සිංහබාහු සහ තවත් සුපර් හීරෝ කතා

මුල කථාව

සිංහබාහු නාට්‍යය - එදිරිවීර සරච්චන්ද්‍ර (nation.lk)
සිංහබාහු නාට්‍යය – එදිරිවීර සරච්චන්ද්‍ර (nation.lk)

බොහෝ ජාතීන්ට මූල කතාවක් ඒ කියන්නේ ජාතිය ඇරඹුනේ කෙසේ ද යන්න ගැන කතාවක් තියෙනවා. ඒ කතාව බොහෝ විට හුදු සාහිත්‍යමය වටිනාකමක් තියෙන දෙයකට වඩා වැදගත්. අපි තිස්ස කුමාරයයි ගැමුණු කුමාරයයි ගැන කතා කලොත් අපිට ඒ දෙන්න අතර සම්බන්ධතාවයක් පේනවා, පොදු සාධකයක් පේනවා. ඔවුන් දෙදෙනා සහෝදරයෝ. ඒ කියන්නේ ඉන්නෙ එක පියයි, ඒ කාවන්තිස්ස. බණ්ඩාරණායක කියන්නෙ ලංකාවෙ ඉඩම් හිමි රදල වංශවත් පුද්ගලයෙක්. ගමේ ඉන්න සිමියොන් බාස් එහෙම නෙවෙයි. මේ දෙන්නා හැම අතින් ම වෙනස්. ඒත් පොදු සාධකයක් තියෙනවා. දෙන්නම සිංහල. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. සිංහල කියන ජාතිය ග්‍රාමසේවක උපන් දවසෙ අහම්බෙන් හිතල දාන නමක් නෙමෙයි. සාමාන්‍යයෙන් කෙනෙක් සිංහල වෙන්නෙ එයාගෙ පියා සිංහල වුණොත්. අගමැති බණ්ඩාරණායක සිංහල වුණේ එයාගෙ පියා සිංහල නිසා. දැන් ප්‍රශ්නයක් එනවා. හිතන්න අපි සිංහබාහු කතාව දන්නෙ ම නෑ කියල. ඒත් අපි දන්නවා බණ්ඩාරණායකත් සිංහල ගමේ සිමියොං බාසුත් සිංහල නම් දෙන්න ම සිංහල වෙන්න අතීතයේ කවදා හරි දවසක මේ පරම්පරා දෙක එක පියෙකුගෙ දරුවන් දෙදෙනෙකුගෙන් ඇරඹිල තියෙන්න ඕන.

ඒත් අපි හොඳට ම දන්නවා අර කලින් උදාහරණෙ ම ගත්තොත් බණ්ඩාරනායක සහ ගමේ සිමියොන් බාස් අතර සහෝදරකමක් නෑ කියල. ධනය සහ ප්‍රභූත්වය මත පදනම් ව මේ දෙදෙනා අතර ඇත්තේ නොමැකිය හැකි වෙනසක්. ඒ නිසා මේ දෙදෙනා අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න අපට කතාවක් ගොඩ නගන්න වෙනවා.

