පුරාණ රෝමයේ ජීවත් වුණු අය කියපු විදිහට මනුෂ්‍යයෙකුගේ ජීවිත කාලය තුළ පසු කරන වැදගත් සන්ධිස්ථාන පහක් තියෙනවා: ඒ තමයි ළමා විය, යොවුන් විය, තරුණ විය, මැදි විය සහ මහළු විය. කොහොම වුණත් ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ට ජීවිතයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් තියෙනවා: ඒ තමයි පුරාණ රෝම වැසියන්ටත් අමතක වුණු විවාහය කියන දේ.

විවාහය කියන්නේ ඇත්තටම කෙනෙකුගේ ජීවිතයේ බොහොම වැදගත් අවස්ථාවක්. පරම්පරා ගාණක් තිස්සේ ආරක්ෂා වුණු චාරිත්‍රයක් විදිහට අපේ මුතුන් මිත්තන්ගේ සිරිත් විරිත් රැකගෙන ඉදිරියට ගෙනියන, උසාවි ගිහින් නඩු කියා ගෙන මිසක් වෙන් කරන්න බැරි නීතිමය බැඳීමක් විවාහය කියලා හඳුන්වනවා. තමන් පතාගෙන ආපු කෙනාව හරි, පතාගෙන ආවා කියලා හිතන්න පුළුවන් කෙනෙක්ව හරි ලං කර ගන්න ලැබුණාම තමයි බොහෝ දෙනා විවාහයක් කර ගන්න පෙළඹෙන්නේ.

කොහොම වුණත් අපේ මුතුන් මිත්තන්ට නම් විවාහය කියන්නේ අදහස් අතින් ගැළපෙන දෙන්නෙක් අතර ඇති වන සමාජ ආධ්‍යාත්මික බැඳීම්වලටත් එහා ගිය දෙයක්. කෙනෙක් ජීවත් වෙන එකේ ප්‍රධානම අරමුණ පවා විවාහය විදිහටයි ඔවුන් සැලකුවේ. ජීවිතයේ කරන අනිත් හැම දෙයක්ම විවාහයට යටත් කියලා ඔවුන් හිතුවේ ඒ නිසා වෙන්න ඇති. ඉතින් තරුණ වයසට පත් වුණාම විවාහයක් කර ගන්න එක ප්‍රධානම කටයුත්ත කියලා ඔවුන් එකහෙලාම කියා සිටිනවා. තරුණ වයසේ ඉන්න කෙනෙක් වෘත්තීය ජීවිතය වෙනුවෙන් හරි, උසස් අධ්‍යාපනය වෙනුවෙන් හරි විවාහය කල් දාන එක එයාලට රුස්සන්නේම නැහැ.

බොහෝ වැඩිහිටියන් “ඉපදුණු හැම කෙනෙක්ම විවාහයක් කර ගන්න ඕනේ” කියන අදහස දරන්න හේතු වුණේත් මේ කාරණාවම වෙන්න ඇති. ඉතින් තරුණ වයසේ ඉන්න කාව හරි මුණ ගැහුණාම තමන්ගේම රාජකාරියක් විදිහට සලකලා එයාට කසාද බඳින්න කෙනෙක් හොයන වැඩිහිටියෝ දැනටත් ඕන තරම්. මේක වැඩියෙන්ම බලපාන්නේ ගැහැණු ළමයින්ට තමයි. උපාධියක් හරි, රැකියාවේ උසස් වීමක් හරි අරගෙන ආව ගමන් අහන්න ලැබෙන්නේ මේ වගේ දෙයක්: “බොහොම හොඳයි, ඉතින් දැන් කසාද බඳින්න ඉන්නේ කවද්ද දුවේ?”

