මහනුවර ඇසළ පෙරහැර විභූතිමත් වන්නේ ඒ සඳහා සහභාගී කරවන අලි ඇතුන්ගේ ප්‍රමාණයෙන් බව අවිවාදිතය. විශේෂයෙන් දළදා කරඬුව වැඩම කරවන මංගල හස්තිරාජයා දෙස් විදෙස් නරඹන්නන්ගේ සෘජු අවධානයට පාත්‍ර වේ.

උඩරට ඇසළ පෙරහැර – 1885 (wikimedia.org)

මහනුවර පෙරහැර ඉතිහාසයේ සධාතුක කරඬුව වැඩම කළ සුවිශේෂි හස්තීන්ගේ වගතුග පිළිබඳ සටහනක් අපි ඔබට ගෙන එන්නේ මේ හස්තිරාජයන් පිළිබද බොහෝ අය නොදන්නා කතා කිහිපයකුත් එක්ක.

දළඳා කරඩුව වැඩම කරවන හස්තිරාජයකු සතු විය යුතු ලක්ෂණ

සධාතුක කරඬුව වැඩම කළ යුත්තේ එහී පූජනීයත්වය හා ගෞරවය ආරක්ෂා කෙරෙන පරිදිය. ඒ සඳහා තොරා ගන්නා හස්ති රාජයෙකුට හත්වැදුම් පොළ පිහිටා තිබිය යුතුය. එනම් සතර පා, හොඩය, ලිංගය හා වලිගය භූමිය ස්පර්ශ වන ආකාරයෙන් පිහිටීමයි.

එපමණක් නොව මෙවැනි මංගල ඇත් රජකු වෙත පුළුල් කුඹුතල, පුළුල් පිට, උදාර ලීලාව හා තේජාන්විත දළ යුග්මය ආදී ගුණාංගද පිහිටිය යුතු වේ.

සධාතුක කරඩුව වැඩම කරන මංගල හස්තිරාජයා (miraculoussrilanka.com)

දළදා මාලිගාවේ ගජනායක නිලමේ, කාරියකෝරාල හා ඇතුන් සම්බන්ධ කටයුතු කරන අනෙකුත්  සියළු දෙනා එක්ව මෙවැනි ලක්ෂණ වලින් සමන්විත හස්තිරාජයෙකු තේරීමට කටයුතු කරති. විශේෂයෙන් පරිණත වයසට එළඹි ඇතෙකු මේ සඳහා තෝරා ගනී.

ඉතිහාසයේ ඇසළ පෙරහැර සඳහා මංගල හස්තියා තේරීමේ දී රජුගේ නිල ගමන් බිමන් සඳහා යොදා ගත් මඟුල් ඇතා හා යුධ කටයුතු සඳහා යෙදවූ ඇතුන් ඒ සඳහා තෝරා ගනු ලැබුයේ නැත.

රජුගේ ඇත් පන්තියේ ඒ වෙනුවෙන්ම ඇතෙකු වෙන්කිරීම සිදු කෙරිණි. සිය හාම්පුතා සම්බන්ධ ලැදියාව, ප්‍රචණ්ඩ ඇතෙකු නොවීම, මිනිසුන් මරා නොතිබීම ආදී කාරණා ද මංගල ඇත් රාජයෙකු තේරීමේ දී සැලකිල්ලට ගනු ලැබේ.

පරපුරක පෙළහර

උඩරට ඇසළ පෙරහැර 1960 දශකය (photobucket.com)

කිත්සිරිමෙවන් රජු සමයේ රජරටින් ඇරඹුණු පළමු විචිත්‍ර ඇසළ පෙරහැරේ මංගල හස්තියා ලෙස සැලකෙන්නේ ඵෙරාවණ නම් ඇතෙකි. අනතුරුව විවිධ සතුරු ආක්‍රමණ ආදීය හමුවේ ඇසළ පෙරහැර මංගල්‍යය නොපැවැත්වූ කාලපරිච්ඡේදයන්ද ඉතිහාසයේ වරින්වර හමුවේ.