මට කියන්න ඕන වුණේ මෙච්චරයි, මූල කතාව යන්න පොදු සංස්කෘතියකට එකඟ වී ඇති මිනිස් කොට්ටාශයකට හුදු සාහිත්‍යයක් නොව අවශ්‍යතාවයක් බව. මොකද මූල කතාව නැත්නම් ජාතිය යන්න නොපවතින බැවින්. මෙතැනින් අපිට හැරෙන්න පුළුවන් අනිත් පැත්ත තමා මූල කතාව නිසා ජාතියක් නිර්මාණය වෙනවට වඩා පොදු සංස්කෘතියකට එකඟ වීම සඳහා ඒ කියන්නේ ජාතිය යන මිනිස් කොට්ටාශයේ පොදු බව සඳහා මූල කතාව ‘නිර්මාණය’ කරන බව. සිංහබාහු කතාව ඓතිහාසික වශයෙන් ඇත්ත ද නැත්ත ද යන්න සිංහල ජාතියේ අනන්‍යතාවයට වැදගත් නෑ. ඔබත් සිංහල නම් අරයත් සිංහල නම් මමත් සිංහල නම් අපි එක භාෂාවක් එක විදියෙ සිරිත් විරිත් අනුගමනය කරනවනම් අපිට අපේ පොදුබව වෙනුවෙන් හේතුවක් ප්‍රබන්ධයක් විදියට නිර්මාණය කර ගන්න ඕනේ. ඉතින් අපි සිංහබාහු නිර්මාණය කරගත්තා, අපේ අවශ්‍යතාවය වෙනුවෙන් එය රැකගෙන යන්න තීරණය කරල තියෙනවා.

සුපර් හීරෝ කතාව

සුපිරි වීරයින් (playbuzz.com)

සුපිරි වීරයින් (playbuzz.com)

මේ සුපර් හීරෝලගේ ස්වර්ණමය යුගය කියල බුකියේ තැනක ලියවිල තියෙනව මම දැක්කා. ඇත්ත වෙන්න පුළුවන්. කාලෙකට කලින් රිදී තිරයේ සුපිරි වීරයෝ නපුරට එරෙහිව සටන් කලේ තනියම. දැන් DC සහ Marvel සුපිරි වීර විශ්වයන්වල එක එක සුපිරි වීරයෝ වැඩ කරන්නෙ කණ්ඩායම් විදියට. හැමදාම දුශ්ඨයා සමග සටන කරල දිනන හැමදාම පට්ටගහන නිසා එපා වෙච්ච සුපිරි වීර කතාවලට මේක නව නැම්මක්, නව පර්යේෂණයක්. අළුත් දෙයක් නිසා තියෙන්නේ උද්යෝගයක් සහ කුතුහලයක්. Batman vs Superman චිත්‍රපටයේ ප්‍රචාරක පටයට කොපමණ ඉල්ලුමක් තිබුණ ද කියල ඔබට මතක ඇති. මොකද මේ අළුත් සුපිරි වීර කතා රැල්ල යට තියෙන්නෙ අපි පොඩි කාලේ ඒ කියන්නෙ සුපිරි වීරයෝ තනි තනිව සටන්කරන කාලෙ (මම කතාකරන්නේ සිනමාව ගැන, කොමික් පොත් ගැන නොවේ.) අපේ හිතේ තිබුණු රහසිගත ප්‍රශ්න. උදාහරණයකට, බැට් මෑනුයි සුපර් මෑනුයි ගහගත්තොත් කවුරු දිනයි ද ? වගේ ප්‍රශ්න.

අපි ගැමුණුගෙයි තිස්සගෙයි පොදු සාධකය හෙව්වා වගේ දැන් යන්නේ සුපිරි වීරයින්ගෙ පොදු සාධකය හොයන්න. හරි සරල ම විදියට බැලුවොත් සුපිරි වීරයා යන වචනයෙන් ම කියවෙන පරිදි ඔහුට හෝ ඇයට සාමාන්‍ය මිනිසෙකු සතුව නැති විශේෂ බලයක්, හැකියාවක් තියෙනවා. එම වටහාගැනීම ප්‍රමාණවත්. නමුත් අප සුපිරි හැකියාව යන්න සාමාන්‍ය හැකියාවෙන් වෙන්කර හඳුනාගත යුතුයි. අපි උදාහරණ කිහිපයක් සලකමු.

Spider-Man: පීටර් පාකර් එතරම් ආත්ම විශ්වාසයක් නැති සාමාන්‍ය කොල්ලෙක්. එයාගෙ අත විකිරණශීලී මකුළුවෙකු විසින් සපා කනවා. එතැන් පටන් ඔහුට සුවිශේෂ හැකියාවක් ලැබෙනවා.

