මොකක්ද මේ “ලිංගික අධ්‍යාපනය”?

ලිංගික අධ්‍යාපනය ගැන පහුගිය දවස්වල බොහෝ දෙනෙක් තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා තිබුණා. ඒ ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් එකතු කරන්න හිතුවේ බොහෝ දෙනෙකුට වැදගත් වෙයි කියලා හිතුනු නිසා.

මොකක්ද මේ “ලිංගික අධ්‍යාපනය”?

මුලින්ම කියන්න අවශ්‍ය යි, මේක ඉංග්‍රීසි යෙදුමක් සෘජුව සිංහලට පරිවර්තනය කිරීමේ දී සිදුවුණු වරදක්. මේ දවස්වල කතාවෙන “ලිංගික අධ්‍යාපනය” ඉංග්‍රීසියෙන් හඳුන්වන්නෙ (sexuality education) විදියට. ඒක නිවැරදිව සිංහලට පරිවර්තනය වෙන්න ඕනෙ “ලිංගිකත්ව අධ්‍යාපනය” කියලා යි. ලිංගය (sex), ලිංගික (sexual), සහ ලිංගිකත්වය (sexuality) කියන්නෙ එකිනෙකට වෙනස් තේරුම් ඇති වචන තුනක්. ඒ නිසා මෙතැන ඉඳලා “ලිංගික අධ්‍යාපනය” කියන වැරදි යෙදුම වෙනුවට “ලිංගිකත්ව අධ්‍යාපනය” කියන නිවැරදි යෙදුම බාවිතා කෙරෙනවා.

ඉතිහාසය

අපට ටිකක් අළුත් මාතෘකාවක් වුණත්, ලිංගිකත්ව අධ්‍යාපනය මුලින්ම පාසල් විෂය නිර්දේශයට ඇතුළත් වන්නේ 1955 දී යි. ස්වීඩනය තමයි මුලින්ම තමන්ගේ පාසල් විෂය නිර්දේශයට ලිංගිකත්ව අධ්‍යාපනය ඇතුළත් කරන්නේ. ඉන්පසු යුරෝපීය රටවල් බොහොමයක් තම පාසල් විෂය නිර්දේශයට ලිංගිකත්ව අධ්‍යාපනය ඇතුළත් කරනවා. ලිංගිකත්වය සම්බන්ධ මූලික කරුණු ඉගැන්වීම කෙරෙන අතරෙම ලිංගිකත්ව අධ්‍යාපනයේ විශේෂ අවධානය යොමුවෙන්න ඕනෙ ඉසව් කාලීන, සෞඛ්‍ය, සහ අධ්‍යපනික අවශ්‍යතාවන්වලට ගැලපෙන විදියට, පහුගිය දශක පහකට වැඩි කාලය තිස්සේ වෙනස් වෙලා තියෙනවා. තවත් පැහැදිලි කළොත් මුලින්ම ලිංගිකත්ව අධ්‍යාපනයේ අරමුණ වී තිබුණෙ අනවශ්‍ය ගැබ් ගැනීම් වැලැක්වීම යි. ඉන්පසු ඒඩ්ස් පැතිරීම වැලැක්වීම, ලිංගික අපයෝජන පිළිබඳ දැනුම්වත් කිරීම වගේ අරමුණු ආදියේ සිට, මේ වෙනකොට ස්ත්‍රී පුරුෂ සමාජබාවය නිසා සිදුවන වෙනස්කම් අවම කිරිම සහ අන්තර්ජාලය හරහා සිදුවන අයුතු බලපෑම් අවම කිරීම දක්වා පරිණාමය වෙලා තියෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දුන් මේ පොත පසුගිය දා විශාල කතාබහක් ඇතිකළා. 

අර්ථදැක්වීම

හැම දේකටම වගේ ලිංගිකත්ව අධ්‍යාපනයටත් අර්ථදැක්විමක් තියෙනවා. ඒක මෙන්න මේ විදියට සිංහලට පර්වර්තනය කරගන්න පුළුවන්.

 “ලිංගිකත්වයේ ඥනාත්මක, චිත්තවේගීය, භෞතික සහ සාමාජීය අංශ පිළිබඳ විෂය නිර්දේශ මත පදනම් වන ඉගෙනුම් – ඉගැන්වුම් ක්‍රියාවලිය ලිංගිකත්ව අධ්‍යාපනය යි.”

