Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිනමාවේ අනාගතය අඳුරුයි… – ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම

ලාංකීය කතානාද  සිනමා වංශ කතාව වසර හැත්තෑවක අතීතයක් සිහිපත් කරයි.  ගෙවී ගිය අතීතය ගතකරන්නාවූ වර්තමානය පමණක් බලාපොරොත්තු සහගත අනාගතයතද ඉතාම වැදගත්ය. මෙම සංවාදය ඒ වෙනුවෙනි.

Gamini weragama – ඡායාරූපය උපුටා ගැනීම ගාමිණී වේරගම මහතාගේ මුහුණු පොතෙනි.

අපේ සිනමාවට වසර හැත්තෑවක්. මේ සංඛ්‍යාව ඉතිහාසයට අනුව නිවැරදි ද?

අපේ සිනමාව අවුරුදු හැත්තෑවට වඩා පැරැණියි. මොක ද? එක්දහස් නවසිය තිස් හයේ දී ‘ගෙයිටි’ සිනමා ශාලාවෙ දී ප‍්‍රදර්ශනය කරනවා ‘පළිගැනීම’ කෙටි නිහඩ චිත‍්‍රපටය. එම චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ දොන් එඞ්වඞ් කියන සිනමාකරුවා විසින්.

ඔහු සංගීතඥයෙක්. විශේෂත්වය තමයි මේ චිත‍්‍රපටයේ අධ්‍යක්ෂණය, නිෂ්පාදනය සහ කැමරාකරණය යන අංශ ත‍්‍රිත්වයම සිදු කරන්නෙ මොහු විසිනුයි. ඔහු තමයි අපේ සිනමාවෙ පළවෙනි චිත‍්‍රපට අධ්‍යක්ෂවරයා. එහෙම නම් අපේ සිනමාව පටන් ගන්නෙ එක්දහස් නවසිය තිස් හයේ දී. නමුත්, අපි අපේ සිනමාවේ ආරම්භය යටපත් කරලා තිබෙනවා. අපේ පළමුවෙනි චිත‍්‍රපට අධ්‍යක්ෂවරයාව අපි සුසානගත කරලා තිබෙනවා. ඒක වැරැදියි. ඒ නිසා අපේ සිනමාව පටන් ගන්නෙ එක්දහස් නවසිය තිස් හයේ ‘පළිගැනීම’ චිත‍්‍රපටයෙන්.

එක්දහස් නවසිය හතළිස් හතේ ජනවාරි විසි එක ‘කඩවුණු පොරොන්දුව’ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය වෙනවා. ඒක අපේ සිනමාවේ කතානාද සිනමාවේ ආරම්භය. එදා ඉදලා තමයි මේ අවුරුදු හැත්තෑව ගෙවිල තියෙන්නෙ. නමුත් ලාංකීය සිනමාව ආරම්භ වෙලා දැන් අවුරුදු අසූ එකක්. මේ විදිහටයි ඉතිහාසය සකස් වෙන්න  ඕනෑ.

අමතර කාරණාවක් විදියට මම කැමතියි දැනගන්න බටහිර සිනමාවේ ආරම්භය සහ ඉන්දියානු සිනමාවෙ ආරම්භය පිළිබදව…

බටහිර සහ ලෝක සිනමාව ආරම්භ වෙන්නෙ එක්දහස් අටසිය අනූ පහේ දෙසැම්බර් විසි අට වෙනිදා ලූමියේ සහෝදරවරුන් නිෂ්පාදනය කරපු කෙටි නිහඩ චිත‍්‍රපටිවලින්. නමුත් බටහිර සිනමාවෙ කතානාද චිත‍්‍රපටය තමයි එක්දහස් නවසිය විසි හතේ ද ජෑස් සින්ගර්. ඉන්දියාවෙත් එහෙමයි. ඉන්දියාවෙ පළමු චිත‍්‍රපටය ලෙස ඔවුන් සලකන්නෙ, එක්දහස් නවසිය දහතුනේ නිෂ්පාදනය වෙච්ච ‘රාජා හරිශ්චන්ද්‍ර’ කියන නිහඩ චිත‍්‍රපටය. ඔවුන්ගෙ කතානාද චිත‍්‍රපටය එන්නෙ එක්දහස් නවසිය තිස් එකේ ‘අලම් ආරා’.

ඔබේ දැක්මට අනුව ලාංකීය සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද?

