Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව පුරා සැමරෙන අසාමාන්‍ය උත්සව කිහිපයක් -1

ලොව පුරා විවිධ රටවල විවිධ සංස්කෘතීන් අනුව වෙසෙන මිනිසුන් අතර විවිධාකාර විශ්වාස සහ ඇදහිලි පවතිනවා. ඒ ඔස්සේ යමින් විවිධාකාරයේ ක්‍රියාකාරකම්වල නිරතවන්නට ඔවුන් ක්‍රියා කරනවා. සමහර ක්‍රියාකාරකම් ඒ ඒ ජන කොට්ටාසවලට හා රටවලට අනන්‍ය වෙනවා. ඒ ඒ රටවල, ඒ ඒ සංස්කෘතීන්වලට අනන්‍ය ලෙස සැකසුණු විවිධාකාරයේ උත්සව ලොව පුරා රටවල්වලින් අපට දැකගන්නට පිළිවන්. මේවා සමහරක් සෙසු ලෝකයේ ජනතාවට ඉතා අපූර්ව මෙන්ම අසාමාන්‍ය දෙයක් සේ දිස් වෙනවා. 

මේ එවැනි අපූර්ව උත්සව පිළිබඳව වෙන් වූ ලිපි ද්විත්වයක පළමුවැන්න යි.

ලස් බොලස් දෙ ෆුවගෝ -එල් සැල්වදෝරය

ලස් බොලස් දෙ ෆුවගෝ -එල් සැල්වදෝරය – timesofmalta.com

සෑම වසරක ම අගෝස්තු මස 31 වැනි දා සන්ධ්‍යා යාමයේ, එල් සැල්වදෝරයේ නෙහාපා නම් ප්‍රදේශයේ මිනිසුන් එක්කාසු වී  ගිනි බෝල දසත විසිකරන්නට පටන්ගන්නවා. ඒ 1658 වසරේදී, ඒ තදාසන්න ව පිහිටා ඇති එල් ප්ලෙයොන් යමහලෙහි සිදු වූ දරුණුත ම විදාරණය සිහිගැන්වීම සඳහා යි. මෙම විදාරණය හේතුවෙන් නෙහාපා වැසියන්ට සිය නගරය පෙර තිබූ තැනින් ඉවත් කරගෙන, වර්තමානයේ එය පිහිටා ඇති ස්ථානය වෙත ගෙන එන්නට සිදුවුණා. 

වර්තමානයේ එහි වැසියන් කණ්ඩායම් දෙකකට බෙදී, සිය මුහුණු, මත හිස් කබල් පින්තාරු කොටගෙන, පාන්කඩ සහ භූමිතෙල් යොදා ගෙන සෑදූ, පොල්ගෙඩි තරමේ ගිනි බෝල, අනෙක් කණ්ඩායම සිටින දිශාවට එල්ල කරන්නට පටන් ගන්නවා. මෙය සෑහෙන තරමක අවදානම් ක්‍රියාවක් වන නමුත්, ලස් බොලස් දෙ ෆුවගෝ උත්සවය වසර සියයකටත් වඩා කාලයක් තිස්සේ සිදුකරන්නට එහි වැසියන් ක්‍රියා කර තිබෙනවා. වර්තමානය වන විට එය එරටෙහි පැවැත්වෙන විචිත්‍ර මෙන් ම අසාමාන්‍ය උත්සවයක් ලෙස ලොව පතල වී තිබෙනවා.

චෙඋන්ග් චෞ බුන් උත්සවය – හොංකොං

චෙඋන්ග් චෞ බුන් උත්සවය – හොංකොං 3- hong-kong-traveller.com

චෙඋන්ග් චෞ බුන් උත්සවය හොංකොං හි, චෙඋන්ග් චෞ බුන් පෙදෙසේ පැවැත්වෙන විශාලත ම මෙන් ම, වැඩිම පිරිසක් සහභාගී වන උත්සවය යි. මෙය ආරම්භ වී ඇත්තේ අතීතයේ එරට ඇති වූ මහාමාරි වසංගතය අවසන් වීමේ ප්‍රීතිය නිමිත්තෙනු යි. මෙය වර්තමානය වන විට එරට ඉතා විචිත්‍ර සංස්කෘතික අංගයක් බවට පරිවර්තනය වී තිබෙනවා. 

චෙඋන්ග් චෞ බුන් උත්සවය පුරා සතියක් මුළුල්ලේ පැවැත්වෙන අතර, එහිදී ඉතා විචිත්‍ර මෙන් ම වෛවර්ණ පාගමනක් මෙන්ම, ‘බනිස් කුඩු කිරීමේ’ උත්සවයක් ද පැවැත්වෙනවා. මෙහිදී, එම ඉසව්වට සහභාගී වන්නන් අඩි 60 ක් පමණ උසට සෑදූ, බනිස් රැඳවූ, උණ බම්බුවලින් සාදන ලද කුළුණකින් තමන්ට හැකි උපරිම බනිස් ගෙඩි ප්‍රමාණයක් ගලවා ගත යුතු වෙනවා, වැඩි ම බනිස් ප්‍රමාණයක් ගලවාගෙන තුරුළු කර ගන්නා ජයග්‍රහණය ලබනවා. මෙයට නිල වශයෙන් බනිස් සපයන ‘ක්වොක් කැම් කී’ නම් සමාගම මේ සඳහා, හොඳින් පුහුණු වූ තිදෙනකු යොදාගෙන, බනිස් 60,000 ක් පමණ සාදන බැව් සඳහන්.