අප උදාහරණයකින් මේ අර්ථදැක්වීම පැහැදිලි කරගන්නට උත්සාහ කරමු.

ප්‍රේම සම්බන්ධයක් කියන්නේ ලිංගිකත්වය එක්ක ඍජුවම සම්බන්ධ වෙන දෙයක් කියලා ඔබ එකඟ වෙයි. ප්‍රේම සම්බන්ධයක් ඇතුළේ කලින් දක්වපු අර්ථ දැක්වීමෙ තියෙන ඥානාත්මක, චිත්තවේගීය, භෞතික සහ සාමාජීය අංශ හැම එකක්ම ඇතුළත් වෙලා තියෙනවා. ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගන්නවා ද නැද්ද කියන තීරණයේ ඉඳන් ප්‍රේම සම්බන්ධයක් ඇතුළෙදි ගන්න තීරණ ඥාණයට අදාල වෙනවා. ප්‍රේම සම්බන්ධයක දී අනෙකා ගැන දැනෙන ආදරය, සහකම්පාව වගේ හැඟිම් චිත්තවේග ගණයට වැටෙනවා. ඊළඟට ප්‍රේම සම්බන්ධයක දී සලකා බැලෙන භෞතික කාරනා තියෙනවා. උදාහරණයක් විදියට උස, මහත, හමේ වර්ණය වගේ දේ, එහෙම නැත්නම් මුදල්, වාහන, දේපල වගේ භෞතික දේ. ඔය හැම එකක්ම වගේ ප්‍රේමය සමාජය ඇතුළෙ පවතින්නෙ කොහොම ද කියන එකට වැදගත් වෙනවා. සමාජය පොදුවේ ප්‍රේමය ප්‍රතික්ෂේප කරනවා ද? සමාජය ප්‍රේමවන්තයින්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවා ද වගේ දේවල් ප්‍රේමයට අදාල වෙනවා. ප්‍රේමයට වගේම ලිංගිකත්වයටත් ඥානාත්මක, චිත්තවේගීය, භෞතික සහ සාමාජීය අංශ හැම එකක්ම ඇතුළත් වෙලා තියෙනවා. ලිංගිකත්වයට අදාලව ඔය අංශ හතර ගැන ඉගැන්වීම හෝ ඉගෙන ගැනීමට සැලැස්වීම විෂය නිර්දේශයකට අනුව සිද්ධකිරීම ලිංගිකත්ව අධ්‍යාපනය කියලා හඳුන්වනවා.

මීට අමතරව ලිංගිකත්ව අධ්‍යාපනය සම්පූර්ණ කරන්න ඕනෙ තවත් අවශ්‍යතාවයන් කීපයක් තියෙනවා.

  • විද්‍යාත්මක නිවැරදි බව – උගන්වන සියලු කරුණු විද්‍යාත්මකව නිවැරදි වෙන්න ඕනෙ
  • ලබා දෙන දැනුම වර්ධනාත්මක විම – සරල තැනකින් පටන්ගෙන සංකීර්ණ කරුණු තෙක් ක්‍රමානුකූලව දැනුම ලබා දීම වෙන්න ඕනෙ
  • වයසට ගැලපෙන දැනුම ලබා දීම – උදා: ළමුන් වැඩිවියට පත්වන කාලයේ දී වැඩිවියට පත්විම පිළිබඳ දැනුම ලබා දෙනවා වගේ
  • විෂය නිර්දේශයකට අනුව සිද්ධකිරීම – ලිඛිත විෂය නිර්දේශයක් තියෙන්න ඕනෙ.
  • සියළු කොටස් ආවරණය වීම
  • සංස්කෘතික හා සමාජ වටපිටාව සමග ගැලපීම – උගන්වන දේ ගැලපීම මිස, ඉගැන්වීම නැවැත්වීම නෙවෙයි

මොනවා ද, කොහොම ද උගන්වන්නෙ?

