Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අඳුරු යුගයක මතක සටහන්වලට ජීවය දුන් අපූරු සිතුවම

වචනවලින් විස්තර කරනවාටත් වැඩි යමක් හදවතට කාවද්දන තරම් විශිෂ්ට කලා නිර්මාණ කොතෙකුත් තිබේ. යම්කිසි කලා නිර්මාණයක් එවැනි විශිෂ්ට ගණයේ එකක් බවට පත් වීම සඳහා හේතු විය හැකි කරුණු කිහිපයක් තිබේ. අදාළ නිර්මාණය සඳහා ප්‍රස්තුත වූ සිදුවීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

අමෙරිකානු චිත්‍ර ශිල්පියකු 1960 දශකයේ දී ඇඳි, සත්‍ය සිදුවීමක් පාදක කරගත් සිතුවමක් දශක ගණනාවක් තිස්සේ ලොව පුරා ජනතාවගේ අවධානයට ලක්ව තිබේ. ‘The Problem We All Live With’ නමින් හඳුන්වන එම සිතුවම පිළිබඳ මෙම ලිපියෙන් සොයා බලමු.

‘The problem we all live with’ සිතුවම – www.tionofeducation.wordpress.com

නෝර්මන් රොක්වෙල් නම් චිත්‍ර ශිල්පියා ඇඳි  මෙම සිතුවම අමෙරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ සන්ධිස්ථානයක් ලෙස සැලැකේ. එහි අප්‍රිකානු-අමෙරිකානු සම්භවයක් ඇති රූබි බ්‍රිජස් නම් එවකට සය හැවිරිදි වියේ පසු වූ දැරියක් සහ ඇගේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂකයන් සිව් දෙනෙක් නිරූපණය කර තිබේ.

සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය

සියවස් ගණනාවක් තිස්සේ අමෙරිකානු සමාජය තුළ මුල්බැසගෙන තිබූ වාර්ගික වෙන් කිරීම් තුරන් කිරීමේ අරමුණින් බිහි වූ ව්‍යාපාරයක් ලෙස අමෙරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය හැඳින්විය හැකි ය. 1954 වසරේ ආරම්භ වූ එය 1968 දක්වා ක්‍රියාත්මක විය. මෙම ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණ වූයේ වාර්ගික වශයෙන් වෙනස් කිරීම, සුදු සහ කළු ජාතිකයන්ට වෙනස් කොට සැලකීම සහ යම් යම් ජනකොටස්වලට ඡන්ද අයිතිය අහිමි කිරීම වැනි දේවල්වලට විරුද්ධව නැඟී සිටීමයි.

සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය 1954 වසරේ දී නිල වශයෙන් ආරම්භ වුවත් එහි මූලාරම්භය සිදු වූයේ 19 වැනි සියවසේ අගභාගයේ දී බව කියැවේ. කෙසේ වෙතත් සිය අරමුණු ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය වූ නීති ප්‍රතිපාදන දිනා ගැනීමට ඔවුන්ට හැකි වූයේ 1960 දශකයේ මැද භාගයේ දී ය.

සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය විරෝධතාවයක නිරත වන අයුරු – www.adl.org

සිතුවම

සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ සන්ධිස්ථානයක් ලෙස සැලකෙන ‘The Problem We All Live With’ සිතුවම සත්‍ය සිදුවීමක් පාදක කරගත් එකක් වීම ඒ පිළිබඳ විශාල පිරිසකගේ අවධානය යොමු වීමට බලපෑ එක හේතුවකි. තෙල් සායම් භාවිත කර ඇඳ ඇති එහි උස අඟල් 36ක් වන අතර පළල අඟල් 58කි. රූබි මුහුණ දුන් සිදුවීම පාදක කරගෙන සිතුවම ඇඳ තිබුණත් ඒ සඳහා නිරූපණ ශිල්පිණියන් ලෙස යොදාගෙන ඇත්තේ ලින්ඩා සහ ඇනීටා නම් දැරියන් දෙදෙනෙකි. එහි ඇති වාර්ගික තේමාව ඉස්මතු කිරීමේ අරමුණින් රොක්වෙල්, ළා-අඳුරු පැහැති වර්ණ වැඩි වශයෙන් යොදාගෙන තිබේ.

