Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කෙට්ටු වෙන්න බොන ‘ග්‍රීන් ටී’

යහපත් සෞඛ්‍යයක් පවත්වා ගන්න බොහෝ දෙනා ග්‍රීන් ටී, එහෙමත් නැත්නම් හරිත තේ පානය කරනවා. මෙහි මව් රට චීනය වුවත් වර්තමානයේදී වෙනත් බොහෝ ආසියාතික රටවලත් හරිත තේ නිෂ්පාදනය කරනවා. හරිත තේ චීනයේ වගේම ජපානයේත්  නිවෙස්වල නිරන්තරයෙන් භාවිත වෙන ජනප්‍රිය පානයක්.

පොදුවේ ග්‍රීන් ටී කිව්වාට මේවායේ විශාල විවිධත්වයක් දකින්නත් පුළුවන්. වගා කරන ක්‍රම, තේ දළු නෙලන කාලය සහ තේ නිෂ්පාදන ක්‍රියාවලිය අනුව මේවා එකිනෙකෙන් වෙනස් වෙනවා. අළුත් තේ දළු නෙලා ගැනීමෙන් පසුව ඒවායේ එන්සයිම ක්‍රියාකාරීත්වය නවත්වා, පැසීමේ ක්‍රියාවලියට බාධා කිරීමට  හුමාලය මගින් තැම්බීමට ලක් කරලා තමයි ග්‍රීන් ටී ලබා ගන්නේ.

www.nbcnews.com

ඉතින් හරිත තේ පානය කළාට මේ තේ වර්ග ගැන ඔබ දැනුවත්ද කියලා බලන්න.

සෙන්චා – Sencha

සෙන්චා (www.seriouseats.com)

මෙය හරිත තේ අතරින් බොහෝ දෙනෙක් දන්නා, නිතරම පාවිච්චි වෙන වර්ගයයි. මෙය සාමාන්‍ය නිෂ්පාදන ක්‍රියාවලියක් යටතේ නිපදවෙනවා. මෙහිදී මුලින් සඳහන් කළා වගේ අළුත් තේ දළු ඉහළ උෂ්ණත්වයකට ලක් කර කුඩා කැබලි කිරීමෙන් පසු තේ කුඩු බවට පත් කරනවා. මෙම වර්ගයේ කහට රසය සාපේක්ෂව වැඩියි.

ෆියුකමශි සෙන්චා – Fukamushi Sencha

ෆියුකමශි සෙන්චා (cdn.shopify.com)

‘ෆියුකමශි සෙන්චා’ නැතිනම් ‘ෆියුකමශි රයොකුචා’ ලෙස හැඳින්වෙන මෙම වර්ගය නිෂ්පාදනයේදී සෙන්චා තේ වගේ දෙගුණයක පමණ කාලයක් ඉහළ උෂ්ණත්වයට බඳුන් කරනවා. “දිගු වේලාවක් තිස්සේ තම්බන ලද” යන්න ෆියුකමශි යන්නෙන් අදහස් කරනවා. තද කොළ පැහැති මෙම තේ වර්ගයෙන් කොළ ගන්ධයක් වහනය නොවන අතර අධික කහට රසයෙනුත් තොරයි. දිගු කාලයක් තිස්සේ උෂ්ණත්වයට ලක් වීම නිසා මේවා ඉතා තුනී ස්වභාවයට පත් වෙනවා. ෆියුකමශි සෙන්චාවල විශේෂත්වය වන්නේ තේ කොළයේ අඩංගු ජලයේ දිය නොවන බොහෝ සංඝටක පවා ශරීරයට අවශෝෂණය කරගැනීමට ඉන් ඉඩ සැලසීමයි.