තරුණ වයසේ විවාහ නොවී හරි, පෙම් සම්බන්ධයක් නැතිව හරි ඉන්න එක ලංකාවේදී නම් එච්චර ලේසි වැඩක් නෙවෙයි. යන යන තැන කපුකම් කරන අය, යෝජනා ගේන අය පිරිලා. පෙරැත්ත කරලා බැරි තැන ඇනුම් පදයක් හරි කියලා කසාදයක් කරවන්න තමයි වැඩි දෙනා බලාගෙන ඉන්නේ. ඉතින් අපි මේ ලිපියෙන් කියන්න යන්නේ අපේ රටේ මධ්‍යම පාන්තික පවුලක දරුවෙක් “බඳින වයසට” ආවම මුහුණ දෙන්න වෙන ලොකුම ප්‍රශ්න දහයක් ගැනයි.

1- කපු වසංගතය

ඉපදීම සහ මරණය අතරතුර සිද්ධ වෙන හැම දෙයක්ම විවාහය මුල් කරගෙන සිද්ධ වෙන්න ඕනේ කියලයි අපේ පැරැන්නෝ වැඩි දෙනා හිතාගෙන ඉන්නේ. රූපය : pralakevents.inc

මේක වසංගතයක් කියලා හඳුන්වන එක සාධාරණ වෙන්න හේතු ගොඩයි. ලෝකේ බොහෝ රටවල්වල විවාහයට හේතු වෙන්නේ දෙදෙනෙක්ගේ හිතේ ඇති වන හැඟීමක් වුණත් අපේ රටේ සැලකිය යුතු ප්‍රමාණයකගේ විවාහය සිදු වෙන්නේ කපුවාට ඕන විදිහට. මෙයාලගේ රස්සාව ඉතින් කීයක් හරි අරගෙන කාට හරි ගැළපෙන තව කෙනෙක්ව හොයන එක තමයි.

බිස්නස් එකක් විදිහට මේ වැඩේ කරන අය කෙසේ වෙතත් පාට් ටයිම් එකට කපු කම් කරන ගැහැණු උදවියගෙන් තමයි බේරෙන්න හරිම අමාරු. ළඟම නැන්දා කෙනෙක් හරි, අල්ලපු ගෙදර ඇන්ටි හරි, තමන්ගේම යාළුවො හරි කියන්නත් කලින් බලෙන්ම ඇවිත් කපුකාර ජොබ් එක භාර ගන්නවා. හරියට අර World War Z ෆිල්ම් එකේ Zombies ලා ලෝකේ යටත් කර ගන්නවා වගේ අපේ ජීවිතේ හැම දෙයක්ම එයාලා යටතට ගන්නේ බලාගෙන ඉඳිද්දීමයි.

“මොකක් හරි උත්සවයකට ගියාම අඳුනන්නේ නැති කවුරු හරි ඇන්ටි කෙනෙක් ඇවිත් හොඳට හිනා වෙලා කතා කරනවා නම් එයා අනිවාර්යයෙන්ම ඊළඟට මනාලයෙකුත් හොයා ගෙනයි එන්නේ.”

මේකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ තරුණ වයසේ ගෑනු ළමයින්ට මැදි වයසේ ගෑනු අයව පෙන්නන්න බැරි වෙන එක. “මොකක් හරි උත්සවයකට ගියාම අඳුනන්නේ නැති කවුරු හරි ඇන්ටි කෙනෙක් ඇවිත් හොඳට හිනා වෙලා කතා කරනවා නම් එයා අනිවාර්යයෙන්ම ඊළඟට මනාලයෙකුත් හොයා ගෙනයි එන්නේ.” කියලා අවුරුදු 23ක් වෙන කීර්තිකා කියන කතාවට ගොඩක් ගෑනු ළමයි එකඟ ඇති. දවසක් පාරේදී හම්බ වුණු වයසක ඇන්ටි කෙනෙක් එක පාරටම විවාහ යෝජනාවක් ගෙනාපු වෙලාවේ ඉඳන් එයා කොයි ඇන්ටි දිහාත් බලන්නේ ටිකක් සැකෙන්.

මේ වයසේදී කපු වසංගතයෙන් බේරිලා ඉන්න එක වැඩි දෙනෙක්ට ඇත්තටම හරිම අමාරු වැඩක්. ජීවිතයෙන් වැඩි කාලයක් ගත වෙන්නේ එයාලව මඟ හරින්න තමයි.

