Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කෙම්සෙක්ස්: නිහඬව හිස ඔසවන තවත් සමාජ ගැටළුවක්

මීට ඉහත අවස්ථාවක දී Roar තුළින් අයිස් නම් වූ ඇබ්බැහිකාරක මත්ද්‍රව්‍ය සහ එහි බලපෑම් පිළිබඳ සාකච්ඡා කරනු ලැබුණා. එහිදී සාකච්ඡාවට බඳුන් වූයේ අයිස් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇතිවිය හැකි හානිකර ප්‍රතිඵල සහ ඉන් මිදීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව යි. නමුත් අයිස් ඇතුළු බොහෝ මත්ද්‍රව්‍ය භාවිතය සමග ලංකාව තුළ පවා නිහඬව ඉහළ යමින් පවතින සමාජ ගැටළුවක් පවතිනවා. බොහෝ දෙනාගේ අවධානයෙන් ගිලිහී ඉතා සෙමින් සමාජගත වෙමින්, සමාජයේ විශාල ගැටළු ඇති කරන මෙය “කෙම්සෙක්ස්” නමින් හැඳින්විය හැකියි. 

මොකක්ද මේ “කෙම්සෙක්ස්”? 

“කෙම්සෙක්ස්”, පිළිගත් වර්ගීකරණයට ලක් නොකළ, තවත් එක් ලිංගික දිශානතියක් ලෙස හඳුන්වාදිය හැකියි. මෙහිදී ඉතා පැහැදිලි ලෙස මත්ද්‍රව්‍ය භාවිතය සහ ලිංගික ක්‍රියාකාරකම් සඳහා වන නැඹුරුව කැපී පෙනෙනවා. ලිංගික ආස්වාදය ඉහළ නංවා ගැනීමටත්, දීර්ඝ කාලයක් එම ක්‍රියාවේ නිරත වීමටත්, සියලු ස්වයං පාලනයන්ගෙන් මිදීමටත් මේ ක්‍රමය භාවිතයට ගනු ලබන බව යි කියැවෙන්නේ. 

ක්‍රිස්ටල් මෙත්, ගැමා හයිඩ්‍රොක්සිබියුටිරේට් හෙවත් GHB, සහ මෙපඩ්‍රෝන් නම් මත්ද්‍රව්‍යයන් භාවිතයෙන් කාමාශක්තතාව ඉහළ යන අතර නිද්‍රාශීලීව කාලය ගත කිරීමට ඇතිවන නැඹුරුතාව වැඩි කරනු ලබන බව සඳහන් වනවා. කෙම්සෙක්ස් පිළිබඳව පරීක්ෂණ සිදු කරනු ලබන පර්යේෂකයින් පෙන්වා දෙන්නේ මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ කණ්ඩායම් ලිංගික ක්‍රියාකාරකම්වලට අධික නැඹුරුවක් ඇති වීම හෝ දින ගණන් පවතින මත්ද්‍රව්‍ය සහිත සාද පැවැත්වීමට පෙළඹීම බව යි. පර්යේෂණය සඳහා සහභාගී වූ බොහෝ පිරිසක් ප්‍රකාශ කර තිබුණේ, ඔවුන් යම් ආකාරයක මානසික බිඳවැටීමකට ලක් වී සිටි නමුත් කෙම්සෙක්ස් සඳහා ආරාධනා ලැබී ඊට සහභාගී වූ පසු එම හැඟීම් ඉවත්ව ගිය බව යි. මීට අමතරව කණ්ඩායම් වශයෙන් ලිංගික ක්‍රියාකාරකම්වල නිරතවන විට ඔවුන් පූර්ව ආරක්ෂිත ක්‍රියාමාර්ග කිසිවක් පිළිබඳ සැළකිලිමත් නොවූ බවත් සඳහන් කර තිබෙනවා. 

කෙම්සෙක්ස් මඟින් ලිංගික ක්‍රියාකාරකම්හි නැඹුරුතාව ඉහළ නංවයි (UfaBizPhoto)
  • කෙම්සෙක්ස් සඳහා යොමුවීමේ දී මත්ද්‍රව්‍ය භාවිතය සිදුවන අතර ලිංගික ක්‍රියාකාරකම් කෙරෙහි යොමු වීමේ ආශක්තතාව ඉහළ යනු ලබනවා.
  • එහිදී භාවිතයට ගනු ලබන ප්‍රධාන මත්ද්‍රව්‍ය ත්‍රිත්වයට එකිනෙකට ආවේණික වූ මානසික සහ කායික ගැටළු ඇති කිරීමේ හැකියා පවතිනවා.
  • කෙම්සෙක්ස් ඔබේ ලිංගික සෞඛ්‍ය තත්ත්වය අනාරක්ෂිත කරනු ලබනවා.
  • ඔබ කෙම්සෙක්ස් සඳහා සහභාගී වීමෙන් යම් ආසාදනයක් වැළඳී ඇතැ යි සැක නම් වහාම නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වී ඔබත්, ඔබේ සහකරුවනුත් රැකගැනීම ඔබේ වගකීමකි.

