදේශයේ සිදු වූ විනාශය සමඟ තම සොයා ගැනීම් ගළපන්න විද්වතුන් උත්සහ ගත්තා. එතෙක් ලිඛිත ඉතිහාසයේ සහ ජනප්‍රවාද තුළ පමණක් පැවතුණ සුවිශේෂී හමුදාවක පුරා විද්‍යාත්මක සාක්ෂිය මෙය විය හැකි බව ඔවුන් අනුමාන කළා.

කෙරෝනියා ප්‍රදේශයේ පිහිටුවා ඇති සම්පූර්ණ සිංහ මූර්තිය සහිත සිහිවටනය – www.britannica.com 

 ලෝක ඉතිහාසය පුරා ම විවිධ යුද ශිල්ප, සංකල්ප හා අරමුණු මත පදනම්ව  ගොඩනැඟූ සුවිශේෂ හමුදා සේනාංක දක්නට ලැබෙනවා. සටනක් අතරතුර ඔවුන්ගෙන් ලැබෙන ක්‍රමෝපායී වැදගත්කම එහිදී සලකා බැලෙනවා. තීබ්ස් හි පූජනීය හමුදාව කියන්නේත් එවැන්නක්. පුරාණ ග්‍රීසිය තුළ විවිධ නගර රාජ්‍ය බිහි ව තිබූ අතර, තීබ්ස් කියන්නේත් රණශූර ඉතිහාසයක් තිබූ නගර රාජ්‍යයක්. තීබ්ස් මුල් කර ගනිමින් බිහිවූ මෙම සුවිශේෂී හමුදාව, ලිංගික දිශානතිය මත පදනම්ව  සාදා ගත් හමුදා අනුඛණ්ඩයක් ලෙස සැලකෙනවා.

පෙම්වතුන් යුගළ 150 කින් සෑදුණු සේනාංකයක්

 ක්‍රිස්තු පූර්ව 379-378 අතර කාලයේ දී නිර්මාණය වූවායැ යි විශ්වාස කරන තීබ්ස් හි පූජනීය හමුදාවට සොල්දාදුවන් 300 දෙනකු ඇතුළත් වූ අතර, ඒ සියල්ලන් ම සමලිංගිකයන් බව පැවසෙනවා. ඊටත් වඩා සුවිශේෂී කාරණය වන්නේ, ඔවුන් රණශූරයන් පමණක් නොව පෙම්වතුන් ද වීම යි. ඒ අනුව පෙම්වතුන් යුගළ 150 කින් සෑදුණු සේනාංකයක් ලෙස තීබ්ස් හි පූජනීය හමුදාව සැලකිය හැකි යි.

 ඉතිහාසයට අනුව කෙරෝනියා ප්‍රදේශයේ ඇතිවූ තීරණාත්මක යුද්ධයේ දී තීබ්ස් හි පූජනීය හමුදාව සමූල ඝාතනයට ලක් වුණා. වසර දහස් ගණනකට පසු ජෝර්ජ් ලෙඩ්වෙල් ටේලර් හරහා ලැබුණු ඉඟියෙන් සොයාගත් ඇටසැකිලි 254 එම හමුදා අනුඛණ්ඩයට අයත් බව අද පොදු පිළිගැනීමක් තිබෙනවා. මෙම මතවාදය සමඟ එකඟ නොවන විද්වතුන් පිරිසක් ද සිටිනවා. ඔවුන් මෙම ඇටසැකිලි සඳහා වෙනස් පුරෝකථන සපයනවා. ඉතිහාසය තුළ පැහැදිලිව ම රණශූරයන් 300 ක්  ගැන කියවුණත්, සොහොන තුළ ඇටසැකිළි 46 ක අඩුවක් තිබෙනවා. කාලයත් සමඟ ඒවායේ පිහිටුම වෙනස් වීමක් හෝ සටන අතරතුර යුගළ 23 ක් දිවි ගලවා ගත් බව සිතිය හැකි යි. ඉතිහාසයට අනුව ඔවුන් සියල්ලන් ම සමූල ඝාතනය වූ නිසා මෙම අනාවරණය ගැන මත ගැටුම් තිබෙනවා.