Hulk: විකිරණශීලී පිපිරුමකින් අනතුරකට ලක් වන බෲස් බැනර්ට ඉන් අසාමාන්‍ය ශාරිරික ශක්තියක් ලැබෙනවා.

Batman: මෙයා අනෙක් බොහෝ සුපිරි වීරයන් වගේ නෙවෙයි, එයාට අසාමාන්‍ය හැකියාවක් නෑ. විශේෂ තාක්ෂණික උපකරණ කිහිපයක් මෙයාගෙ ඇඳුමට අයත්. බුද්ධිමත්. මුහුණට මුහුණ සටන් කිරීමට ප්‍රවීණයෙක්. විශේෂ ම දේ ඔහු සමාජය නපුරෙන් ආරක්ෂා කිරීමට ගන්නා තීරණය. ඒක වවුලන්ට සම්බන්ධයි. අපි ඒ ගැන පසුව කතා කරමු.

අපි යන්නෙ මෙතන සඳහන් කරපු නොකරපු සුපිරි වීරයන්ගෙ පොදු සාධකය හොයන්න. ඒක ටිකක් සංකීර්ණ වැඩක්. මොකද හැම කතාවක් ම වගේ එකිනෙකට වෙනස්. හැබැයි මම මෙහෙම කිව්වොත්: සුපිරි හැකියාව බාහිර දෙයක්. මිනිසෙකු උපතේ දී හැඩ ගැහෙන ආකාරය, එනම් සාමාන්‍ය මිනිස් ස්වභාවයට පරිබාහිරව එන්නත් වන දෙයක් තමා මේ සුපිරි හැකියාව. ස්පයිඩර් මෑන් කියන්නෙ සාමාන්‍ය මනුෂ්‍යයෙක්. ඒත් විද්‍යාව සහ තාක්ෂණයේ ප්‍රතිපලයක් ලෙසට බාහිර දෙයක්, එනම් සුවිශේෂ හැකියාවක් ඔහුට එන්නත් වෙනවා. ෆ්ලෑෂ් ගත්තත්, අයර්න් මෑන් ගත්තත් හල්ක් ගත්තත් මේ ආකාරයේ අය. එතකොට සුපර් මෑන් එනම් කොමික් ලෝකයේ ජනප්‍රිය ම සුපිරි වීරයා මේ කැටගරියට වැටෙන්නේ කෙසේ ද ? මොකද ඔහු උපතින් ම මනුශ්‍යයෙක් නොවෙයි.

සුපර් මෑන් කියන්නේ ලස්සන පටලැවිල්ලක්. ඔහු පිටසක්වලයෙක් වුණාට මිනිස් ඇඟක් තියෙන මිනිස් හැඟීම් තියෙන මිනිස් ලෝකයේ සම්බන්ධතා තියෙන මනුශ්‍යවර්ගයාට ආදරය කරන අයෙක්. කුඩා දරුවෙකු කාලයේ සිට ම මනුෂ්‍ය ආකාරයකට හදාවඩා ගන්නා ඔහුගේ සුවිශේෂ හැකියාව එන්නේ ඒ මනුෂ්‍ය හදාවඩා ගැනීම තුල නෙවෙයි, ඔහුගේ ජීව විද්‍යාත්මක ආකාරය මත. පුනර්භයවය පිළිබඳ බෞද්ධ අදහස සලකන්න, පෙර ආත්මයේ ඇතෙක් මේ ආත්මයේ මිනිසෙකු ලෙස ඉපදී හැදී වැඩී ඇතැයි සලකන්න. කලින් ආත්මයේ ඇතෙක් වුණත් ඔහුව සලකනු ලබන්නේ මිනිසෙක් විදියට. ඇතාගෙ පුරුදු මේ ජීවිතයෙදිත් දකින්න තිබුණත් ඔහු ඇතෙක් නොවෙයි. ඒ ආකාරයට ම සුපර් මෑන් යන චරිතය විග්‍රහ කර බලන්න. ඔහුගේ උපතින් සුවිශේෂ හැකියාවන් අරගෙන ආවත් ඔහු වැඩෙන්නේ මිනිසෙක් විදියට. භාෂාව, හැසිරෙන විදිය මේ සියල්ල පිටසක්වල නොවේ, මිනිස් ආකාරයක්. ඒ අරුතින් ගත්තම සුපර් මෑන් යනු බාහිරින් ලැබුණු සුපිරි හැකියාවන් සහිත මිනිසෙකු ලෙස ගත හැකියි.