2- මානසික පීඩාව

තමන් කියන කෙනෙකුට කැමති නැති වුණාම ගොඩක් දෙමව්පියන් කරන වැඩක් තමයි ඒ ගැනම කල්පනා කර කර වද වෙන එක. රූපය : stockbrokerinindia.com

“අපිට ඕනේ ඉක්මණටම ඔයා පිළිවෙලක් වෙනවා දකින්නයි. අපිත් හැමදාම ඉන්නේ නැහැනේ, අපි නැති දවසක කවුද ඔයාට හරි කෙනෙක් හොයලා දෙන්නේ?”

දැන්ම කසාද බඳින්න අදහසක් නැති කෙනෙක්ව වුණත් ඉක්මණට බන්දන්න පාවිච්චි කරන ලේසිම උපක්‍රමය තමයි මේ. එයාලා කියන අයට කැමති වුණේ නැත්නම් ටිකක් හැඟීම්බර වෙන විදිහට කතා කරලා හරි ඒ පැත්තට නම්මා ගන්න බලනවා. “අපිත් එන්න එන්නම වයසට යනවා” වගේ දෙයක් තමයි ගොඩක් වෙලාවට කියන්නේ, නමුත් ගොඩක් වෙලාවට මේ වගේ අපිට කසාද හොයන වැඩිහිටියන් බොහොම සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා. “අපිට ඕනේ ඉක්මණටම ඔයා පිළිවෙලක් වෙනවා දකින්නයි. අපිත් හැමදාම ඉන්නේ නැහැනේ, අපි නැති දවසක කවුද ඔයාට හරි කෙනෙක් හොයලා දෙන්නේ?” වගේ දුක හිතෙන කතන්දර සෑහෙන්න අහන්න වෙනවා.

කෙනෙක් හොයලා දෙන්න කවුද ඉන්නේ කියලා ඇහුවාම “ඇයි ඔය අපි දන්න කියන හැම ඇන්ටිම අන්කල්ම ඉන්නේ” වගේ උත්තරයක් දෙන්න හොඳ නෑ. (මොන තරම් ඇත්ත වුණත්) මේ වගේ යෝජනාවලට එකහෙලා බෑ කිව්වා කියන්නේ සුමාන ගාණකට නොහොඳ නෝක්කාඩු ඇති වෙන වැඩක්. හොඳක් කරන්න හදනකොට ඒක තේරුම් ගන්න බෑ කියලත් අහගන්න වෙනවා.

3- පෙම්වතෙක් / පෙම්වතියක් නැති එකම ලොකු ප්‍රශ්නයක්

පවුලේ උත්සවයකට ගියාම අපි තනියෙන් ඉන්නේ ඇයි කියන එක හැමෝටම ලොකු ප්‍රශ්නයක්. රූපය : bookeventz.com

පවුලේ අය සහභාගී වෙන උත්සවයකට, සාදයකට එහෙම ගියාම නෑදෑයෝ “කවද්ද බඳින්නේ” කියලා ඇහුවේ නැත්නම් ඒක ලෝක පුදුමයක්. විශේෂයෙන්ම විවාහ උත්සවයකදී නම් “ඊළඟට ඉතින් ඔයා තමයි” කියලා කිය කියා වටේටම ඇවිදින ඇන්ටිලා ඕන තරම්. (මළ ගෙදරකදී ඔය වාක්‍යයම එයාලට කිව්වොත් සමහර විට කරදරේ අඩු වේවි, හැබැයි ටිකක් පරිස්සමෙන්) කටින් කියන්න බැරි නම් තට්ටුවක් හරි දාලා “ඔයත් දැන් පිළිවෙලක් වුණොත් හොඳයි” කියලා අඟවන්න මෙයාලා බලාගෙනමයි ඉන්නේ.

