ගලක කෙටූ සංසාර චක්‍රය : සඳකඩපහණ

ආගමික වතාවත්වල යෙදීමට හෝ ඉතිහාසය අධ්‍යයනය කිරීමට හෝ හුදෙක් ම නැරඹීම සඳහා ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානයකට ගිහින් තිබෙන කෙනෙක්ට සඳකඩපහණ කියන්නේ ආගන්තුක දෙයක් නෙමෙයි. පියගැට පෙළක් ආරම්භයේ හෝ දොරටුවක් ඉදිරිපස දක්නට ලැබෙන සිංහල ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ දක්ෂතාවය මැනවින් විදහා දක්වමින් අර්ධ වෘත්තාකාර හැඩයක් ගන්නා සඳකඩපහණ ‘අඩ සඳක හැඩය ඇති පාෂණය’ යන අරුතින් සඳකඩපහණ යන නමින් හඳුන්වනවා.

මුල් ම වරට අනුරාධපුර යුගයේ අවසන් කාලයේ දී දක්නට ලැබුණු සඳකඩපහණ, පොළොන්නරුව, ගම්පොළ සහ නුවර යුගයන් හි දී විවිධාකාර වෙනස්කම්වලට ලක් වෙමින් විකසනය වුණා. ඉතිහාසඥයින්ගේ මතය අනුව සඳකඩපහණ මගින් පිළිබිඹු වන්නේ බුදු දහමේ දැක්වෙන නිමක් නොමැති සංසාර චක්‍රය යි.

අනුරාධපුර යුගයට අයත් රිදී විහාරයේ සඳකඩපහණ (commons.wikimedia.org)

බොහෝ අවස්ථාවල දී සඳකඩපහණ අර්ධ වෘත්තාකාර හැඩයකින් යුතු වුව ද ඇතැම් අවස්ථාවල සමචතුරස්‍රාකාර හැඩයෙන් යුතු ඒවා ද දක්නට ලැබෙනවා. ඉතිහාසඥයින්ගේ මතය වන්නේ මුල් අවධියේ දී සමචතුරස්‍රයක හැඩයෙන් යුතු වූ සඳහඩපහණ පසු කාලීන ව අඩ සඳක හැඩය ගන්නට ඇති බව යි.

එසේ ම සඳහඩපහණක දක්නට ලැබෙන විවිධ කැටයම් ද පසු කාලීන ව එකතු වූ ඒවා යි. නමුත් වනාන්තර ආශ්‍රිත ව ඇති භාවනා අසපුවල තිබෙන සඳහඩපහණ තවමත් හිස් අර්ධ වෘත්තයක හැඩයෙන් යුතු වෙනවා.

ඉතිහාසය

පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවලට අනුව සඳකඩපහණ යන සංකල්පය බුදුන් වැඩ සිටි කාලයේ ඉන්දියාවේ බිහි වූවක්. බුදුන්ගේ අග්‍ර දායිකාව වූ විශාඛා සිටු දේවිය විසින් බුදුන් උදෙසා ශ්‍රාවස්ති නුවර පබ්බාරාම නම් විහාරයක් සාදවන ලද අතර ඇය විසින් එය මහා සංඝයාට පූජා කිරීමට මත්තෙන් දුර්ලභ සහ වටිනා සළුවලින් එහි බිම සම්පූර්ණයෙන් ම ආවරණය කර තිබෙනවා.

ශ්‍රාවස්ති නුවර විශාඛා සෑයේ නටඹුන් (en.wikipedia.org)

මෙය දුටු තවත් ඉසුරුමත් දායිකාවකට විහාර බිම ආවරණය කිරීම සඳහා සළුවක් පූජා කිරීමට අවැසි වූ නමුත් විශාඛා සිටු දේවිය විසින් ඒ වනවිටත් සම්පූර්ණ විහාර බිම ම සළු මගින් ආවරණය කර තිබුණු හෙයින් ඇයට සළුව එළීම සඳහා බිම් කඩක් සොයා ගැනීමට හැකි වී නැහැ.

එයින් දොම්නසට පත් දායිකාව දුටු ආන්නද තෙරුන් වහන්සේ විහාරයට ඇතුළු වන දොරටුව ඉදිරියේ ඇගේ සළුව එළන ලෙසට ඇයට ආරාධනා කර තිබෙනවා. ඉන්දියානු ජන සාහිත්‍යයේ දැක්වෙන ආකාරයට සඳකඩපහණේ ආරම්භ සනිටුහන් කරන්නේ මෙම සිදුවීම යි.

