Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අකලට මිලින වුණු ශ්‍රී ලාංකීය රංගන ශිල්පීන් හය දෙනෙක්

ශ්‍රී ලාංකීය සිනමා වංශකතාවට පසුගියදා වසර 75 ක් සපිරුණා. එදා මෙදා තුර විවිධාකාරයේ හැලහැප්පීම් ඔස්සේ ඉදිරියට ගමන් කළ මෙහි කලින් කලට විවිධාකාරයේ තාරකා දිළී, නිවී ගියා. ශ්‍රී ලාංකීය ටෙලිනාට‍ය වංශකතාවටත් වර්තමානය වන විට 40 වසරක් පමණ වෙනවා. මෙහිද ඉතා දීප්තිමත් ලෙස දිදුළ තාරකා අපට හඳුනාගන්නට හැකි යි. ශ්‍රී ලාංකීය සිනමා මෙන්ම ටෙලි ඉතිහාසයේ, සිය දක්ෂතා හොඳින් ම දක්වමින් කාලාන්තරයක් තිස්සේ වැජඹුණු රංගන ශිල්පී ශිල්පිණියන් රාශියක් අපට හමුවෙනවා.

මින් බහුතරය තමන්ගේ දක්ෂතා උපරිමයෙන් ම පෙන්වා, කාලයත් සමඟ කලා අඹරෙන් බැස ගිය අය යි. එලෙස ම විවිධාකාරයේ පෞද්ගලික හේතු නිසා, අතරමඟ දී කලාව අතැර ගිය ශිල්පීන් ද අපට හමුවෙනවා. මේ සියලුදෙනා අතර, කලා ලෝකයේ විශාල ගමනක් යන්නට තිබූ, එලෙස ගමනක් යාමට දක්ෂතාව හා අනෙකුත් සුදුසුකම් මොනවට තිබූ, අවාසනාවන්ත ලෙස අඩු වයසකින් ජීවිතයෙන් සමු ගත් තාරකා අතළොස්සක් ද අපට හමු වෙනවා. ඔවුන් සමහරෙක් සෑහෙන පමණකින් ප්‍රේක්ෂකයා පිනවා, අතිශය ලෙස ජනප්‍රිය වී, ඇගැයීම් ද ලබා තිබුණත් තවත් චිරාත් කාලයක් කලා ලෝකය හොබවන්නට තිබූ අය යි. මේ ඔවුන් කිහිප දෙනෙක් පිළිබඳ තොරතුරු යි. 

විජය කුමාරතුංග – lanka24news.com

 

1. විජය කුමාරතුංග

ශ්‍රී ලංකා සිනමාව ගැන අබමල් රේණුවක ප්‍රමාණයක් වුව ද දන්නා අයකුට විජය කුමාරතුංග පිළිබඳ ව අමුතුවෙන් හඳුන්වා දිය යුතු වන්නේ නැහැ. අදටත් බොහෝ දෙනා සලකන පරිදි එදා මෙදා තුර සිංහල සිනමාව බිහි කළ ජනප්‍රියත ම රංගන ශිල්පියා ඔහු යි. 1969 වසරේ තිරගත වූ සුගතපාල සෙනරත් යාපා ගේ ‘හන්තානේ කතාවෙන්’ සිනමාවට පිවිසි ඔහු කෙටි කලකින් ම ප්‍රේක්ෂකයන් අතර උන්මාදයක් බවට පත් වුණා. 1970 මෙන්ම 80 දශකයේදී ද සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයින් ආසක්ත කළ ප්‍රධානත ම සාධකයක් වූයේ ඔහු යි.

අවස්ථාව ලද විට කලාත්මක ධාරාවේ චිත්‍රපටවලින්, තමන් හුදු ජනප්‍රිය ධාරාවේ නළුවකුගෙන් ඔබ්බට ගිය අයකු බැව් ඔහු මොනවට පිළිබිඹු කළා. අහස් ගව්ව, බඹරු ඇවිත් චිත්‍රපට ඊට උදාහරණ යි. 1988 වසර වන විට පුරා වසර 18 ක් තිස්සේ සිංහල සිනමාව එකලු කළ ඔහු තවත් වසර ගණනාවක් එහි යහමින් රැඳෙන බවට වන ලක්ෂණ පෙන්වූවා. 1988 වසරේ පෙබරවාරි මස 16 වන දින සාහසිකයෙක් එල්ල කළ වෙඩි පහරක් නිසා ඔහු ජීවිතක්ෂයට පත්වුණා. ඒ වන විට ඔහු 42 වන වියෙහි පසුවුණා.