ග්යූකුරෝ – Gyokuro

ග්යූකුරෝ (www.steenbergs.co.uk)

තේ දළු නෙලීමට පෙර දින 20ක පමණ කාලයක් ග්යූකුරෝ ශාක, පන් හෝ රෙදි වැස්මකින් ආවරණය කර තබනවා. අවම ආලෝකය යටතේ අළුත් රිකිලි වැඩෙන නිසා ඇමයිනෝ අම්ල වලින් කැටෙචින් උත්පාදනය යටපත් වෙනවා. මෙහි ප්‍රතිඵලය ලෙස අධික කහට ගතිය අඩු, උසස් රසයකින් යුතු තේ නිපදවා ගත හැකියි. ග්යූකුරෝ තේ, නෝරි මුහුදු පැළෑටියේ සුවඳින් යුතු වීම එම තේ වර්ගයට පමණක් අනන්‍ය ලක්ෂණයක්.

ක්‍යබුසෙකා – Kyabusecha

ක්‍යබුසෙකා (cdn.shopify.com)

මෙම වර්ගයත් දළු නෙලීමට පෙර ආවරණය කිරීම සිදු කරනවා. නමුත් ඒ සතියක් වැනි කාලයක් පමණයි. මෙම තේ වර්ගය තද කොළ පැහැති වන අතර අපූරු රසයකින්ද යුක්තයි. ඒ වගේම සෙන්චා තේ වලට වඩා කොළ ගන්ධයද අඩුයි.

ටෙන්චා – Tencha

මෙය ග්යූකුරෝ තේ වලට සමාන අතර මැචා (Matcha) නම් තේ වර්ගය සමඟ මිශ්‍ර කර භාවිතයට ගැනෙනවා. මෙම වර්ගයත් තේ දළු නෙලීමට පෙර පන් හෝ රෙදි වැස්මකින් ආවරණය කර තබනවා. උෂ්ණත්වයට ලක් කිරීමෙන් පසු මේවා හැකිලීමකින් තොරව වේලනු ලබනවා.

මැචා – Matcha

මැචා (www.ilovematchatea.co.uk)

මෙය ටෙන්චා තේ සමඟ මිශ්‍ර කරන අනෙක් තේ වර්ගයයි. තද පැහැති මැචා, නැත්නම් කොයිචා තේ ජපානයේ සාම්ප්‍රදායික තේ උත්සවයේදී භාවිත කරනවා. මෙය පවුඩර් වැනි කුඩක් ලෙස නිපදවන නිසා දිය කිරීමෙන් පසු තේ කුඩු ඉතිරි වෙන්නේ නැහැ.

ජෙන්මයිකා – Genmaicha

ජෙන්මයිකා (cdn.shopify.com)

ජෙන්මයිකා යන නම දුඹුරු සහල් සඳහා වන ජපන් වචනයෙන් බිඳී ආවක්. කුරුට්ට සහිත දුඹුරු සහල් බැද සෙන්චා හෝ වෙනත් තේ වර්ගයක් සමඟ 1:1 අනුපාතයට මිශ්‍ර කරනවා. ජෙන්මයිකා තේවල අඩංගු වන කැෆේන් ප්‍රමාණය ඉතා අඩු නිසා කුඩා දරුවන්ට සහ මහළු පුද්ගලයන්ට උචිතයි.

හොජිකා – Hojicha

හොජිකා (wordpress.com)

සෙන්චා සහ අනෙක් හරිත තේ වර්ග පිළිස්සීමෙන් හොජිකා තේ නිෂ්පාදනය කරනවා. තේ දළු පිළිස්සුම් කබලක බහා සෙල්සියස් අංශක 200ක පමණ උෂ්ණත්වයකට ලක් කරන අතර ඉන්පසු ඉතා ඉක්මණින්ම සිසිල් කරනවා. මෙයින් තේ වලට සුවිශේෂ වූ පිළිස්සුණු ගන්ධයක් ලැබෙන අතර තිත්ත රසයද අඩුයි. පිළිස්සීම නිසා කැෆේන් ඌර්ධවපාතනයට ලක් වෙනවා. (කාමර උෂ්ණත්වයේ ඝණ ලෙස පවතින ද්‍රව්‍ය, ද්‍රව තත්ත්වයට පත් නොවී කෙලින්ම වායු බවට පත්වීම ඌර්ධවපාතනය ලෙස හැඳින්වෙනවා.) හොජිකා තේවල කහට රසය අඩු මේ නිසයි. කුඩා දරුවන්ට සහ මහළු පුද්ගලයන්ට මේ තේ වර්ගයත් බොහෝ සුදුසුයි.

