Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආගම් තේමා කොට ගත් සිතුවම් ඇඳි තන්කා සිතුවම් කලාව

ලෝකයේ පැරැණිත ම ප්‍රකාශන මාධ්‍ය අතර සිතුවම්වලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මීට වසර දහස් ගණනකට පෙර පැවැති ශිෂ්ටාචාරවලට අයත් චිත්‍ර පවා ලෝකයේ විවිධ ස්ථානවල දක්නට ලැබීම සිතුවම් කලාවේ ඉතිහාසය කොතරම් දිගු අතීතයකට දිව යනවා ද යන්න මොනවට පිළිබිඹු කරයි.

විවිධ තේමා ඔස්සේ අඳින සිතුවම් අතර ආගම් තේමා කොට ගත් සිතුවම් සුවිශේෂී තැනක් ගනී. ඒ අතරින් ටිබෙටය, නේපාලය වැනි ආසියානු රටවල ප්‍රචලිත, බුදුරජාණන් වහන්සේ, බුදු දහම, දේව සංකල්ප සහ ටිබෙටයේ ලාමාවරුන් වැනි කැපී පෙනන ආගමික නායකයන් තේමා කරගෙන අඳින තන්කා සිතුවම් කලාව පිළිබඳව මෙම ලිපියෙන් සොයා බලමු.

තන්කා සිතුවමක් – www.wikipedia.org

තන්කා යනු කපු සහ සේද රෙදි මත අඳින සිතුවම් විශේෂයකි. ඒවායේ බුදුරජාණන් වහන්සේ, බුද්ධ චරිතයේ විවිධ අවස්ථා, දේව සංකල්ප හෝ වෙනත් බෞද්ධාගමික නායකයන් නිරූපණය කරයි. බොහෝ විට තන්කා සිතුවම් කුඩා ප්‍රමාණයේ රෙදි කැබැල්ලක අඳින අතර ඇතැම් තැන්හි තරමක් විශාල ඒවා ද දැකිය හැකි ය. මේවා බොහෝ විට යොදාගන්නේ ආගමික සිද්ධස්ථානවල ආගමික උත්සව අවස්ථාවල දී ප්‍රදර්ශනය කිරීමට ය. ඊට අමතර ව පුද්ගලික ව භාවනාවේ යෙදෙන අය සහ සාමණේර භික්ෂූන්ගේ වහන්සේලාට ධර්ම කරුණු මෙනෙහි කිරීමට ද තන්කා සිතුවම් යොදා ගනී.

රෙදිවල අඳින මෙම සිතුවම් රාමු කිරීමක් සිදු නොකරන අතර ප්‍රදර්ශනය නොකරන අවස්ථාවල දී පිළිවෙළට නවා තබයි. ඒ ආකාරයෙන් නවා තබන සිතුවම් නැවත භාවිතයට ගැනෙන්නේ බොහෝ විට වෙනත් ආගමික උත්සව අවස්ථාවක දී  බැවින් ඒවා තෙතමනය නොරැඳෙන පරිදි තබාගැනීම ඉතා වැදගත් ය. එසේ වියළි ස්ථානයක තබා ගැනීමෙන් ඒවා බොහෝ කාලයක් තබා ගත හැකි බව කියැවේ.

ටිබෙටයේ තන්කා සිතුවම්වල ඉතිහාසය

ටිබෙටයේ රෙදි මත අඳින සිතුවම්වල ඉතිහාසය කොතරම් දුරට දිව යන්නේ ද යන්න නිශ්චිත ව සඳහනක් නොමැති වුවත් ඒවා ආසන්න වශයෙන් ක්‍රිස්තු වර්ෂ 781-848 කාලයේ දී ආරම්භ වන්නට ඇතැයි අනුමාන කෙරේ. එම නිගමනයට එළඹ ඇත්තේ ටිබෙටයේ පිහිටි ගල්ගුහාවකින් සොයා ගත් සිතුවම් කිහිපයක් පිළිබඳ ව කළ අධ්‍යයන මගිනි. මේ වන විට ටිබෙටයේ විවිධ ස්ථානවල තිබී සොයා ගෙන ඇති තන්කා සිතුවම් සමහරක චීන සිතුවම්වල අභාසයත්, තවත් සමහරක ඉන්දියානු සිතුවම්වල ආභාසයත් දැකිය හැකි ය.

