Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උණුසුම් කෝපි කෝප්පයක රස මිහිර: Suspended Coffee

ජීවිතයේ යම් දිනක අව්වෙන් හෝ වැස්සෙන් ආරක්ෂා වීමට අතුපතර විහිදී ගිය ගසක් යටට නොගිය අයකු නොමැති තරම් ය. ඒ විසල් ගස ඉබේ හටගත් එකක් නොවේ නම් එය සිටවූ කෙනෙක් සිටිය යුතු ම ය. ඒ පුද්ගලයා කවුද යන්න කිසිදිනෙක අපට දැනගැනීමට නොහැකි වනු ඇති නමුත් හිසට සෙවණක් සපයා ඔවුන් අපට කර ඇත්තේ මහත් උපකාරයකි. ඒ අයුරින් අපේ ජීවිත කාලය තුළ අප දැනුම්වත් ව අපට උපකාර කරන අය මෙන් ම අප නොදැනුම්වත් ව අපට උපකාර කරන අය ද බොහෝ වෙති.

ඊට කදිම උදාහරණයක් සපයමින් උපකාරයක් අවශ්‍ය අයකුට උපකාර කිරීමට සිය පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දෙන සංකලපයක් මීට වසර සිය ගණනකට පෙර ඉතාලියේ නේපල්ස් නගරයේ බිහි විය. මේ ලිපිය නේපල්ස් නගරයේ පිහිටා ඇති බොහෝ අවන්හල්වලට පැමිණෙන පාරිභෝගිකයන් තමන් කිසිදිනෙක නොදුටු අයකුට උණුසුම් කෝපි කෝප්පයක් රස විඳීමට ඉඩ සලසන අයුරු පිළිබඳව යි.

ඉතාලියේ අවන්හලක කෝපි පානය කරන පුද්ගලයෙක් – www.snopes.com

ඉතාලියේ කෝපි භාවිතය

ඉතාලි ජනගහනයෙන් 90%කට වැඩි පිරිසක් දෛනික ව නිවසේ දී කෝපි පානය කරන බව සමීක්ෂණවලින් අනාවරණය වී තිබේ. ඊට අමතර ව ඉතාලියේ සෑම පුද්ගලයන් 490 දෙනකුට ම එක කෝපි අවන්හලක් බැගින් පිහිටා තිබේ. ඉතාලියේ සියලු අවන්හල්වල විවිධ ආකාරයෙන් සකස් කරන කෝපි වර්ග රැසක් වේ. ඒ අතරින් වැඩියෙන් ම අලෙවි වන්නේ ‘එස්ප්‍රසෝ’ කෝපි ය.

කෝපි අලෙවිය සඳහා වෙන් වූ අවන්හලක් වෙත පැමිණෙන ඉතාලි ජාතිකයන් කවුන්ටරය අසල හිටගෙන ඉතා ඉක්මනින් කෝපි කෝප්පය පානය කරන්නේ සේවා ස්ථානවලට ඉක්මනින් යා යුතු බැවිනි. උදෑසන ම කෝපි පානය කිරීමට අවන්හලවලට කඩිසර ගමනින් ඇවිද යන ඉතාලි ජාතිකයන් එය සිය දිනචර්යාවේ කොටසක් බවට පත් කරගෙන තිබේ.

ඉතාලියේ කෝපි අවන්හලක් – www.insightguides.com

ඉතිහාසය

නේපල්ස් නගරයේ ජනතාව තමන් මිල දී ගන්නා කෝපි කෝප්පයට අමතර ව තවත් කෝපි කෝප්පයකට මුදල් ගෙවීම ආරම්භ කළේ මීට වසර සිය ගණනකට පෙර ය. එය දෙවැනි ලෝක යුද සමයේ වඩාත් ජනප්‍රිය වූ බව කියැවේ. පසුකාලීන ව ඇති වූ යම් යම් ආර්ථික දුෂ්කරතා නිසා බොහෝ පිරිසකට කෝපි කෝප්පයක් මිල දී ගැනීම අපහසු වූ බැවින් අතමිට යහමින් මුදල් ඇති අය ඔවුන් පානය කරන කෝපි කෝප්පයට අමතර ව තවත් එකකට මුදල් ගෙවති.

ඒ පිළිබඳ ව අදහස් දක්වමින් ඉතාලි ජාතික අවන්හල් හිමිකරුවෙකු සඳහන් කළේ: “ආර්ථික වශයෙන් දුෂ්කරතාවලට මුහුණ දෙන ඉතාලි ජාතිකයන්ට බොහෝ දේ අහිමි විය හැක, නමුත් උණුසුම් කෝපි කෝප්පයක් නම් ඔවුන්ට කිසිදිනක අහිමි නොවේ.” කියා ය.