කෙම්සෙක්ස් වේගයෙන් ව්‍යාප්ත වන්නේ ඇයි? 

කෙම්සෙක්ස් සඳහා හුරු වූ බොහෝ දෙනා සතුව පොදු සමානකම් කිහිපයක් හඳුනාගැන්මට හැකි වූ බව පර්යේෂණ වාර්තා තුළ සටහන් වෙනවා. ඒ අනුව කෙම්සෙක්ස් සඳහා යොමු වූ බොහෝ දෙනා,

  • සමරිසි හෝ ද්විලිංගික නැඹුරුතාවක් සහිත පිරිස් බව, 
  • අයිස් ඇතුළු බොහෝ මත්ද්‍රව්‍ය සහ මත්පෙති සඳහා ඇබ්බැහිවූවන් බව,
  • රාත්‍රී සමාජශාලා, සාද වැනි දෑ සඳහා ලොල් බවක් දක්වන පිරිස් බව,
  • සමරිසි පිරිස් මුණගැස්වීම සඳහාම නිර්මාණය කර ඇති දුරකථන ඇප් හෝ වෙබ් අඩවි ඉතා බහුලව භාවිතයට ගනු ලබන පිරිස් බව, 
  • බාහිර සමාජයෙන් දුරස්ව, මානසික ආතතිය වැනි කාරණාවලින් පීඩා විඳින පිරිස් බව, හඳුනාගැනීමට හැකිවී තිබෙනවා. 

මෙවැනි අනාරක්ෂිත චර්යා සඳහා පෙළඹුණු පිරිස් බොහෝදුරට මෙම ක්‍රියාවලිය සඳහා ඍජුව සම්බන්ධ වීමේ සම්භාවිතාව ඉහළ යි. අන්තර්ජාලය භාවිතය ඉතා වේගයෙන් සමාජගත වීම සමග GPS තාක්ෂණය උපයෝගී කරගන්නා සමරිසි ඇප් භාවිතය මඟින්, ලිංගික ක්‍රියාකාරකම් සඳහා සහකරුවෙකු හෝ සහකාරියක සොයා ගැනීම පහසුවීමත් සමග ශ්‍රී ලංකාව තුළ පවා කෙම්සෙක්ස් අර්බුදය ක්‍රමයෙන් හිස ඔසවන ගැටළුවක් බවට පත්ව තිබෙනවා. මෙහි ඇති බරපතලම ගැටළුව වන්නේ ඔවුන් නාඳුනන පිරිස් අතරේ අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම් සඳහා ඉතා ඉහළ සහ නිදහස් අවකාශයක් විවරවීම යි. 

තාක්ෂණයේ දියුණුව ද කෙම්සෙක්ස් ව්‍යාප්ත වීමේ තවත් සාධකයක් (portage.ca)

කෙම්සෙක්ස් ලිංගාශ්‍රිත රෝග පැතිරීමේ මාර්ගයක් ද?

කෙම්සෙක්ස් ආශ්‍රිතව සිදුකළ බොහෝ පර්යේෂණවලින්, ඒ හරහා ලිංගාශ්‍රිත රෝග පැතිරීම සිදුවන බව ඉතා පැහැදිලිව ඉස්මතු වී තිබෙනවා. කෙම්සෙක්ස් සඳහා පෙළඹුණු බොහෝ පිරිස් මානව ප්‍රතිශක්තිකරණ ඌණතා වෛරසයට (HIV) ගොදුරු වීම, ඒඩ්ස් මට්ටම දක්වා වෛරසය වර්ධනය වීම, හා හෙපටයිටීස් C, ක්ලැමීඩියා, ගොනෝරියා, සිෆිලික්ස් වැනි මාරාන්තික රෝග සඳහා නිරාවරණය වීම සුලබ බව හඳුනාගෙන තිබෙනවා. මෙහි ඇති බරපතලම කාරණාව වන්නේ, කෙම්සෙක්ස් සඳහා ඇබ්බැහිවූවන් තමා රෝග වාහකයෙක් බව නොදැන තවත් පිරිස් සමග පවත්වනු ලබන ලිංගික ක්‍රියාකාරකම් හරහා මෙම බරපතල සමාජ ගැටළුව අසීමිත වේගයකින් සමාජගත වීම යි. 