“ඔයත් දැන් පිළිවෙලක් වුණොත් හොඳයි”

අපි ළඟට ඇවිත් වධ කළාට එයාලාට හිතට හරි යන උත්තරයක් ගන්න බැරි වුණොත් ඉතින් අම්මලා තාත්තලා ළඟට ගිහින් හරි ඒ ගැන අහලා ඇණයක් වෙන එක මෙයාලගේ පුරුද්දක්. “දුව බඳින්නේ කවද්ද මිස්ටර්?” කියලා අහලා තාත්තලා අපහසුතාවට පත් කරන්නේ අපිත් එතන ඉද්දීමයි. අම්මලා තාත්තලත් ඉතින් “කෝ කිව්වට අහන්නේ නෑනෙ.” කියලා ඒ ඇන්ටිගේ පැත්තම තමයි ගන්නේ.

4- හිත රිදෙන ඇනුම්පද

ගොඩක් ශ්‍රී ලාංකික පවුල්වල බඳින්න ඕන වයස් සීමාවක් කියලා දෙයක් තියෙනවා. ගොඩක් වෙලාවට අහවල් වයසට කලින් බඳින්නම ඕනේ කියලා නීතියකුත් පැනවෙනවා. රූපය : YouTube/Superwoman

ඇඟේ ගෑවෙන්න පදයක් දෙකක් කියලා, දන්න කියන වැඩ සේරම ටික දාලා වුණත් අපිව බන්දන්න බැරි වුණාම නෑදෑයෝ ටික හිත රිදෙන ඇනුම්පද වුණත් කියන්න මැලි වෙන්නේ නැහැ. එන්න එන්නම වයසට යන එක, පෙනුම අඩු වෙන එක, මහත් වෙන එක, බඳින්න කෙනෙක් හොයා ගන්න අමාරු වෙන එක වගේ දේවල් මතක් කරන එක එයාලගේ පාට් ටයිම් ජොබ් එක වගේ. ‘තනියෙන්ම ජීවත් වෙන්න වෙයි’, ‘වයසට ගියාම බලා ගන්න ළමයෙක් නැති වෙයි’ වගේ කතන්දරත් ඕන තරම්.

“දැන් ඉතින් හොය හොයා ඉඳලා හරි යන්නේ නැහැ. ඔයාගේ වයසේ හැටියට බඳින්න කෙනෙක් කැමති වුණු එකම මදිද”

එයාලා අපි බඳින්න ඕන කියලා හිතාගෙන ඉන්න වයස පහු වෙන්න පහු වෙන්න මේ ඇනුම්පදවල සැරත් වැඩි වෙන්න ගන්නවා. අන්තිමේදී කියලා කියලා බැරි තැන හොඳින් බැරිනම් නරකින් හරි බන්දන්න තමයි බලන්නේ. “ඉක්මන් නොකළොත් හොඳ කෙනෙක්ව හොයා ගන්න ලේසි වෙන එකක් නැහැ” වගේ දේවල් කියලා ටිකක් කල් ගියාම “දැන් ඉතින් හොය හොයා ඉඳලා හරි යන්නේ නැහැ. ඔයාගේ වයසේ හැටියට බඳින්න කෙනෙක් කැමති වුණු එකම මදිද” කියලා අහගෙන කිසිම කමකට නැති යෝජනා වුණත් ගේන අය ඔය අතර ඉන්නවා.

5- බලෙන් මුණ ගස්වන එක

අපිට ගැළපෙනවා කියලා එයාලට හිතෙන කාව හරි ගෙනත් මුණ ගස්වන එක තරම් එපා වෙන දෙයක් තවත් නැහැ. රූපය : fullhdpictures.com

ගෑනු ළමයින්ට සතියකට සැරයක් මනාලයෝ ගෙදරට එන එකටත් වඩා එපා වෙන දේ තමයි “අහම්බෙන්” මුණ ගැහුණා වගේ එක එක අයව හඳුන්වලා දෙන එක. (මෙයාලා වැඩි දෙනෙක් අපි යන එන තැන් ගැන ඇහැ ගහගෙන ඉඳලා හොඳට ප්ලෑන් කරලා තමයි මේ වැඩේ කරන්නේ) මොකක් හරි උත්සවයකට ගියාම සමහරු “එන්නකෝ මම අහවල් කෙනාට ඔයාව හඳුන්වලා දෙන්න” කියලා අතින්ම ඇදගෙන යන අවස්ථා ඕන තරම්. එහෙම ගියාම ඉතින් එයාලා ගෑණු ළමයින්ව මුරුංගා ඇත්තේ තියලා වර්ණනා කරලා කියන හැටි ඇහුවාම හිනාත් යනවා.

