Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රසයෙන් වගේම ගුණයෙනුත් අනුන ලාංකික අපේ පොල් සම්බෝලේ

නිතර පොල් සම්බෝල නොකන කෙනෙක් ලංකාවේ ඉන්නවා කියලානම් හිතන්න අමාරුයි. කොටින්ම ශ්‍රී ලාංකිකයෙක් විදිහට පොල් සම්බෝල නිතර කන්නේ නෑ කියලා කියන්නත් ලැජ්ජා වෙන්න ඕනේ. 100%ක්ම ශ්‍රී ලාංකික ආහාරයක් වුණු පොල් සම්බෝලය අපේ රටේ ආවේණික ලක්ෂණයක් කිව්වොත් වැරැද්දක් නැහැ. බත්, පාන්, රොටී, ඉඳි ආප්ප වගේ අපි කන කොයි කෑම වර්ගයට වුණත් සම්බෝල ටිකක් බෙදා ගත්තා නම් දැනෙන රස කොයි තරම්ද කියල දැනගන්න නම් කාල බලන්නම වෙනවා.

ඒ නිසාම හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් පොල් සම්බෝලය අපේ කොයි කෑම එකටත් එකතු වෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි නිකමටවත් හිතුවද මේ පොල් සම්බෝලය ඇතුලේ තියෙන පෝෂණය ගැන? රතු පාටට ලස්සනට, සුවඳට තියෙන පොල් සම්බෝලයේ රසය වගේම හොඳ පෝෂණ ගුණත් හැංගිලා තියෙනවා.

ලංකාවේ සාම්ප්‍රදායික ආහාර මොන විදිහට බැලුවත් පෝෂණ ගුණයෙන් ඉතාම ඉහළ තැනක තියෙනවා කියන්න පුළුවන්. බටහිර ලෝකයට මේ සංකල්පය එන්න බොහොම කාලයකට කලින් අපේ සෞඛ්‍යය රැඳිලා තියෙන්නේ අපි කන කෑම වර්ග මත කියන දේ අපේ පැරැන්නෝ දැනගෙන හිටියා. මේ නිසා රසය වගේම ගුණය ගැනත් හිතන්න ඔවුන් පුරුදු වුණා. දැන් මේ කරුණ බොහොමයක් පෝෂණවේදීන් වගේම වෛද්‍යවරුන් පවා පිළි ගන්නවා. පෝෂ්‍යදායී සමබර ආහාර වේලක් නිතරම ගන්නවා නම් ඔබට කවදාවත් ලෙඩකට බෙහෙත් ගන්න දොස්තර ලඟට නොයා ඉන්න පුළුවන්. බටහිර රටවල් බොහොමයක වගේම ලංකාවෙත් බහුතරයක් පීඩා විඳින බෝ නොවන රෝග වලින් බේරෙන්න මීට වඩා හොඳ ක්‍රමයක් නැහැ. ඉස්සර කාලේ හිටපු අපේ වෙද මහත්තුරු කොළ, මුල්, ගෙඩි වලින් බෙහෙත් හදද්දී ඒවාට ගරහලා රසායනික බෙහෙත් වලට වැඩි තැනක් දුන්නු කට්ටිය ස්වභාවික දේවල් වල අගය තේරුම් අරන් තියෙන එක ඇත්තටම හිනාවට කාරණයක්.

කෙහෙල් කොලේක දාපු පොල් සම්බෝලේ- මේක දිහා බලාගෙන ඉඳිද්දී නහයට නිකම්ම සුවඳ දැනෙනවා නේද?

කෙහෙල් කොලේක දාපු පොල් සම්බෝලේ- මේක දිහා බලාගෙන ඉඳිද්දී නහයට නිකම්ම සුවඳ දැනෙනවා නේද?

කොහොම වුණත් අපි ආපහු පොල් සම්බෝලෙ පැත්තට හැරෙමු. මේකේ තියෙන පෝෂණ ගුණය දැනගන්න අපි සම්බෝල හදන්න යොදා ගන්න දේවල් එකින් එක අරගෙන ඒවායේ ගුණ ගැන කතා කරන්නයි හදන්නේ.

මුලින්ම පොල් වලින් පටන් ගමු. හොඳ සම්බෝලයක් හදා ගන්න පාවිච්චි කරන්නේ අලුත්ම පොල් ගෙඩියක්. පොල් මදයේ සෝඩියම්, පොටෑසියම් සහ සංතෘප්ත මේදය බහුලයි. ඒ වගේම ආහර ජීර්ණය පහසු කරවන ආහාරමය තන්තු බහුලව අඩංගු ආහාරයක් විදිහටත් පොල් ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම මිරිකලා අරගෙන කිරි ටික විතරක් පාවිච්චි කරනවාට වඩා පොල් මදය සම්පුර්ණයෙන්ම ආහාරයට ගන්න එක වඩා හොඳයි. මේ නිසා සම්බෝල සහ මැල්ලුම් වර්ග අපේ කෑම වේලට එකතු කර ගන්න එක පොල් වල නියම පෝෂණය ලබා ගන්න තියෙන හොඳම ක්‍රමයක්.