අපේ සිනමාව ආපු ගමන් මාර්ගය වෙනස් කරලා නව මාවතකට පිවිසෙන්නෙ එක්දහස් නවසිය පනස් හයේ ‘රේඛාව’ චිත‍්‍රපටයෙන්. ඒක තමයි පළවෙනි හැරවුම් ලක්ෂ්‍යය. හැබැයි පළවෙනි අවුරුදු දහය තුළ තිබුණු ලක්ෂණත් අපි අමතක කරන්න හොද නැහැ. නමුත්, ‘රේඛාව’ වැදගත් වෙන්නෙ ඇයි? හැරවුම් ලක්ෂ්‍යයක් විදිහට මම රේඛාවෙ මූලික වැදගත්කම් කිහිපයක් දකිනවා. පළමුවැනි කාරණාව අපි සිනමාව හදුනා ගන්නෙ රේඛාවෙන්. එතෙක් අප සිනමාව හදුනගෙන හිටියෙ නැහැ.

අපි සිනමාව කලාවක් ය කියලා හදුනාගන්නෙ රේඛාවෙන්. එතැන දී ලෙස්ටර් කරන එක දෙයක් තමයි ඔහු අපේ ජන ජීවිතය ඒ ජීවිතය පවතින ගම්මානයට ගිහිල්ලා ස්වාභාවික පරිසරයෙන්ම මේ චිත‍්‍රපටයට ගෙනෙන එක. ඔහු ජීවිතයට කිදා බහින්න දරන උත්සාහය ඉතාම වැදගත්. රේඛාවෙන් තමයි අපිට තාත්වික රීතිය එන්නෙ. මේ තාත්වික රීතිය තමයි වර්තමානය වෙනකල්ම අපේ විනෝදාත්මක චිත‍්‍රපටයේ මූලික රීතිය බවට පත්වෙලා තිබෙන්නෙ.

‘රේඛාව’ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් වීමට තවත් හේතුවක් තිබෙනවා. එතැන දී ලෙස්ටර්ට එකතු වෙන කණ්ඩායම ඉතාම වැදගත්. කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා, ටයිටස් තොටවත්ත, මර්සලීන් ජයකොඩි පියතුමන්, සුනිල් ශාන්ත, අයිවෝ ඩෙනිස්, ඞී. ආර්. නානායක්කාර වගේ ටවර් හෝල් යුගයේ ඉදලා ආපු දක්ෂ රූපණවේදියොත් මේකට එකතු වෙනවා. මෙන්න මේ කණ්ඩායම්වල එකතුව තමයි ‘රේඛාව’ වෙනස් මාර්ගයකට ගෙන යාම සදහා මූලික වශයෙන් දායක වෙන්නෙ. මේ කට්ටිය උත්සාහ කරනවා අපේ ජන ජීවිතය සිනමාවට ගේන්න. ඊ ළග කාරණය තමයි, ලෝකය අපිව හදුනා ගන්නෙත් රේඛාවෙන්. ජාත්‍යන්තරයට යන පළමුවැනි චිත‍්‍රපටය ‘රේඛාව’. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා ලෝකය අපට ගේනවා. අනික් පැත්තෙන් අපිව ලෝකයට අරන් යනවා. එතකොට ‘රේඛාව’ තමයි ලාංකීය සිනමාවේ සිනමා කලාවේ ආරම්භය විදියට මම දකින්නෙ.

Rekhawa – ඡායාරූපය උපුටාගැනීම ගූගල් .

ඔබ සදහන් කරපු පළමු අවුරුදු දහයෙ ලක්ෂණ මොනවද?

අපේ චිත‍්‍රපට කර්මාන්තය ගොඩ නැගෙන්නේ ලාංකීය ව්‍යාපාරිකයන්ගේ මූලිකත්වයෙන්. හැබැයි චිත‍්‍රපට අධ්‍යක්ෂණයට මුලින් පැමිණෙන්නෙ ඉන්දියානු ජාතික සිනමාකරුවන්. ඒකට හේතුව වෙන්නෙ අපට ප‍්‍රාග්ධනය තිබුන නමුත් ශිල්පය නැති වීම.

ඒ නිසා අපට ඉන්දියාවට යන්න සිද්ධ වෙනවා චිත‍්‍රපට තනන්න. එතකොට පළමුවෙනි අවුරුදු දහයේ දී අපි අමතක නොකළ යුතු කාරණා දෙකක් තිබෙනවා මා දකින විදියට. එකක් තමයි බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගෙ ඉදලා ඒ සියලූම දෙනා මේ අවුරුදු දහය ඇතුළත සිනමාව ලංකාවෙ ප‍්‍රධානම විනෝද මාධ්‍ය බවට පත් කරනවා.

