Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව මිල අධිකම අතුරුපස

රසවත් කෑම වේලකින් සප්පායම් වුණාට පස්සේ අපි කවුරුත් කැමතියි දිව පිනවන අතුරුපසක් භුක්ති විඳින්න. මේ විදියට දිව පිනවන අතුරුපසක් වෙනුවෙන් කොපමණ මුදලක් වැය කරන්න ඔබ සූදානම්ද?

ලෝකයේ මිල අධික ම අතුරුපස කිහිපයක විස්තර ඔබ වෙත ගෙන එන්න යි අපේ මේ සූදානම.

Krispy Kreme’s Luxe Doughnut

මිල : ඇමෙරිකන් ඩොලර් 1, 682 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 251,930/- ක්)

(theextravagant.com)

ලෝකයේ මිල අධික ම ඩෝනට් විශේෂය ලෙස සැලකෙන Krispy Kreme’s Luxe Doughnut හඳුන්වා දී ඇත්තේ ඇමෙරිකානු සමාගමක් වන Krispy Kreme Doughnuts, Inc. හි ලන්ඩන් ශාඛාව විසින්. ඒ සඳහා දින තුනක් ගත වී තිබෙන අතර මෙය ඉතාමත් ඉහළ මිලකින් යුතු වන්නේ එය සැකසීමේ දී යොදා ගෙන ඇති Dom Pérignon (මිල අධික මුද්‍රික පාන වර්ග නිෂ්පාදනය කරන ප්‍රංශ සමාගමක්) සන්නම යටතේ 2002 වසරේ දී නිපදවන ලද ෂැම්පේන් ජෙලි, රන්වන් කුඩු ඉසින ලද සුදු පැහැ බෙල්ජියන් චොකලට් මල සහ ආහාරයට ගත හැකි දියමන්ති නිසා යි.

මෙම ද්‍රව්‍යවලට අමතර ව Krispy Kreme’s Luxe Doughnut නිපදවීම සඳහා රාස්බෙරි, වැල් දොඩම් සහ ආහාරයට ගත හැකි කැරට් 24 රන් පත්‍රයක් යොදා ගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් මෙය රාස්බෙරි සහ වැල් දොඩම් යුෂ මිශ්‍ර ෂැම්පේන් බඳුනක් මත තැන්පත් කර පිළි ගැන්වීම සිදු කරනවා.

Krispy Kreme Doughnuts, Inc. සමාගම මෙය නිර්මාණය කර ගත්තේ එක්සත් රාජධානියේ සිටින මොළයට හානි වූ දරුවන් සඳහා වන භාරයට ආධාර රැස් කිරීම සඳහා යි.

The Golden Phoenix Cupcake

මිල : ඇමෙරිකානු ඩොලර් 1,000 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 149,780/- ක්)

(medooz.com)

ඩුබායි නුවරදී දැක ගැනීමට ලැබෙන මේ අපූරු අතුරුපස නිර්මාණය කිරීම සඳහා යොදා ගෙන ඇති ආහාරයට ගත හැකි කැරට් 23 රන් පත්‍ර, ඉතාලි චොකලට්, ආහාරයට ගත හැකි රන් ආලේපිත වැනිලා බෝංචි සහ ස්ට්‍රෝබෙරි නිසාවෙන් The Golden Phoenix Cupcake සැලකෙන්නේ ලෝකයේ මිල අධික ම කප්කේක් විශේෂය ලෙස යි.

බ්ලූම්ස්බරි කප්කේක් සමාගමේ ඩුබායි ශාඛාව මගින් කැරට් 24 කේක් තට්ටුවක් මත තැන්පත් කර රන් හැන්දක් ද සමගින් පිළිගන්වන මෙය සැකසීම සඳහා මූලික වශයෙන් යොදා ගන්නේ උගන්ඩාවෙන් ගෙන්වන මිල අධික වැනිලා බෝංචි සහ ඉතාලියේ Amedei සමාගම මගින් නිෂ්පාදනය කරන ලෝකයේ මිල අධික ම චොකලට් වර්ගයක් ලෙස සැලකෙන Amedei Porcelana නම් චොක්ලට් විශේෂය යි.

ප්‍රථම වරට මෙය සාර්ථක ව නිෂ්පාදනය කිරීම සඳහා බ්ලූම්ස්බරි කප්කේක් සමාගමේ නිර්මාතෘ වූ ෂෆීනා යූසුෆ් අලි සඳහා සති පහක පමණ කාලයක් ගත වී තිබෙනවා. The Golden Phoenix Cupcake නිර්මාණය කරන අයුරු මෙම සබැඳිය මගින් දක්වා තිබෙනවා.