සිංහබාහු කියන්නෙත් සුපර් හීරෝ සංකල්පයක් කියල මම කිව්වොත් මුලින් විකාරයක් විදියට පේන්න පුළුවන්. ඒත් හිතල බලන්න. ඔහුට සුවිශේෂ ශක්තියක් හිමියි, නමෙන් ම කියවෙන පරිදි බාහු යුගමය ඔහුට ලැබෙන්නේ පියාවන සිංහයාගෙන්. සුපර් මෑන් ආකෘතියෙන් ම ගත්තොත් සිංහබාහු සිංහයෙක් වන්නට නොව මනුශ්‍යයෙක් වෙන්න හැඩ ගැහුණු කෙනෙක්. ‘සිංහ හැකියාව’ මිනිස් හැකියාවන්ට පරිබාහිරයි.

ඒ අර්ථයෙන් සිංහබාහු කතාව බටහිර කොමික් කතාවල ආකෘතිය ගන්නවා කියන්න පුළුවන්. එතැන ඇති සමානකම් සහ වෙනස්කම් ගවේෂණය කරන්න අපිට මීට වඩා ශාස්ත්‍රීය විදියට බලන්න අපිට ගෙන්නන්න වෙනව සිග්මන් ෆ්‍රොයිඩ්.

ෆ්‍රොයිඩ්ට පොඩ්ඩක් එන්න කියමු

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් (formseven.co.uk)

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් (formseven.co.uk)

1913 දී මනෝවිශ්ලේෂණයේ පියා ලෙස හඳුන්වන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විවාදාපන්න කෘතියක් ප්‍රකාශයට පත් කරනවා, ඉංග්‍රීසියෙන් නම Totem and Taboo, සිංහලෙන් කිව්වොත් ‘චිහ්නය සහ තහංචිය’ ලෙස හඳුන්වන්න පුළුවන්. විවිධ ගෝත්‍රික සමාජ අධ්‍යනය කරමින් ආගම (හෝ ජාතිය) සමාජයක් තුල ස්ථාපිත වන ආකාරය මූල කතාව එහිදී ඔහු සොයාගෙන යනවා. අපි ඒකට කියමු ‘ප්‍රාථමික ඝාතනය’ පිළිබඳ කතාව කියල. කතාව මෙහෙමයි:

එක්තරා ප්‍රාථමික සහ අශිෂ්ඨ ගෝත්‍රයක් තියෙනවා. එය හැදෙන්නෙ දරුණු පියෙකුගෙන්, ඔහු සිය පිරිමි දරුවන් රැලෙන් පන්නා දමන්නෙ ගැහැණුන් සියළු දෙනා තමන් වෙතටම තබා ගන්න. මේ කතා ආකෘතිය බොහොම ප්‍රසිද්ධ ඉතිහාසය පුරා වරින් වර භාවිතා වුණ එකක්. ඔබ Game of Thrones ටෙලි නාට්‍යයේ දී මෙහෙම පුද්ගලයෙක් දැකල ඇති. ක්‍රැස්ටර් ඔහුගේ ගැහැණුන්ට ඉපදෙන පිරිමි දරුවන් මරා දමනවා. ඔහුට අවශ්‍ය ගැහැණුන් පමණයි. ඒවගේ ම සුප්‍රසිද්ධ ග්‍රීක නාට්‍යය සොෆොකලීස්ගේ ඊඩිපස්ගේ දක්වා බොහෝ රජකතාවල සිය පිරිමි දරුවා කවදා හෝ සිය රාජ්‍යය පැහැරගනීවි යන බිය නිසා ඝාතනය කරන්නට තීරණය කළ රජවරු දකින්න පුළුවන්. මේක මිනිස් අවිඥාණයේ බොහොම පොදු ස්වභාවයක්.