රූබි ඇතුළත් වූ පාසල වර්තමානයේ – www.civilrightstrail.com

සිතුවම සඳහා මුල් වූ සිදුවීම

සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය හරහා එතෙක් සුදු ජාතික දරුවන්ට පමණක් වෙන් කර තිබු පාසල්වලට කළු ජාතික දරුවන් ද ඇතුළත් කරගත යුතු බවට නීති සම්පාදනය විය. ඒ නිසා රූබිට ද ‘විලියම් ෆ්‍රාන්ට්ස්’ නම්, සුදු ජාතික දරුවන්ට පමණක් එතෙක්  වෙන් වී තිබූ ප්‍රාථමික පාසලට ඇතුළත් වීමට අවස්ථාව ලැබිණි.

1960 නොවැම්බර් 14 දින ඇය පාසල වෙත ගමන් කරන අයුරු සිතුවමෙන් නිරූපණය කෙරේ. එමෙන්ම ඇය එම පාසලට ඇතුළත් කර ගැනීමට විරෝධය පළ කරමින් සුදු ජාතිකයන් විශාල පිරිසක් මඟ දෙපස එක්ව සිටි නිසා ඇගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂකයන් සිව් දෙනෙක් ද එහි නිරූපණය කෙරේ.

සය හැවිරිදි රූබි පාසල වෙත ගමන් කරන අයුරු – www.today.com

එහි දැක්වෙන ආරක්ෂකයන්ගේ උරහිස්වලින් ඉහළ පෙදෙස නිරූපණය කර නැත. රූබි ගමන් කරන මාර්ගය අසල ඇති තාප්පයේ වැදී තැලී පොඩි වී ගිය තක්කාලි ගෙඩියක් ද දක්නට ලැබේ. ඉන් අදහස් කරන්නේ එදින ඇයට විරෝධය දැක්වීමට එක්ව සිටි සුදු ජාතිකයන් තක්කාලිවලින් ඇයට දමා ගසා ඇති බව යි. චිත්‍ර ශිල්පියා විරෝධතාකරුවකුගේ දෘෂ්ටි කෝණයෙන් සිතුවම ඇඳ ඇතිමුත් සිතුවමේ විරෝධතාකරුවන් දක්නට නොලැබේ.

නෝර්මන් රොක්වෙල් නම් චිත්‍ර ශිල්පියා- www.artefacthistory.net

විචාරක අදහස්

1964 ජනවාරි 14 දින නිකුත් වූ ‘Look’ සඟරාවේ මෙම සිතුවම මුල්වරට පළ විය. ඒ වන විට රොක්වෙල් එම සඟරාවේ සේවය කරමින් සිටි අතර ඔහුට සමාජ ගැටලු, සිවිල් අයිතිවාසිකම් සහ ජාතීන් අතර සහයෝගය වැනි තේමාවන් ඔස්සේ  නිදහසේ නිර්මාණකරණයේ යෙදෙන්නට එම සඟරාව ඔහුට ඉඩ දුන් බව කියැවේ. ඔහුගේ අනිකුත් සිතුවම්වලට වඩා ‘The Problem We All Live With’ සිතුවම බොහෝ සෙයින් වෙනස් වන බව විචාරකයන් සඳහන් කර තිබේ. විශේෂයෙන්ම අනිකුත් නිර්මාණවල ඔහු නිරීක්ෂකයන් නිරූපණය කිරීම සඳහා වැඩි ඉඩක් ලබා දී තිබුනත් මෙම සිතුවමේ ඔහු ප්‍රධාන වශයෙන් රූබිට ඉඩ ලබා දී තිබේ.

සිතුවම පිළිබඳ දැන්වීමක් – www.pinterest.com

බැරක් ඔබාමාගේ සිත් ගත් සිතුවම

මෙම සිතුවම කෙතරම් ආකර්ශනීය එකක් ද යන්න මනාව පිළිබිඹු වන අවස්ථාවක් ලෙස එය හිටපු අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා ගේ අවධානයට ලක්වීම හැඳින්විය හැකි ය. ඔහු 2011 වසරේ ජුලි සිට ඔක්තෝබර් දක්වා වූ කාලය තුළ අමෙරිකානු ජනාධිපතිවරයාගේ නිල නිවස වන ධවල මන්දිරයේ මෙම සිතුවම තබා තිබිණි.

