Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සීනි ද? කටුපොල් ද?

මෑතක දී එක්තරා පුවත් පතක ‘කොරෝනා මැද හිඟුරාන සීනි වාර්තා පිට වාර්තා තබයි’ යන මැයෙන් පළ වූ  ලිපියක්, උදෑසන රූපවාහිණී පුවත්පත් වැඩසටහනක ද අවධානය යොමුකර ගැනීමට සමත් වූ අතර, එය මා රැකියාව කරන කටුපොල් කර්මාන්තය හා සැසඳීම නොදැනුවත්වම සිදුවූයේ ය. ලංකාවේ කර්මාන්ත පිළිබඳ ජනතාවගේ අදහස්, ඔවුන්හට අසන්නට දකින්නට සලස්වන දේ අනුව තීරණය වන වටපිටාවක කටුපොල් ලංකාවේ වගා කිරීම තහනම් කරන අවස්ථාව දක්වාම පැමිණ තිබේ.

මෙම ලිපිය, හිඟුරාන සීනි කම්හල පසුගිය කාල සීමාව තුළ සීනි හා එතනෝල් නිශ්පාදනය හරහා වාර්තාගත ආදායමක් ඉපදීම හේතුවෙන් එය අගය කරනු වස් රචනා කරන ලද ලිපියකි. පසුගිය කාල සීමාව තුළ දේශීය කර්මාන්ත නගා සිටුවීම පිළිබඳ ඉතා දැඩි අවධානයක් යොමු වූ අතර, ලංකාවේ සීනි හා කඩදාසි කර්මාන්ත එහිදී වඩාත් කතාබහට ලක්වුණි. බොහෝ දෙනාගේ අදහස වූයේ ලංකාව සීනි නිශ්පාදනයෙන් ස්වයංපෝෂිත කළ යුතු බව යි. මෙම අදහස් හෝ ඉහත සඳහන් කළ ලිපියේ හෝ කිසිදු වරදක් මා නොදකින අතර, රටේ අවශ්‍යතාවය අනුව ආර්ථික, සාමාජීය හෝ, පාරිසරික බලපෑමක් නොවන පරිදි කර්මාන්ත දියුණු කිරීම රටේ සංවර්ධනයට මහෝපකාරී වන බව පිළිගත් සාධකයකි.

උක් නෙලීම/Echelon

 

නමුත් ගැටළුව වන්නේ,

  • උක් වගාව (සීනි නිශ්පාදනය සඳහා) සුද්දන් විසින් ලංකාවට හඳුන්වා දී ඇති, ඉතා ඉහල ජල පරිභෝජනයක්* සහිත තනි වගාවකි.
  • සීනි ලංකාවට අවශ්‍ය වුවත්, එය ලංකාවට හඳුන්වා දීමට පෙර සාම්ප්‍රදායිකව කිතුල්, තල් ආදී ශාකවලින් තනන පැණි හා හකුරු භාවිතයට ශ්‍රී ලාංකිකයින් පුරුදු වී සිටි අතර, එකල ලංකාවාසීන්ට දියවැඩියාව මෙතරම් බහුලව තිබී නැත.

එම නිසා සීනි නිශ්පාදනය තරමටම කිතුල් හා තල් වගා කිරීමට දිරිගැන්වීම තුළින් සාම්ප්‍රදායික පැණි හා හකුරු භාවිතය ප්‍රචලිත කළ යුතු ය. සත්‍ය වශයෙන්ම සීනි කර්මාන්තය ලංකාවට ඉතා වැදගත් කර්මාන්තයක් වන්නේ, ලංකාවට අවශ්‍ය ද්‍රව්‍යයක් ලෙස මෙය මෙරට තුළම නිශ්පාදනය කිරීමෙන් සැලකිය යුතු විදේශ විනිමයක් ඉතිරිකර ගත හැකි වීමත්, ලාංකීය සංවර්ධනයට ද රුකුලක් වෙමින් විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් බිහිකර තිබීමත් ආදී කරුණු රාශියක් හේතුවෙනි.

එසේ නමුත් ඉහත සාධක ඉස්මතු කරමින් සීනි කර්මාන්තයට හෝ උක් වගාවට විරුද්ධ නොවන යම් පිරිසක්, ලංකාවේ කටුපොල් වගාව තහනම් කළ යුතුයැ යි පවසන්නේ, ඉහත සඳහන් කරුණුවලට සමානම කරුණු කීපයක් ඉස්මතු කරමින් වීම ගැටලුකාරී ය. ඔවුන් කටුපොල් සම්බන්ධයෙනු ඉදිරිපත් කරන කරුණු නම්,