කැණීමෙන් සොයාගත් ඇටසැකිලිවල පිහිටුම පෙන්වන රූප සටහනක් – www.ancient-origins.net 

සමරිසි හමුදාවක් අවශ්‍ය වුණේ ඇයි?

 පුරාණ ග්‍රීසියේ ලිංගිකත්වය පිළිබඳ දැක්ම නූතන අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝවට සමාන කළ හැකි යි. පුරාණ ග්‍රීසිය තුළ සමරිසි සබඳකම්වලට ඉහළ පිළිගැනීමක් ලැබුණු අතර, සමාජය තුළ අතිශයන් සාමාන්‍යකරණය ලක් ව තිබූ අංගයක් වුණා. මහා දාර්ශනික ප්ලේටෝ, මෙම සමාජීය කරුණ යුදමය සහ ආරක්ෂක කටයුතු සඳහා යොදා ගත හැකි ආකාරය ගැන සිතා බැලුවා.

තම අඹුදරුවන් හෝ පෙම්වතිය හැරදමා ජීවිතය අවිනිශ්චිත වූ සටනකට යන සොල්දාදුවකුගේ සිත තුළ ඇත්තේ රණශූරත්වයෙන් උපදින ධෛර්යය පමණක් ම නොවේ. තම ප්‍රියයන් නැවත දැකීමේ ආශාවෙන් ඉපදුණු ධෛර්යයත් ඔවුන්ගේ සිත් තුළ පවතිනවා. මේ පොදු හැඟීම යුද න්‍යායක් ලෙස සමරිසි පිරිමින් හරහා භාවිත කිරීමට තරම් පුරාණ ග්‍රීසිය උපක්‍රමශීලි වුණා.

 සමරිසි ආදරවන්තයන් එකිනෙකා කෙරෙහි දක්වන බැඳීම සහ භක්තිය නිරීක්ෂණය කළ ප්ලේටෝ, සමරිසි පෙම්වතුන් පමණක් සිටින හමුදා අනුඛණ්ඩ, ප්‍රධාන හමුදාවට එක් කිරීමේ වැදගත්කම ඉස්මතු කළ බව පැවසෙනවා. එවිට සටනක් අතරතුර තමා සමඟ ප්‍රතිවාදීන්ට එරෙහි ව සටන් කරන තම පෙම්වතා රැක ගැනීමට ඔවුන් උපරිම උත්සාහයක් ගන්නවා. ඒ නිසා ම ඔවුන් සටන් බිමේ දී අතිශයින් බිහිසුණු යි. තීබ්ස් හි පූජනීය හමුදාව ගොඩනැඟී ඇත්තේ ඉහත සඳහන් යුද න්‍යාය මත යි. සටන් බිම මත පෙන්වූ සුවිශේෂී ජයග්‍රහණ නිසා සමරිසි හමුදා ඛණ්ඩ අතුරින් තීබ්ස් හි පූජනීය හමුදාව වඩාත් කැපී පෙනුණු බව සිතන්නට පුළුවන්.

තීබ්ස් හි සමරිසි පෙම්වතුන් ගෙන් කෙනෙක් “ඉරස්ට්ස්” ලෙස හැඳින්වූ අතර අනෙකා “එරෝමිනොස්” ලෙස හැඳින්වූවා.
–  medium.com 

හමුදාවට සාමාජිකයන් තෝරා ගත් හැටි

 ඉපැරණි ග්‍රීක සංස්කෘතිය පෙරදිග බොහෝ රටවලට වඩා වෙනස් ආකාරයක් ගන්නවා. සංස්කෘතික රාමු තුළ කොටු වී වෙනත් සංස්කෘතික රාමුවක සමාජීය කරුණක් උත්කර්ෂයට නැංවීම හෝ ප්‍රතික්ෂේප කිරීමෙන් සබුද්ධික ලෙස ලෝක ඉතිහාසය ඉගැනීමේ මඟ ඉබේ ම ඇහිරෙන්නට පුළුවන්. මෙතැන් පටන් ලිපියේ අන්තර්ගතය එවන් විවෘත මනසකින් කියවනවා නම් වඩා වටිනවා.

