Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හෝම්ස්ට තවම පණ දෙන ෂර්ලොක් හෝම්ස් අනුප්‍රාප්තිකයෝ

සර් ආතර් කොනන්ඩොයිල් නම් අපූර්ව රචකයා අතින් නිමවුණු අද්විතීය ම සහ විශිෂ්ටත ම රහස්පරීක්ෂක චරිතය ෂර්ලොක් හෝම්ස් ලෝකයේ අදටත් අතිශය ජනප්‍රියත්වයක් උසුලනවා. වයස් පරතරයකින් තොර ව ෂර්ලොක් හෝම්ස් රස විඳින ඔබ ෂර්ලොක් හෝම්ස් ගේ අනුප්‍රාප්තිකයන් ගැන දන්නවද? කතා 56කින් සර් ආතර් කොනන්ඩොයිල්ගේ ෂර්ලොක් කතා නිම වුණත් අදටත් හෝම්ස් කතන්දර සහ වික්‍රම ගැන පොත් පළ වෙනවා. එයට ප්‍රධානත ම හේතුව වන්නේ ෂර්ලොක් හෝම්ස් ගේ අනුප්‍රාප්තිකයන්.

කොනන්ඩොයිල් අතින් මැවුණු අති දක්ෂ රහස්පරීක්ෂකයා: හෝම්ස්  යන ලිපිය ඔස්සේ ෂර්ලොක් අතීත කතාන්දරය අපි ඔබට ගෙන ආවා.  මේ ලිපිය තුළ අප කතා බහ කරන්නේ වොට්සන් ගේ රහසිගත ලිපිගොනු ඇතුළතින් හෝම්ස්ට තවමත් පණ දෙන පුද්ගලයන් ගැන යි.

ෂර්ලොක් හෝම්ස් කියන මේ චරිතය ලෝක වාර්තාවක් පවා උසුලන බව ඔබ දන්නවද? ලෝකයේ වැඩි ම වාර ගණනක් පුංචි තිරයේ සහ රිදී තිරයේ නිරුපණය වූ චරිතය ලෙසයි ඒ ලෝක වාර්තාව උසුලන්නේ. 1921 වසරේදී  එක්සත් ජනපදයේ නිර්මාණය වූ The Hound of the Baskervilles නිහඬ චිත්‍රපටය සමගින් ෂර්ලොක් හෝම්ස් රිදී තිර ආගමනය සිදු වුණා.

එදා සිට අද වන තෙක් 274 වතාවක් පමණ විවිධ නළුවන් 75 දෙනෙක් පමණ අතින් මේ අපුර්ව චරිතය වෙත පණ ලැබුණා. මෑත කාලයේ මේ චරිතය Benedict Cumberbatch සහ  Robert Downey Jr වගේ ම Enola Holmes චිත්‍රපටයේදී Henry Cavill අතිනුත් රඟ දැක්වෙනවා. මුලින් ම රචනා වූ කතාවලට වඩා වෙනස් අභාසයක් ගනිමින් ඒ චරිත ම යොදා විවිධ කාල වකවානු ඇසුරෙන් කතා නිර්මාණය ව තිබෙනවා. 2012 වසරේ තිරගත වුණු Elementary කතා මාලාවත් එවැන්නක්.

Benedict Cumberbatch, Robert Downey සහ  Jr Henry Cavill  -buzzfeed.com

 

වැඩි ම වාර ගණනාවක් අනෙක් ප්‍රබන්ධ චරිත ආස්වාදනය කෙරු චරිතය ලෙසින් ද හෝම්ස් හැඳින්වීම වරදක් නැහැ.  සිනමා ලෝකයේ, චිත්‍ර කතන්දරවල, පොත් පත්වල පවා හෝම්ස් ඇසුරෙන් කතන්දර නිර්මාණය වුණා. සමහරක් තැන්වල සෘජුව ම වගේ හෝම්ස් ගේ හැකියා සහ දක්ෂතා ඒ චරිතවලට ආභාස කරගෙන තිබෙනවා අපිට දකින්න පුළුවන්. ප්‍රධානත ම වශයෙන් DC Comic ලෝකයේ “බැට්මෑන්” චරිතය හඳුන්වන්න පුළුවන්. හෝම්ස් චරිතය මෙන් ම එකිනෙකට වෙනස් හැකියා විශාල ප්‍රමාණයකින් සතු ව බැට්මෑන් චරිතය ගොඩ නැගෙනවා. ඊට අමතර ව අභිරහස් විසඳීමට සහ තාර්කික ව සිතීම වැනි හැකියාත් බැට්මෑන් සතු යි.

1987 මාර්තු නිකුත් වූ  “Detective ComicS Volume – 1” (# 572) තුළදී ෂර්ලොක් හෝම්ස් සහා බැට්මෑන් එකට ගැටලු  කිහිපයකට විසඳුම් සොයන ආකාරය ඇතුළත් වෙනවා.

BatManට අමතර ව ජනප්‍රිය ම චරිත ගණනාවක් හෝම්ස් චරිතය ආශ්‍රිත ව හා ඒ ආනුභාවය ලබාගෙන නිරාවරණය ව තිබෙනවා. 