ටිබෙටයේ තන්කා සිතුවමක් –  www.sbirky.ngprague.cz

පසුකාලීනව ඉන්දු-නේපාල සහ චීනයේ හං සිතුවම් කලාවන්වල ආභාෂය ද ලබමින් විකාශය වූ ටිබෙටයේ තන්කා සිතුවම් කලාව වර්තමානය වන විට ඒ ඒ පළාතේ සංස්කෘතීන් අනුව යම් යම් වෙනස්කම්වලට භාජනය වී තිබේ. විශේෂයෙන් ම ටිබෙටයට අයත් නේපාලයට සහ චීනයට ආසන්නයේ පිහිටි ප්‍රදේශවල තන්කා සිතුවම් කලාවේ එම ප්‍රදේශවලට ම ආවේණික ලක්ෂණ රැසක් දැකිය හැකි ය.

සිතුවම් ශිල්පීන්

බොහෝ තන්කා සිතුවම් ඇඳ ඇත්තේ එක පුද්ගලයකු, බොහෝ විට භික්ෂුන් වහන්සේ නමකි. ඒ සඳහා ඔවුන්ට විවිධ ගරු සැලකිලි ද ලැබුණු බව සඳහන් වේ. සිතුවම් ඇඳ අවසන් කිරීමෙන් අනතුරු ව ඒවා යම්කිසි අසපුවකට හෝ වෙනත් පුද්ගලයකුට ලබා දී තිබේ. සමහර ශිල්පීන් ඒවා වෙනත් කිසිවකුට ලබා නොදී තමන් සන්තකයෙහි ම තබා ගෙන ඇත.

තන්කා චිත්‍ර ශිල්පියෙක් – www.fulltimeexplorer.com

සමහර තන්කා සිතුවම්වල සමකාලීන භික්ෂුන් වහන්සේලා නිරූපණය කර ඇති බැවින් ඒවායේ පිටුපස අදාළ භික්ෂුන් වහන්සේ ගේ තොරතුරු ද කෙටියෙන් සඳහන් වේ. අතීතයේ දී මෙම සිතුවම් අඳින ශිල්පියාට ලබා දෙන ගෙවීම සලකා ඇත්තේ ගෙවීමක් නොව ත්‍යාගයක් වශයෙනි. එම චිත්‍ර අඳින ශිල්පීන් වර්තමානයේ මෙන් ඒවායේ අත්සන් තබා නැත. බොහොමයක් සිතුවම් ඇඳ ඇත්තේ ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා බැවින් සමහර සිතුවම් ඇන්ඳේ කවුරුන්ද යන්න හඳුනාගැනීමට හැකි ය.

සිතුවම් අඳින අයුරු

විවිධ ශාකමය සහ ඛනිජ ද්‍රව්‍ය භාවිත කර සකස් කර ගන්නා වර්ණක, තන්කා සිතුවම් ඇඳීම සඳහා භාවිත කරයි. එහි දී එම වර්ණක රෙදි මත ආලේප කිරීමට ටික වේලාවකට පෙර ඒවා උණු කර මිශ්‍ර කර ගැනීම විශේෂ ලක්ෂණයකි. අදාළ වර්ණක සැකසීම සඳහා යොදා ගන්නා ශාකමය ද්‍රව්‍ය බොහෝ විට කෘමි උවදුරු සහ වෙනත් දිලීර වැනි දේවල්වලින්, රෙදි ආරක්ෂා කර ගැනීමේ හැකියාවක් තිබෙන ඒවා වීම විශේෂත්වයකි.

ටන්ග්ක සිතුවම් ඇඳීමට භාවිතා කරන තීන්ත – www.china.lu

බොහෝ තන්කා සිතුවම්වල පිටුපස ටිබෙටයට ආවේණික  අක්ෂරවලින් ලියූ විවිධ වැකි දැකිය හැකි ය. එම වැකි බොහෝ විට චෛත්‍යයක හැඩයක් නිර්මාණය වන පරිදි ලියා තිබේ. ඉපැරැණි සිතුවම්වල මුල් කාලයේ දී තිබුණු වැකි මැකී යාම නිසා පසුකාලීන ව ලියූ වැකි ද දැකිය හැකි ය.

මෙම සිතුවම් ඇඳීමේ දී බොහෝ විට නිරූපණය කරන්නේ බුදුන් වහන්සේ ගේ, වෙනත් දෙවිවරුන්ගේ හෝ භික්ෂුන් වහන්සේලාගේ සිතුවම් බැවින් ඒවා ඇඳීම ඉතා සීරුවෙන් කළ යුතු වේ. බුදුන් වහන්සේ ගේ ශරීර ලක්ෂණ වැනි දේ ඉතාමත් නිවැරදි ව දැක්වෙන පරිදි ඇඳිය යුතු බැවින් චිත්‍ර ශිල්පියාට මනා පුහුණුවක් සහ ඉවසීමක් තිබීම අත්‍යවශ්‍ය කරුණක් වේ.