Frozen Chocolate Haute

මිල : ඇමෙරිකානු ඩොලර් 25,000 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 3,744,500/-)

(althawagah.com)

කොකෝවා වර්ග 28 ක් යොදා ගනිමින් (මෙයින් වර්ග 14 ක් ලෝකයේ මිල අධික ම කෝකා වර්ග ලෙස සැලකෙනවා) නිර්මාණය කරන ලද Frozen Chocolate Haute නම් අයිස්ක්‍රීම් බඳුන පිළි ගන්වන්නේ නිව්යෝක් නුවර Serendipity III නම් අවන්හල මගින්. 2007 වසරේ දී හඳුන්වා දුන් මෙම අයිස්ක්‍රීම් බඳුන, එවකට ගිනස් වාර්තා පොතේ මිල අධික ම අතුරුපසට හිමි ස්ථානය හිමි කර ගත්තා.

මෙය අලංකාර කිරීම සඳහා ආහාරයට ගත හැකි රත්තරන් යොදා ගෙන ඇති අතර මෙය අනුභව කිරීම සඳහා දියමන්ති ඔබ්බවන ලද රන්වන් හැන්දක් අවන්හල මගින් සපයනවා. එසේ ම මේ සමග කැරට් 18 රන් වළල්ලක් ක්‍රාත් එකක (මිලිග්‍රෑම් 200 ක්) බරකින් යුතු සුදු දියමන්තියක් සහ ලබා දීමට Serendipity III අවන්හල කටයුතු කරනවා.

The Absurdity Sundae

මිල : ඇමෙරිකානු ඩොලර් 60,000 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 8,986,800/- ක්)

(wallpaperfx.com)

අප්‍රිකාවේ කිලිමන්ජාරෝ කඳු මුදුනේ සිට රස විඳින්න ලැබෙන මේ අයිස්ක්‍රීම් බඳුන සැකසීම සිදු කරන්නේ The Three Twins Ice Cream සමාගමේ නිර්මාතෘ විසින්මයි. එසේ ම මේ සමග ම ටැන්සානියාව බලා යාමට පළමු පන්තියේ ගුවන් ටිකට් පතක්, තරු පහේ හෝටලයක කාමරයක්, කිලිමන්ජාරෝ කන්ද නැගීම සඳහා පෞද්ගලික නියමුවෙක් මෙන් ම කාබනික කපු යොදා ගනිමින් මසන ලද ටී-ෂර්ට් එකක් ද ලබා දෙනවා.

මෙම අයිස්ක්‍රීම් බඳුන සැකසීම සඳහා මූලික වශයෙන් යොදා ගන්නේ කෙසෙල් සහ දුර්ලභ වයින් වර්ග තුනක් වන අතර එය ආහාරයට ගැනීම සඳහා 1850 දී නිර්මාණය කරන ලද හැන්දක්, මෙය අවන්හල මගින් සපයනවා. මෙය අලෙවි කර ලැබෙන ආදායමෙන් තුනෙන් දෙකක් ස්වදේශිකයන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා පිහිටුවා ඇති භාරයක් සඳහා පරිත්‍යාග කිරීම සඳහා අවන්හලේ නිර්මාතෘ කටයුතු සලසා තිබෙනවා.

Diamond Fruitcake

මිල : ඇමෙරිකානු ඩොලර් මිලියන 1.65 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 247,137,000/- ක්)

(hronika.info)

ටෝකියෝ නුවර සිටින ප්‍රසිද්ධ ම සූපවේදියෙක් වන Jeong Hong-yong විසින් නිර්මාණය කරන ලද මෙම පලතුරු කේක් ගෙඩිය අලංකාර කිරීම සඳහා දියමන්ති 223 ක් යොදාගෙන තිබෙනවා. මෙය නිපදවීම සඳහා යොදා ගත් අමුද්‍රව්‍ය අදටත් රහසක් ව පවතින අතර මේ සඳහා ගත වූ කාලය මාස 6 ක් බව යි පැවසෙන්නේ. මෙම කේක් ගෙඩිය මුදුනේ ක්‍රාත් 5 ක බරකින් යුතු හදවතක හැඩයේ දියමන්තියක් දක්නට ලැබෙනවා.

2005 වසරේ නත්තල් උත්සවය වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද මෙය අලෙවි වන තෙක් ‘Diamonds: Nature’s Miracle’ යන නාමය යටතේ ටකෂිමායා වෙළඳසැල් සංකීර්ණයේ මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර තිබුණා. මෙය නිපදවීම යොදා ගත් අමුද්‍රව්‍ය රහසක් වුව ද දියමන්ති හැරුණු කොට මෙම පලතුරු කේක් ගෙඩිය සම්පූර්ණයෙන් ආහාරයට ගත හැකි වූ බව යි වාර්තා වන්නේ.

මිල ගණන් ගණනය කිරීමේ දී 2017 පෙබරිවාරි 4 වැනි දින පැවති විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලර් 1 = ශ්‍රී ලංකා රුපියල් 149.78 ලෙස සලකන ලදී.

මූලාශ්‍ර: financesonline.com, most-expensive.com, luxatic.com, hellotravel.com, firstwefeast.com, tastemade.com

කවරයේ පින්තූරය:  First We Feast

Related Articles