සමාජයේ ලිංගිකත්වය, ලිංගික රුචිකම්, සහ ලිංගික ප්‍රවණතා වැනි මාතෘකා පිළිබඳ කතාබහට ලක් කිරීමේ දී දක්වන මැලි බව සහ පසුගාමී අදහස් මෙම තත්ත්වය පැතිරීම කෙරෙහි බලපා තිබෙන බව උපකල්පනය කළ හැකියි. මෙම නිසා එංගලන්තය වැනි ඇතැම් රටවල් මේ පිළිබඳ පර්‍යේෂණය කරන අතර, ආරක්ෂිත ලිංගික චර්‍යා පවත්වා ගැනීමේ වැදගත්ම, ඒ සඳහා ගතහැකි ක්‍රියාමාර්ග, මානසික සෞඛ්‍ය වැඩි දියුණු කිරීම සඳහා ලබාදිය හැකි උපකාර වැනි කාරණා සමාජගත කිරීමට බොහෝ සෙයින් උත්සාහ කරනු ලබනවා. 

කෙම්සෙක්ස් HIV පතුරුවන ප්‍රධාන ප්‍රවාහයක් (avert.org)

කෙම්සෙක්ස් ඉතා භයානක වීමට කරුණු ගණනාවක් බලපානු ලබනවා.

  • ලිංගික ක්‍රියාවලියකට යාමේදී පූර්ව ආරක්ෂණ ක්‍රමවේද භාවිතයට මැලි වීම.
  • මත්බව නිසා නියැලෙන ලිංගික ක්‍රියාකාරම් පිළිබඳ අනවබෝධයෙන් ක්‍රියා කිරීම.
  • මෙවැනි ක්‍රියාකාරකම් දීර්ඝ කාල පරාසයක් පුරා දිවයන බැවින් ඔබට රෝග බෝ වීම වලක්වා ගැනීමට උපයෝගී කරගත හැකි ඖෂධ ලබා ගැනීම මඟහැරී යාමට ඉඩ පැවතීම.
  • ඔබ ආසාදිතයෙක් නම් ඔබ ලබා ගන්නා ප්‍රතිකාර නිසි අයුරින් නොගැනීම නිසා තවත් අයෙකුට ඔබෙන් රෝග ආසාදනය වීම.
  • නාඳුනන පුද්ගලයන් සමග ලිංගික ක්‍රියාකාරකම්හි නිරත වීමෙන් ඔබ ආසාදිතයෙකු වීමේ අවධානම.
  • මත්ද්‍රව්‍ය භාවිතයේ දී එන්නත් කටු හවුලේ භාවිතය නිසා රෝග ආසාදනය වීමේ ඉහළ සම්භාවිතාවක් පැවතීම.

ලංකාවේ දී ඔබට උපකාර ලබාගත හැකිද?

මේ වන විට ශ්‍රී ලංකාවේත් කෙම්සෙක්ස් නැඹුරුතාවක් පවතින බව හඳුනාගෙන තිබෙනවා. වැලිකඩ බන්ධනාගාරය ආශ්‍රිතව හෙරොයින් මත්ද්‍රව්‍යය භාවිතා කළ රැඳවූවන් 334ක් යොදා ගනිමින් සිදුකළ පර්යේෂණයකින් හෙළි වී තිබුණේ, එම මත්ද්‍රව්‍යය භාවිතා කරන්නන් ලිංගික ක්‍රියාකාරකම්හි නිරත වීමේ සාපේක්ෂ ඉහළ නැඹුරුතාවයක් පැවති බව යි. මීට අමතරව එලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ගෙන ලිංගික ක්‍රියාකාරකම්හි නිරත වූ පුද්ගලයන් සැළකිය යුතු ප්‍රමාණයක් පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග පිළිබඳ සැලකිල්ලක් නොදක්වා තිබූ බවත්, පසුකාලීනව හෝ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ සායනයකට සහභාගී වී පරීක්ෂා කර ගැනීමක් සිදුකර නොමැති බවත් හෙළිවුණා. මේ සඳහා බොහෝ දුරට හේතු වී ඇති කරුණු ලෙස හඳුනාගෙන තිබෙන්නේ අධ්‍යාපනය කඩාකප්පල් වීම, ආදායම් විෂමතා, රැකියාවක් නොමැතිකම වැනි කාරණා යි. මෙවැනි තත්ත්වයක් යටතේ වුවත් ශ්‍රී ලංකාවේ දී ඔබට උපකාර ලබා ගැනීමේ හැකියාව පවතිනවා. 