තන්කා සිතුවමක් පිටුපස ඇති අක්ෂර – www.1stdibs.com

තන්කා සිතුවම් භාවිත කරන අයුරු

ටිබෙටයේ තන්කා සිතුවම් කලාව සැලකෙන්නේ බුද්ධ චරිතය, දේව සංකල්ප සහ වෙනත් කැපීපෙනෙන භික්ෂුන් වහන්සේලා පිළිබඳ ව අධ්‍යයනය කිරීම සඳහා ඇති වැදගත් මුලාශ්‍රයක් වශයෙනි. ටිබෙටයේ අධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන ලාමා තනතුර දැරූ අය සහ බෝධිසත්වයන් බවට විශ්වාස කෙරන වෙනත් අය  නිරූපණය කරන තන්කා සිතුවම් දැකිය හැකි ය.

ටිබෙටයේ ජනතාව විවිධ ආගමික ස්ථානවල එල්ලා තිබෙන මෙම සිතුවම්වලට මල් පහන් පූජා කරති. එසේ පූජා පවත්වා ඔවුන් එම සිතුවම්වල නිරූපණය කර ඇති බුදුන් වහන්සේගෙන්, දෙවිවරුන්ගෙන් සහ අනිකුත් ආගමික ශාස්තෘවරුන්ගෙන් විවිධ දෑ ඉල්ලා ආයාචනා කරයි.

තන්කා සිතුවමකට පුද පූජා කරන අයුරු – www.jems-journal.com 

තන්කා සිතුවම් වර්ග

ඇඳ ඇති තාක්ෂණය සහ භාවිත කළ අමුද්‍රව්‍ය අනුව තන්කා සිතුවම් වර්ග කිහිපයකට බෙදා වෙන් කළ හැකි ය. ඒ අතර ප්‍රධාන කොටස් දෙක වන්නේ අඳින සිතුවම් සහ එම්බ්‍රොයිඩර් වැනි ක්‍රමයක් භාවිත කර නිර්මාණය කර ගත් ඒවා ය. ඊට අමතර ව වර්ණ යොදා ගෙන අඳින, කළු පැහැති පසුබිමක් සහිත, රන්වන් පැහැති පසුබිමක් සහිත, රතු පැහැති පසුබිමක් සහිත ආදී වශයෙන් තවත් ඛාණ්ඩ කිහිපයකට තන්කා සිතුවම් බෙදා වෙන් කරයි.

සාම්ප්‍රදායික තන්කා සිතුවමක් සෙන්ටිමීටර් 20ක් හෝ 30ක් පමණ උසකින් යුක්ත වේ. ඊට අමතර ව සිද්ධස්ථානවල ප්‍රදර්ශනය සඳහා භාවිත කෙරෙන අඩි 20-60 වැනි උසින් යුතු ඉතා විශාල ප්‍රමාණයේ සිතුවම් ද තිබේ.

විශාල තන්කා සිතුවමක් – www.tibettravel.org

නේපාලයේ තන්කා සිතුවම්

ටිබෙටයට අමතර ව නේපාලයේ ද තන්කා සිතුවම් කලාව දැකිය හැකි ය. නේපාලයෙන් දැනට සොයා ගෙන ඇති පැරණිත ම සිතුවම් 14 වැනි සියවසට අයත් ඒවා ය. නේපාලයේ දැකිය හැකි තන්කා සිතුවම්වල ටිබෙට් සහ චීන සිතුවම්වල ආභාසය දැකිය හැකි ය. පසුකාලීනව නේපාල සිතුවම්වලට ආවේණික වශයෙන් ඇති වූ යම් යම් ලක්ෂණ ටිබෙටයේ සිතුවම්වල ද දැකිය හැකි ය.

වර්තමාන තත්ත්වය

වර්තමානය වන විට ටිබෙටය සහ නේපාලය වැනි රටවල තන්කා සිතුවම් ඇඳීම ව්‍යාපාරයක් වශයෙන් සිදු කෙරේ. නියම තන්කා සිතුවම් මිලෙන් ඉතා අධික නිසා සාමාන්‍ය කඩදාසිවල තන්කා සිතුවම් මුද්‍රණය කිරීම ද මේ වන විට සිදු වේ. කෙසේ වෙතත් ඒවායේ නිරූපණය වන දෑ අතීත තන්කා සිතුවම්වලින් නිරූපණය කළ තේමා ම වේ.

කවරයේ පින්තූරය- බුදුන් වහන්සේ නිරූපණය කෙරෙන තන්කා සිතුවමක් - www.tibettravel.org

මූලාශ්‍ර:

www.dharmashop.com

www.traditionalartofnepal.com

www.buddhanet.net

www.tibettravel.org

Related Articles