ඔස්වල්ඩ් ජයසිංහ – Films.lk

 

2. ඔස්වල්ඩ් ජයසිංහ

සිංහල සිනමාවට සොඳුරු මතක සටහන් එක් කළ තවත් එක් රංගන ශිල්පියකු ලෙස ඔස්වල්ඩ් ජයසිංහ හඳුන්වා දිය හැකි යි. 1940 වසරේ උපත ලද ඔහු සිංහල සිනමාවට එක් වූයේ 1966 වසරේ තිරගත වූ, කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘කපටිකම’ චිත්‍රපටයෙනු යි. ඉන් අනතුරු ව චිත්‍රපට  කිහිපයක ම ඔහු චරිත නිරූපණය කළ අතර, ඉන් සමහරක ප්‍රධාන චරිතය ද නිරූපණය කළා.

විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා වැනි පතාක යෝධයන්ගේ සෙවණැල්ලෙන් වැසුණද ඔහු, ලත් අවස්ථාවන්හී දී පෙම්වතාගේ චරිතයට විශාල සාධාරණයක් සිදු කළා. පසුකාලීන ව සිනමා නිර්මාණවලට අඩුවෙන් දායක වූ ඔහු මියයන්නේ 1991 වසරේ නොවැම්බර් මස 12 වන දින යි. ඒ වන විට ඔහු 51 වන වියෙහි පසුවුණා. වැඩි කලක් ජීවත් ව සිටියානම්, වැඩිහිටි රංගන ශිල්පියකු ලෙස, චරිත ගණනාවක් නිරූපණය කිරීමේ හැකියාව ඔහුට තිබුණා. 

රන්ජන් මෙන්ඩිස්- Films.lk

 

3. රන්ජන් මෙන්ඩිස්

ශ්‍රී ලාංකීය සිනමාවට හමු වූ අති දක්ෂ තරුණයෙක් වූ රන්ජන් මෙන්ඩිස් තමන් රඟපෑ චිත්‍රපට කිහිපයේ කාගේ කාගේත් මතකයේ රැඳෙන චරිත රඟදැක්වීමට සමත් වුණා. ඔහුට ජනප්‍රිය මෙන් ම සම්භාව්‍ය තලයේ ද හිණිපෙත්ත වෙත ළඟාවීමට අවශ්‍ය සියලු සුදුසුකම් ඇති බැව් පෙනෙන්නට තිබුණා. කෙසේ නමුත් 1977 වසරේ සැප්තැම්බර් මස 10 වන දින ඉතා අවාසනාවන්ත ලෙස ඔහුට සිය ජීවිතයෙන් සමුගන්නට සිදුවුණා.

ඇදුම රෝගයෙන් පීඩා විඳි ඔහු, මුහුදේ දිය නාමින් සිටිය දී, එය උත්සන්න වී, දියඹට ගසාගෙන ගොස් දියෙහි ගිලීම නිසා මරණයට පත් වුණා. ඒ වන විට ඔහු 27 වන වියෙහි පසු වුණා. ඔහු චිත්‍රපට 6 කට සිය රංගන දායකත්වය සපයා තිබූ අතර, ඒ වන විට ඉන් එකක්වත් තිරගත වී තිබුණේ නැහැ. තිරගත වූ ඔහුගේ පළමු චිත්‍රපටය වන එච්.ඩී ප්‍රේමරත්නගේ  ‘අපේක්ෂා’ 1978 වසරේ තිරගත වූ අතර, එය ඉමහත් ජනප්‍රිය්ත්වයට පත් වුණා.

ග්‍රැන්විල් රුදිගු – Facebook.com

 

4. ග්‍රැන්විල් රුදිගු

ග්‍රැන්විල් රුද්‍රිගු සැලකෙන්නේ ශ්‍රී ලංකාව තුළ පහළ වූ, ප්‍රාසාංගික කලා අංශ සියල්ලේ ම පාහේ විරළ දක්ෂතා ඇති අයකු ලෙස යි. 1978 වසරේ වීර පුරන් අප්පු චිත්‍රපටයේ කුඩා චරිතයක්  රඟමින් සිනමා රංගනයට පිවිසි ඔහු, ඉන් අනතුරු ව චිත්‍රපට කිහිපයක ම ප්‍රේක්ෂක මතකයේ රැඳෙන චරිත ඉදිරිපත් කළා. ටෙලිනාට්‍ය තුළින්ද ප්‍රේක්ෂකයා හමුවට නිතර පැමිණි ඔහු මහාසාර, මනමේ වැනි වේදිකා නාට්‍ය රාශියක ද සිය රංගන ප්‍රතිභාව මොනවට පෙන්වූ අයෙක්. ගීත ගායනයේ ද හැකියාව තිබූ ඔහු ගායනා කළ ‘චන්දන මල්දම්’ , ‘ඔටා දමඤ්ඤං’ වැනි ගීත අද ද ජනප්‍රිය යි. දක්ෂ කලා අධ්‍යක්ෂකවරයකුද වූ ඔහු, රංගනයට මෙන්ම කලා අධ්‍යක්ෂණයට ද වේදිකා, සිනමා සහ ටෙලිනාට්‍ය වැනි තුන් අංශයේ ම ඇගයීමට ලක් වී තිබෙනවා.