දෙවැනි කාරණය තමයි මේ වෘත්තීය නිෂ්පාදන කණ්ඩායම චිත‍්‍රපට කර්මාන්තයක් සදහා අවශ්‍ය පසුබිම සකස් කරනවා. මේ නිසා පළමුවෙනි අවුරුදු දහය ගෙවෙනකොට අපි ව්‍යාපාරයක් විදියට හොද තැනක හිටියා. ඒ කියන්නෙ සිනමාව ආදායම් උපයන ව්‍යාපාරයක් බවට පත් කළා. ඊළගට මේක එකම විනෝද මාධ්‍යය බවට පරිවර්තනය කරන්න සමත් වෙලා තිබුණා. ඒ අතරම එනවා සිරිසේන විමලවීර වගේ සිනමාකරුවෙක්. ඔහු උත්සාහ කරනවා කිසියම් දේශීය ලක්ෂණ සහිත සිනමාවක් ගොඩනඟන්න. අර දකුණු ඉන්දියානු සිනමාවෙන් බැහැර වෙලා අපේ ජීවිතය නිරූපණය කරන සිනමාවක් ගොඩනඟන්න ඔහු පුරෝගාමී උත්සාහයක නිරත වෙනවා. එතකොට පළමුවෙනි අවුරුදු දහය ඇතුළත මේ ලක්ෂණ අමතක කළ යුතු නැහැ. ජනප‍්‍රිය විනෝද මාධ්‍යයක් බවට පත් වීම. ව්‍යාපාරයක් ලෙස තහවුරු වීම. ඒ වගේම දේශීය ජීවිතය නිරූපණය කරන සිනමාවක් සදහා යාමට උත්සාහ කිරීම එම වසර දහය තුළ දැකගන්නට පුළුවන්.

ලාංකීය සිනමාවට ආභාෂයන් එන්නෙ ඉන්දියාවෙන් නේද ?

කතානාද සිනමාව ආරම්භ වුණාට පස්සේ අපේ පේ‍්‍රක්ෂකයන්ගෙන් වැඩි කොටසක් යොමු වෙන්නෙ ඉන්දියානු චිත‍්‍රපටවලට. මොකද හින්දි සහ දෙමළ චිත‍්‍රපට අපට සමීපයි. ඒවායේ ගීත, නැටුම්, සංස්කෘතික ලක්ෂණ සහ ජීවිතය පවා අපිට සමීපයි. එතකොට ඉන්දියානු චිත‍්‍රපටවලට ආශක්ත පේ‍්‍රක්ෂක සමූහයක් මේ රටේ ගොඩනැෙඟනවා.

අදත් ඒක එහෙම්මමයි. එතකොට අපේ පළමුවෙනි චිත‍්‍රපට හදපු කණ්ඩායම් ශිල්ප ඥානය සදහා ඉන්දියාවට ගිහිල්ලා දකුණු ඉන්දියාවේ සිනමාකරුවන් එක්ක වැඩ කරනකොට ඒ සිනමාවේ ලක්ෂණ අපිට එන එක අනිවාර්යයි නෙ. අනික් පැත්තෙන් මේ ව්‍යාපාරිකයො දකිනවා අපේ පේ‍්‍රක්ෂකයො යොමු වෙලා ඉන්නෙ දෙමළ සහ හින්දි සිනමාවට කියලා. ඒ නිසයි මේ ලක්ෂණ එකතු වෙන්නෙ. එතකොට අපි ආරම්භ කරන්නෙ ඉන්දියානු ලක්ෂණ සහිතව. ‘රේඛාව’ චිත‍්‍රපටයෙන් අපිට දේශීය ලක්ෂණ ඇවිල්ලා බටහිර සිනමාවෙ හැඩතල ආවට ඊට වඩා වෙනත් සන්ධිස්ථානයක් එනවා පස්සෙ. එක්දහස් නවසිය හැටදෙකේ දී අපි ‘රන්මුතුදූව’ හදනවා. ‘රන්මුතුදූව’ තමයි අපි බටහිර සිනමා ආකෘතිය අනුගමනය කරන චිත‍්‍රපටය. එතැනින් අපි බටහිර නැඹුරුවටත් එනවා. මම හිතන්නෙ ඔය දෙක තමයි වැදගත්ම ලක්ෂණ දෙක.

ලාංකීය සිනමාවේ ස්වර්ණමය යුගයක් බිහිවීමට ප‍්‍රධාන හේතූන් විදියට ඔබ දකින්නෙ මොනවගේ කාරණාවන් ද?

