Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයේ මිල අධිකම සුනඛයන්

සුරතල් සතුන් ඇති කිරීම අප බොහෝ දෙනකු විසින් සිදු කරනු ලබන කි‍්‍රයාවක්. ඒ අතරින් සුනඛයන් (ලිපියෙහි මින් ඉදිරියට බල්ලා යන වදන යෙදේ) සහ බළලුන් විශේෂ වන්නේ ඔවුන් ඇති කිරීම විනෝදාස්වාදය – හුරතලය මෙන්ම කිසියම් ආකාරයක ආරක්ෂාවක්ද අපට සපයන නිසාවෙනි.

බල්ලා සමග මිනිසාට ඇත්තේ ඉතා දීර්ඝ ඉතිහාසයකි. ඈත දඩයම් යුගයේ පටන්ම බල්ලා අප සමග ජීවත් විය. සිංහල ව්‍යාකරණයට අනුව බල්ලා යන වදන නිර්මාණය වන්නේද ඌ විසින් මිනිසා ආරක්ෂා කිරීම සිදු කළ බැවිනි. (නිරන්තරයෙන් බලාගන්නේ > බලු > බලු + ආ >බල්ලා වේ)

පසුකාලීනව විවිධ බල්ලන් වර්ග පිළිබදව අසන්නට දකින්නට ලැබෙන අතර ඇතැම් වර්ගයන් ජාන තාක්ණයෙන් නිර්මාණය කරගත් අවස්ථාද දක්නට ලැබේ. ආරක්ෂාව පිණිස බල්ලන් හදාවඩා ගැනීම පසුකාලීනව හුරතලය – විනෝදාස්වාදය සදහාද පිණිස වූ අතර ඊටත් පසුව එය තම සමාජ තත්ත්වය පෙන්නුම් කරන සාධකයක් බවටද පත්ව ඇත.

ඒ අනුව ලෝකය පුරා විවිධ වර්ගයේ මිල අධික බල්ලන් වර්ග දැක ගත හැකි අතර එම වර්ගයන් පිළිබද පාඨක ඔබ දැනුවත් කිරීම අපගේ මෙම ලිපියෙහි අරමුණ වේ.

පාරාවෝ හවුන්ඩ්  (Pharaoh Hound)

පාරාවෝ හවුන්ඩ්. (elelur.com)

පාරාවෝ හවුන්ඩ්. (elelur.com)

මෙම වර්ගයට ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති අතර ඊජිප්තුවේ පාරෝවරුන්ගේ කාලයේ පටන් මොවුන් සිටි බවට වාර්තා වේ.  ඒනිසාම මොවුන් ඊජිප්තුවේ රාජකීය බල්ලන් වශයෙන් ද හදුන්වනු ලැබේ. දඩයම් බල්ලන්ගේ වර්ගයට අයත් යන මොවුන් උසින් අඩි 3ක් පමණ වන අතර අවුරුදු 12-14ක ආයු කාලයකින් යුතුය. වැඩුණු පසු රාත්තල් 60ක් පමණ බරකින් යුතු වේ.

පළමුවරට බල්ලන් ඇති කරන තැනැත්තකු විසින් මෙවැනි වර්ගයේ බල්ලන් ඇති කිරීම එතරම් සුදුසු නොවන බවත් මොවුන් නිදහස පි‍්‍රය කරන නිසාම ඇතිකරන්නාට තරමක් වෙහෙසදායක තත්ත්වයක් ඇති විය හැකි බවට වාර්තා වේ.

මොල්ටාවේ ජාතික සුනඛයා වශයෙන් ද සැලකෙන්නේ මෙම වර්ගයයි. මොවුන්ට වේගයෙන් දිවීමට මෙන් ම දිගු දුරක් පැනීමේ හැකියාව ද පවතී.

මොවුන් සාමාන්‍යයෙන් ඩොලර් 3,000 – 7,000 (රු 450,000 – 1,050,000) ක් පමණ මිලකින් යුතු බවට වාර්තා වේ.

චෝ චෝ (chow chow)

චෝ චෝ. (youtube.com)

චෝ චෝ. (youtube.com)

මොවුන් චීනයෙන් බිහි වුණු සත්ව කොට්ඨාසයක් ලෙස සැලකෙන අතර චීනයේ දී ඔවුන් හදුන්වනු ලබන්නේ ‘ෂොන්ග්ෂි ක්වොන්ග්‘ නමිනි. එහි අදහස නම් ‘සිංහයකු මෙන් විශාල බල්ලා‘ යන්නයි.