ලිංගිකත්ව අධ්‍යාපනය ලබාදෙන්නෙ මූලික සංකල්පයන් අටක් යටතේ. ඒ තමයි,

  • සම්බන්ධතා – පවුල, මිත්‍ර සම්බන්ධතා, ප්‍රේම සම්බන්ධතා වගේ දේවල්
  • වටිනාකම්, අයිතීන්, සහ ලිංගිකත්වය
  • ස්ත්‍රී/පුරුෂ සමාජභාවය වටහා ගැනීම
  • ප්‍රචන්ඩත්වය සහ ඉන් ආරක්ෂා වීම
  • සෞඛ්‍ය සහ යහපැවැත්ම සඳහා කුසලතා
  • මිනිස් සිරුර සහ සංවර්ධනය (ප්‍රජනක පද්ධතියේ සංවර්ධනය)
  • ලිංගිකත්වය හා ඒ සම්බන්ධ චර්යාවන්

මේ මූලික සංකල්ප මාතෘකා දෙකත් පහත් අතර ගණනකට නැවතත් බෙදා දක්වනවා. උදාහරණයක් විදියට මිනිස් සිරුර සහ වර්ධනය (ප්‍රජනක පද්ධතියේ වර්ධනය) කියන කාරනාව, ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය, ප්‍රජනනය (සංසේචනයේ සිට කළල වර්ධනය සහ දරු ප්‍රසූතිය දක්වා), වැඩිවියට පත්වීම සහ ශරීර ස්වභාවය (body image) පිළිබඳ මතවාද විදියට මාතාකාවලට බෙදෙනවා.

වයසට අදාල බව

ඉහළින් සඳහන් කරපු සංකල්ප සහ මාතෘකා ඉගෙනුම් – ඉගැන්වුම් ක්‍රියාවලියට යොදාගන්න පහසුවෙන විදියට දැනුම, ආකල්ප, සහ කුසලතාවලට අදාලව ඉගෙනුම් අරමුණු (learning objectives) සැලසුම් කරගන්නවා. ඉගෙනුම් අරමුණු සැලසුම් කරන්නෙ වයස් කාණ්ඩ හතරකට අදාලව. වයස අවුරුදු 5-8, 9-12, 12-15, සහ 15-18+ විදියට. ඒ ඒ වයස් කාණ්ඩවලට අදාල වෙන විදියට මූලික සංකල්ප යටතේ තියෙන හැම මාතෘකාවකටම ඉගෙනුම් අරමුණු (learning objectives) සැලසුම් කරලා තියෙනවා.

මේ කාරණාව තවදුරටත් පැහැදිලි කරනවා නම්, පහුගිය කාලෙ වැඩිපුර කතාබහට ලක්වුණ “ලිංගිකත්වය හා ඒ සම්බන්ධ චර්යාවන්” කියන සංකල්පය යටතට වැටෙන මාතෘකාවක් වෙන ලිංගිකත්වය සම්බන්ධ චර්යාවන් (ස්වයංවින්දනය වැනි) ගැන කතා කරන්නේ මේ මාතාකාව ඇතුළේ යි. ඒ ඒ වයස් කාණ්ඩවලට ඉගැන්වීමේ දී යොදාගන්නා ඉගෙනුම් අරමුණු (learning objectives) වයස් කාණ්ඩවලට බෙදලා පහතින් ඉදිරිපත් කරන්නම්.

විෂය නිර්දේශයකට අනුව ලිංගිකත්ව අධ්‍යාපනය ලබාදීම පාසල්වල සිදුකෙරෙයි./ The Deccan Herald

වයස අවුරුදු 5 – 8 දක්වා ළමයින් සඳහා

  • සිපගැනීම, වැළඳගැනීම, හෝ ස්පර්ශ කිරීම මඟින් කෙනෙක් තවත් කෙනෙකුට ඇති ආදරය ප්‍රකාශ කරන්න පුළුවන් කියලා දරුවන් දැනුම්වත් කරනවා
  • ඒ අතරෙම දරුවෙක්ව ස්පර්ශ කිරීමේ දී හොඳ ස්පර්ශය (good touch) සහ නරක ස්පර්ශය (bad touch) හඳුනාගන්න දරුවා පුරුදු කරන අතරම, නරක ස්පර්ශයක දී ක්‍රියා කළ යුතු ආකාරයත් දරුවන්ට කියලා දෙනවා වගේම පුරුදු පුහුණු කරනවා

