සදාචාරය හා සංස්කෘතිය අතර හිරවන ලිංගික අධ්‍යාපනය

ඇරිස්ටෝටල් වරක් ප්‍රකාශ කළ පරිදි, මිනිසාට උපතින්ම හිමිවන ප්‍රධාන ආශාවන් ත්‍රිත්වයකි. එනම් ධනය,  බලය, සහ ලිංගිකත්වය ළඟා කරගැනීමට ඇති ආශාව යි. මින් ධනය හා බලය පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කළ ද, තෙවන අවශ්‍යතාවය පිළිබඳව ප්‍රසිද්ධියේ කතා වන්නේ කලාතුරකිනි. බොහෝවිට ලිංගිකත්වය අප්‍රසිද්ධ, අප්‍රකට මාතෘකාවක් බවට පත්වී ඇත. නමුත් ඉන් ලිංගිකත්වය පිළිබඳ ආශාවක් හෝ අවශ්‍යතාවයක් පුද්ගලයාට නොමැති බව ප්‍රකාශ නොවේ.

ලිංගික අධ්‍යාපනය ලබාදීම

නව යොවුන් වියේ පසුවන දරුවන් එම කාල පරාසය තුළ දී ශාරීරික වශයෙන් විශාල වෙනස්කම් ප්‍රමාණයක් අත්විඳී. ශාරීරික වෙනස්කම් සමග ඔවුනට තම ශරීරය සහ ලිංගිකත්වය පිළිබඳව කුතුහලයක් ඇතිවීම ස්වභාවික ය. එලෙස ඇතිවන කුතුහලය සංසිඳුවා ගනු වස්, ලිංගිකත්වය පිළිබඳව කරුණු, දැනුම සොයා යනු ලබයි. නමුත් එලෙස කරුණු සොයා යාම සඳහා විශ්වාසනීය සහ විධිමත්  මූලාශ්‍ර පවතින්නේ ඉතා අවම වශයෙනි. එසේම ඒ පිළිබඳ කරුණු ලබාගත හැකි විශ්වාසනීය මූලාශ්‍රයයන් ලෙස පාසල සහ දෙමව්පියන් හඳුනාගත හැකිය. එනිසා මේ වයසේ දරුවන්ට ලිංගිකත්වය පිළිබඳව අවබෝධය සහ දැනුම ලබාදීම අතිශයින්ම වැදගත් ය. 

ලිංගික අධ්‍යාපනය උගත හැකි විශ්වාසනීය මූලාශ්‍රයයන් ලෙස පාසල හඳුනාගත හැකිය/DW

 

නමුත් දෙමාපියන් බොහෝවිට සදාචාරය මත පදනම්ව තම දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමට ඉදිරිපත් නොවේ. පාසලේ ගුරුවරුන් ද බොහෝවිට සදාචාරය හා සංස්කෘතියට මුවාවෙමින් ලිංගික අධ්‍යාපනය පිළිබඳ පාඩම් මඟහරිමින් හෝ අතපසු කරමින් ඉදිරියට යනු දැකගත හැකිය. මවුපියන් හා ගුරුවරුන් යන දෙපාර්ශ්වයම තමාගෙන් ඉටුවිය යුතු වගකීම් මඟහැරීම හෝ අතපසු කිරීම හරහා තරුණ පරම්පරාවට විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලැබීමේ ඉඩකඩ අහිමි වේ. බොහෝ යෞවනයන්ට ළමා වියෙන් වැඩිහිටි වියට සංක්‍රමණය වන අවස්ථාවේ දී ලිංගිකත්වය පිළිබඳව ව්‍යාකූල තොරතුරු ලැබේ. යෞවනයින්ට ආරක්ෂාකාරී, ඵලදායි හා පරිපූර්ණ ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ලබාදීමේ දැඩි අවශ්‍යතාවයක් මේ නිසාම උද්ගත වෙයි. පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයක් ලබාදීම හරහා යෞවනයන්ට ඔවුන්ගේ සමාජ සම්බන්ධතා, ලිංගිකත්වය පිළිබඳව දැනුවත් තීරණ ගැනීමට සහ යහපැවැත්මට අවදානම් ඇති කරන්නා වූ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය, අසමානතාව, අනවශ්‍ය ගැබ් ගැනීම්, ලිංගිකව සම්ප්‍රේෂිත රෝග වැනි අවදානම්වලින් මිදී යහපත් ජීවන රටාවකට පියනැගීමට එය මනා පිටිවහලක් වේ.