ඊළඟට පටන් ගන්නේ මේ විදිහට ගා ගත්තු අලුත් පොල් එක්ක මිශ්‍ර කරන දේවල් ටික පිළියෙළ කරගන්න වැඩේ. දැන් නම් වැඩි දෙනා ලේසියට පාවිච්චි කරන්නේ ලොකු බී ළූණු. හැබැයි හරිම විදිහට නම් පොල් සම්බෝල හදන්න පාවිච්චි කරන්නේ රතු ළූණු විතරයි. කිහිප දෙනෙක් කන සම්බෝලෙකට බී ළූණු ගෙඩියක් දෙකක් ඇති වුණත් රතු ළූණු නම් ගෙඩි දහයක් පහළොවක් විතර ඕන වෙනවා. ඉතින් සුද්ධ කරන්න එහෙම ටිකක් කරදරයි, හැබැයි එකේ ලොකු වාසියක් නම් තියෙනවා.

රතු ළූණු කියන්නේ ක්වර්සටීන් (Quercetin) වැඩිම ප්‍රමාණයක් අඩංගු ස්වභාවික ද්‍රව්‍ය වලින් එකක්. ක්වර්සටීන් වලින් ලැබෙන ලොකුම ප්‍රයෝජනය තමයි මුක්ත ඛණ්ඩක විනාශ කරන එක. මුක්ත ඛණ්ඩක තමයි අපේ සෛල තුළ ප්‍රබල ඔක්සිකාරක විදිහට ක්‍රියා කරලා සමේ ඇදෙන සුළු බව අඩු කරන්නේ. මේකෙන් ඔබේ සමේ දිලිසෙන ගතිය නැති වෙලා ගිහින් හම රැළි වැටීමත් සිද්ධ වෙනවා. ඉතින් රතු ළූණු කියන්නේ ඔබේ තරුණ බව රැක ගන්න හොඳ ආහාරයක්. ඒ වගේම දිලීර, බැක්ටීරියා ඇතුළු ආසදනයන්ගෙන් වැළකෙන්නටත්, පෙනහැලි වල සෙම පිරීම වළක්වා ගන්නත් ඔබට පුළුවන් වෙනවා. මතක තියා ගන්න මේ ප්‍රයෝජන ලබා ගන්න නම් රතු ළූණු දාලා තමයි සම්බෝලය හදන්න ඕනේ.

වැඩිදෙනෙක් නොකළත් සම්බෝලෙට සුදු ළූණු බික් කිහිපයක් එකතු කරන එකත් හොඳ පුරුද්දක්. සුදු ළූණු කියන්නේ කොලෙස්ටරෝල් දහනය කරවන, මේද හා සෝඩියම් වලින් ඉතා අඩු ආහාරයක්. ශරීරයට ඉතා වැදගත් කැල්සියම්, පොස්පරස්, සෙලිනියම්, මැන්ගනීස් සහ විටමින් B6 වගේ ක්ෂුද්‍ර පෝෂක ගණනාවක් සුදු ළූණු වල අඩංගුයි. විශේෂයෙන් විටමින් B6 තාපය හමුවේ වියෝජනය වෙන්න පුළුවන් නිසා වෙනත් ව්‍යංජනයකට දානවට වඩා සම්බෝල වලට අමු සුදු ළූණු දාල කන එක වඩා හොඳයි.

තවත් අනිවාර්ය දෙයක් තමයි අමු මිරිස්. හොයා ගන්න පුළුවන් නම් නයි මිරිස් පාවිච්චි කරොත් රස තවත් වැඩියි. සම්බෝලේ රසවත් කරනවාට අමතරව විටමින් A, C සහ K ලබා ගන්න හොඳ ප්‍රභේදයක් තමයි කොළ පාට මිරිස් වර්ග කියන්නේ. මීට අමතරව ඔබේ කොලෙස්ටරෝල් දහනය වේගවත් කරන්නත්, ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය සවිබල ගන්වන්නත් අමු මිරිස් වර්ග වලට හැකියාව තියෙනවා.

මේ ටික භාවිතයෙන් දිවට දැනෙන හොඳ සම්බෝලයක් හදාගන්න පුළුවන්.

මේ ටික භාවිතයෙන් දිවට දැනෙන හොඳ සම්බෝලයක් හදාගන්න පුළුවන්.