කෝපි සකසන යන්ත්‍රයක් – The New York Times

‘Suspended Coffee’

දෙසැම්බර් මස සීතල උදෑසනක නේපල්ස් නගර මධ්‍යයේ පිහිටි අවන්හලකට පැමිණි ලෝරා කොසෝලිනෝ සුපුරුදු පරිදි එස්ප්‍රසෝ වර්ගයේ කෝපි කෝප්පයක් ඇණවුම් කළා ය. අවන්හලේ සේවකයකු සිනහමුසු මුහුණින් මිනිත්තු කිහිපයක් ඇතුළත දුම් දමන කෝපි කෝප්පය ගෙනැවිත් ඇය සිටි මේසය මත තැබුවේ ඇය නිතර අවන්හලට පැමිණෙන අයකු බැවිනි. යුහුසුළු ව කෝපි කෝප්පය රස විඳි ඇය කෝපි කෝප්ප දෙකකට මුදල් ගෙව්වා ය. අමතර බිල්පත අවන්හලේ මේසයක් මත තබා ඇති බඳුනකට දැමූ ඇය රැකියාවට පිටත් ව ගියා ය.

“එය ඉතා සරලව යම් අයකුට උපකාර කරන ක්‍රමයක්. දවසකට කෝපි කෝප්ප හතරකට වැඩිය රස විඳින මං දන්නවා නේපල්ස් නගරයේ ජීවත් වන අයෙකුට කෝපි කියන්නේ මොන තරම් වැදගත් දෙයක් ද කියලා. එය කිසිවකුත් මඟ හැරිය යුතු නොවන දෙයක්.” 

ඒ ආකාරයෙන් මුදල් ගෙවා වෙනත් අයකු වෙනුවෙන් වෙන් කර තබන කෝපි හඳුන්වන්නේ ”Suspended Coffee’ යනුවෙනි.

‘Suspended Coffee’ සංකල්පය පිළිබඳ ව පාරිභෝගිකයන් දැනුම්වත් කරන අයුරු – www.shorthandsocial.com

‘Suspended Coffee’ ජාලය

ඉතාලියේ කෝපි පරිභෝජනය දීර්ඝ කාලයක පටන් පැවත එන බැවින් කෝපි සම්බන්ධ කරුණුවලට එරට ජනතාව දක්වන්නේ විශාල උනන්දුවකි. එහි ප්‍රතිපලයක් ලෙස 2010 වසරේ දී ”Suspended Coffee’ ක්‍රමවේදය විශාල වශයෙන් ක්‍රියාත්මක වන අවන්හල් ගණනාවක් එක්ව ”Suspended Coffee’ නමින් සංවිධානයක් ද පිහිටුවා ඇත. එහි ප්‍රධානත ම අරමුණ වූයේ කෝපි සම්බන්ධ සංස්කෘතික උත්සව වැනි දේ සඳහා රජයට වැය කිරීමට සිදු වූ මුදල අඩු කිරීම යි. රජයට වැය කිරීමට සිදුව තිබූ විශාල මුදල අවම කිරීමේ අරමුණින් මෙම සංවිධානය එවැනි උත්සව ඔවුන් ම සංවිධානය කිරීම ආරම්භ කර තිබේ.

‘Suspended Coffee’ සංකල්පය ප්‍රවර්ධනය සඳහා සකස් කළ ස්ටිකරය – www.suspended-coffee.com

ඊට අමතර ව පරිත්‍යාගශීලී බවේ සංකේතයක් වන, ආගන්තුකයකු වෙනුවෙන් කෝපි කෝප්පයක් වෙන් කර තැබීමේ සංකල්පය ප්‍රවර්ධනය කිරීම ද එම සංවිධානයේ ප්‍රධාන අරමුණකි. මේ වන විට මෙම සංවිධානයට අයත් සියලු අවන්හල්වල ජනේලවල සුදු පැහැති එස්ප්‍රසෝ කෝපි කෝප්පයක් දැක්වෙන දුඹුරු පැහැති ස්ටිකරයක් අලවා තිබේ. ඉන් අදහස් වන්නේ එම අවන්හල් තුළ ‘Suspended Coffee’ සංකල්පය ක්‍රියාත්මක වන බව යි.

