ථේරවාද හා මහායාන බුදු දහම

දැනට ලෝකයේ සිව් වන තැනට වැඩිම පිරිසක් තම ආගම ලෙස සලකා අදහනු ලබන්නේ හා ප්‍රගුණ කරනු ලබන්නේ බුදු දහමයි. ඒ වගේම බුදුන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද සංඝ සමාජය ලොව පැරණිතම සංවිධානයක් ලෙස පිළිගනු ලබනවා. බුදු දහම අදහන්නන් මිලියන 300-500 අතර ප්‍රමාණයක් ලොව පුරා ඇති බව විවිධ ඇස්තමේන්තු වලින් හෙළි කර තිබුණත් නිශ්චිතව එම ගණන පිළිබඳව ප්‍රකාශයක් කර නෑ.

ආසියාවේ බුදු දහම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබෙන අතර සමහර රටවල එය නිල වශයෙන් පිළිගත් ආගමක් බවට පත්වී තිබෙනවා. බටහිරට එය වර්ධනය වන අාධ්‍යාත්මික දර්ශනයක් ලෙස වර්තමානයේදී පිළිගෙන තිබෙනවා. මෙසේ ලෝකය පුරා ව්‍යාප්තව පවතින බෞද්ධ දර්ශනය පැහැදිලි ලෙස කොටස් දෙකකට බෙදී පවතින බව දකින්නට පුළුවන්. ඒ ථේරවාද බුදුදහම හා මහායාන බුදු දහම ලෙසයි.

වර්තමානය වන විට පාලි ධර්ම ග්‍රන්ථ ආශ්‍රයෙන් ථේරවාදී බුදුදහ‍ම කාම්බෝජය, ලාඕසය, තායිලන්තය, ශ්‍රී ලංකාව හා බුරුමයේ ප්‍රධානම ආගම ලෙස පිළිගන්නා අතර  ඉන්දියාවේ දාලිත් බෞද්ධ සංගමය ද අනුගමනය කරන්නේ ථේරවාදි බුදුදහමයි. චීනය, ජපානය, කොරියාව, තායිලන්තය, සිංගප්පුරුව හා වියට්නාමයේ පවතින්නේ චීන බසින් ලියැවුණු ධර්ම ග්‍රන්ථ ආශ්‍රිත මහායාන බුදුදහමයි.

බෞද්ධ දර්ශනය ථේරවාද හා මහායාන ලෙස වෙන් වීම

මහායාන පන්සලක් (Very New York)

බුද්ධ කාලීන භාරතයේ බුදු දහමේ විවිධ ගැටළු නිර්මාණය වුවත් එය බෞද්ධ දර්ශනය ඛණ්ඩනය වීමක් දක්වා වර්ධනය වූයේ නෑ, බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව පැවැත්වූ දෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව බහුතරයේ අදහස් පිළිනොගත් වජ්ජිපුත්තක භික්ෂූ කොට්ඨාශයෙන් ආරම්භ වූ මහාසාංඝික නිකාය මහායාන බුදු දහමට මුල් වන්නට ඇති බව ඉතිහාසඥයන් විසින් පෙන්වා දෙනවා.

එසේ මූලිකව ආරම්භ වූ මහායාන බෞද්ධ දර්ශනය නිශ්චිත ලෙස පිළිගැනීමකට ලක්ව ව්‍යාප්ත වීමට පටන් ගැනෙන්නේ ක්‍රි.ව 1 වන සියවසේදීයි. ඉන්දියාවේ කණිෂ්ක රාජ්‍ය යුගය වශයෙන් සැලකෙන මෙම අවධියේ දී කාශ්මීරයේ ජාලන්දර නම් වූ ස්ථානයේ දී කණිෂ්ක රජුගේ රාජ්‍ය අනුග්‍රහය සහිතව පාර්ශ්ව සහ අශ්වඝෝෂ යන භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද සිව්වන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස ස්ථිර ලෙස මහායාන හා ථේරවාද ලෙස බෞද්ධ දර්ශනය කොටස් දෙකකට කැඩී වෙන් වෙනවා.

ථේරවාද හා මහායාන ලෙස වෙන් වීමට බලපෑ හේතූන්

ථේරවාදී පන්සලක් (Classroom)