අනුරාධපුර යුගය

අභයගිරි විහාරයේ බිසෝ මාලිගාවේ සඳකඩපහණ (ipm.comxa.com)

මුල් කාලීන සඳකඩපහණ අනුරාධපුර යුගයේ අවසාන කාලයට අයත් වූ අතර ඒවා දක්නට ලැබුණේ විහාරස්ථානයන්ට පිවිසෙන ප්‍රධාන දොරටු ඉදිරිපසම පමණ යි. කාලයත් සමග සඳකඩපහණේ විවිධ වෙනස්කම් දක්නට ලැබුණ ද නිර්මාණශීලී බවෙන් ඉහළ ම ස්ථානයක් ගන්නේ අනුරාධපුර යුගයට අයත් සඳකඩපහණ යි.

අනුරාධපුර අභයගිරි විහාරයේ බිසෝ මාලිගාවේ ඇති සඳකඩපහණ කලාත්මක අතින් ඉතා උසස් නිර්මාණයක් ලෙස සැලකෙනවා.

අනුරාධපුර යුගයට අයත් සඳහඩපහණේ පිටතට වන්නට ඇත්තේ ගිනි දැල්ලක හැඩය ගන්නා කවයක්. එයට ඇතුළතින් ඇති කවයේ ඇතුන්, අශ්වයින්, සිංහයින් සහ ගවයින් එකිනෙකා හඹා යන අයුරු දක්වා තිබෙනවා. ඇතැම් සඳහඩපහණක මේ සතුන් සිව් දෙනා සඳහා වෙන වෙන ම කැටයම් පේළිවලට වෙන් කර ඇති ආකාරය ද දැක ගැනීමට හැකි යි. සත්ත්ව කැටයම් පෙළට ඇතුළතින් ලියවැලක් දක්නට ලැබෙන අතර ඉන් පසු ව ඇති කවය තුළ මල් කිනිත්තක් හොටයේ රඳවා ගත් හංසයින් පෙළක් දක්නට ලැබෙනවා. ඉන් පසු ව නැවතත් මල් කැටයම් පෙළක් දක්නට ලැබෙන අතර සඳකඩපහණේ ඇතුළතින් ම දක්නට ලැබෙන්නේ මනා ව පෙති විහිදුණු නෙළුම් මලකු යි.

මිහින්තලේ සෙල්ලිපි සහිත සඳකඩපහණ (3.bp.blogspot.com)

මෙසේ නොයෙක් ආකාරයේ කැටයමින් අලංකාර කරන ලද සඳකඩපහණ මගින් නිරූපණය වන්නේ කුමක් ද යන්න පිළිබඳ ව විවිධ මත පවතින අතර එයින් වඩාත් ම පිළි ගැනීමට ලක් වී තිබෙන්නේ මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් ඉදිරිපත් කරන ලද මතය යි.

ඔහුට අනුව ගිනි දැල්ල මගින් නිමක් නොමැති ජීවිතය සහ රාගයේ වේදනාවන් පෙන්නුම් කරනවා. සතුන් සිව් දෙනා මගින් දැක්වෙන්නේ චතුරාර්ය සත්‍යය හෝ ජීවිතයේ විවිධ යුගයන් වන උපත, මහලු වීම, ලෙඩ වීම සහ මරණය (ජාති, ජරා, ව්‍යාධි සහ මරණ) විය හැකි යි.

ලියවැල් මගින් තණ්හාව ද, දියෙන් කිරි වෙන් කර ගත හැකි යැයි සැලකෙන හංසයින් පෙළ මගින් හොඳ සහ නරක අතර ඇති වෙනස (එනම් ආර්ය මාර්ගය තෝරා ගැනීම) ද මල් කැටයම් මගින් තණ්හාව දුරු කර නිර්වානය කරා යෑම (ආර්ය මාර්ගයේ ගමන් ගැනීම නිසා තෘෂ්ණාව දුරු වී යාම) ද පෙන්නුම් කරනවා. අවසානයට ඇති නෙළුම් මල මගින් පෙන්නුම් කෙරෙන්නේ නිර්වානය යි.

පොළොන්නරුව යුගය

සඳකඩපහණක සැලැස්ම සහ පිහිටීම (en.wikipedia.org)

පොළොන්නරු යුගයේ සඳහඩපහණේ දක්නට ලැබෙන වැදගත් ම වෙනස්කමක් වන්නේ අනුරාධපුර යුගයේ සඳකඩපහණේ දක්නට සිටි ගවයා ව ඉවත් කර තිබීම යි.

