Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තවමත් නොමියෙන හොලිවුඩ් සිනමාවේ ‘ගෝඩ්ෆාදර්’

සිනමාව යනු බාල මහලු, උස් මිටි භේදයකින් තොර ව රසවිඳිය හැක්කක් යයි කීවොත් නිවැරදි ය. සිනමාව රස විඳීම සඳහා ලොව බොහෝ දෙනා ප්‍රිය කරනවා. ඔබ සිනමාපටයක් නරඹන විට එහි මූලිකව ම ඉස්මතු වී පෙනෙන්නේ නළු නිළියන් වුවත් එම චිත්‍රපටය සාර්ථක කර ගැනීමට තිරය පිටුපස සිටිමින් බොහෝ දෙනා ඇපකැප වනවා. එලෙස චිත්‍රපටයක් සාර්ථක කර ගැනීම සඳහා තිරය පිටුපස සිටිමින් විශාලත ම කාර්යභාරයක් ඉටු කරන අයකු වන්නේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා යි.

 නළු නිළියන් ඇතුළු පිරිස මෙහෙයවන්නේ ඔහු යි. ඕනෑම නිර්මාණයක දර්ශන සාර්ථක කෝණයකින් ලබා ගැනීමේ සම්පූර්ණ හැකියාව අධ්‍යක්ෂකවරයා සතු වනවා. මේ ආකාරයෙන් ලෝක සිනමාව තුළ බිහි වූ විශිෂ්ට අධ්‍යක්ෂකවරුන් රාශියක් නම් කළ හැකි යි. ඔවුන් අතින් බිහි වූ සිනමාපට ද ලොවක් වසඟ කිරීමට සමත් වුණා.  බොහෝ සිනමා විචාරකයන් සහ සිනමාවට සම්බන්ධ බොහෝ දෙනා දරන පොදු මතයක් වන්නේ අදටත් හොලිවුඩ් සිනමාව දිග්විජය කළ අධ්‍යක්ෂකවරුන් අතරේ විශිෂ්ටයකු සිටින බව යි. ඔහු නමින් ඇල්ෆ්‍රඩ් හිච්කොක් ලෙසින් හැඳින්වීමට පුළුවන්.

ලොව සුපතල Psycho චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනා ඇල්ෆ්‍රඩ් හිච්කොක්
ලොව සුපතල Psycho චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනා ඇල්ෆ්‍රඩ් හිච්කොක් – www.theindependant.com

මුල් අවදිය

ඇල්ෆ්‍රඩ් හිච්කොක් 1899 වසරේ අගෝස්තු මස 13 වැනි දා එංගලන්තයේ වෙසෙක්ස් හී දි උපත ලැබුවා. ඔහු කුඩා කාලයේ දී එතරම් අඩුපාඩු සහිත දිවියක් ගත කළේ නෑ. පාසල් කාලයේ දී ඔහු සාමාන්‍ය සිසුවෙක් ලෙසින් අධ්‍යාපනය ලබා ගත්තා. පළමු ලෝක යුද්ධය 1918 වර්ෂයේ දී අවසන් වීමේන් අනතුරු ව ඇල්ෆ්‍රඩ් හිච්කොක් රචකයකු ලෙසින් කටයුතු කිරීමට උනන්දු වුණා. කොලු ගැටයෙක් සමයේ ම හිච්කොක් වෙනස් ක්ෂේත්‍රයකට ගමන් කරන ආකාරය පෙනෙන්නට වුණා.

1919 වර්ෂයේදී ලන්ඩන් නගරයේ Paramount පික්චර්ස් ආයතනය කලාගාරයක් ආරම්භ කිරීමත්, ඔවුන් චිත්‍රපට ද්විත්වයක් නිර්මාණය කිරීමටත් සූදානම් වන බව හිච්කොක් දුටුවා. මේ සම්බන්ධයෙන් උනන්දු වූ ඔහු  එම චිත්‍රපට පෝස්ටර් සඳහා නිර්මාණ කිහිපයක් Paramount පික්චර්ස් වෙත යැවූ අතර ම එය දුටු ඔවුන් හිච්කොක් තමන්ගේ ආයතනය වෙතට බඳවා ගැනීමට තීරණය කළා. ඔහුගේ දෛවය ඒ ආකාරයෙන් වෙනස් වීම ආරම්භ වුණා. මේ ආකාරයෙන් සහාය ලියන්නකු, නිෂ්පාදකයකු සහ අධ්‍යක්ෂකවරයකු ලෙසින් ඔහු නිහඬ චිත්‍රපට 18ක් නිෂ්පාදනය කිරීමට තම දායකත්වය සැපයූවා.