නිසි ලිංගික අධ්‍යාපනයක් නොලැබෙන විට…

නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැති වීම හේතුවෙන් තරුණ ප්‍රජාව නොයෙකුත් ගැටලුවලට මුහුණ දෙන ආකාරය දැකගත හැකිය. ලංකාවේ තරුණ ජනගහනය මිලියන 4.4ක් පමණ වේ. ඉන් 50%කටම පමණ නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැති බව කරන ලද අධ්‍යයනවලින් හෙළි වී ඇත. නිසි ලිංගික අධ්‍යාපනයක් නොලැබීම හේතුවෙන් ඔවුන් යොවුන් වියේ දී සිදුවන ගැබ් ගැනීම, ලිංගිකව සම්ප්‍රේෂිත රෝග, සහ කායික, මානසික පීඩනයට මුහුණදීම දැකගත හැකිය.

ලංකාව තුළ අවුරුදු 20ට අඩු ගැබ්ගැනීම් 20,000ක් පමණ වාර්ෂිකව වාර්තා වේ. 2018 UNICEF සංවිධානයේ වාර්තාවකට අනුව 2016 වසරේ ලංකාවේ ගර්භනී කාන්තාවන් අතරින් 4.6%ක් නව යොවුන්වියේ පාසල් දරුවන් ය. ඇතැම් පළාත්වල මෙය 5% – 8% අතර අගයක් ගනී. නව යොවුන් වියේ දී සිදුවන ගැබ්ගැනිම් නිසා අදාල දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු නතර වීම, සමාජීය වශයෙන් පීඩනයට ලක්වීම, සහ මන්ද පෝෂණයෙන් යුතු දරුවන් බිහිවීම ආදී ප්‍රතිඵල දැකගත හැකිය. නව යොවුන්වියේ ගැබ් ගැනීමට ප්‍රධාන හේතුව ලෙස නොදැනුවත්භාවය, උපත් පාලන පෙති භාවිතා නොකිරීම හඳුනාගෙන ඇත.

නව යොවුන්වියේ ගැබ් ගැනීමට ප්‍රධාන හේතුව ලෙස නොදැනුවත්භාවය, උපත් පාලන පෙති භාවිතා නොකිරීම හඳුනාගෙන ඇත/Feminism India

 

ඊට අමතරව අවදානම් සහ අවිධිමත් ලෙස සිදුකරන ලිංගික ක්‍රියාකාරකම් හරහා ලිංගිකව සම්ප්‍රේෂිත රෝග ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතියි. 2015 දී වාර්තා වුණු ඒඩ්ස් රෝගීන්ගෙන් 75 දෙනෙකු වයස අවුරුදු 15ට වඩා අඩු දරුවන් වීම කනගාටුවට කරුණකි.

නව යොවුන් වියේ ගැබ්ගැනීම් හෝ ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්ත වීමට ප්‍රධානතම හේතුව බවට පත්වන්නේ, මෙවැනි සිදුවීම් වළක්වාගැනීම පිළිබඳව නව යොවුන් වියේ දරුවන්ට පවතින අවබෝධය සහ දැනීමේ පවතින අවම බව යි. 2018 දී UNICEF සංවිධානය නිකුත් කළ වාර්තාවක තවදුරටත් දක්වන්නේ ගැහැනු දරුවන් ගෙන් 66%ක් තමන් වැඩිවියට පත්වන තුරුම අදාළ ක්‍රියාවලිය පිළිබඳව කිසිවක් නොදන්නා බව ය. කොන්ඩමයක් භාවිතයෙන් බොහෝ ලිංගාශ්‍රිත රෝග වළක්වා ගත හැකි බවට තරුණ පරම්පරාවෙන් අවබෝධයක් ඇත්තේ 48%ක පිරිසකට පමණි. ඒ අනුව බහුතරයකට උපත් පාලන ක්‍රම පිළිබඳ අවබෝධයක් නොමැති බව ද පැහැදිලි වේ. මෙය අනවශ්‍ය ගැබ් ගැනීමට මෙන්ම ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්ත වීමට ද හේතුවකි.

