ඉස්සර අපේ රටේ ප්‍රධාන තැපැල් කාර්යාලය වෙලා තිබුණු ගොඩනැගිල්ලේ ඉතිහාස කතාව

කොළඹ ජනාධිපති මාවත දිගේ ඉස්සරහට ගියාම හම්බ වෙන ජනාධිපති මන්දිරය ඉස්සරහා තියෙන ලොකු ගොඩනැගිල්ල වැඩි දෙනෙක් දැකලා ඇති. අතීතයේ රට පාලනය කළ යුරෝපීය අධිරාජ්‍යයන් අපේ රට තුළ ඉතුරු කරලා ගිය මේ ගොඩනැගිල්ල උස ගොඩනැගිලි බහුලව තියෙන කොළඹ පුරවරයේ වුණත් බොහොම ගාම්භීරව නැගී සිටින හැටි දැකගන්න පුළුවන්. මේ සතියේ ආරම්භ වෙන සිනමන් කලම්බෝ ස්කෝප් (Cinnamon Colomboscope) ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ මේ ගොඩනැගිල්ල තුල. මේ තමයි අපේ පැරණි මධ්‍යම තැපැල් කාර්යාලය තිබුණු ගොඩනැගිල්ල.

1895 දී විවෘත කරන්නට යෙදුනු තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ගෘහ නිර්මාණ ශිල්පී ටොමලින්ගේ අනර්ඝතම නිර්මාණයක් හැටියට සැලකෙනවා.

1895 දී විවෘත කරන්නට යෙදුනු තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ගෘහ නිර්මාණ ශිල්පී ටොමලින්ගේ අනර්ඝතම නිර්මාණයක් හැටියට සැලකෙනවා.

හතරවන වරටත් පැවැත්වෙන මේ ප්‍රදර්ශනයේ මෙවර තේමාව වෙලා තියෙන්නේ “පුහුණු අඩවිය : දකුණු ආසියාවේ සහ යුරෝපයේ ඩිජිටල් හා කලා සංස්කෘතීන්” නැතිනම් “Testing Grounds: Art and Digital Cultures in South Asia and Europe”යන්නයි. අගෝස්තු 25 වැනිදා, නැතිනම් අද ඇරඹෙන මේ ප්‍රදර්ශනය සැප්තැම්බර් 1 වැනිදා දක්වාම නරඹන්න ඔබට අවස්ථාව තියෙනවා. ඩිජිටල් තාක්ෂණය අපේ සාමූහික පරිකල්පනය සහ ලෝකය ගැන තියෙන දැක්ම වෙනස් කරන්නට දායක වෙන විදිහ නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමයි මෙවර කලම්බෝස්කෝප් එකේ අරමුණ වෙලා තියෙන්නේ.

සිනමන් කලම්බෝස්කෝප් ප්‍රදර්ශනය බොහොම උත්කර්ෂවත්ව පැවැත්වෙන අතරේ මේ සුවිශේෂී ගොඩනැගිල්ල ගැනත් ටිකක් හොයලා බලන්න අපි හිතුවේ ඒ පිටුපස තියෙන ඉතිහාස කතාව හින්දාමයි.  මේ ගොඩනැගිල්ල නිර්මාණය වෙන්න පාදක වෙන සංසිද්ධීන් මේ ගොඩනැගිල්ලේ වැඩකටයුතු ආරම්භ කළ කාලයටත් වඩා අතීතයට දිව යනවා.දශක ගණනාවක් තිස්සේ කොළඹ අවට විවිධ තැන් වල පවත්වා ගෙන ගිය කොළඹ තැපැල් කන්තෝරුවට එයටම වෙන් වූ ගොඩනැගිල්ලක් නිර්මාණය කරන්න බ්‍රිතාන්‍ය පාලකයන් තීරණය කිරීමත් සමග තමයි මේ ගොඩනැගිල්ල හදන්න පටන් ගත්තේ.

ඊට කලින් බොහෝ තැන් වල, විශේෂයෙන්ම පිටකොටුව පැරණි ඕලන්ද කෞතුකාගාරය සහ කාලයක් ජනාධිපති මන්දිරයේ (ඒ කාලේ රජගෙදර) කොටසක පවා තැපැල් කාර්යාලය පවත්වා ගෙන ගියා. ලංකාවේ තැපැල් සේවයේ දියුණුවත් එක්ක තමයි මධ්‍යම තැපැල් කාර්යාලය නමින් විශේෂ ගොඩනැගිල්ලක් තුලට කොළඹ තැපැල් කාර්යාලය ගෙන යන්න තීරණය වුණේ. හැබැයි මේක ක්‍රියාවට නංවද්දී නම් ප්‍රශ්න බොහොමයක් ආවා. මොකද මේ සුවිසල් ගොඩනැගිල්ල හදන්න තීරණය කරපු ස්ථානය මුළුමන්ම වගේ හුණුගල් කුළුණු වලින් වැහිලා තිබුණු ප්‍රදේශයක්. ගොඩනැගිල්ල හදන්න කලින් මේ සේරම හුණුගල් කොටස් වශයෙන් කඩලා ඉවත් කරලා තමයි වැඩේට සුදුසු විදිහට ඉඩම සකස් කර ගන්න පවා සිද්ධ වුණේ.