 වසර තුන්දහසකට පෙර පැවති ග්‍රීසියේ සමලිංගිකත්වය සාමාන්‍ය කරුණක් ලෙස සැලකූ බව ඉහත සඳහන් වුණා. සමහර අවස්ථාවලදී ග්‍රීකයන් සමරිසි සබඳතාවලට විශේෂ දිරිමත් කිරීමක් ලබා දී තිබෙනවා. තරුණයන් අධ්‍යාපනය සහ යුද ශිල්පය ලැබීමේ දී ඔවුන්ට ආකර්ෂණීය කඩවසම් පෙනුමක් ඇත්නම්, එය විශේෂ වාසියක් වීමේ සම්භාවිතාවක් පුරාණ ග්‍රීසියේ තිබුණා. ඒ නිසා ලිංගික දිශානතිය කුමක් වුණත්, තම පුත්‍රයා ආකර්ෂණීය පෙනුමක් ඇති පුද්ගලයකු වන්නයැ යි ඔවුන්ගේ පියවරුන් දෙවියන්ට යාච්ඤා කළා. යන්තම් යෞවන වියට පා තබත් ම පුරුෂයන් ආදර සබඳතා ගොඩනඟා ගැනීමත් ඒ අනුව සාමාන්‍ය දෙයක් වුණා.

තීබ්ස් හි සමරිසි පෙම්වතුන් ගෙන් කෙනෙක් “ඉරස්ට්ස්” ලෙස හැඳින්වූ අතර අනෙකා “එරෝමිනොස්” ලෙස හැඳින්වූවා –  medium.com 

තීබන් හමුදාවේ කොටසක් ලෙස තීබ්ස් හි පූජනීය සේනාංකය ගොඩනැඟුවේ ගො(ර්)ගිඩස් නමැති සෙන්පතියා යි. ඔහු සාමාජිකයන් තුන්සියය ඔවුන්ගේ කුසලතා සහ රණශූරයන් ලෙස අත්කර ගෙන තිබූ ප්‍රසිද්ධි‍ය මත පදනම් ව තෝරා ගත්තා. සමාජ පංතිය එහිදී නොසලකා හැරිය බව සඳහන්. සෑම යුවළක් ම එකල ග්‍රීසියේ තිබූ සමරිසි සබඳතා ආකෘතියට ගැළපුණා. යුවළක එක් අයෙක්  “ඉරස්ට්ස්” නමින් හැඳින්වූ අතර, ඔහු වයසින් වැඩිමහල් සහ සබඳතාව තුළ වැඩි අධිකාරී බවක් හිමිකර ගෙන සිටියා. “එරෝමිනොස්” ලෙස හැඳින්වූ සබඳතාවයේ අනෙක් පාර්ශවය වයසින් ළා බාල, වැඩිමහල් පෙම්වතාට වෘත්තියේ දී සහ පෞද්ගලික ජීවිතයේ දී සහයෝගය දක්වන තැනැත්තා ලෙස හැඳින්වුණා.

 සේනාංකයට රණශූරයන් තේරීමේදී ඔවුන් ආදරවන්තයන් ලෙස කොතරම් දුරට එකිනෙකා වෙනුවෙන් කැපවෙනවා ද යන්න වගත් ප්‍රවේශමෙන් සලකා බලා තිබෙනවා. මේ සියල්ල ම යුද අරමුණු වෙනුවෙන් සලකා බැලූ දේවල්. 