ස්වර්ණමය අවධිය කියන්නෙ වැඩියෙන්ම මුදල් හොයපු සාර්ථක වෙච්ච අවධියනෙ. ඒකෙ දෙපැත්තක් තියෙනවා. ස්වර්ණමය අවධිය වුණොත්, එක පැත්තකින් ඒක ව්‍යාපාරයක් ලෙස සශ‍්‍රීක වෙන්න  ඕනෙ. අනෙක් පැත්තෙන් නිර්මාණ අතින් සාර්ථක වෙන්නත් ඕන.

ස්වර්ණමය අවධීන් හැමදාම තිබෙනවා. ‘සංදේශය’ තමයි අපේ ජනප‍්‍රිය සිනමාවේ ආරම්භය. මොක ද? ‘සංදේශය’ තමයි අද දක්වා එන විනෝදාත්මක සිනමාවට අවශ්‍ය හැඩතල සකස් කරන්නෙ. ‘සංදේශය’ චිත‍්‍රපටයේ තිබුණු අත්දැකීම. ඒ අත්දැකීම ඉදිරිපත් කරපු සිනමාත්මක විලාසය. එහි තිබුණු ගීත. එහි තිබුණු සටන් වගේ දේවල්.

මේව නෙ ජනප‍්‍රිය සිනමාවට එකතු වෙන්නෙ. ‘සංදේශය’ චිත‍්‍රපටය සම්පූර්ණයෙන්ම ඉන්දියානු මුහුණුවරින් මිඳුණු චිත‍්‍රපටයක්. බටහිර ලක්ෂණ තමයි එක්තරා දුරකට තිබුණෙ. අපේ ජනප‍්‍රිය සිනමාව හැටේ දශකය පුරාම ‘සංදේශය’ තමයි අනුගමනය කරන්නෙ. ‘සංදේශය’ තමයි ජනප‍්‍රිය සිනමාව ගොඩනඟන්නෙ. ඔබ අහන ප‍්‍රශ්නයෙන්ම මට සිද්ධ වෙනවනෙ සිනමාව වර්ග කරන්න. අපිට කලාත්මක සිනමාවකුත් තිබෙනවා. ඊට සාපේක්ෂව ඉන්දියානු සිනමාවට සමගාමීව යන වෙළෙද සිනමාවකුත් තිබෙනවා. ඒ අතරමැද ජනප‍්‍රිය සිනමාවකුත් තිබුණා. මේ ධාරා තුනම හැට සහ හැත්තෑව දශක තුළ ඉතාම හොඳින් පැවතුණා. අපිට හැටේ දශකයේ හොද කලාත්මක චිත‍්‍රපට එනවා. ‘ගම්පෙරළිය’ අපි යථාර්ථවාදී රීතියට අරගෙන යනවා. ‘රන්සළු’, ‘පරසතු මල්’,  ‘සාමා’, ‘සත් සමුදුර’, ‘දෙළොවක් අතර’ මේ වගේ කොච්චර චිත‍්‍රපට හැටේ දශකයේ හැදෙනවා ද? ඒ වගේම ‘රන් මුතු දූව’, ‘ගැටවරයෝ’, ‘සැනසුම කොතැනද’, ‘චණ්ඩියා’, ‘පුංචි බබා’ මේ වගේ අතරමැද ජනප‍්‍රිය සිනමාවකුත් ගොඩනැෙඟනවා.

ඒ වගේම වෙළද සිනමාව තුළත් ඉතාම ඉහළ ආදායම් උපයපු චිත‍්‍රපට නිර්මාණය වෙනවා. වෙළද සිනමාවත් වෙනස් මුහුණුවරකට යනවා. ඔබ කියපු ස්වර්ණමය අවධිය ගත්තොත් හැට, හැත්තෑව යුගයේ දී මේ ධාරා තුනම සශ‍්‍රීකයි. ඒක තමයි වැදගත්. රොබින් තම්පෝ වගේ සිනමාකරුවො පසුකාලීනව ලෙනින් මොරායස් වගේ සිනමාකරුවන් මේක ගොඩනඟනවා. හැත්තෑව දශකයෙත් අපි දකින්නෙ මේ ලක්ෂණය. හැත්තෑවේ දී අපි කලාවක් ලෙස ඉතාම ඉහළට යනවා. ‘නිධානය’, ‘තුන්මංහන්දිය’ වගේ චිත‍්‍රපට නිර්මාණය වෙනවා. ඒ වගේම තරුණ සිනමාකරුවන් කණ්ඩායමක් එනවා. ධර්මසේන පතිරාජ එනවා. ’අහස්ගව්ව’ චිත‍්‍රපටයෙන් ඔහු අපට සමාජ යථාර්ථ රීතිය ගේනවා. වසන්ත ඔබේසේකර වගේ අයත් එනවා.