1922 වර්ෂයේදී හිච්කොක් ගේන්ස්බ්‍රෝ පික්චර්ස් ආයතනය සහාය අධ්‍යක්ෂකවරයකු ලෙසින් බඳවා ගත්තා. ඔහු 1923 වර්ෂයේදී තිරගත වූ Women to Women චිත්‍රපටය වෙනුවෙන් තම දායකත්වය ලබා දීමට මෙහිදී කටයුතු කළා. මීට අමතර ව මේ කාලයේදී තවත් සිනමාපට 4කට සහාය අධ්‍යක්ෂකවරයකු ලෙසින් එක් වීමටද හිච්කොක්ට හැකි වුණා. මෙම අත්දැකීම් ද සමඟින් තරුණ අවදියේ ම ඇල්ෆ්‍රඩ් හිච්කොක් දිගු ගමනක් යාම ආරම්භ කළා.

The Pleasure Garden චිත්‍රපටයේ අවස්ථාවක්
The Pleasure Garden චිත්‍රපටයේ අවස්ථාවක් – www.imdb.com

හිච්කොක් සහ චිත්‍රපට!

ඇල්ෆ්‍රඩ් හිච්කොක් ප්‍රථමයෙන් ම අධ්‍යක්ෂණය කිරීම ආරම්භ කළේ නිහඬ චිත්‍රපට යි. මේවා ශබ්දවලින් තොර වූ අතර ම සම්පූර්ණයෙන් ම අභිනය මගින් රඟ දැක්වූ චිත්‍රපට වුණා. හිච්කොක්ගේ මුල් ම අධ්‍යක්ෂණය ලෙසින් 1922 වර්ෂයේදී ඉදිරිපත් කළ Number 13 සිනමාපටය හැඳින්විය හැකි යි. නමුත් එය නැති වී ගිය සිනමාපටයක් සේ ම සියලු වැඩ කටයුතු නිමා කිරීමට නොහැකි වූ සිනමාපටයක් ලෙසින් ද හැඳින්වෙනවා. කෙටි චිත්‍රපට අත්හැරි විට ඔහුගේ පළමු චිත්‍රපටය ලෙසින් ඉදිරිපත් වූයේ 1925 වර්ෂයේ දී තිරගත වූ The Pleasure Garden චිත්‍රපටය යි.

1927 වර්ෂයේදී එළිදැක්වුණු The Ring චිත්‍රපටය අධ්‍යක්ෂණය මෙන් ම රචනය ද හිච්කොක් අතින් සිදු වුණා. එය ඔහු අධ්‍යක්ෂණය මෙන්ම රචනය ද සිදු කළ පළමු චිත්‍රපටය ලෙසින් හැඳින්වෙනවා. මේ ආකාරයෙන් 1929 වර්ෂය වන තෙක් හිච්කොක් නිහඬ චිත්‍රපට අධ්‍යක්ෂණය කළා. මේ චිත්‍රපට සාර්ථක වෙද්දී මුලින් ම ශබ්ද සහිත නිර්මාණයක් කිරීමට ඔහු සමත් වන්නේ 1929 වර්ෂයේ දී යි. ඒ Blackmail චිත්‍රපටය සමඟ යි. මේ කාලයේ දී ඇල්ෆ්‍රඩ් හිච්කොක් නාමය සිනමා කර්මාන්තය තුළ ප්‍රසිද්ධ වීම ආරම්භ වී තිබුණා.

මේ ආකාරයෙන් එංගලන්තයේ පමණක් නොව ජර්මනියේ ද චිත්‍රපට අධ්‍යක්ෂණය සඳහා යොමු වී සිටි හිච්කොක් මුලින් ම හොලිවුඩ් සිනමාව සඳහා එක් වන්නේ 1940 වර්ෂයේදී යි. එම වර්ෂයේ දී හිච්කොක් විසින් අධ්‍යක්ෂණය කරන්නට යෙදුණු රෙබෙකා චිත්‍රපටය අතිශයින් ම ජනප්‍රිය වුණා. එම චිත්‍රපටය වෙනුවෙන් හොඳ ම අධ්‍යක්ෂකවරයා ලෙසින් ඔස්කාර් සම්මානයට නිර්දේශ වීමට පවා ඔහුට හැකියාව ලැබුණා. හිච්කොක් එතැන් පටන් හොලිවුඩයද ආක්‍රමණය කිරීම ආරම්භ කළා.