ෆ්ලොරීඩාවේ දිය යට සංගීත උත්සවය – අමෙරිකා එක්සත් ජනපදය 

ෆ්ලොරීඩාවේ දිය යට සංගීත උත්සවය – අමෙරිකා එක්සත් ජනපදය – destinationfloridakeys.com

අමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලෝරීඩාවේ පැවත්වෙන ‘ෆ්ලොරීඩා කීස්’ දිය යට සංගීත උත්සවය ලොව පුරා කිමිදුම් කරුවන්ගේ හා සංගීත ලෝලීන්ගේ නොමඳ කැමැත්තට ලක් වූ උත්සවයක්. මෙය සංවිධානය කරන යූ.එම්.එෆ් සමාගමේ නිර්මාතෘ බිල් බෙකර් වර්තමානය වන විට මෙය නව මානයකට ගෙන ගොස් තිබෙනවා.  මෙහි අභිප්‍රායය වන්නේ ප්‍රදේශයේ කොරල් පර ආරක්ෂා කරගැනීම සඳහා ප්‍රජාවගේ අවධානය යොමු කිරීම යි.

මෙම උත්සවය වසර 25 ක් තිස්සේ සෑම වසරක ම ජූලි මස දී ෆ්ලොරීඩාවේ ලූ කී කොරල්පරය ආශ්‍රිතව, දිය යට පැවැත්වෙන අතර, එහි පැමිණෙන සිය ගණනක් කිමිදුම් කරුවන් ඊට සහභාගී වෙනවා. මෙහිදී තෝරා ගත් ගීත සහ සංගීත ඛණ්ඩ දිය යට සවි කළ ශබ්ද ජනන යන්ත්‍ර ඔස්සේ අවකාශයට මුදා හැරෙන අතර, එම ගීත බොහොමයක් සමුදුර පිළිබඳ තේමා රැගත් ඒවා වෙනවා. මීට අමතරව ප්‍රදේශයේ කිමිදුමට ළැදි සංගීත්ඥයින්, ගායකයන් දිය යට කිමි ද, තමන් ගීත ගායනා කිරීම හා සංගීත භාණ්ඩ වාදනය කරන ආකාරය හුවා දක්වමින්, උත්සවයට සහභාගී වන්නන් හට සිත්කලු දර්ශනයක් මවනවා.

බොරියොං මඩ උත්සවය – දකුණු කොරියාව 

බොරියොං මඩ උත්සවය – දකුණු කොරියාව – kimstravel.com

දකුණු කොරියාවේ අගනුවර වන සෝල් හි සිට කිලෝමීටර 200ක් පමණ දුරකින් පිහිරි ‘බොරියොං’ නුවර, මඩ හා සම්බන්ධ රූපලාවන්‍ය කටයුතු සඳහා ප්‍රසිද්ධියක් උසුලනවා. මෙය 1998 වසරේ සිට ප්‍රවර්ධනය කරන අතර, පසුකාලීනව මිනිසුන් මිලියන ගණනක් සහභාගී වන උත්සවයක් පැවැත්විය හැකි තරමට ප්‍රසිද්ධියට පත් වුණා. 

බොරියොං හි මඩ ස්වභාවික ඛණිජවලින් පොහොසත් අතර, ඒවා සමෙහි සෞඛ්‍යයට සහ යහපැවැත්මට ඉතාමත් හිතකර ලෙස බලපාන බවට වර්තමානය වන විට ලොව පුරා පරසිදු වී තිබෙනවා. මේ නිසා බොහෝ දෙනා ‘මඩ නා ගැනීම’ සඳහා මෙහි පැමිණෙනවා. මෙම උත්සවය සෑම වසරක ම ජූලි මාසයේ පැවැත්වෙන අතර, පුරා දින 10 ක් ඔස්සේ දිවෙනවා. මෙම උත්සවයට විවිධාකාරයේ ක්‍රියාකාරකම් රාශියක් ඇතුළත් අතර, මඩ පිරුණු තටාකයක බැස නෑම, මඩ ඔස්සේ ලිසා යාම, මඩ සම්බාහනය ඉන් කිහිපයක් පමණ යි.

ලොප්බුරි වඳුරු භෝජන සංග්‍රහය – තායිලන්තය 

ලොප්බුරි වඳුරු භෝජන සංග්‍රහය – තායිලන්තය – indianexpress.com

තායිලන්තයේ ලොප්බුරි ප්‍රාන්තයේ ඉතා අපූර්ව උත්සවයක් පැවැත්වෙනවා. තමන්ට වාසනාව හා සෞභාග්‍යය කැඳවා ගැනීමේ අභිප්‍රායයෙන් පැවැත්වෙන මෙම උත්සවයේ දී වඳුරන්ට ආහාර පිදීම සිදුවෙනවා. වාර්ෂික ව කිලෝ 4000 ක පමණ පලතුරු මෙන් ම, කේක් සහ ආහාරයට ගත හැකි පරිදි සැකසූ ඉටි පන්දම් 2000ත් 3000 ත් අතර ප්‍රමාණයක් වඳුරන් වෙත පිදෙනවා. මෙය 1989 වසරේ පටන් සිදු කෙරෙනවා. එහි වූ ව්‍යාපාරිකයෙක් සිය ව්‍යාපාරික අදහසක් සහ, වඳුරන්ට උපහාර පිදීමක් ලෙස ආරම්භ කළ මෙය වර්තමානය වන විට එම පෙදෙසට සංචාරක ආකර්ෂණය ලබා දීමට සමත් වී තිබෙන්නේ, දහස් ගණනින් මුදල් ද ඒ වෙත ආසක්ත කරමිනු යි.

කවරයේ ඡායාරූපය - බොරියොං මඩ උත්සවය - kimstravel.com 

මූලාශ්‍ර:

Headout.com

Atlasobscura.com

cheung-chau.com

Related Articles