අපි මේ ගෙවන්නේ ස්මාට් ෆෝන්, ගූග්ල් ග්ලාස් වැනි අධි තාත්වික තාක්ෂනය මිනිස් බුද්ධිය සමඟ සටන් වදින තොරතුරු තාක්ෂණයේ තවත් එක් යුගයකයි. මේ පරම්පරාවට අයිති දරුවන්ට ගූගල් වල්ට පෙර අවධිය ගල් යුගයක් ලෙස පෙනෙන්න පුළුවන්. අන්තර්ජාලය නොමැතිව, පුස්තකාල පොත් පත් පරිශීලනය කරමින්, සතිපතා සඟරා පුවත් පත් ආදිය කියවා අපේ අම්මලා තාත්තලා දැනුම එක් රැස් කර ගත්තා.

තාක්ෂණවේදයේ ප්‍රගතිය හා ප්‍රගමනයත් සමඟම වර්තමානයේ අපේ රසාස්වාදයේ රටාවන් ද වෙනසකට භාජනය වෙමින් පවතින බව ඔබට හැඟෙනු ඇත. රේඩියෝ සිලෝන් සිට ’79යේ ටෙලිවිෂනයේ ආගමනයත් සමඟම ශ්‍රී ලාංකික නිවෙස්වල ආලින්දයේ රූප පෙට්ටියට සුවිශේෂි තැනක් හිමිවුණි. 1982 දී නිදහස්‌ ආර්ථිකය ඇති වීමත් සමඟම ජපාන රජයේ පරිත්‍යාගයක් ලෙස ජාතික රුපවාහිනිය අපට ලැබුණි. රටේ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු මෙන්ම කෘෂිකාර්මික සහ කාර්මික අංශයේ වෘතිකයන්ගේ දැනූම වර්ධනය කිරීම මෙම පරිත්‍යාගයේ මුඛ්‍ය අරමුණ වුණි. රට පුරා විදුලි බලය නොමැතිවීමත්, ජනතාවගේ මාධ්‍ය සාක්ෂරතාව පහල අගයක තිබීමත් නිසා විධිමත් අධ්‍යාපනික මෙවලමක් ලෙස ජනප්‍රිය වීමට ටෙලිවිෂනයට යම් කාලයක් ගත වුණා. 90 දශකය වන විට රූපවාහිනිය ප්‍රබල මාධ්‍ය මෙවලමක් බවට පත් වුණේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසයේ සුවිශේෂි යුගයක නව පිටුවක් පෙරළමින්.

නූතන ලෝකයේ රූපවාහිනිය සැලකෙන්නේ තොරතුරු හා විනෝදාත්මක මාධ්‍යයක් ලෙසයි. නමුත් මින් වසර කිහිපයට පමණ පෙර ටෙලිවිෂනය රටේ ජනතාවගේ අවශ්‍යතා බොහෝමයක් වෙනුවෙන් පෙනී සිටියා. තිස් පස් වසරකට වඩා දිග ඇරුණු යුධමය වාතාවරණයකදී, රටේ වාතාවරණය සහ ආරක්ෂිත තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට රාජ්‍ය මාධ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය සිදු කල මෙහෙවර අපට අමතක කල නොහැකියි. ඒ කාලයේ බ්‍රේකින්ග් නිව්ස් ඇලට්ස් අපට ලැබුණේ නැත. අද මෙන් පවුලේ සියලු දෙනාටම ජංගම දුරකතනයක් තිබුණේ නැත. නමුත් ජනමාධ්‍යයක් ලෙස රූපවාහිනිය ඒ වකවානුවේ ඉතා වගකීමකින් යුක්තව කටයුතු කළේය. දෙස් විදෙස් දේශපාලනික පුවත් විචාරයට අමතරව දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහල නැංවීමෙහි ලා විශාල සේවයක් රූපවාහිනිය අතින් ඉටුවුණි. එකල තිර ගත වුණු ටෙලි නාට්‍යයන්, වාර්තා වැඩසටහන්, සමජාජ කථිකාවන් වල ප්‍රමිතිය ඉතා උසස් ගණයක පැවතුණි. අද අප සුදානම් වන්නේ 90 දශකයේ සහ 2000 මුල් භාගයේ ලොකු කුඩා කාගෙත් දැනුම, රසාස්වාදය සඳහා කැපවුණු වැඩසටහන් කිහිපයක නොමැකෙන මතකයින් නැවතත් ස්මරණය කිරීමකටයි.