  • අන්තරායකර ඖෂධ පාලන අධිකාරිය මඟින් හඳුන්වා දී ඇති 1984 අංකය ඇමතීමෙන් ඔබට මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීමක දී උපකාර ලබාගත හැකියි.
  • දිවයින පුරා පවතින රජයේ ප්‍රධාන රෝහල් තුළ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම නවතා ගැනීමට උපකාර ලබා දෙන සායන පවත්වනු ලබනවා.
  • ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකය හරහා සහ දිවයිනේ ප්‍රමුඛ රජයේ රෝහල්වලින් ඔබට නොමිලේ සියළුම ලිංගාශ්‍රිත රෝග සඳහා පවත්වනු ලබන පරීක්ෂණ සිදුකරගත හැකියි.
  • මීට අමතරව සියළුම ආකාරයේ මානසික සෞඛ්‍ය පවත්වා ගැනීමට අවශ්‍ය උපදෙස් දිවයිනේ ඕනෑම රෝහලකින් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා තිබෙනවා.
  • මෙම සියළු කාරණා ඉතා රහසිගත හා පුද්ගලික මට්ටමෙන් පවත්වා ගැනීමට රජය කටයුතු සලසා ඇති අතර කිසිදු ආකාරයකට පෞද්ගලිකත්වයට හානි වීමක් සිදු නොවේ. 
උපකාර ලබා ගැනීමට කිසි අයුරකින් මැලි නොවන්න. (vancourier.com)

ඔබ මෙවැනි සාදයකට හෝ ඒ හා සමාන එකතුවකට සහභාගී වන තැනැත්තෙකු නම්, ඔබේ ආරක්ෂාව උදෙසා ගත යුතු ඉතා වැදගත් ක්‍රියාමාර්ග කිහිපයක් තිබෙනවා.

  • ලිංගික ක්‍රියාකාරකමක් සඳහා අවශ්‍ය පූර්ව ආරක්ෂණ විධිවිධාන ලඟ තබා ගන්න.
  • ඔබේ ලිංගික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ඔබ දැනුවත්ව සිටින්න (රෝග වාහකයෙකු ද, නොවේ ද යන වග).
  • ඔබට වඩාම සමීප, විශ්වාසවන්ත පුද්ගලයන් සමග පමණක්ලිංගික ක්‍රියාවන්හි.
  • ඔබ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නම්, ඔබේ සීමාව හඳුනාගෙන ක්‍රියා කරන්න.
  • ඔබ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නම්, ඔබ භාවිතයට ගනු ලබන මත්ද්‍රව්‍ය පිළිබඳ ඔබට පැහැදිලි අවබෝධයක් ඇත්නම් පමණක් ඒව භාවිතයට ගන්න.
  • ඔබ ආසාදිතයෙකු හෝ ආසාදන වැලැක්වීමට අවශ්‍ය ඖෂධ ලබා ගන්නේ නම්, ඒවා ලබා ගත යුතු අවස්ථා ඔබට මතක් කර ගැනීමට හැකි වන පරිදි ඔබේ දුරකථනයෙහි හෝ වෙනත් පහසුවෙන් ඔබට ලබාගත හැකි ආකාරයකට සටහන් තබාගන්න.
  • දෛනිකව හෝ අනවශ්‍ය පරිදි, අනවශ්‍ය කාල පරාසයක එවැනි ස්ථානවල රැඳී සිටීමෙන් වළකින්න.

වගකිවයුතු පුරවැසියන් ලෙස අනාරක්ෂිත ලිංගික හැසිරීම්හි ඇබ්බැහිවූවන් ඉන් මුදවා ගැනීමටත්, ඔබ එවන් ඇබ්බැහියන්හි ගැලී සිටින්නේ නම් ඒවායින් මිදීමටත්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් තමන්ටත් සමාජයටත් සිදුවන හානිය අවබෝධ කරගැනීමටත් දැනුම්වත්භාවයක් ඔබ සතුව තිබිය යුතු යි. මත්ද්‍රව්‍ය සහ ලිංගිකත්වය තවදුරටත් හුදෙක් සඟවා තැබිය යුතු මාතෘකා නොවන අතර, මේ සඳහා විවෘත කතිකාවක් ඇති කිරීම තුළින් කැපී පෙනෙන ධනාත්මක වෙනසක් ඇති කළ හැකි බව නොඅනුමාන යි.

Related Articles