“එන්නකෝ මම අහවල් කෙනාට ඔයාව හඳුන්වලා දෙන්න”

ආස හිතෙන කෑමක් කකා පාඩුවේ ඉන්න අතරේ තමයි මේ වගේ නෑදෑයෝ මෙයාලව බලෙන්ම ඇදගෙන යන්නේ. ඉතින් අතට ගත්ත දේ කන්නවත් වෙලාවක් නැහැ. කොච්චර හොඳ හිතින් එයාලා මේක කළත් අතේ තියෙන පිඟානෙන් දමලා ගහන්න හිතෙන එක සාධාරණයි ඉතින්. වටපිටාවේ හැමෝටම ඇහෙන්න එයාලා නැති ගුණ වයනකොට අමාරුවෙන් හරි හිනාවක් දාලා අතට අත නොදුන්නොත් ඉතින් අරයාගේ මූණ ඇඹුල් වෙනවා.

කොහේ හරි යනකොට අම්මලා තාත්තලා ‘හොඳ ඇඳුමක් අඳින්න’, ‘මේකප් එක්ක ලස්සනට දා ගන්න’, ‘කොණ්ඩේ හදා ගන්න’ කියලා විශේෂයෙන් උනන්දු කරනවා නම් හූනා කිව්වා වගේ කියන්න පුළුවන් කොහෙන් හරි ගෙනාපු මනාලයෙක් එතන ඉන්නවා කියලා.

6- චරිතය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ

සමාජයේ හොඳ නමක් පවත්වාගෙන ඉන්න එක ගොඩක් වැදගත්, මොකද කොයි වෙලාවේ කාගේ බැල්මට ලක් වෙයිද කියන්න බැහැ. රූපය : unleashingyourbrand.com

එක එක්කෙනාගේ ඕපා දූප, ඇළුම් බැළුම් එක්ක අද කාලේ කොහේ ගියත් බොහොම වැදගත් කෙනෙක් කියලා පේන්න ඉන්න එක ශ්‍රී ලංකා සමාජයේ අත්‍යාවශ්‍ය දෙයක් වෙලා. කිසිම දෙයක් සෙල්ලමකට ගන්න බැහැ, වැදගත් කියලා පිළිගන්න දේවල්වලින් පිට මොනවා හරි කරොත් ඒක බොහොම ඉක්මණට හැමෝගෙම අවධානයට ලක් වෙනවා. ඒවා සේරම කාටවත් නොකියා හැමෝගෙම හිත් වල තැන්පත් වෙලා තිබුණාට නරක වෙලාව ආවාම එක දෙක වෙලා එළියට එනවා. ඉතින් තරුණ කාලේ කරන කියන දේවල් ගැන සැළකිලිමත් වෙන්න ඕනේ. සමහර වෙලාවට අවුරුදු ගාණක් පරණ දේවල් වුණත් එළියට ආවාම “පවුලේ නම්බුව” පවා නැති වෙන අවස්ථා තියෙනවා. එහෙම වුණාම තමන් කැමති වුණත් විවාහයක් කර ගන්න අමාරුයි.

ශ්‍රී ලංකා සමාජයේ තියෙන මේ ඕපාදූප සංස්කෘතිය නිදහසේ ජීවත් වෙන්න කැමති කාට වුණත් ලොකු හිසරදයක්.