ඊළගට මැද සිනමාවට එනවා එච්. ඞී. පේ‍්‍රමරත්න, විජය ධර්ම ශ‍්‍රී වගේ සිනමාකරුවෝ. මම මේ කාරණාවන් කිහිපය කිව්වෙ හැම වෙලාවෙම ස්වර්ණමය අවධිය කියපුවාම දෙපැත්තක් බලන්න වෙනවා. එකක් අපි කර්මාන්තයක් ලෙස සාරවත් ද? දෙවැන්න අපි නිර්මාණ අතින් සාරවත් ද? ඒ නිසා මගේ අදහස අපි මේ අංශ තුනම මේ අවුරුදු විස්ස තුළ ගොඩනැඟුවා.

Purahanda kaluwara – ඡායාරූපය උපුටා ගැනීම ප්‍රසන්න විතනාගේ මහතාගේ මුහුණු පොතෙනි.

එතකොට ස්වර්ණමය යුගයට ඉන්දියානු සිනමාවේ හෙවණැල්ලක්  තිබුණෙ නැද් ද?

අපි පෙරදිග කලාවත් එක්ක හිටපු ජාතියක්නෙ. අපිත් පෙරදිග නෙ. ආසියානු කලාවන්ගෙන් තමයි අපි උත්තේජනය ලබන්නෙ. අවුරුදු දහස් ගණනක ඉතිහාසය දිහා බැලූවත් අපේ් ආසන්න රට වන ඉන්දියාවත් එක්ක, ඉන්දියාවෙ කලාවත් එක්කනෙ බැදී පැවතුණේ. ඒ නිසා මේ ආභාෂය අපිට වළක්වන්න බැහැ. මේ සියලූ දේවල්වල ඉන්දියානු ලක්ෂණ තිබෙනවා. ඒව අපේ රටට ගැලපෙන විදියට හැඩගස්වා ගැනීමනෙ අපි කළේ.

එතකොට මුල් යුගයේ දී සිනමා කලා ආභාෂය අපිට එනවා කියන එක අනිවාර්යයි. නමුත්, අපේ මිනිස්සුන්ට ඊට වැඩිය දෙයක් ලැබිය යුතුව තිබුණා. ඒකට හේතුව ඉන්දියාවේ සාක්ෂරතාවයට වඩා අපි පොඞ්ඩක් ඉහළ රටක්. ඒ වගේම අපේ මිනිස්සුන්ගේ ගති පැවතුම්, හැසිරීම් රටාවන් මදක් වෙනස්. ඉන්දියාව කියන්නෙ කුලභේදයෙන් ඉතා දැඩි ලෙස පීඩාවට පත් වෙච්ච, දුප්පත්කම ප‍්‍රධාන ලක්ෂණයක්ව පැවැති රටක්. ඉන්දියාව තමන්ගෙ සිනමාවේ දී උත්සාහ කළේ මෙන්න මේ භේදයන් සිනමාවට ගෙන ඒමෙන් ඒවාට විරුද්ධව අදහස් ගොඩනැඟීම. ඒකනෙ දේශපාලන ව්‍යාපාරයක් දක්වා වර්ධනය වෙන්නෙ. නමුත්, අපි එහෙම හිටපු අය නෙමෙයි. ඒ නිසා ගෙඩි පිටින් ඉන්දියානු චිත‍්‍රපට කොපි කළ අවස්ථාවල අපිට වැරදුණා. අපි ඒක නෙමෙයි කළ යුතුව තිබුණෙ.

අවුරුදු අසූ එකක ලාංකීය සිනමා ඉතිහාසයට සාපේක්ෂව වර්තමානයේ සිනමාව පිළිබදව කතා කරමු-

අද ලෝකයේ අංක එක ඉන්දියාව නෙ. කොහොමද එහෙම වෙන්නෙ? ඒ කියන්නෙ ඔවුන් ගිය මාර්ගය හරි. අපි දෙදහස් දාහතට ඇවිල්ලා බලනකොට දකුණු ඉන්දියානු සිනමාව අද ලෝකයේ ඉහළටම ගිහිල්ලනෙ. හැට ගණන්වල අපිට තිබුණෙත් ඉන්දියානු සිනමා ආභාෂය. නමුත්, ඉන්දියාව ඉන්න තැන අපි නැහැනෙ.