බුදුන් වහන්සේ දේශනා කළ ථේරවාදී බෞද්ධ දර්ශනයෙන් මඳක් බැහැර වෙමින් එහි අාභාෂය යම්තාක් දුරට ලබාගනිමින් මහායාන නම් වෙනස් දර්ශනයක් නිර්මාණය වන්නට හේතූන් සොයා බලන විට එය බුදුන් ජීවමාන කාලය දක්වා දුරට විහිදී යනවා. චුල්ලවග්ග පාලිය හා පාරාජිකා පාලිය වැනි විනය පිටකයට අයත් ග්‍රන්ථ වල සඳහන් වන දේවදත්ත තෙරුන්ගේ ක්‍රියා කලාපය, ඝෝසිතාරාමයේ ධර්මධර විනයධර භික්‍ෂූන්ගේ ක්‍රියා කලාපය, සුනක්ඛත්ත, ඛොරක්ඛත්තිය හා බහුභාණ්ඩික තිස්ස වැනි භික්‍ෂූන් වහන්සේ ගේ ක්‍රියා කලාප හේතුවෙන් ඒ කාලයේදීත් ධර්මය හා විනය පිළිබඳව ගැටළු නිර්මාණය වී තිබෙන බව පෙනී යනවා. ඒවා මහායාන නිර්මාණය වීමට බලපෑ මූලික අවස්ථා ලෙස සදහන් කරන්නට පුළුවන්.

විශේෂයෙන් බුද්ධ කාලයේ සිටම ධර්මය විචාරය කිරීමේ අයිතියක් භික්‍ෂූන්ට ලැබී තිබීම මහායාන ධර්මයේ ආරම්භයට විශාල රුකුලක් වෙනවා. බුද්ධ වචනය විවෘතව විවේචනය කිරීමට භික්‍ෂූන්ට මුල සිටම අවස්ථාව ලබා දී තිබිණි. ඒ නිසාම ඇතැම් භික්‍ෂූන් මෙම අවසරය වැරදි ආකාරයෙන් ප්‍රයෝජනයට ගනු ලබනවා.

සමාජ, දේශපාලන හා ආර්ථික ආදී වූ නොයෙක් අංශවල වෙනස් වීම් මෙලෙස බුදු දහම ද්විඛණ්ඩනය වීමට බලපාන්නට ඇතැයි සිතිය හැකියි. විවිධ අධිරාජ්‍යයන් ගේ දේශපාලන ආගමනයත් ක්‍රම ක්‍රමයෙන් සංවර්ධනය වූ ආර්ථික රටාවත් ඔස්සේ අධි සුඛෝපභෝගී ජීවන රටා ඇතිවීමත්, මෙසේ ඇති වූ භෞතික සංවර්ධනය හේතුවෙන් මිනිසුන් බුද්ධ ධර්මය වෙනස් වූ සමාජ දේශපාලනික හා ආර්ථික ස්ථරයන්ට ආරෝපණය කිරීමේදී ථේරවාදය යටපත් වී මහායානය ඉස්මතු වී තිබෙනවා.

ප්‍රධාන වෙනස්කම්

ථේරවාදී බුදුදහම රාජ්‍ය ආගමක් වන මියන්මාරයේ ස්වේදගොන් විහාරය   (Pinterest)

මහායාන බුදුසමයෙහි ව්‍යාප්තියත් බෝධිසත්වවාදයේ ව්‍යාප්තියත් සමකාලීනව සිදුව ඇති බව පවසන මහාචාර්ය සාසන රතන හිමියන් “ලක්‌දිව මහායාන අදහස්‌” කෘතියෙන් පෙන්වා දෙන්නේ බ්‍රාහ්මණ ධර්මයන්ගෙන් මිශ්‍ර වූ බුදු දහම භාරතයෙන් පිට විවිධ රටවල් කරා පැතිර ගිය බවයි. බෝධිසත්ව සංකල්පයට මුල් තැන ලබා දෙන මහායාන බුදු සමය ථේරවාදයෙන් වෙන් වන්නේ ඉන්දියාවේ හින්දු ආගම බලවත්ව නැගී සිටි අවධියේයි.

මහායානිකයන් බුදුන්වහන්සේ ගැලවුම්කරුවෙකු ලෙස සිතමින් බෝධිසත්ව සංකල්පය නිර්මාණය කොට ඇත්තේ හින්දු දේව සංකල්පයේ බලපෑම් මතයි.

මහායාන දර්ශනයේ මූලික සංකල්පයක් ලෙස “බුද්ධ” සංකල්පය හැඳින්විය හැකියි. එහිදී කිසිවෙකුටත් සම කළ නොහැකි ඉන්ද්‍රජාලික බලයකින් යුක්ත පුද්ගලයෙක් බුද්ධ යන සංකල්පයෙන් අදහස් කෙරෙනවා. මහායානික ආචාර්යවරුන් දේශනා උපයෝගී කරගෙන බුදුන් වහන්සේ ජාති, ජරා, ව්‍යාධි හා මරණයන්ට ලක් නොවන විවිධ අවතාරයන්ගෙන් පෙනී සිටින සදාකාලික උතුමෙකු ලෙසින් හඳුන්වාදී තිබෙනවා. එය මනඃකල්පිත වූ බුදුවරයකු පිළිබඳ ඉගැන්වීමකි. නමුත් ථේරවාද බෞද්ධ දර්ශනය  තුළ එසේ මනඃකල්පිත බුදුවරයෙක් දක්නට ලැබෙන්නේ නෑ. එහි ඇත්තේ ඓතිහාසික උත්තරීතර මනුෂ්‍ය ශාස්තෘවරයෙකු පිළිබඳ විශ්වාසයක් පමණයි.