1. නමයයි පහ

නමයයි පහ

හේම නලීන් කරුණාරත්න කියන්නේ ප්‍රේක්ෂක ජනතාවගේ සිත් දිනාගත් ජනප්‍රිය නිවේදකයෙක්. දැන් ඒ මහතා හේරිටේජ් ටීවි හි ප්‍රධානියා ලෙස කටයුතු කරනවා. ඉස්සර ඉරිදා 8:30 ට ජාතික රූපවාහිනියේ යන ටෙලි නාට්‍යය විතරක් බලලා අපි නින්දට යන්නේ නැහැ. හරියටම නමයයි පහට පටන් ගන්න හේම නලින්ගේ “නමයයි පහ” වැඩසටහන බලන්න පවුලේ හැමෝමෙ ආලින්දයට එකතු වෙනවා. මැලේසියාව, ජර්මනිය හා එක්සත් ජනපදයේ ලන්ඩන් නගරයේ ජන මාධ්‍ය ක්ෂේත්‍රය පිලිබඳ වැඩි දුර අධ්‍යාපනය ලැබූ හේම නලින් ‘Beyond 2000’ , ‘Lonely Planet ‘ වැනි විදෙස් වැඩසටහන් වලින් ආභාෂය ලබා ගෙන දේශීය මුහුණ වරකින් “නමයයි පහ” යන වාර්තා වැඩසටහන අප වෙත ගෙන ආවේ. නිවේදකයකුට වඩා දැවැන්ත මෙහෙවරක් රූපවාහිනී ක්‍ෂේත්‍රය තුළ ඉටු කළ අයෙක් වන හේම නලින් කරුණාරත්න මහතා සොබා සෞන්දර්යයට බොහොම ලැදි, සරල චරිතයක් ලෙස රසිකයන් අතර ප්‍රසිද්ධ වුණා.

2. කදමල්ල

අරුන් ඩයස් බණ්ඩාරනායක කිවූ විට අපේ සවනට නැගෙන්නේ ඔහුගේ ගාම්භීර කටහඬයි. වෘත්තියෙන් නිවේදකයකු වන මොහු ගුවන් විදුලියේ, රූපවාහිනියේ සහ වේදිකාවේ එක සේ තම භාෂා නිපුණත්වය පෙන්වූවෙක්. සතියේ බදාදා දිනයන්හි සවස තිරගත වූ කදමල්ල ඔබට මතක ඇති. කදමල්ල පටන් ගන්නේ අව් කණ්ණාඩි පැළඳූ අරුන් ඩයස් බණ්ඩාරණායකගේ රුවක් තිරයේ දිස් වෙන දර්ශනයකිනි. තමාට ආවේණික වූ ශෛල්‍යයකින් දෙස්, විදෙස් තොරතුරු ඉතා සිත්ගන්නා සුළු අන්දමට ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කරන්නට මොහුට දක්ෂතාවක් තිබිණි. දැනුම් පිපාසිත ශ්‍රීලාංකික රසිකයින්ගේ සිත් ඇද බැද ගත් කද මල්ල පසු කාලයේදි අට පට්ටම වැනි තවත් අධ්‍යාපනික වටිනාකමකින් යුත් විනොදාත්මක වැඩ සටහන් බිහි වීම සඳහා ඉවහල් විය.

3. අටපට්ටම

අටපට්ටම (itn.lk)

දඩි බිඩිස් සෑම බදාදාවකම රාත්‍රී 7.30 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අටපට්ටමත් සමඟ අපේ ආලින්දයට ගොඩ වදින්නේ ලෝකයේ අරුම පුදුම සිදුවීම් රැසක් අරගෙන. ලෝක සවාරි , ගිනස් වාර්තා, විස්මිත නිර්මාණ සහ සාමාන්‍ය මිනිසුන්ගේ අසාමාන්ය විජ්ජා ඇතුලු ලෝකයේ කාගෙත් නෙත නොදුටු දසුන් බොහෝමයක් ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්නට දඩි බිඩිස් හෙවත් හසන්ත මහත්තයා ඇප කැප වෙනවා. අටපට්ටමට ඇති රසික ප්‍රතිචාරය හරි ඉහළයි. දිවයිනේ අංක එකේ ජනප්‍රියතම වැඩසටහන ලෙස වසරක් පාසා මේ වැඩසටහන කිරුළ පළඳින්නේත්  මෙම වැඩසටහනේ ඇති සුවිශේෂි බව තව තවත් තහවුරු කරමින්.