  • කටුපොල් වගාව ඉහළ ජල පරිභෝජනයක් සහිත (නමුත් තහවුරු වී ඇති සත්‍ය වන්නේ තේ වගාවට අවශ්‍ය ජලය ප්‍රමාණයටත් වඩා ඉතා අඩු ජල ප්‍රමාණයක් මේ සඳහා අවශ්‍ය බව යි) තනි වගාවක් වීම.
  • ලංකාවේ පොල් තෙල් සාම්ප්‍රදායිකව භාවිතා කර ඇති බැවින් කටුපොල් නවතා පොල් පමණක් ප්‍රවර්ධනය කළ යුතු යි (දැනට සීනි, සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රටට ආනයනය කරන අයුරින් කටුපොල් තෙල් ද රටේ අවශ්‍යතාවය අනුව රු. බිලියන 30කට වඩා වාර්ෂිකව පිටරටට වැය කර ලංකාවට ගෙන්නනු ලබයි).
  • සමහරු පවසන අන්දමට කටුපොල් යනු දේශීය රබර් හා තේ වගාවන් විනාශයට හේතු වී ඇති බෝගයකි.

මෙහිදී පැවසිය යුතු වන්නේ දේශීය තේ හා දේශීය රබර් යනුවෙන් කිසිවක් නොමැති බවත්, ඇත්තේ ලංකාවට හඳුන්වාදුන් ආර්ථික බෝග පමණක් බවත් ය. වැදගත්ම කරුණ නම් යමෙක් තම ඉඩම තුළ ආර්ථික බෝගයක් වගාකරනුයේ සාම්ප්‍රදායික බෝගයක් ලෙස එම වගාව ලංකාවේ පවත්වාගෙන යෑමට ද? නැතිනම් පරිසර සමතුළිතතාව හෝ වගා විවිධත්වයක් ඇති කිරීමට ද? එසේත් නැතිනම් තම ජීවිකාව පවත්වාගැනීමට අවශ්‍ය ආදායම් මාර්ගයක් ලෙස ද?

 

Oil Palm Harvesters in Sri Lanka
ලංකාවේ කටුපොල් අස්වනු නෙලන තරුණයින් – Photo by Thameera Niroshan

ශ්‍රී ලාංකික ජනතාව විවිධ ආර්ථික බෝග වගා කොට ඉන් හෙම්බත් වී, තම ජීවිතය නගා සිටුවාගැනීමට විවිධ විකල්ප බෝග සොයා බලන කාල සීමාවක, ලංකාවට අත්‍යාවශ්‍ය නිශ්පාදනක් වන කටුපොල් දේශීය වගාකරුවන් සඳහා හොඳ ආර්ථික බෝගයක් ලෙස ප්‍රචලිත කිරීමට ඇතැමුන් විරුද්ධ වන්නේ, ලංකාවට කටුපොල් තෙල් ගෙන්වන ව්‍යාපාරිකයන්ගෙන් යම් යම් ආර්ථික වාසි ලබාගැනීමේ පටු අරමුණින්යැ යි ඇතැමෙකුට තර්ක කළ හැකිය.

ලංකාව සීනිවලින් ස්වයංපෝශිත කළ යුතු නම්, කටුපොල්වලින් ස්වයංපෝශිත නොකළ යුත්තේ ඇයි?

අවසන් වශයෙන් නැගිය යුතු පැනය වන්නේ මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල ස්වභාවික වනාන්තර එළි කරමින් කටුපොල් වගාකිරීම සහ ඔවුන්ගේ අපජලය කළමණාකරනයේ පවතින ගැටළු හේතුවෙන් ඔවුන් දැඩි පාරිසරික අර්බුදයක සිටීම ලංකාවේ කටුපොල් කර්මාන්තය තහනම් කිරීමට හේතුවක් විය යුතු ද? කළ යුතු වන්නේ ලංකාවට අවශ්‍ය පරිදි පරිසර නියාමනයන්ට අනුකූලව මෙම වගාව ජනතාව අතර ප්‍රචලිත කිරීීම තුළින් ඔවුන්ගේ ජන ජීවිතයත්, රටේ ආර්ථිකයත් දියුණු කිරීම නොවේ ද?

සාම්ප්‍රදායිකව යම් වගාවක් ලංකාව තුළ සිදු කළේ නම්, කිසිදු ආර්ථික හෝ සාමාජීය වැදගත් කමක් නැතත් එම වගාව රැකගැනීම පිණිස වගාව පවත්වාගෙන යන්නේ නම් රටක් දියුණු කළ හැකි ද? ස්වභාවික රබර් සඳහා ඉතාම පහළ ඉල්ලුමක් ඇති අවස්ථාවක එහි නිශ්පාදන වියදම එයින් ලබන ආදායමටත් වඩා වැඩි වී ඇති විට, ඉතා ඉහළ ඉල්ලුමක් හා ප්‍රතිලාභ සහිත විකල්ප බෝග සඳහා යොමු නොවන්නේ ඇයිදැ යි නුවණින් සිතා බැලිය යුතු ය.

 

සැ.යු.: මෙම ලිපියේ අඩංගු වන්නේ අදාළ ආරාධිත රචකයාගේ අදහස්, යෝජනා, චෝදනා මිස, Roar සිංහල දරණ මතය නොවන බව කරුණාවෙන් සලකන්න. 

Related Articles