අසීමිත බෝධිසත්වවරු සංඛ්‍යාවකින් සමන්විතබව දැක්‌වෙන මහායාන බුදු දහම තුළ ප්‍රධාන තැනක්‌ ගන්නා බෝසත්වරු වශයෙන්, අවලෝකිතේශ්වර, ආකාශගර්භ, වජ්‍රගර්භ, ක්‍ෂිතිගර්භ, සර්ව නිවාරණ විෂ්කම්භ, මෛත්‍රය හා සමන්තභද්‍ර ඇතුළු බෝසත්වරු අට දෙනෙක්‌ වන්දනාමාන කරනු ලබනවා. නමුත් ථේරවාදයේ බෝධිසත්වයන් වන්දනා නොකරන අතර සියළු කෙලෙසුන් නැසූ බෝධිසත්වයා ලෙස ගෞතම බුදුන්වහන්සේව වන්දනාමාන කරනවා.

ථේරවාද බුදු සමයෙහි සොවාන්, සකෘදාගාමි, අනාගාමී, අරහත් යන මාර්ග මෙන් මහායානයෙහි සෑම බෝධිසත්වවරයෙක්‌ම බුද්ධත්වයට පත්වීමට පෙර දසභූමි අවස්‌ථාවන් පසු කළ යුතුවෙනවා. තවද දස පාරමිතාව සම්පුර්ණ කරමින් ථේරවාද බුදු දහමේ බෝසත්වරයා බුදු බවට පත්වන අතර මහායානයේ සෑම බෝසත්වරයෙක්ම සම්පුර්ණ කළ යුතු පාරමිතා ගණන හයකි.

ථේරවාදයේ මූලික වී ඇත්තේ මහාවස්තු අපදාන නම් ග්‍රන්ථය මතයි. එයට අනුව බුද්ධ සංකල්පය, බෝධි සත්ව සංකල්පය, පාරමිතා සංකල්පය, දශභූමි සංකල්පය, ත්‍රිකාය සංකල්පය හා බුද්ධ ක්‍ෂේත්‍ර සංකල්පය යන මහායාන ඉගැන්වීම් රාශියක් දැක ගත හැකි ය. සූත්‍ර, විනය හා අභිධර්මය යන ත්‍රිපිටක මත පදනම් වූ ථේරවාදයේ මූලික ඉගැන්වීම් වන්නේ චතුරාර්ය සත්‍යය, ත්‍රිලක්ෂණය, පටිච්චසමුප්පාදය හා භාවනායි.

බ්‍රාහ්මණ වංශිකයන් සසුන්ගත වීමද පසුකාලයේ දී මහායාන ධර්මය  වර්ධනය වීමට බලපා තිබෙනවා. බ්‍රාහ්මණ වංශිකයන් පැවිදි වූ පසුත් ඔවුන් විසින් පාරම්පරිකව පිළිගත් බ්‍රාහ්මණ චාරිත්‍ර එලෙසම ඉටුකිරීම මඟින් ඒ දේවල්ද මහායාන බුදු දහමට එකතු වී තිබෙනවා. ඝෝෂ, නාගර්ජුන, අසංග හා වසුබන්ධු වැනි මහායාන ආචාර්යවරුන් මෙලෙස එක් වූ බ්‍රාහ්මණ වංශිකයින්.

එකල ථේරවාදී මෙන්ම මහායාන භික්ෂුන් වහන්සේලාද මහාවිහාරික හා අභයගිරි පාර්ශවයන් ලෙස ශ්‍රී ලංකාවේ වාසය කළ බව මහාවංශයේ සදහන් වෙනවා. ථේරවාදී හා මහායාන භික්‌ෂූන් වහන්සේලා යම් යම් අවස්‌ථාවල එකම ආරාමයේ වැඩ වාසය කිරීමද අනුව විශේෂ විනය නීතින් කිහිපයක් හැර මහායාන භික්‌ෂූන් වහන්සේලාද ථේරවාද භික්‌ෂූන්වහන්සේලාගේ විනය නීති පිළිපදින්නට ඇති බවට ශ්‍රී ලංකාවේ ශාසන ඉතිහාසයේ ඇතැම් අවස්ථා වල සදහන් වෙනවා.

කවරයේ ජායාරූපය- තායිලන්තයේ ථේරවාදී පන්සලක දර්ශනයක් (Blavatsky Theosophy Group UK)

මුලාශ්‍ර –   ලක්‌දිව මහායාන අදහස්‌

ථේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් – බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව

බුද්ධ ධර්මය -11 ශ්‍රේණිය – ජාතික අධ්‍යාපන ආයතනය

දිනමිණ පුවත්පත

Related Articles