පසුකාලීනව උඩරටින් යළි ඇරඹි ඇසළ පෙරහැරේ වාර්තාගත පළමු හස්තිරාජයා ලෙස සැලකෙන්නේ ලෙව්කේ වළව්වේ ඇතාය. ඉන් අනතුරුව මාතලේ වෑගොඩපොළ වලව්වේ ඇතා සධාතුක කරඩුව වැඩම කොට තිබේ. දළ කොටා ලෙස හැදින්වූ පානබොක්කෙ වළව්වේ ඇතා ඉන් අනතුරුව මේ ගරු කටයුත්ත අකුරටම ඉටු කොට ඇත. මහයියාවේ රත්වත්තේ වලව්වේ ගෝමර ඇතා ද දළදා පෙරහැර මංගල්‍යයේ කරඩුව වැඩම කළ හස්තිරාජයෙකු වන අතර ගෝමර ඇතාගේ අභාවයෙන් පසුව ඉඩම්පිටියේ ඇතා දළදා කරඩුව වැඩම කොට තිබේ.

උතුම් දළඳාව වැඩවීමට සූදානම් වන මංගල හස්තිරාජයා ( www.notescollector.eu)

දළදා පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කළ හස්තීන් අතුරෙන් සුවිශේෂතමයා ලෙස හැදින්වෙන මාලිගාවේ ඇත් පන්තියට අයත් වූ රාජා හස්තියා, ඉඩම්පිටිය ඇතාගෙන් අනතුරුව මෙම කාර්යය භාර ගෙන තිබේ. දීර්ඝ  කාලපරිඡේදයක් රාජා හස්තියා දළඳා කරඩුව වැඩම කරවූ අතර ඉන් අනතුරුව හෙයියන්තුඩුවේ රාජා, මිල්ලන්ගොඩ රාජා මෙන්ම වරින් වර කරඩුව වැඩම කළ වෑවලදෙණිය ඇතා, කතරගම වාසනා ඇතා, ගංගාරාමයේ නවම් රාජා, රත්නපුර මහ සමන්දේවාලයේ ඇතා, ඉන්දි රාජා ආදී සද්ධන්තයෝ මෙකී  සද්කාර්යය උදෙසා දායක වී තිබේ.

මේ වන විට කඩුවෙල නැදුම්ගමුවේ වලව්වේ රාජා හස්තියාට සධාතුක කරඩුව වැඩම කරලීමේ සුවිශේෂි කාර්යය භාරකොට ඇත.

ජාතික වස්තුවක් වූ මාලිගාවේ රාජා

මහනුවර ඇසළ පෙරහැර ඉතිහාසයේ සුවිශේෂි පුරාවෘත්තය බවට පත්වන්නේ  රාජා හස්තියාය. 1925 වසරේ මඩකලපුවේ වෘත්තීමය අලි අල්ලන්නෙකු වූ උමේරු ලෙබ්බේ නම් පුද්ගලයෙකු විසින් අල්ලා ගත් මෙම කුඩා අලිපැටවා ගිරාගම මාම්පිටිය වලව්වේ ටිකිරි බණ්ඩාර දිසාවේ විසින් මිලට ගෙන රාජා නමින්  ඇති දැඩි කළේය.

කල්ගතවත්ම මාම්පිටිය දිසාවගේ වයෝවෘද්ධභාවය හේතුවෙන් රාජා ඇතා හා  කන්දා නම් තවත් ඇතෙකු පූජා ඔප්පුවක් මගින් දළදා මැඳුරට පූජා කර තිබේ. ඒ 1937 වසරේ දීය. එවකට රාජා ඇතුට වයස අවුරුදු 22 පමණ වූ බව පැවසේ. එම වසරේ සිටම දළදා පෙරහැරට සම්බන්ධ වීමට අවස්ථාව රාජා ඇතාට ලැබී ඇති අතර ඉඩම්පිටිය ඇතාගේ අභාවයෙන් පසු දළඳා කරඩුව වැඩවීමේ අවස්ථාව ද හිමි වන්නේ රාජාටය.