ලිංගිකත්ව අධ්‍යාපනයේ ඇති වැදගත්කම පිළිබඳ අවධාරණය කිරීම උදෙසාම 2016 දී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ජාතික සමීක්ෂණයක් පවත්වන ලදී. ඒ හරහා පාසල් දරුවන්ගේ ලිංගික නැඹුරුව සහ අධ්‍යාපනය පිළිබඳව අවධානයට ලක්වීය. මෙහි ප්‍රධානියා ලෙස කටයුතු කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. කරුණාතිලක යි. මෙම සමීක්ෂණය සඳහා අහඹු ලෙස දිවයිනම ආවරණය වන ලෙස පාසල් 294ක් තෝරාගෙන තිබූ අතර, 2776ක් දරුවන් සමීක්ෂණයට භාජනය කෙරිණි. විදුහල්පතිවරුන් 176ක් ද, සෞඛ්‍ය අධ්‍යාපන විෂය භාර ගුරුවරු 276ක් ද, දෙමාපියන් 990ක් ද මේ සමීක්ෂණය සඳහා දායක කරගෙන ඇත. 

මෙහි සමීක්ෂණ වාර්තාවේ යෝජනාවන්ට අනුව දරුවන්ට ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපනයක් ලබාදීමේ ප්‍රමුඛතම කාර්යභාරය පාසලක ගුරුවරුන්ට පවරා ඇත. දෙමව්පියන්ට ද ඒ වගකීමෙන් මිදිය නොහැකිය.

පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය යනු, ලිංගිකත්වය පිළිබඳ ඥානමය, නෛතික හා සමාජ සාධක සම්බන්ධයෙන් විෂය මාලාවක් ඔස්සේ සිදුකරනු ලබන ඉගැන්වීම් ක්‍රියාවලියකි.

පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයක් ලබාගැනීම තුළින් ,

  • ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය හා චර්යාව සම්බන්ධ නව යොවුන් වියේ දරුවන්ගේ දැනුම සහ ආකල්ප වර්ධනය වීම
  • පාසල තුළ හෝ බාහිරව ලබා දෙන පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය නිසා අවදානම් සහගත ලිංගික හැසිරීම් හෝ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳව අවබෝධය වර්ධනය වීම
  • එවැනි අවදානම් සහගත ක්‍රමයන්ගෙන් දුරස් වී සිටීමට හැකියාව ලැබීම
  • ලිංගිකත්වය පිළිබඳව පවතින ගැටලු අවම කර ගැනීමට හැකි වීම

වැනි සාධනීය ප්‍රතිඵල ගණනාවක් ළඟා කරගත හැකිය.

පාසැල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම සඳහා යෝජනා වූ පෙළපොත/Lankaeducation.com

 

ලිංගිකත්වයන් තවදුරටත් රහසක් නොවිය යුතු ය. ලිංගිකත්වය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් යෞවන  තරුණය ප්‍රජාවට  ලබාදීම අතිශයෙන්ම වැදගත් ය. යමක් රහසක් වූ විට ඒ පිළිබඳව ඇතිවන කුතුහලය ඉහළ යයි. නමුත් අදාළ කාරණා ප්‍රසිද්ධියේ උගන්වන්නේ නම්, අදාළ කාරණා පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කරන්නේ නම් දරුවන් රහසිගත, අවිධිමත් මාර්ගයන් හරහා එම කරුණු ගවේශනය කිරීමට යොමු නොවේ. සදාචාරය හෝ සංස්කෘතියට මුවා වෙමින් තවදුරටත් ලිංගිකත්වය පිළිබඳව සාකච්ඡා කිරීම අතපසු නොකළ යුතු ය. එලෙස අතපසු කරන මොහොතක් පාසා තරුණ දරුවකුගේ හෝ දැරියකගේ යහපැවැත්මට බාධා වීමට හැකි බව ද අමතක නොකළ යුතු ය.

Related Articles