ඉතින් නිකමට හිතමු බොහොම හොඳට චරිතය තියාගෙන කාගෙන්වත් වචනයක් අහන්නේ නැතිව ජීවත් වෙන කෙනෙක් කියලා. එහෙම වුණාටම මදි, හමේ පාටත් අපේ සමාජයේ හරිම වැදගත් දෙයක් වෙලා. විශේෂයෙන්ම සුදු පාට හමක් තියෙන තරුණ ගැහැණු ළමයින්ට වෙන මොනවා නැති වුණත් ලොකු ඉල්ලුමක් තියෙනවා. මංගල යෝජනා ගත්තොත් හැමෝම ඉල්ලන්නේ “පැහැපත් සමක්” තියෙන සහකාරියක්. ඉතින් ටිකක් අඳුරු පාට හමක් තියෙනවා නම් ගොඩක් නෑදෑයෝ “ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ගාන්න, අව්වේ යන්න එපා” වගේ නියෝග දෙන්න බලාගෙනමයි ඉන්නේ.

වර්ණභේදවාදය මේ පුංචි ලංකාවට වුණත් අලුත් දෙයක් නෙවෙයි.

7 – උයන්න පුළුවන්ද?

බඳින්න කෙනෙක් හොයනකොට ගැහැණු ළමයෙක්ට උයන්න, ගෙදර දොර වැඩ කරන්න තියෙන හැකියාවට සහ පිරිමි ළමයෙකුට සල්ලි හම්බ කරන්න තියෙන හැකියාවට තමයි ප්‍රධාන තැනක් ලැබෙන්නේ. රූපය : thefrisky.com

“අපේ අක්කා බලන්න ආපු මනමාලයා මුලින්ම ඇහුවේ ඔයාට උයන්න පුළුවන්ද කියලා” එහෙම කියන සාරා අවුරුදු 25ක තරුණියක්. එයාගේ අක්කා රජයේ ලියාපදිංචි දක්ෂ වෛද්‍යවරියක්. මේ ප්‍රශ්නය ඒ යෝජනාවට තිත තැබෙන්න පවා හේතු වුණා. ගොඩක් රටවල අයට පුදුම හිතුණත් මේක තවමත් ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල තියෙන ආකල්පයක්.

විවාහයක් කර ගන්න හිතනකොට ගැහැණු ළමයෙක් නම් වැඩි තැනක් ලැබෙන්නේ පෙනුමට, හැදියාවට සහ ගෙදර දොර වැඩපළ කරන්න තියෙන හැකියාවට. පිරිමි අයට නම් රැකියාවක්, අධ්‍යාපන සුදුසුකම්, සල්ලි බාගේ තියෙන එකට ලොකු තැනක් ලැබෙනවා. බොහෝ ප්‍රදේශවල තාමත් ගැහැණු ළමයෙක් විවාහ කරලා දෙනකොට ලොකු දෑවැද්දක් දෙන්නම වෙනවා.

මේ වගේ හණමිටි අදහස් විශේෂයෙන්ම වැඩිදුර ඉගෙන ගන්න, රැකියාවක් කරන්න, ස්වාධීනව ජීවත් වෙන්න හිතන ගැහැණු ළමයින්ට ලොකු ප්‍රශ්නයක්.

8- යෝජනාවට යවන ෆොටෝ එක

යෝජිත විවාහයක් කරගන්න කොයි කාන්තාවට වුණත් යෝජනාවකට යවන්න ගන්න ෆොටෝ එක එක බොහොම වැදගත්. රූපය : meripriyanka.blogspot.com

මේ කාලේ තමන්ගේ ෆොටෝ එකතුවක් තියා ගන්න එක කොයි ගැහැණු ළමයාත් කරන දෙයක්. එහේ මෙහෙ ගියාම ගන්න සෙල්ෆි එකක් නම් මේ වැඩේට හරි යන්නේ නැහැ. පවුඩර් බෝතලයක් විතර මූණේ ගාලා, මේකප් දාගෙන, සාරියක් එහෙම ඇඳලා, ස්ටුඩියෝ එකකට ගිහින් ගත්තේ නැත්නම් කපුවෙක්වත් වැඩේ බාර ගන්නේ කලාතුරකින්. 6 වැනි කොටසේදි කිව්වා වගේ බොහොම හොඳ චරිතයක් තියෙනවා කියන එක ඉස්මතු වෙන විදිහේ ෆොටෝවලට තමයි ලොකුම ඉල්ලුම තියෙන්නේ.

