Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇසළ පෙරහැරේ හස්තීන් – දෙවන කොටස

මහනුවර ඇසළ පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කළ හස්තීන් පිළිබඳ සටහනේ රාජා හස්තියා ගැන කතා කළ පළමු ලිපිය අපි මින් පෙර පළ කළා. මේ ලිපිය ඒ සටහනේම දිගුවක්.

මාලිගාවේ රාජා හස්තියාගෙන් අනතුරුව දළදා කරඩුව වැඩම කරලීමේ සුවිශේෂි කටයුත්තට උර දුන් මංගල හස්තීන් කිහිප දෙනෙක් ගැන තොරතුරු මේ ලිපියෙන් ඉදිරිපත් කරනවා.

හෙයියන්තුඩුවේ රාජා

හෙයියන්තුඩුවේ රාජා. (අනුරාධ දුල්ලෑව විජේරත්න)

රාජාගේ අවෑමෙන් උතුම් දළදා කරඩුව වැඩම කෙරෙන ගරු කටයුත්ත ස්ථිරවම භාර වන්නේ හෙයියන්තුඩුවේ රාජා ඇතාටයි. 1945 හම්බන්තොට කට්ටකඩුවන කැලයෙන් අල්ලා ගත් කුඩා අලිපැටවෙකු එවකට ඉංග්‍රීසි ආණ්ඩුව විසින් හම්බන්තොට කච්චේරියේ දී වෙන්දේසි කර තිබේ.ඉඩම් හිමි ධනවත් වැවිලිකරුවෙකු වූ  බියගම හෙයියන්තුඩුවේ විසූ විලියම් ගුණසේකර මහතා විසින් රු.10.500 කට මෙම අලිපැටවා මිලට ගෙන රාජා යන නම් තබා සිය පෞද්ගලික ඇත් පන්තියට එකතු කර ගත්තේය.

ඒ වන විට ඔහු සතුව ඇතුන් 14 දෙනෙක් සිටි බව කියැවේ. විලියම් ගුණසේකර මහතාගේ අභාවයෙන් පසුව හෙයියන්තුඩුවේ රාජාගේ වගකීම ඔහුගේ පුතු වන හෙන්රි ගුණසේකර මහතා වෙත පැවරේ.

විලියම් ගුණසේකර මහතා හා එම මැතිණිය. (අනුරාධ දුල්ලෑව විජේරත්න)

හෙයියන්තුඩු‍වේ ඇත් පන්තියේ සුවිශේෂිතමයා වූයේ රාජා හස්තියාය. එවකට ලංකාවේ දිගම දළ යුවළ සතුව තිබුණේත් හෙයියන්තුඩුවේ රාජාටය. එය දිගින් අඩි 7 ඉක්ම විය.  මංගල සලකුණු ‍පෙන්නුම් කළ රාජාට මාලිගාවේ රාජා හස්තියාගේ වියෝවත් සමග සධාතුක කරඩුව වැඩම කරලීමේ භාරධූර වගකීම හිමිවේ.

පරිණත හස්තියෙක් වූ හෙයියන්තුඩුවේ රාජා 1989 වසරේ සිට දශකයක පමණ කාලයක් දළඳා කරඩුව වැඩම කරමින් පෙරහැර ඉතිහාසයේ සිය නම සනිටුහන් කළේය.

කෞතුකාගාරයේ තබා ඇති හෙයියන්තුඩුවේ රාජාගේ සැකිල්ල. (අනුරාධ දුල්ලෑව විජේරත්න)

2002  වසරේ මිය යන හෙයියන්තුඩුවේ රාජාගේ අස්ථි සැකිල්ල මේ වන විට කොළඹ ජාතික කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තබා ඇත. මෙහි දී සිහිපත් කළ යුතු විශේෂ කරුණක් ඇත.

හෙන්රි ගුණසේකර මහතා. (අනුරාධ දුල්ලෑව විජේරත්න)

රාජා හස්තියාගේ හිමිකරු වූ හෙන්රි ගුණසේකර මහතා වෙත ජපන් රජය විශාල මුදලක් ගෙවා රාජාගේ සැකිල්ල ජපානය වෙත ලබා ගන්නට උත්සාහ කළේය. එහෙත් හෙන්රි ගුණසේකර මහතා එකී යෝජනාව ප්‍රතික්ෂේප කරමින් කිසිදු ප්‍රතිලාභයකින් තොරව රාජා කෞතුකාගාරය වෙත භාර දී රාජාගේ උරුමය මෙරට  පොදු ජනතාව වෙත පවරා දුන්නේය.