www.nbcnews.com

ෂිංචා – Shincha

තේ දළු නෙලන කාලයේදී මුලින්ම දළු නෙලන්නේ ෂිංචා තේ පැළ වලිනුයි. ෂිංචා යන්නෙන් වසරේ මුල්ම අස්වනු නෙලීම යන්න අදහස් වෙනවා. අයිෂිබන්චා ලෙස හඳුන්වන්නේත් මෙම වර්ගයමයි. ශීත කාලය තුළදී තේ පඳුරු වලට අළුත් අංකුර සහ පත්‍ර වර්ධනයට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය යොදනු ලබනවා. ෂිංචා බවට පත් වන්නේ මේ අළුත් තේ දළුයි. ජපානයේ සාම්ප්‍රදායික දින දර්ශනයට අනුව වසන්ත ඍතුවේ පළමු දිනයෙන් පසු එළඹෙන 88වැනි දිනයේදී (පෙබරවාරි 4) නෙලා ගන්නා ලද තේ දළු වලින් සාදා ගත් තේ යම් අයෙක් පානය කළොත්, ඔහුට වසර පුරාම වාසනාව, යහපත් සෞඛ්‍යය සහ ඉෂ්ට දේවතාවන්ගේ ආශිර්වාදය ලැබෙන බවට විශ්වාසයක් ජනයා අතර පවතිනවා.

ෂිංචා වල කැෆේන් සහ කැටෙචින් අඩංගු වන්නේ ඉතා අඩු ප්‍රතිශතයකින්. ඒ නිසා මෙහි අධික කහට රසයක් නැහැ. අපූරු සුවඳකින් සහ රසයකින් යුතු ෂිංචා හරිත තේ ඇමයිනෝ අම්ල රැසකින් පොහොසත්.

බයි ලුවොචන් – Bi Lo Chun

චීනයේ ඉතාම ජනප්‍රිය මෙම තේ වර්ගය Pi Lo Chun සහ Snail Spring ලෙසත් හැඳින්වෙනවා. සෙල්සියස් අංශක 100ට වඩා අඩු උෂ්ණත්වයක තම්බා ගැනීමෙන් මෙහි නියම රසය ලබා ගත හැකියි.

කුකීචා – Kukicha

කුකීචා (www.vilaviniteca.es)

කැෆේන් ප්‍රමාණය අඩු ජපන් හරිත තේ වර්ගයක් වන කුකීචා නිෂ්පාදනය කරන්නේ තේ පැළයේ රිකිලි යොදාගෙනයි. සෙන්චා සහ ග්යූකුරෝ තේ වර්ග දෙකෙහි අතරමැදි රසයකින් යුක්ත මෙය සෙල්සියස් අංශක 70 – 80 අතර උෂ්ණත්වයෙන් යුතු ජලයේ තම්බා ගැනීමෙන් නියම රසය ලබාගත හැකියි. එය වෙනත් යුෂ වර්ග සමඟ මිශ්‍ර කර පානය කිරීමත් සිදු වෙනවා.

පිච්චමල් සුවඳැති හරිත තේ

මෙය හුඟක් දෙනා අතර ජනප්‍රිය පානයක්. ඒත් කෘතීම රසකාරක සහ බාල වර්ගයේ තේ යොදාගෙන නිෂ්පාදනය වන වර්ගයක් මිලට ගත්තොත් පිච්චමල් සුවඳ තියෙන විලවුන් වර්ගයක් බොනවා වගේ හැඟීමක් ඔබට දැනේවි. උසස් තත්ත්වයේ තේ නිපදවන්නේ තේ දළු ස්වභාවිකව පිච්ච මල් වලින් සුවඳ කැවීමෙනුයි. පිච්චමල් සුවඳ වගේම මේවා අපූරු රසයකින්ද යුක්තයි.

කවරයේ පින්තූරය – wallpapercave.com

මූලාශ්‍ර:

  1. www.itoen.co.jp
  2. www.thespruce.com
  3. www.wikipedia.org

Related Articles