රුපියල් දහසේ නෝට්ටුව මත මුද්‍රිත රාජා හස්තියා හා උමේරු ලෙබ්බේ (අනුරාධ දුල්ලෑව විජේරත්න)

මංගල හස්තිරාජයන් බිහි වන උසස් කුමරිය කුලයේ ඇතකු වූ රාජාගේ වම් දළය දකුණු දළයට වඩා මදක් උස්ව පැවතීම මංගල ලකුණු වඩාත් ඔප්නංවන සලකුණක් විය. උඩරට පෙරහැර ඉතිහාස හා බැඳුණු රාජා ඇතුගේ රසවත් සිදුවීම් බොහෝය.

රාජා ජනාධිපති ප්‍රේමදාස රණසිංහ මහතා හා දියවඩන නිලමේ නෙරන්ජන් විජේරත්න මහතා සමග. (අනුරාධ දුල්ලෑව විජේරත්න)

1955 වසරේ ඇසළ පෙරහැරේ රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරන අතරතුර සධාතුක කරඩුව වැඩම කරමින් තේජවන්ත ගමනක යෙදුණ රාජා හස්තියා එක්වරම ක්වීන්ස් හෝටලය අසල නතර වී තිබේ. ඇත්ගොව්වන් දන්නා ශිල්පය දක්වමින් ඇතු ඉදිරියට ගෙන යාමට උත්සාහ කළ ද ඇතු නොසෙල්වී සිටියේය.

ඊට පිටුපසින් පැමිණි එවකට දියවඩන නිලමේවරයාව සිටි සී.බී නුගවෙල මහතා ඇතා පිට බැදි රන්සිවි ගෙය පරීක්ෂා කරන ලෙස ඇත්ගොව්වන්ට දන්වා සිටියේය. සිදුව තිබුණේ රන්සිවි ගෙය බැද තිබූ බද පටියක් කැඩී යාමය. රාජා හස්තිරාජයා එසේ නතර නොවන්නට රන්සිවි ගෙය හා කරඩුව බිමට පතිත වන්නට ඉඩ තිබිණි.

රාජා හමුවට පැමිණි ජනාධිපති ජේ.ආර් ජයවර්ධන (3.bp.blogspot.com)

1959 වර්ෂයේ උඩරට ඇසළ පෙරහැර යනු බොහෝ පුවත් මැවූ අවස්ථාවක් විය. ඒ එවර පෙරහැරේ සිදු වූ අලි ඇතුන් කුලප්පුව නිසාවෙනි. පෙරහැර නරඹමින් සිටි පිරිස හා පැමිණ සිටි පිරිස හිස් ලූ ලූ අත දිවයමින් සිය ආත්මාරක්ෂාව සලසා ගත්හ. බොහෝ අලි ඇතුන් කුලප්පු වි වීදියේ  මහා කළබගෑනියක් මතු කළහ.

සධාතුක කරඩුව වඩම්මමින් සිටි රාජා තේජවන්තව නිසොල්මනේ සිටියේය. ඇත්ගොව්වන් රාජා වීදියේ ගසක බැද දැමූ අතර කිසිත් නොවුණ ලෙස රාජා දළදා කරඩුව රැකගනිමින් සිය කාර්යභාරය ඉටු කළේය.

මාලිගාවේ ඇත් පන්තිය සමග රාජා  (අනුරාධ දුල්ලෑව විජේරත්න)

වරක් මුරණ්ඩු වූ රාජා කටුගස්තොට නාන තොටේ දී ඇත්ගොව්වන්ගේ කියමන් පවා නාහා උදේ සිට රෑ වන තුරුම ජලයේ  බැස සිටියේය. හවස් වන විට රාජා ඇත් පන්තිය කරා යාමට මාර්ගයට ප්‍රවිශ්ට විය. මාර්ගයෙන් ඉවත්ව යන්නැයි ශබ්ද විකාශන යන්ත්‍රයක් මගින් ප්‍රදේශයේ ජනතාව දැනුවත් කරමින් පොලිස් රථයක් ඇතාට ඉදිරියෙන් යන්නට විය.