ඉතින් ෆ්‍රොයිඩ්ගේ කතාවට ආපහු හැරුණොත් රැලෙන් පන්නා දමන පිරිමි සිය පියාට එරෙහිව එකතු වෙලා කටයුතු කරන්න තීරණය කරනවා. ඔවුන් පියාට එරෙහිව සටන් කරනවා, පියා ඝාතනය කරනවා, අවසානයේ දී ජයග්‍රහණය සැමරීමට පියාගේ මාංශය උත්සවශ්‍රීයෙන් අනුභව කරනවා.

ෆ්‍රොයිඩ්ට අනුව මෙම මිනී මස් කෑමේ චාරිත්‍රය තමන් බිය වූ මෙන් ම ඊර්ෂ්‍යා කළ පියාගේ හැකියාවන් තමාට ලබා ගැනීමේ අදහසින් සිදු කරන්නක්. මෙම අනුභවය තමයි ආගමක ආරම්භයට මුලපුරන්නේ.

සියල්ල අවසානයේ දී සහෝදරයින්ට දැනෙන්නට වෙන්නේ වරදකාරී හැඟීමක්. ඔවුන් ඝාතනය කොට අනුභව කළේ ඔවුන්ගේ පියාව. ඉතින් ඔවුන් මියගිය පියාව චිහ්නයක් බවට පත්කරනවා, ඒ කියන්නෙ සංකේතයක් බවට පත් කරනවා, එම සංකේතය විනාශ කිරීම තහනම් කරනවා, ගරු කරනවා.

දෙවිවරු කොපමණ සිටිය ද සෑම දෙවියෙකුගේ ම පිටුපස ඇත්තේ පියා පිළිබඳ සංකල්පය බව ෆ්‍රොයිඩ් කියනවා. ඒත් එක්කම ඔහු කතාව තවත් සංකීර්ණ කරන්නෙ මෙහෙම. පියාව ඝාතනය කරන එක අත්‍යවශ්‍ය දෙයක් නොවේ. තමාව පාලනය කරන දරුණු පියා පිළිබඳ එන වෛරය, ඝාතනය කිරීමේ වුවමනාව වුව මෙම වරදකාරී හැඟීම ජනනය කරන්න ප්‍රමාණවත්.

මේ කතාව පොලිනීසියානු ගෝත්‍රිකයින්ට අදාල වුණත් අපිට ඕවා අදාල නැති බව මොහොතකට අපිට සිතෙන්න පුළුවන්. ඒත් අපේ මූල කතාව, ඒ කියන්නෙ සිංහබාහු කතාව සහ ෆ්‍රොයිඩ්ගේ ප්‍රාථමික ඝාතනය ගැන කතාව අතර අපූර්ව සමානකමක් ඔබට පෙනෙන්නේ නැති ද ? අපි පියවරෙන් පියවරට සලකා බලමු.