ඇයි ඒ?  ඔවුන් ඒ මාර්ගය නිසියාකාරව ගොඩනඟා ගත්තා. අපිට බැරි වෙනවා, ඔවුන්ගේ සාධනීය ලක්ෂණ හසු කර ගන්න. අපි අදත් මොක ද කරන්නේ ? අපි ‘මායා’ හදනවා අපි ‘ප‍්‍රවේගය’ හදනවා. අපි මොකක් ද මේ කරන්නෙ ? මේවා සල්ලි හොයපු දෙමළ චිත‍්‍රපට තමයි. හැබැයි ඒවායේ තිබෙන සාධනීය ලක්ෂණ නෙමෙයි නෙ අපි ගේන්නේ. අපේ මිනිස්සුන්ට ගැළපෙන්නෙ නැති දේවලූත් එක්කනෙ මේ ගේන්නෙ. ඇයි අපි ඒවා මිශ‍්‍ර කර ගන්නෙ ? ආභාෂය හොදයි. ආභාෂය නැතුව චිත‍්‍රපටි හදන්න බැහැනෙ. සිනමාව කියන එක විශ්ව මාධ්‍යයක්. එතකොට  

ඕන තැනකින් අපට ආභාෂය ගන්න පුළුවන්. හැබැයි, ආභාෂය අරගෙන අපේ දෙයක් නෙ කරන්න  ඕනෙ. ඒ අතින් බලනකොට හැට හැත්තෑව දශකයේ වෙළෙද සිනමාකරුවො ගෙඩි පිටින් කොපි කළෙත් නැහැ. ඔවුන් ඒක ගලපා ගත්තා අපට අවශ්‍ය විදියට. ඊළගට තව හේතුවක් තිබුණා. ඔබ බලන්න හැටේ සහ හැත්තෑව දශකවල ඉන්දියානු අනුකරණ චිත‍්‍රපටිවල රගපෑවෙ ලංකාවෙ දක්ෂතම නළු නිළියො. ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික‍්‍රම, මාලනී ෆොන්සේකා, ටෝනි රණසිංහ, ඇලෙක්සැන්ඩර් ෆනෑන්ඩු මේ සියලූ දෙනා තමන්ට ආවේණික රගපෑම් විධික‍්‍රමවල හිටපු අය. මහා නළුවො. ඒ නිසා කිසි විටෙකත් ඒ අය ඉන්දියානු නළු නිළියන්ව අනුකරණය කළේ නැහැ. එතැනින්ම එනවා අපේ ස්වතන්ත‍්‍ර බව. චිත‍්‍රපටයේ කතාව අරගෙන අපේ රටට ගැලපෙන විදියට හදා ගන්නවා. රංගනයෙන් මේකෙ ස්වතන්ත‍්‍ර බවක් එනවා.

ගීත කලාවේ දී ඉන්දියානු චිත‍්‍රපට ගීත අපි කොපි කළත්, මේවා ගායනා කළේ එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලීන්, ලතා වගේ හොදම ගායක ගායිකාවො. ජෝතිපාලගෙ ගීතයක් අහපුවාම අපිට හිතෙනව ද ඒක ඉන්දියානු ගීතයක් කියලා. නැහැ. ඒක ස්වතන්ත‍්‍ර යි. මෙන්න මේ ස්වතන්ත‍්‍ර ගුණය තමයි අපිට නැති වුණේ. වර්තමානයේ හැදෙන ඉන්දියානු චිත‍්‍රපටයක අනුකරණයක් බැලූවාම අපිට දැනෙන්නෙ අපි ඉන්දියාවේ ඉන්නවා කියලා. අපිට දැනෙන්නෙ නැහැ ලංකාවේ ඉන්නවා කියලා. මේක තමයි අද තිබෙන ගැටලූව.

Sarigama – ඡායාරූපය උපුටා ගැනීම සරිගම සිනමාපට මුහුණු පොතෙනි.

වර්තමාන ලාංකීය සිනමා කර්මාන්තය ගැන ඔබේ විග‍්‍රහය කුමක්ද?