ක්‍රි.පූ. 300 ක තරම් අතීතයේ සිට මොවුන් පැවත එන බව විශ්වාස කෙරේ. ඩොලර් 3000 සිට 9000 (රු 450,000 සිට 1,350,000) දක්වා වටිනාකමකින් යුතු චෝ චෝ සුනඛයන් වෙළදපොළ තුළ දැක ගත හැකි ය. මොවුන් ස්වාමියාට ඉතා කීකරුය.

වසන්ත කාලයේදී සහ ශීත සෘතුවේදී මොවුන්ගේ ලෝම ඉතා ශීඝ‍්‍ර ලෙස වර්ධනය වන අතර එවැනි සමයක දී එකී ලොම් පනාවකින් පිහිරමින් මනා ලෙස නඩත්තු කළ යුතුය. ලොම් අධික බැවින් මැක්කන් බෝ වීම ඉතා පහසුවෙන් සිදු විය හැකි අතර  ඊට අදාළ ප‍්‍රතිකාර ලබා දෙමින් බල්ලා පිරිසිදු කරමින් රැක බලා ගැනීම නිසි පරිදි කළ යුතුම වේ.

සුප‍්‍රසිද්ධ ගායක එල්විස් ප්‍රෙස්ලි – පොප් ගායිකා ජෙනට් ජැක්සන් – ජනපි‍්‍රය ඉතාලි ජාතික පාපන්දු කී‍්‍රඩක මාරියෝ බලෝටෙලී වැනි පුද්ගලයන් තමන්ගේ සුරතලා ලෙස චෝ චෝ සුනඛයකු තබාගත් බවට වාර්තා වේ

කැනේඩියන් එස්කිමෝ  (Canadian Eskimo)

කැනේඩියන් එස්කිමෝ. (elelur.com)

කැනේඩියන් එස්කිමෝ. (elelur.com)

මොවුන් උතුරු අමෙරිකානු කලාපය තුළ බිහිවූ සත්ත්ව කොට්ඨාසයක් ලෙස සැලකෙන අතරම අන් වර්ගයක් සමග මුහු නොවූ ස්වදේශික බල්ලන් වර්ගයක් ලෙසද සැලකේ. ඉතා ප්‍රියජනක බාහිර ස්වරූපයක් පවතින මොවුන් ඇ.ඩො. 6000 (රු 900,000) සිට මිල නියම කොට ඇත.

ආර්ටික් කලාපීය ජනයා අතර සුලබව වාසය කෙරෙන මෙම සුනඛ වර්ගය ගෝනුන් – වලසුන් වැනි විශාල සතුන් දඩයම් කිරීම සදහා යොදා ගන්නා අතර දැඩි සීත පරිසරයකට පවා ඔරොත්තු දීමේ ශක්තියක් ඔවුනට පවතී. Geneviève Montcombroux  විසින් රචිත The Canadian Inuit Dog: Canada’s Heritage කෘතිය තුළින් මෙම සුනඛයන් කැනඩාවට ආවේණික ස්වදේශික සත්ව කොට්ඨාසයක් ලෙස පෙන්වාදී ඇත.

1950 සහ 1970 දී කැනේඩියානු රාජකීය අශ්වාරෝහක පොලීසිය විසින් මෙම සුනඛ වර්ගය මහා පරිමාණයෙන් මරා දමන ලද අතර අවම වශයෙන් එය 1200  සිට 20,000 අතර ප‍්‍රමාණයක් ගන්නා බවට දැක්වේ.

එසේ මරා දැමීමට හේතුව ඔවුන් මහජන සෞඛ්‍යයට හානිකර වීම සහ අනතුරුදායක වීම යන පදනම මත බව වාර්තා වේ.

ජර්මන් ෂෙෆර්ඩ් (German Shepherd)

ජර්මන් ෂෙෆර්ඩ්. (hqwallbase.site)

ජර්මන් ෂෙෆර්ඩ්. (hqwallbase.site)

මොවුන් ආරක්ෂාව සදහා වඩාත් සුදුසු වන අතර ආරක්ෂක අංශ වැඩි වශයෙන් යොදා ගන්නේ මෙම වර්ගයේ සුනඛයන් පුහුණු කිරීමට පහසු අතර මිත්‍රශීලි වන බැවිනි. ඇ.ඩො 6500ක පමණ වටිනාකමකින් යුක්ත වන අතර සාමාන්‍ය ජනතාවගේ ‘සුරතලා‘ ලෙස නිරන්තරයෙන් දැක ගත හැකිය.