4. ඉරිදා – ශනිදා ආයුබෝවන්/3-5 සැඳෑ නිම්නය

ඉරිදා – ශනිදා ආයුබෝවන්/3-5 සැඳෑ නිම්නය

“සියලු දනහට වාසනාවන්, ආයුබෝවන් ආයුබෝවන්. ටට්ට ටා..….”

සති අන්තයේ උදෑසනින්ම ජාතික රූපවාහිනියෙන් ඇසුණු  මේ ගී තනුව ඔබට මතක ඇති. බුද්ධදාස විතානාරච්චි , ජැක්සන් ඇන්තනි වැනි කලාකරුවන් නිවේදකයෙකයින් ලෙස කරලියට එන්නේ ආයුබෝවන් වැඩසටහන හරහාය. මෙහි සංස්කෘතික හා සමාජයීය වැදගත්කමක් ඇති හරවත් විෂයන් ඒ ඒ ක්ෂේත්‍රයන් හි ප්‍රවීණයන් සමඟ සාකච්ඡා කරනු ලබනවා. නුග සෙවණ, සතියේ දවස්වල විකාශය වුණු 3-5 සැඳෑ නිම්නය පාසල් දරුවන්ට, ගෘහණියන් ඇතුළු අනෙකුත් වැඩිහිටියන්ට දැනුම් සම්භාරයක් එක් කලා.

5. දොරමඩලාව

දොරමඩලාව

හසන්ත හෙට්ටිආරච්චි සම්පාදනය කරපු “දොරමඬලාව සංවාදාත්මක හර සරණිය” මෑත ටෙලිවිෂන් ඉතිහාසයේ බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වූ ජනප්‍රිය සංවාදාත්මක වැඩසටහනක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ජේ. ආර්. පී සූරියප්පෙරුම මහත්මයා දොරමඬලාව මුල් කාලේ සංවාද කිහිපයකට සහභාගි උනා ඔබට මතක ඇති .”මෙන්න මේකයි, හසන්ත මහත්තයෝ” කියන වැකිය සමාජයේ ප්‍රචලිත උනේ ඔන්න ඔය අවධියේදියි.   

“සිරිලක ඇසිදිසි සරසවි පින්බිම – දොරින් දොරට දොරමඩලාවයි

මාගේ දේශය අවධි කරන හඬ – දොරින් දොරට දොරමඩලාවයි”

දොරමඬලාව තේමා ගීතයේ සඳහන් වනවා සේම මෙම සංවාදාත්මක වැඩසටහනේ “ආගම”, “විද්‍යාව” සහ “කලාව” යන කුළුණු ත්‍රිත්වය මත පදනම්ව අර්ථවත්, විචාරශීලි සහ වින්දනාත්මක කතිකාවන් තෝරාගත් විද්වත් මණ්ඩලයක් සමඟ සාක්ච්ඡා කරනු ලබයි. නොයෙකුත් සම්මාන, ඇගයුම් වලට පාත්‍ර වූ දොරමඬලාව ලොකු කුඩා කාටත් එකව නැරඹිය හැකි වැඩසටහනක් ලෙස තවමත් ප්‍රසිද්ධය. එමෙන්ම එය නැරඹීමෙන් අපට උගත හැකි දෑ බොහෝය.

6. මහා සිංහලේ වංශ කතාව

මහා සිංහලේ වංශ කතාව

පූජ්‍ය එල්ලාවල මේදානන්ද හිමි, ඡේ. ආර්. පී. සූරියප්පෙරුම ශූරීන්, මහාචාර්ය මැන්දිස් රෝහණදීර, මහාචාර්ය ලෝනා දේවරාජ ප්‍රමුඛ විද්‍යාර්ථීන් මණ්ඩලයක් සහභාගි වූ මහා සිංහලේ වංශ කතාව මෙහෙයවූයේ ජැක්සන් ඇන්තනි නම් විශිෂ්ට කලාකරුවායි. විශ්ව විද්‍යාලයේ සිසුන්ට මෙන්ම පාසල් අධ්‍යාපනය ලබන වයසේ සිට ඉතිහාසය පිළිබඳ රුචියක් දක්වන ඕනෑම කෙනෙකු නොවරදවාම නැරඹූ මෙම සංවාදාත්මක වැඩසටහන ස්වර්ණවාහිනියේ තිරගත විය. ප්‍රතිභාපූර්ණ විද්වතුන්ගේ අදහස් බෙදා හදා ගත් විචාරශීලි වැඩසටහනක් වූ මෙය රසිකයින්ගේ සිත් ඇද ගැනීමට සමත් වූයේ ආශ්චර්යජනක ලෙස එය මෙහෙයවූ ජැක්සන් ඇන්තනී ගේ භාෂා නිපුණත්වය සහ පුළුල් දැනුම් සම්භාරය නිසාවෙන් බව පැවසුවොත් ඔබත් ඊට එකඟ වනු ඇත.