 වයස අවුරුදු 9 – 12 දක්වා ළමයින් සඳහා

  • කායික හෝ මානසික ලිංගික උත්තේජනයකට කාන්තාවක් හෝ පිරිමියෙක් ප්‍රතිචාර දක්වන්නේ කොහොම ද කියන කාරණාවත්, ප්‍රතිචාර දැක්වීමේ දී සිද්ධවෙන කායික මානසික වෙනස් කම් විද්‍යාත්මකව පැහැදිලි කරලා දෙනවා.
  • ස්වයංවින්දනය මානසික ලිංගික උත්තේජනයක් තුළින් සිදුකරන බවත්, ඉන් ශාරීරික හානියක් නොවෙන බවත්, එය පෞද්ගලික කාර්යයක් බවත් පැහැදිලි කරලා දෙනවා

මෙතන දී අවධාරණය කරන්න ඔන දේ තමයි ඇති දේ ඇති සැටියෙන් පැහැදිලි කරලා දීමක් මිස අතිශෝක්තියෙන් වර්ණනා කිරීමක් මෙතන දී සිද්ධ වෙන්නෙ නෑ කියන කාරණාව.

  • ලිංගික සම්බන්ධතා පමා කිරීමේ හෝ ලිංගික සම්බන්ධතා ආරම්භ කිරීමේ වාසි සහ අවාසි පිළිබඳ දරුවන් දැනුම්වත් කරනවා.
  • අනවශ්‍ය ගැබ් ගැනිම් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැලැක්වීමට හොඳම ක්‍රමය ලිංගික සම්බන්ධතා පමා කිරීම බව පැහැදිලි කරලා දෙනවා
  • ඒ අතර ම ලිංගික සම්බන්ධතා ආරම්භ කිරීම තමන්ගේ අනාගත ඉලක්කවලට බලපාන්නෙ මොන විදියට ද කියලා දැනුම්වත් කරනවා

වයස අවුරුදු 12 – 15 දක්වා ළමයින් සඳහා

  • ලිංගික උත්තේජනයකට ප්‍රතිචාර දැක්විම කායික සහ මානසික ප්‍රතිචාරවල එකතුවක් බවත්, එය පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ අවස්ථාව අනුව වෙනස් වෙන බවත් පැහැදිලි කරනවා
  • ලිංගික චර්යාවන් පිළිබඳ සාමාජිය හා සංස්කෘතික මිත්‍යා මත පවතින බවත්, ඒවා බැහැර කර විද්‍යාත්මක තොරතුරු සොයාගැනිම වැදගත් බවත් උගන්වන අතරෙම මිත්‍යා මත හඳුනාගන්නත් විද්‍යාත්මක තොරතුරු සොයාගන්නත් පුරුදු පුහුණු කරනවා
  • ලිංගික චර්යාවන් පිළිබඳ තමන් ගන්නා තීරණ තමන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්මට බලපාන බවත්, ඒ තීරණ පෞද්ගලික බවත්, කාලයත් සමග වෙනස් කරගත හැකි බවත් පැහැදිලි කරනවා. ඒත් එක්කම නිවැරදි තිරණ ගන්නත් වෙනත් කෙනෙකුගේ තිරණයට ගරු කරන්නත් පුරුදු පුහුණු කරනවා
  • ලිංගික සම්බන්ධතාවක් නිසා සිදුවෙන හානිකර ප්‍රතිඵල (අනවශ්‍ය ගැබ් ගැනිම් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග) වලක්වා ගන්න පුළුවන් ක්‍රම සහ විධි ගැන දැනුම්වත් කරනවා
  • මුදල් හෝ භාණ්ඩ ලබා ගැනීමේ අරමුණින් ලිංගික ක්‍රියාවන්වල යෙදීම හානිදායක බවත්, එවැනි අවස්තාවලින් මිදෙන්නේ කොහොමද කියලත් දැනුම්වත් කරනවා