මෙම සුනඛ වර්ගය පිළිබද තතු මුලින් ම හමුවන්නේ 1899 වැනි ඉතිහාසයක දී වන අතර පළමුවෙන්ම මොවුන් යොදා ගෙන ඇත්තේ සත්ව පාලන කටයුතු සදහාය. එහෙත් පහසුවෙන් පුහුණු කළ හැකි වීම, කීකරුභාවය, බුද්ධිමත්භාවය, සහ ශක්තිමත්භාවය යනු කරුණු පදනම් කරගෙන ඉතාමත් ජනපි‍්‍රය සුනඛ වර්ගයක් බවට ඉක්මනින් පත් විය.

The Intelligence of Dogs කෘතිය රචනා කරන ස්ටැන්ලි කෝරන්ස් (Stanley Corens) ලෝකයේ දැනට වෙසෙන බුද්ධිමත්ම සුනඛ වර්ග තුනෙන් එකක් ලෙස මොවුන් හදුන්වා දෙනවා. (අනෙක් වර්ග දෙක – Poodle සහ Border Collie) කිසියම් කි‍්‍රයාවක් පස් වතාවක් පුනරාවර්ථව කිරීම තුළින් ජර්මන් ෂෙෆර්ඩ් සුනඛයන්ට පුහුණු කළ හැකි බවත් ලබා දෙන නියමයන් පිළිගැනීමේ සම්භාවිතාව 95ක් තරම් ඉහළ වන බවත් ඔහු පවසයි.

සැමෝයිඩ්  (Samoyed)

සැමෝයිඩ්. (pets4homes.co.uk)

සැමෝයිඩ්. (pets4homes.co.uk)

සයිබීරියානු ප්‍රාදේශීය සම්භවයක් සහිත මොවුන් සත්ව පාලනය සදහා යොදාගනී. මුල් අවධියේදීම මිනිසුන් සමග විසීම හුරු කිරීම අත්‍යවශ්‍ය වන අතර එසේ නොවුණහොත් පාලනය කිරීම අපහසු බව වාර්තාවේ. ස්වාමියාට ඉතා කීකරු සත්ව කොටසක් වන අතර ඇතැම් විට එනිසාම වැඩි ආරක්ෂිත බවක් පෙන්නුම් කළ හැකි ය. වෙළදපොළ තුළ ඇ.ඩො. 6500 – 12000 ත් අතර මිලකින් යුක්ත වේ.

මෙම වර්ගය ඉතා සුහදශීලී වන අතර ඉක්මනින් මිනිස් ඇසුරට ළං වේ. අවුරුදු 12 – 15 ක ආයු කාලයක් ඇති අතර දිනපතා ඇවිදීමට අවස්ථාව සලසා දිය යුතුය. සුනඛයා හට ව්‍යායාම අඩු වේ නම් විවිධ රෝග ඇති වීමට එය හේතුකාරී වන බැවිනි. මොවුන්ගේ ඇතැම් ලොම් රෙදි කර්මාන්තය සදහා පවා යොදා ගනී.

රොබර්ට් ස්කොට් නම් ගවේෂකයා විසින් 1889 දී මෙම සුනඛ වර්ගය එංගලන්තයට ගෙනැවිත් ඇති අතර මොවුන්ගේ වර්ධනය සිදු වන්නේ ඉන් පසුවය.

ලෝචන් (Lowchen)

ලෝචන් (petguide.com)

ලෝචන් (petguide.com)

මොවුන් ඇ.ඩො. 7000 පමණ සිට මිලදී ගැනීමට හැකි අතර ‘ලිටල් ලයන් ඩෝග්‘, ‘ටෝයි ඩෝග්‘ යනුවෙන්ද හැදින්වේ.

ඇමෙරිකාවේ කෙනල් සංගමය පවසන්නේ මොවුන් ක්‍රීඩාවට යොමු නොකරන සුනඛ වර්ගයක් බවයි. මොවුන් ගහනය අනෙකුත් වර්ගයන් හා සැසදීමේ දී අඩු ප්‍රතිශතයක් ගන්නා බවට ද වාර්තා වේ.