මිල්ලන්ගොඩ රාජා

මිල්ලන්ගොඩ හස්තිරාජයා. (pinimg.com)

එවකට තරුණ වියේ සිටි මිල්ලන්ගොඩ අප්පුහාමි මහතාට තිබුණෙ අලි ඇතුන් ගායකි. වනගත ප්‍රදේශන් හී සැරිසරමින් අලි ඇතුන් ඇල්ලීමට ඔහු එකළ රුසියෙකි. තරුණ මිල්ලන්ගොඩට සිය ජීවිතයේ සුවිශේෂි ගමන් සගයා මුණ ගැහෙන්නේ 1946 වසරේ ආනමඩුවේ වැව්පිටිය පිටුපසිනි.

වෘත්තීමය ඇතුන් අල්ලන්නෙකුගෙන් ඔහු මේ කුඩා ඇත් පැටවා මිලට ගන්නා විට ඇත් පැටියාට අවුරුදු  5 කට නොවැඩි නැත. එතැන් පටන් කෑගල්ල මොලගොඩ මිල්ලන්ගොඩ ඇත්ගාලේ සෙවණ ලබන මේ ඇත් පැටවා මිල්ලන්ගොඩ රාජා ලෙසින් නාමකරණය ලැබීය.

මිල්ලන්ගොඩ රාලහාමි. (sundaytimes.lk)

ආසියාවේ හීලෑ අතුන් අතර දිගුම දළ යුග්මය හිමිව සිටි මිල්ලන්ගොඩ රාජා වසර 40 කට ආසන්න කාලපරිච්ඡේදයක් උඩරට පෙරහැරේ මංගල හස්තිරාජයා ලෙස කටයුතු කළේය. පෙරහැර සමයේ කීකරු හස්තිරාජයෙකු ලෙස සිය වගකීම් මැනවින් ඉටුකළ මිල්ලන්ගොඩ හස්තිරාජයා සිය ඇත්ගාලයේ දී හිතුවක්කාරයෙකු වූ  බව රාජාගේ හිමිකරු වූ මිල්ලන්ගොඩ රාලහාමි සඳහන් කරයි.

විශේෂයෙන්ම ඇත්ගොව්වන් ගේ නියෝග පිළිපදින්නට මිල්ලන්ගොඩ රාජා මැලිකමක් දැක්වුවද මිල්ලන්ගොඩ රාලහාමි ඉදිරියේ දී කුඩා දරුවෙකු සේ කීකරු වූ බව කියැවේ.

සංරක්ෂණය කළ මිල්ලන්ගොඩගොඩ රජාගේ අනුරුව. (beyondchasingdreams.com)

ස්වභාවික හේතූන් ‍මත මිල්ලන්ගොඩ රාජා මිය යන විට වයස අවුරුදු 70 ඉක්මවා තිබුණේය. 2011 ජූලි මස මිල්ලන්ගොඩ ඇත් රජු මෙලොවින් සමුගත් නමුදු සංරක්ෂණය කළ රාජාගේ සිරුර මොළගොඩ මිල්ලන්ගොඩ වලව්වට යාබඳ විශේෂ පරිශ්‍රයක මහජන ප්‍රදර්ශනයට විවෘත කර තිබේ.

නැදුන්ගමුවේ රාජා

දළදා පුදට යන නැදුන්ගමුවේ රාජා. (ada.lk)

සධාතුක කරඩුව වැඩම කරවන වර්තමාන මංගල හස්තිරාජයා වන්නේ නැදුන්ගමුවේ රාජාය. මීට වසර 60කට  පමණ ඉහතදී රාජා නැව් මගින් ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ සිටය. ඒ ත්‍යාගයක් ලෙසිනි.

උමතු රෝගීන් සුවකරන නීලම්මහර වෙදපරපුරේ පිළියන්දළ වෙදහාමුදුරුවෝ වරක් ඉන්දියාවේ මහරාජාවරයෙකුගේ ඥාතියෙකුට තිබූ උමතු රෝගයක් නිට්ටාවට සුව කරන ලදී. ඉන් අතිශය ප්‍රීතියට පත් මහරාජා හාමුදුරුවන් වහන්සේට ඇත් පැටව් දෙදෙනෙක් ත්‍යාග ලෙස පිරිනැමුවේය.  නැදුම්ගමුවේ රාජා ඉන් එක් පැටවෙක් වූ අතර අනෙකා ගංගාරාජයේ සිටි නවම් රාජාය.

නැදුන්ගමුවේ රාජාගේ වත්මන් හිමිකරු හර්ෂ ධර්මවිජය මහතා. (ලංකාදීප)

වසර පහළොවක් පමණ වෙදහාමුදුරුවන් ඇසුරේ සිටි මේ ඇත්පැටව් දෙදෙනා පසුව හදා වඩා ගැනීමේ අපහසුතාවය නිසා නීලම්මහර වෙදහාමුදුරුටන්ට වෙනත් පාර්ශවයන් වෙත භාර දීමට සිදුවිය.