පූජනීය පොරොන්දුව

 හමුදා සේනාංකයට “පූජනීය” යෙදුම පැමිණි අන්දම ගැන පැහැදිලි සඳහනක් ඉතිහාසයේ නොමැති බව පැවසෙනවා. එහෙත්, චරිතාපදාන රචකයකු සහ දාර්ශනිකයකු වූ ප්ලූටාර්ක්ට අනුව, “ඉයොලස්ගේ පූජාසනය” ආසන්නයේ දී චාරිත්‍රයක් ලෙස රණශූර පෙම්වතුන් පූජනීය පොරොන්දුවක් හුවමාරු කර තිබෙනවා. එහි ප්‍රතිඵල‍යක් ලෙස මේ ආදරවන්තයන්ගේ සේනාංකය පූජනීය වූ බව සිතිය හැකි යි. ඉයොලස්, ග්‍රීක දේවකථාවලට අනුව සියුස් දෙවියාගේ පුත්‍රයකු වූ හෙරක්ලීස්ගේ ප්‍රේමවන්ත‍යකු ලෙස සලකනවා.

තීබ්ස් හි පූජනීය හමුදාව දායක වූ සටන් කිහිපයක් ගැන දැන් අපි සලකා බලමු.

ටිගයිරා සටන

 ස්පාටන්වරුගේ නගරයක් වූ ඔර්කොමෙනස් වෙතින් ස්පාටන් යුද භටයන් කිසියම් හේතුවක් මත තාවකාලික ව ඉවත් වූ බව තීබන්වරුන්ට දැනගන්නට ලැබුණා. එකල තීබ්ස් හි පූජනීය හමුදාවේ සේනාපතීත්වය පෙලෝපිඩස් සහ එපමිනොන්ඩස් වෙත හිමි වී තිබුණා. ඔවුන් දෙපළ ආදරවන්තයන් විය හැකි බවට විද්වතුන් සැක පහළ කරනවා. ස්පාටන් බළකාය නැවත පැමිණීමට කලින් ඔර්කොමෙනස් අල්ලා ගැනීමට පෙලෝපිඩස්ට අවශ්‍ය වුණා. කෙසේ වෙතත්, ඔවුන් නගර ද්වාරයට ළඟා වන විට ස්පාටන්වරුන්ගේ හමුදාවක් ළඟා වෙමින් සිටියා. නැවත තීබ්ස් වෙත පසුබසින ලෙස පිලෝපිඩස් පූජනීය හමුදාව ඇතුළු අනෙකුත් අනුඛණ්ඩවලට නියෝග කළත්, ඔවුන් ඔර්කොමෙනස් ආරක්ෂිත පවුර සහ පැමිණෙමින් සිටින ස්පාටන් හමුදාවට මැදි වුණා.

 පෙලෝපිඩස්, පූජනීය භට කණ්ඩායම යුද පෙරමුණ ලෙස තබා අශ්වාරෝහක බළ ඇණියක් සංවිධානය කළා. ස්පාටන්වරුන් ගණනින් තීබ්ස්වරුන්ට වඩා වැඩි වුණත්, තීබ්ස් හමුදාව උපායශීලි ව ස්පාටන් හමුදාවේ අණ දෙන්නන් ඉවත් කිරීමට සමත් වුණා. නායකත්වය අහිමි ස්පාටන් බළ ඇණිය පරාජයට පත් වුණා.

ලෙයුක්ට්‍රා සටනේ සැලැස්ම ගැන අදහසක් – medium.com 

ස්පාටන්වරු දණ ගැස්වූ ලෙයුක්ට්‍රා සටන

 ටිගයිරා සටනින් පසු තීබන්වරුන්ගේ බලය සහ ස්පාටන්වරුන්ට එරෙහි බලපෑම තවත් වැඩි වුණා. එහිදී කිසියම් සාම ගිවිසුමක කොන්දේසි පිළිගන්නා ලෙස ස්පාර්ටාව තීබන්වරුන්ගෙන් ඉල්ලා සිටි අතර, නොඑසේනම්, සටනක සූදානම් වීමට සිදුවන බව ස්පාටන්වරුන් දැනුම් දුන්නා. එපමිනොන්ඩස් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නිසා පළමු ක්ලියොම්බ්‍රෝටස් රජු ප්‍රමුඛ ස්පාටන් හමුදාවට මුහුණ දීමට තීබන්වරුන්ට සිදු වුණා. ප්‍රතිවාදී බලමුළු ලෙයුක්ට්‍රා ගම්මානය අසල තැනිතලාවේදී මුහුණට මුහුණ හමු වූ නිසා මෙය ලෙයුක්ට්‍රා සටන නමින් හැඳිවෙනවා. ​එපමිනොන්ඩස් දක්ෂ ලෙස හමුදාව සංවිධානය කරමින් සටනට පිවිසුණා. 