වයස අවුරුදු 15 – 18+ දක්වා ළමයින් සහ තරුණයන් සඳහා

  • ලිංගික හැසිරීම් හෝ සම්බන්ධතා මඟින් සතුට ලැබිය හැකි නමුත් එහිදි තම සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ වගකීම් සහගත වියයුතු බව පැහැදිලි කරනවා
  • ලිංගික හැසිරීම් හෝ සම්බන්ධතා පිළිබඳ තිරණ ගැනිමට පෙර අනවශ්‍ය ගැබ්ගැනිම් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැලැක්වීමට හැකි ක්‍රමයන් ගැන අවධානය යොමුකළ යුතු බවත්, අවශ්‍ය අවස්තාවක දී එම ක්‍රමයන් අනුගමනය කළ යුතු බවත් පැහැදිලි කරනවා

දැන් ඔබට වැටහෙනවා ඇති එක මාතෘකාවක් සරල කරුණුවල ඉඳලා සංකීර්ණ කරුණු දක්වා ඒ ඒ වයස් කාණ්ඩවලට අදාලව ඉදිරිපත් වෙන්නෙ කොහොම ද කියලා. මේ විදියට මූලික සංකල්ප හැම එකකටම අදාල මාතෘකා සියල්ලටම ඒ ඒ වයස් කාණ්ඩවලට ගැලපෙන ඉගෙනුම් අරමුණු (learning objectives) පෙළගස්වලා තියෙනවා. මේ විදියට වයස් කාණ්ඩ වෙන් කරලා තිබුණත්, කිසියම් හේතුවක් නිසා ඉහළ වයස් කාණ්ඩයක කෙනෙකුට පහළ වයස් කාණ්ඩයට අදාල දැනුම ලැබිලා නැති නම්, එම දැනුම ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ යි දැනට ඉන්න වයස් කාණ්ඩයට අදාල දැනුම ලැබෙන්න ඕනෙ.

ලිංගිකත්ව අධ්‍යාපනයේ ප්‍රතිඵල

ලිංගිකත්ව අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන රටවල් බොහෝමයක කරපු සමීක්ෂණවලින් අනාවරණය කරගත් යමක් තමයි ලිංගිකත්ව අධ්‍යාපනය නිසි ලෙස ලබා දීම නිසා ලිංගික සම්බන්ධතා ඇතිකරගැනීම පමා වීම, ලිංගික සම්බන්ධතා ප්‍රමාණය සහ ලිංගික සහකරුවන්/ සහකාරියන් ගණන අඩු වීම සිද්ධවෙන බව. ඊට අමතරව ලිංගික සම්බන්ධතාවල දී අවදානම් ගැනීම අඩුවන බවත්, උපත් පාලන කොපු (කොන්ඩම්) සහ උපත් පාලන ක්‍රම භාවිතය ඉහළ යන බවත් සොයාගෙන තියෙනවා.

ලිංගිකත්ව අධ්‍යාපනය පිළිබඳ මිත්‍යා

ලංකාවේ විතරක් නොවෙයි, ලිංගිකත්ව අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන තවත් රටවලත් ඊට විරෝධතා මතු වෙලා තියෙනවා. එහෙම විරෝධතා ඉදිරිපත් කරන්නන් බොහෝ දෙනෙකුගෙ තර්කය වෙලා තියෙන්නෙ දරුවන් මේ හරහා ලිංගික චර්යාවන්වලට යොමු වෙන්න පුළුවන් කියන එක. ඒත් ඒ මතයේ සත්‍යතාවයක් නෑ කියන එක නැවත නැවතත් සමීක්ෂණවලින් අවධාරණය කරලා යි තියෙන්නේ. ඒක නිසා මේ වෙද්දි ඒ තර්කය අවලංගු වෙලා ඉවර යි.

ඉතින් පාසැල් දරුවන්ට ලිංගිකත්ව අධ්‍යාපනය ඕනෙ ද නැද්ද කියන තීරණය ගැනීම අප ඔබට බාර කරනවා.

References:

  1. Sexuality_education_Policy_brief_No_1.pdf [Internet]. [cited 2019 Dec 30]. Available from: http://www.euro.who.int/__data/assets/pdf_file/0008/379043/Sexuality_education_Policy_brief_No_1.pdf?ua=1
  2. UNESCO Digital Library [Internet]. [cited 2019 Dec 30]. Available from: https://unesdoc.unesco.org/ark:/48223/pf0000260770

Cover: Today Online

Related Articles