7. සලංහන්තේ

සලංහන්තේ (silumina.lk)

“සලංහන්තේ” කියන්නේ මීට වසර දහයකට පමණ පෙර ලෙසතෝ රටේ තිරගත කල සංචාරක වැඩසටහනකි. රිමෙන්සි ප්‍රනාන්දු නම් ටෙලි නිෂ්පාදකවරයාගේ මැදිහත් වීමෙන් සහ ජැක්සන් ඇන්තනි නම් නිර්මාණ ශිල්පියාගේ මෙහයවීමෙන් නිෂ්පාදනය කල මෙම වාර්තා වැඩසටහන බොහෝ දෙනෙකු නැරඹූහ. පහත දැක්වෙන්නේ 2011,ජූලි 31 වන දින සිළුමිණ සිත්මල්යායේ පලවූ ලිපියක් ඇසුරෙන් ලබා ගත් ලෙසතෝ රටේ ජැක්සන්ගේ “සලංහන්තේ” අත්දැකීම් බිඳකි.

“ලෙසතෝවේ මුඩු පඳුරු තුළ වසනා ගිගිරි පොළඟුන්ට, කළු නයින්ට අසු නොවී සිටීමට වඩා අභිනවයෙන් සුපරීක්ෂාකාරී විය යුත්තේ මේ වියළි කඳු හෙල් අතර සිට විෂ විදින සර්ප විශේෂයක් වාසය කරන බැවින් ය. උන් සතුරාට ඈත සිට විෂ විදියි. මේ විෂ ශරීරය ස්පර්ශ වූ සැණින් රෝගියා මිය යයි.”

“වරක් මම එක්තරා ගම්මානයකට ගියෙමි. ඒ ගමේ නම වනාහී “මිනී කන්නන්ගේ දේශය’ යන සිංහල තේරුම ඇති සසතෝ වචනයයි. රටකට එලෙස ප්‍රසිද්ධ කළ හැකි ග්‍රාම නාමයක් තිබිය හැකිද? එහෙත් මහා මාර්ගයේ සිට ඒ ගමට ඇතුළු වන පාරේ බෝඩ් ලෑල්ලක ඉංග්‍රීසි අකුරින් ලියා තිබූ සසතෝ වචනයේ තේරුම වනාහී “මිනී කන්නන්ගේ ගම්මානය” බව මට එරික් මාලෑත්සේ පැහැදිලි කර දුන්නේය.”

8. කලා හරඹ

කලා හරඹ හෙවත් ආට් අටෑක් වැඩසටහනට අවුරුදු 26ක් කියල කිව්වොත් ඔබ පුදුම වේවි. 90 ගණන්වල කලා හරඹ නමින් ජාතික රූපවාහිනියේ තිරගත වූ නීල්ගේ ආට් අටෑක් වැඩසටහන නරඹන්නට පුංචි අපි පුන පුනා බලා සිටියෙමු. මෙහි ආරම්භක ගී තනුව ඔබේ දෙසවන්වලට තවමත්ම සමීප ඇති.වැඩසටහන පටන් ගන්නට කලින් නීල් සුපුරුදු විදිහට ඔහුව හඳුන්වා දෙනු ලබනවා. ඊට පස්සේ තමා හරඹය දිග ඇරෙන්නේ. ඉවත ලන කඩදසි, කාඩ්බෝඩ්, PVC බට, ටොයිලට් ටිශූ කඩදැහි උපයෝගි කරමින් විස්මිත නිර්මාණ බිහි කරන්නට නීලට ගත වෙන්නේ මිනිත්තු කිහිපයක් පමණයි. වැඩසටහන අවසානයේ පෙන්වන නීල්ගේ සද්ධන්ත නිර්මාණය අපි බලන් හිටියේ මහත් කුතුහලයකින්. පෝස්ටර් තීන්ත, මැලියම් රිසි සේ භාවිතා කරමින් කුඩා දරුවන්ව මවිතයට පත් කරන සිත්තම් මවන්නට ඔහුට පුදුමාකාර දක්ෂතාවයක් තිබෙනවා. නිවාඩු පාඩුවේ,සති අන්තයේ නීල් අපිට කියා දුන් කලා හරඹයින් අත් හදා බලන්නට අපි මැලි වුණේ නැහැ. ඒත් සමහර වෙලාවට පුංචි දෑත් වලින් බිහි වෙන අත්වැඩ හරියට අර මැටි ප්‍රතිමාවේ වැඩ වගේ, එක අවුල් ජාලයක් බවට පත් වෙන අවස්ථා ද තිබුණා.