ගොඩක් රටවල්වල විවාහ යෝජනාවන්ට පාවිච්චි කරන ෆොටෝස්වලට වඩා ඒ වැඩේට අපි පාවිච්චි කරන ෆොටෝ එක තරමක් වෙනස් වෙන්නේ ඒ නිසයි. කපුකම් කරන එක්කෙනා මේ ෆොටෝ එක A4 සයිස් එකේ කොළේක ප්‍රින්ට් කරලා බඳින්න අහන හැමෝගෙම අතට ගිහින් දෙනවා. ඉතින් කලා විචාරකයෝ මොනාලිසා විචාරය කරනවා වගේ හිනාව, මූණේ හැඩය, පින් පාටද අහිංසක පාටද, කොණ්ඩේ දිගද, හම සුදුද, දත් ටික කොහොමද ඇතුළුව සර්වාංගයම විශ්ලේෂණය කරන්න හැමෝටම හොඳට අවස්ථාව ලැබෙනවා.

අද කාලේ ගොඩක් ගැහැණු ළමයි නම් කරන්නේ තමන් උපාධිය ලබද්දී ගන්න ෆොටෝ එක යවන එකයි. අමුතුවෙන් ෆොටෝ ගහනවා වෙනුවට අපේ “විවාහ සංස්කෘතියට” ගැළපෙන විදිහට සාරියක් ඇඳලා චාම් විදිහට ඉන්න නිසා මේක වැඩේටම ගැළපෙනවා. හැබැයි ඒ ෆොටෝ එකේ ඉන්නේ ක්ලෝක් එක ඔතාගත්තු කපුටෙක් වගේ නම් වෙන එකක් ගන්න එක හොඳයි.

9- කේන්දරේ

කොච්චර හොඳට ගැළපෙන කෙනෙක් ලැබුණත් කේන්දරේ සහ ග්‍රහයෝ ටික හරස් වෙන්න ඉඩ තියෙනවා. රූපය : 123newyear.com

ඔන්න ඉතින් කොහොම හරි හිතට හරි යන, ගැළපෙන කාව හරි හොයා ගත්තා කියමුකෝ. (නෑදෑයන්ට දැන් ඉතින් නිවන් ගියා වගේ, කතා කරලා දුන්නු කෙනෙක්ට කැමති වුණොත් යෝජනාව ගෙනාපු එක්කෙනාට ඊට වඩා දෙයක් නැහැ) අම්මලා තාත්තලා ඊළඟට කරන්නේ කේන්දර දෙකත් අරගෙන කවුරු හරි නැකත් බලන කෙනෙක් හොයා ගන්න දුවන එක. රාශි චක්‍රය, ලග්නය, උපන් වෙලාව, පොරොන්දම් ඇතුළුව කියා ගන්නත් අමාරු තවත් මොන මොනවාද බලලා දෙන්නාගේ ගැළපීම පරීක්ෂා කරනවා.

හරි යන කෙනෙක් ලැබිලා ලොකුවට වෙඩින් එක ගන්න මොන තරම් හීන මැව්වත් කේන්දර ගැළපෙන්නේ නැත්නම් ඉතින් වැඩක් නැහැ. ආයෙත් ඉතින් තවත් කාව හරි හොයා ගන්න වෙනවා. ඕන දෙයක් වෙන්න කියලා බඳින්න පුළුවන්, හැබැයි බැන්දාට පස්සේ හෙම්බිරිස්සාවක් හැදුණත් සුර දාන්නයි, බෝධි පූජා තියන්නයි තමයි වෙන්නේ. නෑදෑයෝ වුණත් හැම වෙලාවකම මතක් කරන්නේ කේන්දර නොගැළපීම ගැන. පරිස්සම් වෙන්න කියන එක අහලාම එපා වෙනවා.