එයට බොහෝ විට හේතු වන්නට ඇත්තේ හින්දු ආගමික බලපෑම යි. හින්දුන්ගේ ශුද්ධ වූ සත්ත්වයෙකු ලෙස සැලකෙන, ශිව දෙවිඳුන්ගේ වාහනය වන ගවයා පයට පෑගෙන සඳකඩපහණේ කැටයම් කිරීම මගින් අපහාසයක් සිදු වේ යැයි සලකා සඳකඩපහණින් ගවයා ඉවත් කරන්නට ඇති බව යි ඉතිහාසඥයින්ගේ මතය වන්නේ. ඊට සමගාමී ව සිංහල ජාතියට කරන ගෞරවයක් වශයෙන් සිංහ රුව ද සඳකඩපහණින් ඉවත් කර තිබෙනවා. පසු කාලීන ව කොරවක්ගලේ පාදස්ථලයට ගව රූපයක් ද පිටත බිත්තිය මත සිංහ රූපයක් ද කැටයම් කිරීම ආරම්භ වුණා.

පොළොන්නරු වටදාගේ උතුරු වාහල්කඩ ඉදිරියේ කැටයම් කර ඇති සඳකඩපහණ (en.wikipedia.org)

එසේ ම පොළොන්නරු යුගයේ දී තනි සත්ත්ව පෙළක් වෙනුවට සෑම සත්ත්වයෙක්ට ම තනි පේළියක් වෙන් කරන ලද අතර අනුරාධපුර යුගයේ දී මෙන් ආගමික සිද්ධස්ථානවල ප්‍රධාන දොරටුව ඉදිරියේ පමණක් නොව අනෙකුත් ගොඩනැගිලි ඉදිරියේ ද සඳකඩපහණක් දක්නට ලැබෙනවා.

පොළොන්නරු යුගයට අයත් විශිෂ්ඨතම සඳකඩපහණ ලෙස සැලකෙන්නේ පොළොන්නරු වටදාගේ උතුරු වාහල්කඩ ඉදිරියේ කැටයම් කර ඇති සඳකඩපහණ යි.

ගම්පොළ සහ මහනුවර යුගයන්

පොළොන්නරුව යුගයෙන් පසු ව සඳහඩපහණ විවිධ හැඩයන් ගත් අතර පසු කාලීන ව ත්‍රිකෝණාකාර (මහ නුවර ශ්‍රී දළදා මාලිගාව) මෙන් ම සම්පූර්ණ වෘත්තයකට හැඩය ගන්නා (හොරණ රජ මහා විහාරය) ඒවා ද දක්නට ලැබෙනවා.

මේ යුගයන් හි සඳකඩපහණේ සත්ත්ව රූ සහිත කවයන් දක්නට නොලැබුණ අතර විහිදී ගිය ලියවැලකින් වට වූ සම්පූර්ණ නෙළුම් මලක් සඳකඩපහණ මධ්‍යයේ දක්නට ලැබෙනවා.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සඳකඩපහණ (sridaladamaligawa.lk)

එසේ ම අනුරාධපුර හෝ පොළොන්නරු යුගවල දී මෙන් නොව නුවර සහ ගම්පොළ යුගයේ සඳකඩපහණ මගින් ගල් වඩුවන්ගේ නිර්මාණශීලී බව හෝ දක්ෂතාවය පිළිබිඹු වන්නේ නැහැ.

ඉතිහාසඥයින්ගේ විශ්වාසය වන්නේ දකුණු ඉන්දියානු ආක්‍රමණ හේතුවෙන් ලංකාද්වීපයේ දේශපාලන තත්ත්වය අස්ථාවර වීම, නිරන්තරයෙන් රට තුළ දක්නට ලැබුණු යුධමය වාතාවරණය සහ කලා ශිල්ප ප්‍රවර්ධනය සඳහා රාජ්‍ය අනුග්‍රහය නොලැබී යාම නිසා නව පරම්පරාවට නිසි ලෙස ගල් කැටයම් ශිල්පය ඉගෙනීමට නොහැකි වන්නට ඇති බව යි.

කවරයේ පින්තූරය: 1 (© Thiranjaya Dilhan)

මූලාශ්‍ර: en.wikipedia.org, si.wikipedia.org, amazinglanka.com

Related Articles