  1. Dr. Gregory House – (House )
  2. Patrick Jane – (The Mentalist)
  3. Adrian Monk – (Monk)
  4. Spock – (Star Trek)
  5. Shawn Spencer – (Psych)
  6. John Luther – (Luther)
  7. Henry Morgan – (Forever)
  8. Everett Backstrom – (Backstrom) 

ඉන් ජනප්‍රිය චරිත කිහිපයක් ලෙස හඳුන්වන්න පුළුවන්.  නිරීක්ෂණ මගින් නිගමනයන්ට පැමිණීමේ හැකියාව සහ සහජ බුද්ධිය මේ සියල්ලන් සතුව ම පැවති ප්‍රධානත ම දක්ෂතා යි.

 Detective Comics Volume – 1″ (# 572) – nocookie.net

 

සර් කොනන්ඩොයිල් ගෙන් පසු හෝම්ස් කතා

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් මේ හෝම්ස් වටා එකතු වීමේ ගෞරවය නම් වෛද්‍ය චන්දන මෙන්ඩිස්ට හිමිවිය යුතු බව කියන්නම ඕනේ. අපුර්ව භාෂා විලාසය සහ නිවැරදි යෙදුම් භාවිතයෙන් මුල් කතාන්දර 65 ම පාඨකයන් වෙත අපුර්ව සිංහල නාමයන්ගෙන් ගෙන එන්නට ඔහුට හැකි වුණා.කොහොම වුණත් මුල් කතා 56න් චන්දන මෙන්ඩිස් ගෙන ආ ෂර්ලොක් කතන්දර නිමා වුණේ නම් නැහැ. වොට්සන් සංස්කරණය නොකළ රහසිගත ලිපිගොනු වැනි තේමා යටතේ අදටත් සිංහලෙන් ඒ කතා ලියවෙනවා. නමුත් බොහෝ පාඨකයන් මේවා චන්දන මෙන්ඩිස් ලියූ බවටත් ඒවා යේ මුල් කතාවල රසය නොමැති බවටත් චෝදනා නගනවා.

මෙන්ඩිස්ගේ ස්වතන්ත්‍ර නිර්මාණ වූයේ “රතු වත හැඳි කත, සමර්සෙට් ඛේදවාචකය සහ ටාල්ටන් මිනීමැරුම ඇතුළු කෘති කිහිපයක් පමණයි. සර් කොනන්ඩෝයිල් රචනා කළ කතා 60 ම, චන්දන මෙන්ඩිස් පරිවර්තනය කළ “ඔබෙන් සමුගනිමි..” පොතෙන් නිල වශයෙන් අවසන් වෙනවා. 1930 දී සර් කොනන්ඩොයිල්ගේ අභාවයෙන් පසුව එංගලන්තයේ මෙන්ම බොහෝ රටවල කතුවරුන් ෂර්ලොක් හෝම්ස් ගේ අලුත් කතා රචනා කරන්නට පටන් ගත්තා.

  • Anthony Boucher,
  • Bert Coules,
  • Denis Smith,
  • Nicholas Meyer,
  • Michael Kurland,
  • HF Heard,
  • Michael Walsh,
  • Johm piilo,
  • Ron Weyman,
  • Philip Pulman…

මේ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. මුල් කතා 60 පස්සේ ඔබ වෙත එන පරිවර්තනය වෙන කතා මේ කතුවරයන්ගේ බව අපි ඔබට මේ වෙද්දී අමුතුවෙන් කියන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. 

සර් කොනන්ඩොයිල්ගේ දෙවන විවාහයේ දරුවකු වන ‘Adrian Conan Doyle’ (1910-1970) තම පියාගේ රහස්පරීක්ෂක කතා රචනා කිරීමේ කාර්‍යභාරය ටික කලක් සිදු කරගෙන ගියා. John Dickson Carr නම් අමරිකානු රහස්පරීක්ෂක කතුවරයාගේ මග පෙන්වීම යටතේ තමයි මේ කටයුත්ත සිදු වුණේ. Adrian 1954 දී “The Exploits of Sherlock Holmes” නම් පොතක් මගින් හෝම්ස් ගේ රහස්පරීක්ෂක කතා කිහිපයක් ම එළිදක්වන අතර

  • The Adventure of the Seven Clocks
  • The Adventure of the Gold Hunter
  • The Adventure of the Wax Gamblers
  • The Adventure of the Black Baronet
  • The Adventure of the Red Widow………

ඇතුළු කෙටි කතා 12ක් ඒ පොතට ඇතුළත් වෙනවා. මේ කතා බොහෝමයකට ආභාසය ගන්නේ සර් කොනන්ඩෝයිල් රචනා කළ ” A Scandal in Bohemia, The five orange pipes, The Hound of Baskervilles… .” ඇතුළු තවත් කථාවලින්. පියාගේ ආභාසය යම් සාධනීය මට්ටමකින් පාඨකයාට ලබාදෙන්න ඔහුට හැකිවූ බව කියන්න ම ඕනේ.

මේ හා සබැඳි කොනන්ඩොයිල් අතින් මැවුණු අති දක්ෂ රහස්පරීක්ෂකයා: හෝම්ස් ලිපියත් කියවන්න.

 

කවරයේ ඡායාරූපය- රහස් සොයන කොනන්ඩොයිල් vertigo.com.ua

මූලාශ්‍ර:

Guinnessworldrecords.com

wikipedia.org

YouTube.com

Britannica.com

Vertigo.com.ua 

TSML Comic Space 

Related Articles