මුලින් ම දරුණු ප්‍රාථමික පියා සහ සිංහයා අතර සමානකම බලන්න. සිංහයා සහ සිංහබාහු අතර ඇත්තේ ප්‍රාථමික පියා සහ පිරිමි දරුවා අතර සම්බන්ධය. දෙදෙනා ම ඉන්නෙ පියාගේ දරුණු පාලනයට යටත් වෙලා. දෙදෙනාගේ ම අවශ්‍යතාවය පියා නිසා තහංචියට ලක් ව සිටින ගැහැණිය ලබා ගැනීම. ලේ නෑයන් අතර ලිංගික සබඳකම් පැවැත්වීම තහංචියක්. නමුත් කතාව අවසානයේ දී සිංහබාහු විවාහ කරගන්නේ තමාගේ ම සහෝදරිය, ඒ කියන්නේ සිංහසීවලී.

පියාගේ දරුණු පාලනයට එරෙහිව කරන අරගලය තමා වැදගත් ම කොටස. ෆ්‍රොයිඩ්ගේ කතාවේ සහෝදරවරු මෙන් ම සිංහබාහුත් තීරණය කරනවා පියාට එරෙහි වෙන්න. ඔහු ගල්ලෙන බිඳ සහෝදරිය සහ මව සමග පලා යනවා. ඊළඟට ජනප්‍රවාදයේ කියවෙන්නේ සිංහයා ගම් දනව් විනාශ කරමින් සිය දරුවන් සහ බිරිඳ සෙවීම. මෙහිදී තමා ප්‍රාථමික ඝාතනය සිද්ධ වෙන්නෙ. සිංහබාහු සිංහයාව ඝාතනය කරනවා. අර සහෝදරයින් සිය පියාව ඝාතනය කළා වගේ.

හැබැයි අර සහෝදරයින් අන්තිමට වරදකාරී හැඟීමකින් පෙළෙන්න ගන්නවා. අපිට ෆ්‍රොයිඩ් කියන චිහ්නය ගැන කතන්දරය අරගෙන එන්න වෙන්නෙ මේ කතාව පැහැදිලි කරන්න.

සිංහ + බාහු සහ Spider/Super/Bat + Man

වුල්වරින් හට ඇඩමැන්ටියම් එන්නත් කරනු ලබයි (moviepilot.com)

වුල්වරින් හට ඇඩමැන්ටියම් එන්නත් කරනු ලබයි (moviepilot.com)

සිංහ යන විශේෂණයත් කොමික් චරිත වල ස්පයිඩර්, බැට් වගේ විශේෂණත් සතුන් නියෝජනය කරන ඒවා. ඒ වගේ ම Iron Man වගේ නම් වල Iron යනු සතෙකුගේ නමක් නොවුණත් එය එම චරිතයේ ඇති සුවිශේෂ හැකියාව පිළිබඳ ඉඟියක් ලබා දෙනවා. ඔහුගේ සුවිශේෂ හැකියාව එන්නේ තාක්ෂණයත් එක්ක, තාක්ෂණයෙන් අගතැන්පත් සුපිරි ලෝහ ඇඳුමක් එක්ක. Iron යන්නෙත් අදහස් කරන්නේ එම සුපිරි හැකියාව. සුපිරි වීරයෙකු නාමකරණයෙදි මෙම අපූරු ලක්ෂණය තියෙනවා ඔවුන් සියල්ල ම මිනිස්සු. ඒකයි Man මෙන් ම ‘බාහු’ යන්නත් යෙදී තියෙන්නෙ. හැබැයි ඒ එක්කට ඊට මුලින් විශේෂණයක් එක් වී තියෙනවා, ඒ මගින් තමා ඒ මිනිසාට බාහිරින් එක් වූ සුවිශේෂ හැකියාව සනිටුහන් කරන්නෙ. බහුතරයක් සුපිරි වීර චරිතවල මෙම විශේෂණය සතෙක්. එය අහඹුවක් නොවෙයි. ෆ්‍රොයිඩ්ගේ චිහ්නය පිළිබඳ කතාව මේ සියල්ල මැනවින් විස්තර කරනවා.