හිච්කොක්ගේ පළමු වර්ණ චිත්‍රපටය වන Rope චිත්‍රපටයේ අවස්ථාවක්
හිච්කොක්ගේ පළමු වර්ණ චිත්‍රපටය වන Rope චිත්‍රපටයේ අවස්ථාවක්
– www.corndogchats.com

මේ ආකාරයෙන් කළු සුදු චිත්‍රපට නිර්මාණය කරමින් සිටි ඔහු මුල් වරට වර්ණ චිත්‍රපටයක් රැගෙන එන්නේ 1948 වර්ෂයේදී යි. එම වර්ෂයේ තිරගත වූ Rope චිත්‍රපටය යි. ඇල්ෆ්‍රඩ් හිච්කොක් අධ්‍යක්ෂණය කරන ලද පළමු වර්ණ චිත්‍රපටය ලෙසින් එය හැඳින්වෙනවා. හිච්කොක් ගේ සිනමා දිවියේ ස්වර්ණමය යුගයත් මේ කාලය තුළ ඔහු පසු කළා කිවහොත් එය වඩාත් නිවැරදි යි.

සැකයේ ස්වාමියා

“Master Of Suspense” හෙවත් සැකයේ ස්වාමියා ලෙසින් හිච්කොක්ට අන්වර්ථ නාමයක් පටබැඳී තිබෙනවා. මෙම අන්වර්ථ නාමය පටබැඳීමට ප්‍රධානත ම හේතුව වන්නේ ඔහු අධ්‍යක්ෂණය කළ රහස් පරීක්ෂක චිත්‍රපටවල තිබූ විශිෂ්ටත්වය යි. මේ අකාරයෙන් ලොව පුරා අතිශයින් ම ජනාදරයට පත්, අදටත් ලොව පුරා කතාබහට ලක්වන චිත්‍රපට ගණනාවක් හිච්කොක් අතින් නිෂ්පාදනය වුණා. මේ සෑම චිත්‍රපටයක් ම පාහේ අදටත් ශ්‍රේණිගත කිරීම් දර්ශකවල ඉහළ ලකුණු ලබාගෙන ඉහළ ස්ථානවල වැජඹෙනවා. 

Rope (1948), Rear Window (1954), Vertigo (1958), North By NorthWest (1959), The Birds (1963), Frenzy (1972) චිත්‍රපට අදටත් කතාබහට ලක්වන ලොව පුරා ජනප්‍රිය ඔහුගේ රහස් පරීක්ෂක සිනමාපටවලින් කිහිපයක්. ලොව ප්‍රේක්ෂක මනාපය අනුව සිනමාපට වර්ගීකරණය කිරීමේ දී වඩාත් ම පිළිගත් දර්ශකය වන්නේ IMDB සිනමාපට දර්ශකය කිවහොත් නිවැරදි යි. IMDB ශ්‍රේණිගත කිරීම්වල එදා මෙදා තුර ලොව බිහිවූ හොඳ ම චිත්‍රපට 100 අතරට ඇල්ෆ්‍රඩ් හිච්කොක් ගේ සිනමාපට 4ක් ඇතුළත් වනවා.

ඔහුගේ අතිශය ජනප්‍රියතාවයට පත් Psycho සිනමාපටයේ ප්‍රචාරක පෝස්ටරයක්
  අතිශය ජනප්‍රියතාවයට පත් Psycho සිනමාපටයේ ප්‍රචාරක පෝස්ටරයක්  –  www.amazon.com 