අන්‍යයන්ට වෙන් වූ බිල්පත් තබා යන අයුරු

මෙම අවන්හල්වලට පැමිණෙන පුද්ගලයන් වෙනත් අයකු වෙනුවෙන් වෙන් කර තැබූ කෝපි කෝප්පයට අදාළ බිල්පත ඕනෑම අයකුට ගත හැකි පරිදි මේසයක් මත තබා ඇති බඳුනක් තුළට දමා යයි.

බිල්පත් දමා යා හැකි බඳුන – www.theedinburghreporter.co.uk

තවත් සමහර අවන්හල්වල ඒ ආකාරයේ බඳුනක් නොමැති නමුත්, අවශ්‍ය ඕනෑම අයකුට ගත හැකි අයුරින් ජනේලයක් මත බිල්පත් අලවා තබයි. අවන්හලට පැමිණෙන යම්කිසි පුද්ගලයකුට කෝපි මිල දී ගැනීම සඳහා ප්‍රමාණවත් මුදලක් නොමැති නම් එම බිල්පතක් මුදල් අයකැමිවරයාට/වරියට ලබා දී උණුසුම් කෝපි කෝප්පයක් මිලදී ගත හැකි ය.

එල්ලා ඇති බිල්පත් – www.shutterstock.com

නේපල්ස් නගරයේ පිහිටි එක් අවන්හලක දෛනිකව අලෙවි වන එස්ප්‍රසෝ කෝපි කෝප්ප 1,500ක් අතරින් 10කට වැඩි ප්‍රමාණයක් මේ අයුරින් වෙනත් අයකු සඳහා වෙන් කර තැබේ. එම අවන්හලේ හිමිකරු සඳහන් කර ඇත්තේ දිනපතා පුද්ගලයන් පහක් හෝ හයක් පැමිණ මේසය මත ඇති බඳුනේ තිබෙන බිල්පතක් මුදල් අයකැමිට ලබා දී කෝපි කෝප්පයක් පානය කරන බව යි.

කෝපිවලට අමතරව පිට්සා සහ පොත් පවා වෙන් කර තැබීම

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ඉතාලියේ ඇති වූ ආර්ථික අවපාතය හමුවේ සැලකිය යුතු පිරිසකට සිය ආදායම් අහිමි වූ බැවින් කෝපි කෝප්පයකට පමණක් නොව පිට්සා, සැන්ඩ්විච් හෝ පොත්වලට පවා මේ අයුරින් මුදල් ගෙවා යන අයුරු දැකිය හැකි ය. මුදල් ගෙවා ඔවුන් වෙන් කර තබන පිට්සා, සැන්ඩ්විච් හෝ පොත් ඒවා අවශ්‍ය, නමුත් මිල දී ගැනීමට මුදල් නොමැති ඕනෑම අයකුට ලබා ගත හැක. මේ වන විට ඉතාලියේ බහුල ව දැකිය හැකි පිට්සා අවන්හල්වල ද මෙම වැඩසටහන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නිර්මාණය කළ ස්ටිකරයක් ද ප්‍රදර්ශනය කෙරේ.

‘Suspended Pizza’ – www.producthunt.com

වෙනත් රටවලට ව්‍යාප්ත වීම

මුල් කාලයේ දී නේපල්ස් නගරයේ පමණක් ප්‍රචලිත ව තිබූ මෙම සංකල්පය පසුකාලීන ව කටකතා මගින් සහ අන්තර්ජාලය හරහා ඉතාලිය පුරා ව්‍යාප්ත විය. ඒ පිළිබඳ ව මාධ්‍ය හරහා ලැබුණු විශාල ප්‍රචාරණය සමඟ මෙම සංකල්පය වෙනත් රටවලට ද ව්‍යාප්ත වීම ආරම්භ විය.

ඒ අනුව ස්වීඩනය සහ බ්‍රසීලය වැනි රටවල පිහිටි අවන්හල්වලට පැමිණෙන පාරිභෝගිකයන් ද ඔවුන් මිල දී ගන්නා දේවල්වලට අමතර ව තවත් අමතර යමක් සඳහා මුදල් ගෙවා යන අයුරු වර්තමානයේ දී දැකිය හැකි ය. 

‘Suspended Coffee’ හා ආහාර පිළිබඳ දැන්වීමක් – www.shareable.com

 

කවරයේ ඡායාරූපය- කෝපි කෝප්පයක් පිළිගන්වන අයුරු - www.coffeeaiello.it

මූලාශ්‍ර:

 www.nytimes.com 

www.coffeeaiello.com

www.suspended-coffee.com

www.producthunt.com

Related Articles