ප්‍රාථමික ඝාතනයෙන් පසු සහෝදරවරුන්ට ඇතිවන්නේ වරදකාරී හැඟීමක්. ෆ්‍රොයිඩ් කියන විදියට ඒ වරදකාරී හැඟීමෙන් මිදෙන්නට ඔවුන් කරන්නේ ඝාතනයට ලක් වූ පියා සංකේතයක් විදියට යලි ජීවමාන කිරීම. චිහ්නය යන වචනයෙන් අපි හඳුන්වන්නේ අන්න ඒ සංකේතය. සිංහබාහුගෙ සිංහ කියන නම තමා මෙම සංකේතය. සිංහයා ඝාතනය කිරීමෙන් අනතුරුවද සිංහයා ‘සිංහ’ කියන නමත් එක්ක සංකේතයක් විදියට ජීවමාන වෙනවා.

කොමික් වීරයන්ගේ කතාව ටිකක් වෙනස්. ඔබ දැකල ඇති බොහෝ කතාවල විවිධ සුපිරි වීරයන්ගේ අසාමාන්‍ය හැකියාවන් දුශ්ඨයා විසින් තමන්ගේ කරගන්න අවස්ථා. මෙය වස්තු බීජය කරගත්ත කොමික් කතා ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඇත්තට ම අපි කලින් කතා කලා වගේ එක් එක් සුපිරි වීරයන්ගේ අසාමාන්‍ය හැකියාවන් සියල්ල බාහිරින් එක් වූ දේවල්. දුශ්ඨයාට වුණත් එම හැකියාවන් ලබා ගන්න පුළුවන්. හැබැයි එම හැකියාව ලබා ගත් පමණින් දුශ්ඨයා වීරයෙක් වෙන්නෙ නෑ. මේක හරි ම වැදගත් සහ ලස්සන පොයින්ට් එකක්. සුපිරි වීරයෙක් වෙන්න සුපිරි හැකියාවක් පමණක් ප්‍රමාණවත් නෑ. තවත් දෙයක් අවශ්‍යයි.

අසාමාන්‍ය හැකියාව පියාගෙන් ලැබෙන දෙයක්. නමුත් හැකියාව විසින් පුද්ගලයා පාලනය කරනවා නම් ඔහු වීරයෙක් විය නොහැකියි. සුපර් මෑන් යන චරිතයට සැඟවී පත්තරකාරයෙකු සේ සිටිය යුතු නෑ, ඔහුට පුළුවන් කිසි කරදරයක් නැතිව සුව පහසු ජීවිතයක් ගත කරන්න, ඕනෑ තරම් මුදල් හොයන්න, කිසිම බියකින් තොරව තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න. නමුත් ඔහු තීරණය කරනවා සිය හැකියාව මනුෂ්‍යත්වයට එරෙහිව භාවිතා නොකරන්න. හරියටම කිවහොත් මනුෂ්‍යත්වය මගින් ඔහු ඔහුගේ ම හැකියාව පාලනය කරනවා, ඔහු තුළ ම ඇති ආශාව පරාජය කරනවා. මෙය හරියට සිංහබාහු සිංහයෙකු සේ කැලයේ ජීවත් වන්නට නොව මනුශ්‍යයෙකු වීම සඳහා මිනිසා සහ ශිෂ්ටත්වය වෙනුවෙන් සිංහයා නැමැති සතා ඝාතනය කිරීම වගේ.

සුපිරි වීරයෙකු වන්නට සිය අසාමාන්‍ය හැකියාව පරාජය කල හැකි විය යුතු යි, එසේ නොවුණහොත් එම හැකියාව දරන්නා වීරයෙකු නොව දුශ්ඨයෙකු වෙයි.