 එහිදී දකුණු පැත්තෙන් පැතිරී පහර එල්ල කරන සම්මත ස්පාටන් සටන් උපක්‍රමය අපේක්ෂා කළ එපමිනොන්ඩස්, සිය හමුදාව වම් පැත්තට බර ව යොමු කළා. ඒත් සමඟ ම ස්පාටන්වරුන් කිසිවිටෙකත් අපේක්ෂා නොකළ යුද ක්‍රමෝපායයන් රැසක් ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට එපමිනොන්ඩස් ක්‍රියා කළා.

පෙලෝපිඩස්, ලෙයුක්ට්‍රා සටන මෙහෙයවන අයුරු දක්වන සිතුවමක් – darktales.blog 

අසාමාන්‍ය දෙයක් සිදු වන බව ස්පාටන්වරුන්ට අවබෝධ වුණත්, කාලය ඔවුන්ට අවාසි සහගත ලෙස ගත වී අවසන්. ස්පාටන්වරු සාම්ප්‍රදායික ලෙස තම දක්ෂිණාංශය දිගු කරමින් වේගයෙන් ළඟා වෙමින් සිටින තීබන්වරු වට කර ගැනීමට උත්සාහ කළත්, ඔවුන් අසාර්ථක වුණා. මේ අතර එපමිනොන්ඩස්ගේ ආදරවන්තයා ලෙස සලකන පෙලෝපිඩස්, තමාගේ භූමිකාව ඉටුකරමින් සටනට ප්‍රවිෂ්ඨ වුණා.

 තීබ්ස් හමුදාව හමුවේ ස්පාටන්වරුන් නැවත වතාවක් පරාජය උරුම කර ගත් අතර, ඔවුන්ගේ බලය බිඳ වැටුණා. ඉන්පසු තීබන්වරු නගර එකින් එක ස්පාටන්වරුන්ගෙන් මුදා ගත්තා. ග්‍රීක නගර රාජ්‍ය අත්පත් කර ගැනීමේ දී ඇතන්ස් සහ ස්පාටා අනුගමනය කළ පිළිවෙත එපමිනොන්ඩස් ප්‍රතික්ෂේප කළා. පරාජිත නගර සූරාකෑම වෙනුවට ඔහු විමුක්තිදායකයකු ලෙස කීර්තියක් අත්කර ගත්තා. ඔහුගේ ප්‍රේමවන්තයා ලෙස සලකන පෙලොපිඩස්, එපමිනොන්ඩස්ගේ ක්‍රියාපිළිවෙත අනුගමනය කළ බව සඳහන්.

කෙරෝනියා සටනින් තීබ්ස් හි පූජනීය හමුදාව සමූල ඝාතනයට ලක් වූ බව සඳහන් – www.pinterest.com 

ඉරණම විසඳූ කෙරෝනියා සටන

 ක්‍රිස්තු පූර්ව 338 වනවිට නොනවතින යුද්ධ හේතුවෙන් ග්‍රීක නගර රාජ්‍ය දුර්වල වෙමින් පැවතුණා. ඒ අතර තීබ්ස්වලට උතුරින් පිහිටි මැසිඩොන් රාජධානිය බලවත් වෙමින් තිබුණා. එම කාල වකවානුව තුළ මැසිඩොන් රාජ්‍ය‍යේ නායකත්වය දැරුවේ දෙවැනි පිලිප්. ඔහු තරුණ කාලයේ දී අවුරුදු තුනක් තීබ්ස් හි ප්‍රාණ ඇපකරුවකු ලෙස වාසය කර තිබූ අතර, එම කාලයේදී තීබ්ස් හි පූජනීය හමුදාව අත්කර ගත් ජයග්‍රහණ ඔහු දුටුවා. ඔවුන්ගේ ‍යුදමය ක්‍රමෝපායයන් තරුණ පිලිප් ඉතා සැලකිල්ලෙන් නිරීක්ෂණය කළ බව සඳහන්.