මේ අවස්ථාවේ දී ආබාධිත පුද්ගලයෙකු මාර්ගයෙන් ඉවත්විය නොහැකිව ඇතා එන ඉදිරියේ වැඳ වැටී තමාට කරදරයක් නොකරන්නැයි අයදිමින් සිටියේය. ප්‍රචණ්ඩවේශයෙන් රාජා එතැනට සමීප වුවද එක්වරම ඒ අහිංසක මිනිසා ඔසවා මාර්ගය අසළ කණ්ඩියක් මත තබා සිය ඇත් පන්තිය වෙත නික්ම ගියේය.

රාජාගේ ජීවමාන ප්‍රමාණයේ අනුරුව (for91days.com)

දීර්ඝ කාලපරිච්ඡේදයක් දළදා කරඩුව වැඩම කිරීමේ ගරු කටයුත්තේ යෙදී සිටි රාජා 1986 වසර වන විට අසනීප විය. ඇත් රජුගේ ප්‍රතිකාර සඳහා එවකට පැවති රජයේ පූර්ණ අනුග්‍රහය හිමිවූ අතර එම ආණ්ඩුවේ ජනාධිපතිවරයා වූ ජේ.ආර් ජයවර්ධන මහතා විසින් 1986 අගොස්තු 26 වන දින රාජා ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.

එවන් ඇගයීමක් හිමිවූ ආසියාවේ ප්‍රථම හස්තියා ද ලෝකයේ දෙවන හස්තියා ද රාජා විය. කෙන්යාවේ ‘අහමඩ්’ හස්තියා එලෙස සම්මානයට පාත්‍ර වූ ලොව ප්‍රථමයා විය.

කෙන්යාවේ අහමඩ් හස්තියා (alamy.com)

1987 වසරේ ජනවාරි පළමු වැනිදා  මහ මගදී  බීමත් හමුදා නිලධාරියෙක් විසින් පදවන ලද රථයක ගැටුණ රාජා තුවාළ ලැබූ අතර ඇත් ගොව්වා එම ස්ථානයේ දී ම මියැදුණේය මේ සිදුවීම රාජාගේ පාද  ක්‍රමයෙන්  අප්‍රාණික කරවිය. එතැන් පටන් රාජාගේ සෞඛ්‍ය පිරිහුන අතර 1988 ඇසළ මස 16 වැනිදා රාජා සිය අවසන් සුසුම් වා තලයට මුසුකළේය.

මිය ගිය රාජා හස්තියාගේ සංරක්ෂණය කළ දතක් (අනුරාධ දුල්ලෑව විජේරත්න)

මියගිය හස්තියාට උපහාරයක් ලෙසින් රාජා ප්‍රතිනිර්මාණය කිරීම රජයේ පූර්ණ අනුග්‍රහය මත විශේෂඥයන් විසින් සිදුකළහ. කෞතුක වස්තුවක් ලෙසින් දළදා මාලිගාවේ සුවිශේෂි ගොඩනැගිල්ලක තැන්පත් කළ රාජාගේ ජීවමාන අනුරුව මහජන ප්‍රදර්ශනය කිරීම ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරායාගේ ප්‍රධානත්වයෙන් 1989 වසරේ සිට ආරම්භ කෙරිණි.

රාජාගේ රුව සටහන් කළ මුද්දරය.

සධාතුක කරඩුව ස්පර්ශ කළ හැක්කේ සිව්දෙනෙකුට පමණි. ඒ මල්වතු අස්ගිරි මහනායක නාහිමිවරුන් දෙපළ, දියවඩන නිලමේවරයාට හා කරඩුව වඩම්මන ඇත් රජුට පමණි. එවන් ගරුකටයුතු කාර්යයක නියැලුණ තවත් සුවිශේෂි හස්තීන් කිහිපදෙනෙක් පිළිබද මේ සම්බන්ධ දෙවන ලිපියෙන් ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

ඉතින් මේ සුවිශේෂි සද්ධන්තයින් ගැන ඔබ දන්නා කාරණා අපට කියන්නත් අමතක කරන්න එපා

මූලාශ්‍ර – wikipedia.org

dhamma.ifbcnet.org

දිවයින හා දිනමින පුවත්පත්

කවරයේ ඡායාරූපය – newsfirst.lk