මොවුන්ගේ ඉතිහාසය 1442 තරම් ඈතකට දිව යන අතර ඉපැරණි සිතුවම්වලද මොවුන්ගේ රුව දැකගත හැකිය. මොවුන් අතීතයේ සිටම මිනිසාගේ ආදරයට පාත‍්‍ර වුණු සුනඛ වර්ගයක් ලෙස සැලකිය හැකි අතර 16 වැනි සියවසේ සිටම මෙම වර්ගය පිළිබදව ලොව පුරා ඇති විවිධ රටවලින් විස්තර සොයා ගැනීමට පුළුවන්.

ලෝචන් සම්බන්ධයෙන් වාර්තා කරන ලද පළමු කෘතිය ලෙස හෙන්රි ද බිලාර්ට් (Henry de Bylart) විසින් රචිත Dogs of All Nations පිළිගැනෙන අතර එය වර්ෂ 1897 දී පළ වී ඇත.

රොට් වයිලර් (Rottweiler)

රොට් වයිලර්. (allbigdogbreeds.com)

රොට් වයිලර්. (allbigdogbreeds.com)

මොවුන් ගෘහස්ත ආරක්ෂාව සදහා ඉතා සුදුසු සුනඛයන් කොටසක් වන අතර ජනප්‍රිය වර්ගයක් ලෙසින්ද සැලකිය හැකිය. එහෙත් කුඩා අවධියේ සිටම නිවැරදි පුහුණුවක් සහ මිනිසුන් සමග විසීමට පුරුදු කිරීමත් අත්‍යවශ්‍යවේ.

මොවුන් ඇ.ඩො. 7000 (රු 1,050, 000) සිට මිල දී ගැනීමට හැකි නමුත් පිළිකා, අක්ෂි රෝග සහ මාංශපේශී ආශ්‍රිත ආබාධවලට ගොදුරු වීමේ අවධානමක් සාමාන්‍යයෙන්  පවතින බවත් ඒ සදහා ප්‍රතිකාර කිරීම අතිශය වියදම් අධික කර්තව්‍යයක් ලෙසත් දැක්වේ. වසර 10 ක පමණ ආයු කාලයක් ඇති අතර අවම වශයෙන් කිලෝ ග්‍රෑම් 50 ක පමණ බරකින් යුතු වේ.

අතීත රෝම අධිරාජ්‍ය සමයේ දී ජර්මනියේ බ්ලැක් ෆොරස්ට් සහ ඇල්ප්ස් කදු අතර පිහිටා තිබුණු ‘රොට්වේල්’ නම් වෙළද නගරයේ විකිණීම පිණිස ගෙන ආ ගවයන්- බැටළුවන් පාලනය කිරීමට සහ අනෙකුත් ආම්පන්න ආරක්ෂා කිරීමට මෙම සුනඛ වර්ගය බහුලව භාවිතා කර ඇති අතර එය මොවුන්ට නම් පටබැදීමේ දී හේතු සාධක වී ඇතැයිද සිතීමට පුළුවනි.

The Omen සිනමා පටය තුළින් මෙම සුනඛ වර්ගය පිළිබද කිසියම් නිශේධනීය අදහසක් පැතිරුණ ද පසුව නිර්මාණය වුණ Lethal Weapon 3, Half Baked (1998), Entourage (HBO Show) වැනි චිත‍්‍රපට හා කතා මාලා තුළින් නැවතත් මෙම සුනඛ වර්ග ජනපි‍්‍රය වීමට හේතුවිය.

ඉතාමත් ශක්තිමත් සුනඛ වර්ගයක් වන හෙයින් වර්තමානයේ දී මොවුන් ආරක්ෂක අංශ විසින් සහ ගළවා ගැනීමේ අංශ විසින් විවිධ කාර්යයන් සදහා උපයෝගී කර ගනු ලබයි.

සැලකිය යුතුයි –

– මෙහි දක්වා ඇති මිල ගණන් පිළිබදව යම් යම් වෙනස්කම් අන්තර්ජාලයෙහි වෙබ් අඩවියෙන් අඩවියට තරමක් වෙනස් වුවද සමස්තයක් ලෙස ගත් කල, දක්වා ඇත්තේ මේ හා සමාන මිල ගණන් බවට අධ්‍යයනය කිරීමේ දී පෙනී ගිය කරුණක් විය.

– එසේම ඇ.ඩො. 1 ක් මෙහි දී සලකා ඇත්තේ රු 150 ක් යන අගය මත සලකා ය.

කවරයේ පින්තුරය: smilepost.ru

Related Articles