9. සැමීගේ විද්‍යාගාරය

සැමීගේ විද්‍යාගාරය (dw.com)

සැමීගේ විද්‍යාගාරය ඔබට මතකද?විද්‍යාවෙන් විජ්ජා පෙන්වන සැමී නිවසේ විවිධ දෑ යොදා ගනිමින් එක් එක් අන්දමේ පරීක්ෂණ පවත්වනවා. පුංචි සන්දියේ තිරගත වුණු අනෙක් හැම වැඩසටහනක් වගේම මෙහි ආරම්භක තනුව තවමත් ඔබේ මතකයේ රැව් දෙනවා ඇති. සිත් ගන්නා සුළු අන්දමට, විචිත්‍රවත් ලෙස විද්‍යාත්මක හේතුන් පහදා දෙමින් සැමී ප්‍රේක්ෂකයන්ට අධ්‍යාපනික විනෝදාස්වාදය ලබා දුන්නේය.

10. ඩිස්කවරි කිඩ්ස් වැඩසටහන්

ඩිස්කවරි කිඩ්ස් වැඩසටහන්. (narcity.com)

ජාතික රූපවාහිනිය 90 දශකයේ අග භාගයේදි ඩිස්කවරි නාලිකාව සමඟ අත්වැල් බැඳ ගැනීමත් සමඟ ශ්‍රී ලාංකිකයින්ට නැවුම් මුහුණුවරකින් ඉදිරිපත් කල වැදගත් විදෙස් වැඩසටහන් නැරඹීමේ අවස්ථාව උදා වුණා. මේ අතරින් ඩිස්කවරි කිඩ්ස් යටතේ විකාශය වුණු  Popular Mechanics for Kids වැඩසටහන බහුතරයක් දරුවන් අතර ජනප්‍රිය විය. Travellers නම් සංචාරක වැඩසටහන, Crocodile Hunter සහ Extreme Machines යනු මෙලෙස රසික ප්‍රාසාදය ලද බෙහෙවින් නරඹන ලද වැඩසටහන් කිහිපයකි.

ඉංග්‍රීසියෙන්  රූප පෙට්ටිය – Idiot Box ලෙස හැඳින්වූ කාලයක් තිබුණා. රූපවාහිනිය පමණට වඩා නැරඹීමෙන් විශේෂයෙන් වැඩෙන වයසේ දරුවාගේ බුද්ධි වර්ධනය මොට වන බව සොයා ගෙන තිබුණත්, දුරස්ථ පාලකය නිසිලෙස හැසිරවීමෙන් තෝරාගත් වැඩසටහන් නරඹා තමාගේ රසාස්වාදය මෙන්ම විඥානය ඔබට දියුණු කල හැකියි. නූතන ලෝකය සමඟ සම්මිශ්‍රණය වුණු ඒකාකාරී නොවන ගතානුගතික නොවන යහපත් සන්නිවේදන මෙවලමක් ලෙස රූපවාහිණිය 80,90 සහ සහස්‍රකයේ මුල් අවදියේ ඇති කල බලපෑම අප අගය කල යුතුමයි. රටේ කලාව හා විනෝදාස්‌වාදයන් පිළිබඳ සියලු රටාවන් වෙනස් වනවා.  තාක්ෂණයේ සහ සන්නිවේදනයේ ප්‍රගමනයත් සමඟම රූපවාහිනියේ තත්ත්වය කෙමෙන් වෙනස් විය. අන්තර්ජාලයේ ආගමනයෙන් සමාජයේ විවිධ ක්ෂේත්‍රයන්හි යම් පරිවර්තන, විපර්යාස දක්නට ලැබුණත් නිවසින් රූපවාහිනිය තවමත් බැහැර ගිහින් නැහැ.

කවරයේ පින්තුරය: thenextweb.com