අපි මුලින් ඔබට කිව්වේ කපලා දාන දේවල් ගැනයි. දැන් කියන්න යන්නේ කුඩු හෝ කැබලි විදිහට පාවිච්චි කරන කුළුබඩු ගැන. සම්බෝලේට පාට එන්න රස ප්‍රමාණයට දාන මිරිස් කුඩු සහ කෑලි මිරිස් තමයි මේ අතරින් ප්‍රධානම වෙන්නේ. මිරිස් කුඩු විතරක් දාල හදන්න පුළුවන් වුණත් නියම රස දැනෙන්නේ කෑලි මිරිස් එකතු කරාමයි. කලිනුත් කිව්වා වගේ විටමින් වර්ග ලබා ගන්නත්, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්නත්, මේද දහනය වේගවත් කරන්නත් මිරිස් ඉතා හොඳ ක්‍රමයක්. මිරිස් වලින් විටමින් A, B සහ C ලබා ගන්න පුළුවන්.

ඊළඟට දාන්නේ ගම්මිරිස් කුඩු. ගම්මිරිස් කියන්නේ ප්‍රයෝජන වැඩිම ගණනක් තියෙන වගේම රෝගයන් ගණනාවකින් ගුණයක් ලබා දෙන ආහාරයක්. මළබද්ධය, පාචනය, කන් කැක්කුම්, කුෂ්ට, හදවත් රෝග, වායු ගෙඩි, කෑම අප්‍රියාව, අජීරණය, කෘමී දෂ්ටන, සන්ධි වේදනාව, අක්මාවේ රෝග, පෙනහැලි ආබාධ, කටේ තුවාල, දත් දිරා යාම, නින්ද නොයාම වගේ ගැටළු රාශියකට ගම්මිරිස් වලින් ගුණයක් ලැබෙනවා. මේ රෝග ලැයිස්තුව දිහා බැලුවාම ගම්මිරිස් වල ප්‍රයෝජනය හිතාගන්න පුළුවන්නේ?

සම්බෝලේට නියම ප්‍රමාණයට ලුණු එකතු කරන්නත් අවශ්‍යයි. ලුණු කියන්නේ අපි විශාල පරිමාණයෙන් ගන්න සුදුසු දෙයක් නොවුණත් එයින් ලැබෙන ප්‍රයෝජන කිහිපයක්ම තියෙනවා. විශේෂයෙන්ම මහන්සි වෙලා වැඩ කරන කෙනෙකුගේ ශරීරයේ අත්‍යාවශ්‍ය ලවණ සාන්ද්‍රණය පවත්වා ගන්න ලුණු හරිම වැදගත්. නියම ප්‍රමාණයට ලුණු ලබා ගත්තාම ඔබේ හදවතේ සෞඛ්‍යය වැඩි දියුණු කරගන්න පුළුවන්. ලුණු කියන්නේ විෂබීජ නාශකයක් නිසා රෝග වලින් වැළකෙන්නත් ඔබට අවස්ථාව තියෙනවා. ඔබට අත්‍යවශ්‍ය අයඩීන් ලබා ගන්නත් තියෙන හොඳම ක්‍රමය ලුණු.

සම්බෝලයක නියම රසය වගේම සුවඳ එන්නත්, කල් තබා ගන්නත් දෙහි යුෂ එකතු කරන එක අනිවාර්යයි. දෙහි යුෂ ඔබේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට උදව් ලබා දෙනවා. කොලෙස්ටරෝල් දහනය කර බර අඩු කරන්නත්, මළබද්ධය අඩු කරන්නත් දෙහි ඉතා වැදගත් වෙනවා. මීට අමතරව අක්ෂි රෝග සුව කරන්න, බඩ පිපුම නැති කරන්න, මුත්‍රා ආශ්‍රිත ආබාධ සුව කරන්න සහ ශ්වසන ගැටළු සුව කරන්නත් දෙහි දායක වෙනවා.

අපි මේ කිව්වේ කාට වුණත් කන්න පුළුවන් වෙජිටේරියන් සම්බෝලයක තියෙන පෝෂණ ගුණය ගැන විතරයි. මීට අමතරව එකතු වෙන කූනිස්සන්, උම්බලකඩ වගේ දේවල් වලිනුත් අමතර රසයක් වගේම පෝෂණයක් ලබා ගන්න පුළුවන්.

ශ්‍රී ලාංකිකයෙක් විදිහට කොහේ හිටියත් කන්න ආස හිතෙන පොල් සම්බෝලය කියන්නේ රසයෙන් වගේම පෝෂණයෙන් වුණත් ඉතාම ඉහළ ආහාරයක් බව දැන් පේනවා නේද?

Related Articles