මහා බ්‍රිතාන්‍යයේ රාජ මාලිගාවේ කැටයම් ආශ්‍රයෙන් තමයි මේ පඩිපෙළ නිර්මාණය වෙලා තියෙන්නේ.

මහා බ්‍රිතාන්‍යයේ රාජ මාලිගාවේ කැටයම් ආශ්‍රයෙන් තමයි මේ පඩිපෙළ නිර්මාණය වෙලා තියෙන්නේ.

ඒ කාලේ පොදු වැඩකටයුතු දෙපාර්තමේන්තුව (Public Works Department) තුල සේවය කරපු හර්බට් ෆ්‍රෙඩ්රික් තෝමලින් මහතා (Herbert Frederick Tomalin) තමයි මේ සංකීර්ණ කාර්යය භාර අරගෙන කටයුතු කළේ. ගෘහ නිර්මාණ ශිල්පී ටන්ස්ටල් (Tunstall) මහතාගේත් සහයෝගය ලබාගෙන එතුමා ඉදි කරපු මේ සුවිසල් ගොඩනැගිල්ල ඒ කාලයේ යුරෝපයේ ඉදි වුණු මේ වර්ගයේ ගොඩනැගිලි එක්ක වුණත් කරට කර තියන්න පුළුවන් මහාර්ඝ නිර්මාණයක්.

විශේෂයෙන්ම වැය කෙරුණු මුදල අතින් බැලුවාම නම් යුරෝපීය ගොඩනැගිලි ගණනාවකට වඩා මධ්‍යම තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සෑහෙන ඉදිරියෙන් තිබුණා. 1891 අවුරුද්දේ ඉදිකිරීම් ඇරඹෙන කාලයේ රුපියල් 50,000ක් වියදම් කරන්න ඇස්තමේන්තු කෙරුණත් (මතක තියා ගන්න ඒ දවස් වල රුපියලක් රන් පවුමකට වඩා වටිනවා. අද කාලේ නම් රුපියල් 50,000කට කාමරයක් ටයිල් කර ගන්නවත් අමාරුයි නේද?) වැඩ අවසන් වෙද්දී මේකට රුපියල් 210,000ක් වියදම් වෙලා තිබුණා. මේ වගේ රුපියල් 160,000ක්ම වැඩිපුර වැය වෙන්න ප්‍රධාන හේතුව වුණේ තෝමලින් මහතා මේ සඳහා උසස්ම අමුද්‍රව්‍ය සහ දක්ෂතම කාර්මිකයන් යොදා ගන්න ඕනේ කියපු එකයි.

2001 සිට මහජනයාට වසා තිබුණු මේ ගොඩනැගිල්ල මේ වසර Colomboscope උත්සවයට යොදාගන්නට තමයි සැලසුම් කරලා තියෙන්නේ.

2001 සිට මහජනයාට වසා තිබුණු මේ ගොඩනැගිල්ල මේ වසර Colomboscope උත්සවයට යොදාගන්නට තමයි සැලසුම් කරලා තියෙන්නේ.

කාර්මික ශිල්පීන් 375ක්, එයිනුත් 180ක් තමන්ගේ ක්ෂේත්‍ර වල විශේෂඥයන් වසර 5ක් තිස්සේ මහන්සි වෙලා තමයි මේ මධ්‍යම තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදි කළේ. මේ ගොඩනැගිල්ලට යොදා ගැනුණු වර්ණ දෙකක් සංයෝග වුණු (Two tone) ග්‍රැනයිට් පාෂණ හොයා ගන්න පුළුවන් වුණේ රත්නපුරයේ සහ රුවන්වැල්ලේ තිබුණු ගල් කොරි වලින් විතරයි. ගෙනෙන්න මොන තරම් අමාරු වුණත් සාමාන්‍ය ග්‍රැනයිට් වෙනුවට මේ ග්‍රැනයිට්ම යොදා ගන්න තෝමලින් මහත්මයාට අවශ්‍ය වුණා. ඒ නිසා හරියට පාරක්වත් නොතිබුණු ඒ කාලයේ මේ සියලු ගල් කොළඹට ප්‍රවාහනය කරන්න කැළණි ගඟ තමයි යොදා ගත්තේ. 1890 ගණන් වලදී ඔරු පාරු වලින් මේ තරම් දුරක් බර ගල් කුට්ටි ගේන එක මොන තරම් අමාරු වැඩක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