 දෙවන පිලිප් රජකමට පත්වූ විට මැසිඩොන් රාජධානිය යුදමය වශයෙන් දුර්වල තත්ත්වයක තිබූ අතර, තීබ්ස් හි පූජනීය හමුදාව ආදර්ශයට ගනිමින් තම හමුදා ශක්තිමත් කිරීමට ඔහු පියවර ගත්තා. ග්‍රීක නගර රාජ්‍යයන් දුර්වල වීමත් සමඟ දෙවැනි පිලිප් රජු ආක්‍රමණයකට සූදානම් වුණා. රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සහ හමුදා ක්‍රියාමාර්ගවලින් පුරාණ ග්‍රීසියේ වැඩි කොටසක් යටත් කර ගැනීමට ඔහු සමත් වුණා. ළඟ එන අවදානම දුටු ඇතන්ස් සහ තීබ්ස් නගර රාජ්‍යයන් සන්ධානගත වීමට තීරණය කළා.

 ඇතන්ස්-තීබ්ස් සන්ධානය

 ඇතන්ස්-තීබ්ස් සන්ධානයට සාපේක්ෂ ව මැසිඩොන් හමුදාව පිරිස් බලයෙන් ඉතා ප්‍රබල තැනක සිටියා. පිලිප් රජුගේ මනා අධ්‍යයනයත් මැසිඩොන්වරුන්ගේ වාසියට තිබුණා. මැසිඩොන් බලමුළුව සඳහා එකල අත්දැකීම් අඩු තරුණ ඇලෙක්සැන්ඩර් කුමාරයා පවා සහභාගී වුණා. තීරණාත්මක කෙරෝනියා සටනින් ඇතන්ස්-තීබ්ස් සන්ධානය පරාජයට පත් වුණා. එහෙත්, එක්තරා පිරිසක් පරාජය පිළිගන්න සූදානම් වුණේ නැහැ. තීබ්ස් හී පූජනීය හමුදාව සිය ආදරවන්තයා සහ ගෞරවය වෙනුවෙන් මරණය දක්වා ම සටන් කළා. අපරිමිත නිර්භීතභාවය පමණක් උරුම කර ගනිමින් අවසානයේදී ඔවුන් ප්‍රතිවාදීන් හමුවේ සමූල ඝාතනයට ලක් වුණා.

එපමිනොන්ඩස්ගේ මරණය සිතුවමට නඟා ඇති අයුරු – www.clarkart.edu 

 සටනින් පසු පිලිප් රජු මළවුන් නිරීක්ෂණය ක‍රමින් තීබ්ස් හි පූජනීය හමුදාව ඝාතනයට ලක්වූ ස්ථානයට පැමිණි බව ප්ලූටාර්ක් සඳහන් කොට තිබෙනවා. රණශූරයන් එකිනෙකා සමඟ වෙළෙමින් මැරී වැටී සිටි අන්දම දුටු පිලිප් රජු පුදුමයට පත් වුණා. එය ප්‍රේමවන්තයන්ගෙන් සමන්විත වූ කණ්ඩායමක් බව දැනගත් වහා ම පිලිප් රජු කඳුළු සලමින් පහත අර්ථයට සමීප ප්‍රකාශයක් කළ බව කියවෙනවා.

“මේ මිනිසුන් යම් අවමන් සහගත දෙයක් කළා හෝ අත්වින්දා කියා හෝ සිතන ඕනෑම කෙනෙක් දුක්ඛදායක ලෙස විනාශ වේවා!”

 තීබ්ස් හි පූජනීය හමුදාව ප්‍රතිවාදී නායකයාගේ කදුළු මැද එලෙසින් ඉතිහාසයට එක් වුණා.

කවරයේ ඡායාරූපය: පුරාණ ග්‍රීක සෙබළකුගේ නිර්මාණාත්මක රුවක් - wallpaperaccess.com

මූලාශ්‍ර:

medium.com

historydaily.org

www.ancient-origins.net

www.worldhistory.org

Related Articles