10- වෙඩින් එක කොච්චර ලොකුද?

හැම දේම ගළපාගෙන විවාහ වෙන්න සූදානම් වුණත් ඊළඟ වැඩේ තමයි කරන්න අමාරුම: රටටම කියලා ලොකු විවාහ උත්සවයක් අරගෙන හතර අතේ ණය වෙලා, එපා වෙලා තමයි විවාහ ජීවිතය පටන් ගන්න වෙන්නේ. රූපය : pixanews.com

මේ වෙනකල් කියපු බාධක සේරම ජය අරගෙන ගැළපෙන කෙනෙක් හොයා ගත්තත් වෙඩින් එක ගන්න එක නම් ලේසි නැහැ. මනාලයාටත් වඩා උස කේක් එකක්, බ්‍රයිඩ්ස් මේඩ්ලා දුසිමක්, අමුත්තෝ පන් සීයක් එක්ක ලොකු හෝටලේක වෙඩින් එකක් ගත්තේ නැත්නම් හිතට හරි මදි. ඒ මදිවාට දැන් ප්‍රී ෂූට් එකත් අනිවාර්ය දෙයක් වෙලා. මේ සේරමත් එක්ක වෙඩින් එකක් ගත්තාම විවාහ ජීවිතේ පටන් ගන්න වෙන්නේ හතර අතට වෙච්ච ණය ටික ගෙවන විදිහක් ගැන කල්පනා කර කර තමයි.

ශ්‍රී ලංකාව අපේ මහා විශාල විවාහ උත්සව නිසා ලොකු ප්‍රසිද්ධියක් ලබපු රටක්. දන්න කියන හැමෝටමයි, එයාලගේත් අසල්වැසියන්ටයි ආරාධනා කරලා මහා පරිමාණයෙන් තමයි කවුරුත් වෙඩින් එකක් ගන්න බලන්නේ. වෙඩින් එකේ සේරම වැඩකටයුතු ටික අම්මලා තාත්තලා සහ නෑදෑයෝ ටික හිතුණු හිතුණු හැටියට වෙනස් කරනවා. අන්තිමේ වෙඩින් එක අච්චාරුවක් වෙන්නේ මේ නිසා. අන්තිමේ වෙඩින් එකට එන්නේ අලුත බැඳපු ජෝඩුව කිසිදාක නොදැකපු පිරිසක්. වෙඩින් එකේ වැඩවලින් හෙම්බත් වුණු ජෝඩුව බලන් ඉන්නේ කොයි වෙලාවේ මේක ඉවරයක් වෙයිද කියලා.

ශ්‍රී ලංකාවේ බඳින වයසේ කෙනෙක් ලබන අත්දැකීම්වලට සමාන අත්දැකීමක් ගන්න පුළුවන් තවත් විදිහක් නැතිම තරම්. මේක ටිකක් දුරට හරක් රංචුවක් තමන්ව පන්නනවාට සමාන කරන්න පුළුවන්. කොච්චර වේගයෙන් දිව්වත් බේරිල්ලක් නම් නැහැ, කොයි වෙලාවේ හරි පෑගිලා යටත් වෙන්නම සිද්ධ වෙනවා.

ඉතින් ඒක ගැන හිතලා වධ වෙනවා වෙනුවට හිත සන්සුන් කර ගන්න බලන්න. මොනවා වුණත් අපි ඉන්නේ ලංකාවේ නිසා අනිත් හැම දෙයක්ම වගේ මේවාත් අපිට අකමැත්තෙන් වුණත් එකඟ වෙන්න වෙන දේවල්. ඉතින් ඇතුලාන්තයෙන්ම හිතට සාමය ළඟා කර ගන්න බලන්න. ඒකට මාස්ටර් ෂිෆු ගේ මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්.

ෂිෆු මහතා කියන විදිහට ඇතුලාන්තයෙන්ම සාමය ළඟා කර ගත්තොත් කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් ඒක සමහර විට මේ දේවල් අහලා රත් වුණු ලේ ටික නිවා ගන්න උදව් වේවි.

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