සිනමාව හැමදාම නිශ්චිත ගමන් මාර්ගයක ගමන් කරනවා. නමුත් අද අපේ සිනමාවේ නිශ්චලකමක් තිබෙනවා. හැබැයි කලාත්මක සිනමාවේ බිදවැටීමක් මම දකින්නේ නැහැ. අපිට ගැටලූව වෙලා තිබෙන්නෙ විනෝදාත්මක සිනමාව කඩා වැටීම. මොකද විනෝදාත්මක චිත‍්‍රපට ආදායම් ඉපයුවෙ නැත්නම්, අපේ රටට හොද සිනමාවක් එන්නෙ නැහැ. දෙදහස් පහළොව ගත්තොත්, සාර්ථක වුණේ අඩු වියදමින් හදපු චිත‍්‍රපටි. වැය පාලනය කර ගනිමින් මිනිස්සුන්ට ආකර්ෂණීය චිත‍්‍රපටයක් ලබා දෙනවා නම් වර්තමාන තත්ත්වය තුළ ඒක ඉතාම වැදගත් වෙයි.

මොකද? අපේ පේ‍්‍රක්ෂකාගාරය අඩුවෙලා. මෙතැන දී මම කියන්නෙ නැහැ අපේ මිනිස්සු චිත‍්‍රපටි බලන්නෙ නැහැ කියලා. මිනිස්සු චිත‍්‍රපටි බලනවා. හැබැයි මිනිස්සු හෝල් එකට එන්නෙ නැහැ. මිනිස්සු වෙනත් මාධ්‍යවලින් චිත‍්‍රපටි බලනවා. එතකොට ඇයි මිනිස්සු සිනමා ශාලාවට එන්නෙ නැත්තේ? අපි දන්නවා ජීවිත ගැඹුරින් විග‍්‍රහ කරන චිත‍්‍රපටිවලට ලොකූ පේ‍්‍රක්ෂකාගාරයක් නැහැ. එහෙම දෙයක් ලෝකෙ කොහේවත් සිද්ධ වෙන්නෙ නැහැ. බලාපොරොත්තු වෙන්නත් බැහැ. ඒ නිසා වෙළෙදපළ ගොඩනැඟිය හැක්කේ විනෝදාත්මක චිත‍්‍රපට ඔස්සේ. නමුත්, එය අපේ රටේ සිද්ධ වෙන්නෙ නැහැ.

අපේ සිනමාව මේ තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම් කුමක් ද කළ යුත්තේ?

ඇමරිකානු චිත‍්‍රපට කර්මාන්තය ආරම්භ වෙනකොටම ඔවුන් මූලික ප‍්‍රශ්න දෙකක් දැක්කා. ඒ මූලික ප‍්‍රශ්න දෙකට පිළිතුරු දීම මත තමයි චිත‍්‍රපට කර්මාන්තය ගොඩනැඟුණේ.

පළමුවැනි ප‍්‍රශ්නය තමයි මිනිස්සු ආකර්ෂණය කර ගන්නා වූ හොද චිත‍්‍රපටයක් නිර්මාණය කිරීම. දෙවැනි ප‍්‍රශ්නය ඒ මිනිස්සු ආකර්ෂණය කර ගන්නා වූ හොද චිත‍්‍රපටය නරඹන්නට සුදුසු ස්ථානයක් ගොඩනැඟීම.

ඔය ප‍්‍රශ්න දෙකට පිළිතුරු දීම මත තමයි ලෝකයේ සිනමා කර්මාන්තය ආරම්භ වුණේ. අද අපේ රට මුහුණ දීලා තියෙන්නෙත් ඔය ප‍්‍රශ්න දෙකටනෙ. අපිට ගොඩ එන්න තියෙන්නෙත් ඔය ප‍්‍රශ්න දෙකට ලබා දෙන පිළිතුරු මත තමයි. එතකොට මේ නිශ්චලතාවට පිළිතුරු තියෙන්නෙ ඔතන. අනිත් රටවල් කාලයත් එක්ක හැඩගැහුණා. නමුත් අපිට කාලයත් සමග හැඩගැහෙන්න බැරි වුණා. දැන් බලන්න මුළු ලෝකයෙන්ම ප‍්‍රක්ෂේපණය අංකිත ක‍්‍රමයට ගිහිල්ලා. ඩිජිටල් වෙලා. නමුත් අපි තවමත් ඒ ගැන තර්ක කරමින් ඉන්නවා. තව අවුරුද්දකින් විතර ලෝකයෙන් සම්පූර්ණයෙන්ම පටල පටය නැති වෙලා යනවා. එහෙම වුණොත් අපේ සිනමාව ඉවර වෙනවා. ඒ නිසා හොද චිත‍්‍රපට හදන්න ඉස්සෙල්ලා අපේ අවධානය යොමු විය යුත්තේ සිනමා ශාලා කෙරෙහි කියල මම හිතනවා.  ඊට රාජ්‍ය මැදිහත් වීම අවශ්‍යයි. අපි රාජ්‍ය මැදිහත් වීම ඉල්ලන්නෙ ඔවුන් තවමත් මේක පාලනය කරන නිසා. එහෙම නැත්නම් අපි රාජ්‍ය මැදිහත් වීම ඉල්ලන්නෙ නැහැනෙ. අපි කුඩා රටක්. අපි කුඩාවට හිතුවොත් අපිට පුළුවන් අපේ සිනමාව අර පරණ මට්ටමට ගේන්න. ඒ සදහා අවශ්‍ය වෙන්නෙ නියාමනය පමණයි.