දැන් සුපිරි වීරයාගේ චිහ්නය ගැන අපිට කතා කරන්න පුළුවන්. කොමික් ලෝකය රූප වලින් පිරුණු එකක්. ඒ නිසා කොමික් ලෝකයට මේ චිහ්නය තරම් වැදගත් වුණු වෙන කිසිම දෙයක් නෑ කියන්න පුළුවන්. අපි සුපිරි වීරයන්ට Costume Heroes කියල කියනවා. ඒ ඇයි? මතක ඇති ප්‍රාථමික ඝාතනය අවසානයේ දී සහෝදරයෝ මිය ගිය පියාව සංකේතයක් බව පත් කරනවා, තහංචියක් කරගන්නවා. ඒ තුලින් වරදකාරී බවෙන් මිදෙන්න උත්සහ කරනවා. ඒ වගේ තමා සුවිශේෂ හැකියාවල් ලද පුද්ගලයෙක් තමා විසින් පාලනය කොට හික්මවන ලද හැකියාවට සංකේතයක් ලබා දෙනවා. මකුළුවෙකුගෙන් හැකියාව ලද ස්පයිඩර් මෑන් සිය හැකියාව මකුළුවෙකු සංකේතවත් කරන ඇඳුමක් යට සඟවාගන්නවා. වවුලන් පිළිබඳ භීතිකාවකින් පණ ලබන බැට් මෑන් වවුල් ඇඳුමකින් සිය හැකියාව සංකේතවත් කරගන්නවා, සිය හැකියාවට නමක් දෙනවා.

මෙතන වරදකාරී හැඟීම ක්‍රියාත්මක වෙන හැටි හරි ම අපූරුයි. හිතන්න පීටර් පාකර් තමා ස්පයිඩර් මෑන් කියල ලෝකෙට කිව්වොත් ඒක ඔහුගේ පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්න බොහොමයකට විසඳුමක් ලබා දෙනවා, ඔහුට ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. ඒත් ඔහු එම ප්‍රසිද්ධියට තමා විසින් ම තහංචියක් පනවගන්නවා, පීටර් පාකර් වෙනුවට ප්‍රසිද්ධ වෙන්නෙ සංකේතයක්, චිහ්නයක්.

චිහ්නය සහ ආචාර ධර්ම

බැට්මෑන් සහ ජෝකර් - හොඳ සහ නරක අතර ඇත්තේ බලය නොව තෝරාගැනීමකි (pinterest.com)

බැට්මෑන් සහ ජෝකර් – හොඳ සහ නරක අතර ඇත්තේ බලය නොව තෝරාගැනීමකි (pinterest.com)

මේ ලිපියේ අන්තිමට පුංචි ආචාර ධර්මීය දේකුත් කියන්න ඕනෙ. ජාතිවාදී ප්‍රශ්න ඇති වෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ අපේ වැරදි වටහාගැනීමක්. ඒ කියන්නේ ඔබ සිංහල නම් ඔබේ ජාන වල ම ‘සිංහලකම’ කියල දෙයක් තියෙනව කියල ඔබ හිතනවා. දමිළ හෝ වේවා ඇංග්ලෝ සැක්සන් හෝ වේවා එය තමා සාමාන්‍ය සංකල්පය. නමුත් ඔබ වැරදියි. ජාතිය යනු චිහ්නයක් පමණයි. එනම් බාහිරින් එන්නත් කල දෙයක් පමණයි.

කුඩා දරුවෙකු ඉපදුණු පසු නමක් දමන්නට පෙර කිසිම ජාතියකට අයත් නෑ. නමක් දැමීම සහ භාෂාව පුරුදු වීම මත ඔහු හෝ ඇය තමා සමාජයේ පවතින තැන සිය ජාතිය ආගම ආදියට අනුගත වෙනවා. නමුත් ඒ සියල්ල බාහිරින් ලබා දෙන දේවල් මිස උපතින් අරගෙන එන දේවල් නොවේ. වර්තමානයේ ලෝකයේ තියෙන ප්‍රශ්න/ගැටළු බොහොමයක මුලාරම්භය තමයි මේ කරුණ මිනිසුන්ට අමතකවීයාම.

Related Articles