ඒ 32 වන ස්ථානයේ Psycho චිත්‍රපටය, 51 වන ස්ථානයේ Rear Window චිත්‍රපටය, 98 වන ස්ථානයේ North By NorthWest චිත්‍රපටය, 100 වන ස්ථානයේ Vertigo චිත්‍රපටය වශයෙනු යි. හිච්කොක් අධ්‍යක්ෂණය කළ Psycho සිනමාපටය අදටත් ඔහු නිර්මාණය කළ විශිෂ්ටත ම චිත්‍රපටය ලෙසින් සැලකෙන අතරම එය ලෝක සිනමාවේ බිහි වූ සුපිරිත ම සිනමාපටයක් ලෙසින් ද අදටත් සැලකෙනවා. හිච්කොක්ගේ චිත්‍රපටයක් ලෙස අවසන් වතාවට දැක ගැනීමට හැකි වූයේ 1976 වර්ෂයේ දී තිරගත වූ Family Plot චිත්‍රපටය යි. ඔහු මේ කාලය තුළදී ප්‍රධාන වශයෙන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සංඛ්‍යාව 53ක්.

හැමතැනම හිච්කොක්!

ඇල්ෆ්‍රඩ් හිච්කොක් යනු යම් යම් අපූරු පුරුදු තිබූ අධ්‍යක්ෂකවරයකු ලෙසින් හඳුන්නවන්නට පුළුවන්. ඔහු තමන්ගේ චිත්‍රපට බොහොමයක් සඳහා යොදාගත්තේ එකම ආකාරයේ කාන්තාවන් වීම එයට එක් උදාහරණයක් වනවා. ඔහුගේ චිත්‍රපට තුළ ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කළ තරුණිය රන්වන් පැහැ හිසකෙසින් යුතු වූවා. එය ඔහුගේ සිනමාපටවල බොහෝවිට දක්නට ලැබුණු කාරණයක්. හිච්කොක් තමන්ගේ චිත්‍රපටවල ප්‍රධාන පිරිමි චරිතය සඳහා තරුණයන් යොදා ගැනීමට වඩා මැදි වයසට ළඟා වූ චරිතයක් යොදා ගැනීම ප්‍රිය කළ බව ද සඳහන්.

ඔහුට තිබූ අපූරුත ම පුරුද්ද වූයේ තමන්ගේ සිනමාපටවල සුළු චරිතයක් රඟ දැක්වීම යි. ඔහු අධ්‍යක්ෂණය කළ බොහෝ චිත්‍රපටවල එක් ස්ථානයක නොවැදගත් සුළු මොහොතක් සඳහා හිච්කොක් පෙනී සිටියා. එය සාමාන්‍යයෙන් ඇල්ෆ්‍රඩ් හිච්කොක් ගේ සිනමාපට නරඹන්නන්ට සොඳුරු මොහොතක් වනවා. 

North By Northwest සිනමාපටයේ සුළු චරිතයක් රඟදක්වන හිච්කොක්
North By Northwest සිනමාපටයේ සුළු චරිතයක් රඟදක්වන හිච්කොක් – adelaidescreenwriter.blogspot.com

සම්මාන සහ ගෞරව

කෙතරම් දක්ෂ අධ්‍යක්ෂකවරයකු වුවත් ඔහුට කිසි ම දිනෙක ඔස්කාර් සම්මානයක් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ නෑ. ඔස්කාර් සම්මාන උළලේදී හොඳ ම අධ්‍යක්ෂකවරයා ලෙසින් අවසන් වටයට පස්වතාවක් නම් වීමට ඔහුට හැකියාව ලැබුණා. එහිදී හිච්කොක් 1940 තිරගත වූ Rebecca, 1944 තිරගත වූ Lifeboat, 1945 තිරගත වූ Spellbound, 1954 තිරගත වූ Rear Window සහ 1960 තිරගත වූ Psycho චිත්‍රපට සඳහා හොඳ ම අධ්‍යක්ෂ ලෙසින් ඔස්කාර් සම්මානයේ අවසන් වටයට නිර්දේශ වුණා. 

American Film Institute අමෙරිකානු සිනමා ඉතිහාසයට වසර 100ක් පිරීම නිමිත්තෙන් නම් කළ වසර 100 ක හොඳ ම සිනමාපට 100 අතරට හිච්කොක්ගේ සිනමාපට 4ක් ඇතුළත් වනවා. හොඳම බ්‍රිතාන්‍ය සිනමාපට 100 අතරේත් ඔහුගේ නිර්මාණ 2ක් ඇතුළත්. ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන නිර්දේශ වීම් 3ක් සහ ජයග්‍රහණයන් 2ක් ද ඔහුගේ ජයග්‍රහණ ගොන්නට අයත් වුණා. සමස්තයක් ලෙසින් ලොව පුරා සම්මාන 67ක් සඳහා හිච්කොක් නිර්දේශ වූ අතර ම ඔහු ජයග්‍රහණය කළ සම්මාන සංඛ්‍යාව 32ක්.