තමන්ට ලැබුණු හොඳම ව්‍යාපෘතිය කියලා සලකලා තෝමලින් මහතා මේ ගොඩනැගිල්ලේ නිර්මාණ කටයුතු සහ ඉදිකිරීමේ වැඩ කළේ අසාමාන්‍ය කැපවීමකින්. ඒ කාලේ පුවත්පත් වාර්තා වල තෝමලින් මහතාට මේ ගොඩනැගිල්ල ගැන තිබුණේ උමතුවකට සමාන ලැදිකමක් කියලත් ලියවිලා තියෙනවා දකින්න ලැබෙනවා. ඊට පෙර කොළඹ ප්‍රදේශයේ ඉදිකරපු හැම ගොඩනැගිල්ලකටම වඩා මේක අති ශ්‍රේෂ්ඨ නිර්මාණයක් බව ඒ කාලේ පොදු වැඩකටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකව සිටි රොබට් නොක්ස් මැක්බ්‍රයිඩ් මහතා (Robert Knox MacBride) පවා ප්‍රකාශ කරලා තියෙනවා. ඔහුගේ වාර්තා වල මේ විදිහට ඒ පිළිබඳව ලියැවිලා තියෙනවා දකින්න පුළුවන්. “සිලෝන් දිවයිනේ වැඩකරුවන්ට මේ තරම් සූක්ෂමව සකස් වුණු නිර්මාණයට දායක වෙලා අත්දැකීම් නැති තරම්. සාපේක්ෂව වැඩි කාලයක් ගත වුණත්, ඔවුන් තෝමලින් මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රශංසනීය ලෙස සිය කාර්යය ඉටු කර තිබෙනවා.”

මේ ගොඩනැගිල්ල 1985 අවුරුද්දේ ජූලි මාසයේ වැඩ අවසන් කරලා තැපැල් සේවයේ මෙහෙයුම් කටයුතු වලට යොදා ගැනීම ආරම්භ වෙද්දී ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් වලින් පරිපූර්ණව පැවතුණා. ලංකාව යටත්විජිතයක් වෙලා තියෙන අවධියේදීත්, නාමික නිදහස යටතේත්, ජනරජ ව්‍යවස්ථා දෙකකට පස්සෙත් රටේ සමස්ත තැපැල් සේවයේ හදවත විදිහට පුරා අවුරුදු 106ක කාලයක් තිබුණේ මේ මධ්‍යම තැපැල් කාර්යාල ගොඩනැගිල්ල. 2001 අවුරුද්දේ රටේ පවතින ආරක්ෂක ගැටළු නිසා (විශේෂයෙන්ම ජනාධිපති මන්දිරයේ ආරක්ෂාව සහතික කරන්න ඕන නිසා) කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ තියෙන තැපැල් දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයට මෙහෙයුම් කටයුතු ගෙන ගියේ ඊට පස්සෙයි.

මේ ගොඩනගිල්ලට නම් උරුමවෙලා තියෙන්නේ ඉතා වර්ණවත් අතීතයක්.

මේ ගොඩනගිල්ලට නම් උරුමවෙලා තියෙන්නේ ඉතා වර්ණවත් අතීතයක්.

එදා ඉඳන් මේ වන තුරුම මේ ගොඩනැගිල්ල බොහෝ දුරට සම්පුර්ණයෙන්ම අතහැරලා දාල වගේ තමයි තිබුණේ. කොළඹ අධි ආරක්‍ෂිත කලාපයක තියෙන නිසා මහජනතාවට මුළුමනින්ම තහනම් වෙලා තිබුණු මේ ගොඩනැගිල්ලේ එදා තිබුණු ශ්‍රී විභූතිය කාලයත් එක්ක අමතක වෙලා ගිහින් තිබුණා. ඒත් සිනමන් කලම්බෝ ස්කෝප් – 2016ත් එක්ක යළිත් ඔබට මේ ගොඩනැගිල්ල දැක ගන්න අවස්ථාවක් උදා වෙලා තියෙනවා. කොයි තරම් කාලයකට පෙර ඉදි කරලා තිබුණත්, කොයි තරම් කාලයක් අත හැරලා දමලා තිබුණත් (සමහර විට ඒ නිසාම) මේ ගොඩනැගිල්ල තුල වෙන කිසිම තැනක දකින්න නොලැබෙන සුවිශේෂත්වයක් තියෙනවා.

Roar අපිත් ඔබට ආරාධනා කරනවා ලංකාවේ රටේ සන්නිවේදන ක්ෂේත්‍රයට වැඩිම සේවයක් කරපු මේ ගොඩනැගිල්ල බලා ගන්නත් එක්ක සිනමන් කලම්බෝ ස්කෝප් – 2016 නරඹන්න කියලා.

චායාරුප: මිනාලි හපුතන්ත්‍රී/පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ 

Related Articles