හොරණ ප්‍රදේශයේ වලව්වක භාරයේ සිටි රාජා කඩුවෙල නැඳුම්ගමුව වෙදැදුරු ශිරෝමනී පණ්ඩිත ධර්මවිජය මහතා විසින් 1978 වසරේදී රු.75.000 ක මුදලකට මිලට ගෙන තමන් සතු කරගත්තේය. එවකට පටන් නැඳුන්ගමුවේ රාජා ලෙසින් හැඳින්වූ මෙම හස්තිරාජායා දළදා මාලිගාවේ පෙරහැරට සම්බන්ධ වන්නේ 2005 වසරේ සිටය. වසර 11 ක කාලපරිඡේදයක් නැදුන් රාජා සිය රාජකාරිය සන්සුන්ව තේජවන්තව අකුරටම ඉටුකළේය. පෙරහැර සංචාරයේ දී මද කිපුණහොත් රාජා ඉතා සන්සුන්ව සධාතුක කරඩුව වැඩමකරන්නේ කිසිදු වෙනසක් නොපෙන්වමිනි.

නැදුන් රාජා. (i.ytimg.com)

ආසියාවේ හීලෑ ඇතුන්ගේ විශාලතම හස්තිරාජයා වන්නේ නැදුන් රාජාය. පෙරහැර කර්තව්‍ය උදෙසා පයින් ගමන් කරනා ලංකාවේ එකම හස්තියා හා හීලෑ ඇතෙකු වෙනුවෙන් රාජ්‍ය ආරක්ෂාව ලබා දෙන ලොව එකම හස්තිරාජයා වන්නේ ද රාජා ඇතා වීම සුවිශේෂි කාරණයකි.

මංගල ලකුණූ පිරි නැදුන් රාජා. (Picture.lk)

තවත් මංගල හස්තීන්

දළඳා මාලිගාවේ ඉන්දි රාජා. (pinterest.com)

උඩරට පෙරහැර ඉතිහාසයේ කෙටි කාලපරිඡේද සඳහා කරඩුව වැඩම කරලීමේ දුර්ලභ අවස්ථාවට හිමිකම් කී තවත් මංගල හස්තීහු පිරිසක් වේ.

සධාතුක කරඩුව වැඩම කරන වන ඇතා හදිසියේ අසනීප වීම, මියයාම, වෙහෙසට පත්වීම ආදී කාරණා හේතුවෙන් වෙනත් හස්තීන්ට කරඩුව වැඩම කිරීමේ අවස්ථාව සැලසේ.

වෑවලදෙණියේ රාජා. (newsfirst.lk)

ඒ අනුව රත්නපුර සමන් දේවාලේ විජයන්ත ඇතු මාලිගාවේ රාජා ඇතා මිය යාමෙන් අනතුරුව කෙටි කාලපරිඡේදයකට පෙරහැර කරඩුව වැඩමෙව්වේය.  වෑවලදෙණියේ ඇතා මිය යන තෙක් 15 වරක් පමණ දළදා කරඩුව වැඩම කොට තිබේ.

ගංගාරාමයේ නවම් රාජා. (wikimedia.org)

ගංගාරාමයේ නවම් රාජා හා රුවන් රාජා ද දළඳා පෙරහැරේ තේජශ්‍රීය තහවුරු කරමින් සධාතුක කරඩුව වැඩම කරලීමට අවස්ථාව හිමිකර ගත්තෝය. කරතගම වාසනා, ඉන්දු රාජා වර්තමානයේ සධාතුක කරඩුව වැඩමකිරීමට සුදුසුකම් ලැබුවෝ වෙති. ඉන්දු රාජා ඉන්දියාවෙන් දළදා මාලිගාව ලද පරිත්‍යාගයක් වන අතර කතරගම දේවාලයට අයත් වාසනා දේශීය ඇත් රජෙකි.

කතරගම වාසනා. (pinimg.com)

පෙරහැර හස්තීන්ගේ සේවය පිළිබඳ මේ සටහනේ නිශ්චිත දිනවකවානු සඳහන් කිරීම දුෂ්කර වන්නේ ඒ පිළිබඳ දීර්ඝ ලිඛිත ඉතිහාසයක් හමුනොවීම හා දින වකවානු පිළිබඳ එකිනෙකට වෙනස් මතවාදයන් පැවතීම හේතුවෙනි.

මේ හස්තිරාජ  වංශය ගැන ඔබේ හැඟීම් මොනවගේද? පහළින් ඒ ගැන අපිට කියලා යන්නත් අමතක කරන්න එපා

මූලාශ්‍ර – ලංකාදීප හා දිනමිණ පුවත්පත්

         – www.wikipedia.org

         – දළඳා වරුණ

කවරයේ ඡායාරූපය – ceylonsunrisedaytours.com

Related Articles