එසේ කරන ලද්දේ මෙම සිතුවමට මුල් වූ රූබිගේ යෝජනාවක් මත බව කියැවේ. මේ වන විට මෙම සිතුවම අමෙරිකානු කෞතුකාගාරයක තබා ඇති බව කියැවේ.

ධවල මන්දිරයේ තබා තිබූ සිතුවම අසල සිටින ඔබාමා සහ රූබි – www.artefacthistory.net

සමාජ ක්‍රියාකාරිණියක් බවට පත් වූ රූබි

පස් දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමහල් දරුවා ලෙස 1954 සැප්තැම්බර් 8 දින උපන් රූබි ඇගේ ළමා කාලයෙන් වැඩි කාලයක් ගත කළේ සිය බාල සහෝදර සහෝදරියන් රැකබලා ගැනීමට ය. ඇයට වයස අවුරුදු හතරක් වන විට ඇගේ පවුල මිසසිපි ප්‍රාන්තයේ සිට ලුසියානා ප්‍රාන්තයේ නිව් ඕර්ලියන්ස් වෙත සංක්‍රමණය විය.

1960 දී කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා කටයුතු කළ සංවිධානයක්, සුදු ජාතිකයන් සඳහා පමණක් වෙන් වූ පාසල්වලට කළු ජාතික දරුවන් ඇතුළත් කිරීමේ වැඩසටහන සඳහා ඇය සම්බන්ධ කරන ලෙස ඇගේ මාපියන්ගෙන් ඉල්ලීමක් කර තිබිණි. රූබිගේ පියා ඊට මඳක් අදිමදි කළත් පසුව ඒ සඳහා කැමැත්ත පළ කළේ ය. ‘The Problem We All Live With’ සිතුවමේ ප්‍රස්තුතය බවට පත් වීමට ඇයට අවස්ථාවේ ලැබුණේ ඒ අයුරිනි.

රූබි කුඩා කල – www.thoughtco.com

සමාජ සේවා කටයුතු

මැල්කම් හෝල් සමඟ විවාහ වූ ඇය මේ වන විට දරුවන් සිව් දෙනකුගේ මවකි. මේ වන විටත් ඔවුන් නිව් ඕර්ලියන්ස් හි පදිංචි වී සිටී. උසස් අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව සංචාරක ඒජන්තවරියක ලෙස වසර 15ක් තිස්සේ සේවය කළ ඇය පසුකාලීන ව සමාජ ක්‍රියාකාරිනියක් බවට පත් වූවාය.

රූබි බ්‍රිජස් පදනමේ සභාපතිනිය ලෙස මේ වන විට කටයුතු කරන ඇය ඉවසීම, ගෞරවය සහ වෙනස්කම් අගය කිරීම වැනි තේමා මුල් කරගත් සුබසාධන කටයුතුවල නිරත වේ.

රූබිගේ මෑතකාලීන ඡායාරූපයක් – www.educate-nigeria.com

සිය දැක්ම පිළිබඳව අදහස් දක්වමින් ඇය වරෙක සඳහන් කළේ: “ජාතිවාදය යනු හොඳින් වැඩුණු රෝගයක් වන අතර අපේ දරුවන් එය බෝ කිරීමෙන් ගලවා ගත යුතුමය.” යනුවෙනි. ඇගේ සමාජ සේවා කටයුතු අමෙරිකානු ජනාධිපතිවරුන්ගේ පවා ප්‍රශංසාවට ලක් වී තිබේ. 

කවරයේ ඡායාරූපය- නෝර්මන් රොක්වෙල් ඇඳි 'The problem we all live with' සිතුවම - www.tionofeducation.wordpress.com

මූලාශ්‍ර:

www.kennedy-center.org

www.nrm.org

www.study.com

www.thoughtco.com

www.mymodernmet.com

Related Articles