ජපාන සඟරාවක් වන Kinema Junpo සඟරාව කළ මත විමසීමක දී ලොව බිහි වූ හොඳ ම චිත්‍රපට අධ්‍යක්ෂවරයා ලෙසින් ඇල්ෆ්‍රඩ් හිච්කොක් නම් වුණා. 1966 වර්ෂයේ දී Entertainment Weekly සඟරාව ද හිච්කොක් හොඳම අධ්‍යක්ෂ ලෙසින් නම් කළා. 2005 වර්ෂයේ දී Empire සඟරාව නම් කළ ලොව බිහි වූ හොඳ ම චිත්‍රපට අධ්‍යක්ෂවරුන් 40 ක ලැයිස්තුවේ දෙවන ස්ථානය ඇල්ෆ්‍රඩ් හිච්කොක්ට හිමි වුණා. 2007 වර්ෂයේ දී Total Film සිනමා සඟරාව නම් කළ ලොව බිහි වූ හොඳ ම අධ්‍යක්ෂවරුන් 100 අතරේ මුල් ස්ථානය ද ඇල්ෆ්‍රඩ් හිච්කොක්ට හිමි වනවා.

ඔහු ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙක්. බ්‍රිතාන්‍ය පුරවැසි භාවයට අමතර ව හොලිවුඩ් සිනමාව වෙනුවෙන් කළ මෙහෙවර නිසා අමෙරිකානු පුරවැසිභාවය ද හිච්කොක්ට හිමි වුණා. සිනමා කර්මාන්තය උදෙසා සිදු කළ විශිෂ්ට සේවය නිසා ඇල්ෆ්‍රඩ් හිච්කොක්ට නයිට් නාමයක් පවා පුද කිරීමට බ්‍රිතාන්‍ය මහ රැජන කටයුතු කළා. ඒ අනුව ඔහු හැඳින්වෙන්නේ සර් ඇල්ෆ්‍රඩ් හිච්කොක් නමින්.

හිච්කොක්ගේ මරණය එකල පුවත්පත් වාර්තා කර තිබූ ආකාරය
හිච්කොක්ගේ මරණය එකල පුවත්පත් වාර්තා කර තිබූ ආකාරය – www.flikr.com

ඇල්ෆ්‍රඩ් හිච්කොක් නම් විශිෂ්ටයා 1980 වර්ෂයේ අප්‍රේල් මස 29 වන දින තමන්ගේ නිවසේදී ම දිවි ගමන නිමා කරනවා. මරණයට හේතුව ලෙසින් දැක්වුණේ ඔහුගේ වකුගඩු අකර්මණ්‍ය වීම යි. බෙවර්ලි හිල් හීදි ඔහුගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු අප්‍රේල් මස 30 වනදා සිදු කළ අතර ම 1980 මැයි 10 වනදා ආදාහනයෙන් පසුව ඉතිරි වූ ඇල්ෆ්‍රඩ් හිච්කොක් ගේ භෂ්මාවශේෂ පැසිෆික් සාගරය වෙත මුදාහැරි බව ද සඳහන්.

නිහඬ චිත්‍රපට යුගයෙන් ගමන් ආරම්භ කොට ඉන් පසුව කළුසුදු චිත්‍රපට යුගය ද පසු කරමින් වර්ණ චිත්‍රපට යුගය දක්වා ම තමන්ගේ නම සිනමා කර්මාන්තය පුරාවට විහිදූ ඇල්ෆ්‍රඩ් හිච්කොක් යන නාමය ලොව අවසන් වන දිනය දා දක්වා ම නොනැසී පවතින නාමයක්.

කවරයේ ඡායාරූපය - ඇල්ෆ්‍රඩ් හිච්කොක් - www.thought.com
 මූලාශ්‍ර:

www.biography.com

www.britannica.com

www.imdb.com

www.alfredhitchcock.com

Related Articles