කොහොම ද සිනමාව නියාමනය විය යුත්තේ?

එකක් තමයි අපි හොද සිනමාව ආරක්ෂා කර ගන්න  ඕනේ. විශේෂයෙන්ම සිනමාවට එන තරුණ පරම්පරාව ආරක්ෂා කර ගැනීමට කිසියම් වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඔවුන්ට චිත‍්‍රපට හදන්න අනුබල දෙන්න  ඕනෑ. ඒ චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කරන්න අවස්ථාව සලසා දෙන්න  ඕනෙ. එච්චරයි. වෙළෙද පොළේ දී ඔවුන්ට ආරක්ෂාව දෙන්න  ඕනෙ නැහැ. මොකද වෙළෙද පළේ දී ඔවුන් තරග කරන්න  ඕනේ. මා විශ්වාස කරනවා රජය මැදිහත් වෙනවා නම්, මැදිහත් වෙන්න  ඕනෙ මූලික කාරණයට පමණයි. ඔවුන්ට තීරණය කරන්න දෙන්න  ඕනෙ වෙළෙද පළේදී කොහොම ද චිත‍්‍රපටය ජය ගන්න  ඕනෑ කියලා. එතකොට සිනමාව හැදෙනවා වෙළෙද පළට ගැලපෙන විදියට.

පේ‍්‍රක්ෂකයන් සිනමා ශාලාවට ගෙන්න ගන්න  ඕන විදියට සිනමා ශාලා හැදෙනවා. අමතක කරන්න හොද නැහැ මෙවැනි තත්ත්වයක් තුළත් ජය ගන්නා සිනමාකරුවො අපිට ඉන්නවා. හැම පැත්තෙන්ම අපි දියුණුයි. වෙළෙද පළේ දී තමයි, අපි අසාර්ථක වෙලා තිබෙන්නේ. ඒක ජය ගැනීම එතරම්ම අමාරු නැහැ. අපි මේ අමාරුවෙ වැටුණේ අපට අනාගත දැක්මක් නොතිබුණු නිසා. අපි අනාගතවාදී නැහැ. අවුරුදු පහකට කලින්වත් දකින්න  ඕනෙ වෙන්න යන දේ මොකක් ද කියන එක. අඩු ගාණෙ අපි ජාත්‍යන්තරව අත්දැකීම් ලබා ගන්න  ඕනෙ. නමුත්, අපි හැමවෙලාවකම ඉන්නෙ පසුගාමීව. අනාගත දැක්මක් තියෙන්න  ඕන. ඒ දැක්ම ගන්න නම් ඉතිහාසය පිළිබද දැනුමක් තියෙන්න ඕනේ. වර්තමානය පිිළිබදව අවබෝධයක් තියෙන්න  ඕනේ. යා යුතු ගමන් මාර්ගයක් තීරණය කර ගන්න  ඕනේ. නමුත් අපි බිදවැටිල නැහැ. මම කවදාවත් සිනමාව යටපත් වෙනවා කියල හිතන කෙනෙක් නෙමෙයි. සිනමාවට හැමදාම ගැටලූ තිබුණා. හැබැයි වර්තමාන ගැටලූව පොඞ්ඩක් දරුණු වැඩියි. අනාගතය පිළිබද බොහොම අදුරු චිත‍්‍රයක් තමයි මවන්නෙ.

ඒ නිසා ඉතා ඉක්මනින් මේ සඳහා මැදිහත් වීමක් අත්‍යවශ්‍යයි. ඒ යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක වුණොත්, සිනමාව ගොඩ ගැනීමේ කාර්යය සිනමාකරුවන්, නිෂ්පාදකයන් සහ පේ‍්‍රක්ෂකයන් හොදින් කරයි. ඒකට කවුරුවත් මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි ඒ යාන්ත‍්‍රණය සහ නියාමනය හරියට හැදෙන්න  ඕනෙ.

Related Articles