කලා ලෝකයේ දිගු ගමනකට පාර කපාගෙන සිටි ග්‍රැන්විල් 1999 වසරේ ජනවාරි මස 10 වන දින මහරගම දී හදිසි අනතුරකට ලක් වෙනවා. මේ නිසා ඔහු තුවාල ලබනවා. ඒවා බරපතල මරණීය තුවාල නොවුණ ද, ඇති වූ ආසාදනයක් හා ලේ කැටිත්තක් හේතුවෙන් ජනවාරි 14 වනදා සදහට ම දෙනෙත් පියාගන්නවා. ඒ වන විට ඔහු 40 වන වියෙහි පසුවුණා.

අසේල ජයකොඩි – ukussanews.blogspot.com

 

5. අසේල ජයකොඩි

අසේල ජයකොඩි ද ශ්‍රී ලංකාව දුටු අති දක්ෂ නළුවකු සේ සැලකෙනවා. වේදිකාව, සිනමාව මෙන් ම ටෙලි තිරය ද ජය ගත් ඔහු සිනමා රංගනයට පිවිසියේ වසන්ත ඔබේසේකරගේ සළෙලු වරම චිත්‍රපටයෙනු යි. එය තිරගත වූයේ 2002 වසරේ දී යි. ඉන් අනතුරුව ඔහු රඟපෑ රන් කෙවිට හා ගාමනී වැනි චිත්‍රපට ප්‍රේක්ෂකයා තදින් වැලඳ ගත්තා. පාසල් සමයේ පටන් වේදිකාවේ ජය කෙහෙළි නැංවූ ඔහු ජයලාල් රෝහණ යටතේ රංගනය හදාරා තිබෙන අතර,  ‘භූතාවේෂ’ වේදිකා නාට්‍යයෙන් වෘත්තීය වේදිකා රංගනයට පිවිසියා. ඔහු ටෙලිනාට්‍ය බොහොමයක ද මතකයේ සිටින චරිත මවා තිබෙනවා.

2011 වසරේ නොවැම්බර් මස 27 වන දින මීගමුවේ දී, මිතුරකුගේ නිවෙසක් අසල නවත්වා තිබූ තම කාරයට නැගීමට යාමේ දී, අපරික්ෂාකාරී රියැදුරෙකු ඔහු අනතුරට ලක් කිරීම නිසා බරපතල තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමට පෙර ම මිය ගොස් තිබුණා. ඒ වන විට ඔහු 40 වන වියෙහි පසුවුණා.

දසුන් නිශාන් ද සිල්වා – english.gossiplankahotnews.com

 

6. දසුන් නිශාන් ද සිල්වා

දසුන් නිශාන් ද සිල්වා සැලකුණේ ඉතා පැහැබර අනාගතයක් ඇති රංගන ශිල්පියකු ලෙසයි. ටෙලිනාට්‍ය රංගනයෙන් යම් පමණකින් ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක්ව සිටි ඔහු, මුල්ම වතාවට සැලකිය යුතු චරිතයක් සිනමා නිර්මාණයක ඉදිරිපත් කළේ 2017 වසරේ තිරගත වූ, ප්‍රියන්ත කොළඹගේ ගේ ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයේ යි.   එම චිත්‍රපටය තිරගත වන්නට මසකටත් අඩු කලක් තිබිය දී ඔහු සිය දිවි හානි කර ගන්නවා. ඒ 2017 වසරේ සැප්තැම්බර් මස 25 වන දින යි. ඒ වන විට ඔහු 27 වන වියෙහි පසුවුණා.

කවරයේ ඡායාරූපය - විජය කුමාරතුංග ranker.com

මූලාශ්‍ර:

Films.lk

Rashtoday.lk

Imdb.com

Related Articles