Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චීනයේ ප්‍රචලිත සාම්ප්‍රදායික ආහාරය: වර්ජින් බෝයි බිත්තර

බාල මහලු සියලු දෙනා ප්‍රිය කරන ආහාරයක් ලෙස බිත්තර හැඳින්විය හැකි ය. ප්‍රධාන ආහාර වේලට බිත්තර එකතු කර ගැනීමට අමතර ව අතුරු ආහාර ගණනාවක් සඳහා ද බිත්තර යොදා ගනියි. මේ අතරින් අපේ ප්‍රධාන ආහාර වේල සඳහා බිත්තර එකතු කරගැනීමේ දී විවිධ ක්‍රමවලට සකසා ගත් බිත්තර එකතු කර ගනී.ඒ අතර තම්බා ගත් බිත්තර ප්‍රධාන තැනක් ගනී. සාමාන්‍ය ජලයේ තම්බා ගන්නා බිත්තර ආහාරයට ගැනීමට බොහෝ දෙනෙක් ප්‍රිය කරති. කෙසේ නමුත් ජලය වෙනුවට මිනිස් මුත්‍රවලින් තම්බා ගත් බිත්තර පිළිබඳ ඔබ යම් දිනෙක අසා තිබේ ද?

සාමාන්‍යයෙන් අප දන්නා ආහාරපානවලට වඩා වෙනස් ආහාරපාන සකස් කිරීම සහ පරිභෝජනය කිරීම සඳහා ප්‍රසිද්ධ රටවල් අතර ප්‍රධාන තැනක් ගන්නා චීනයේ තවත් එක් අසාමාන්‍ය ආහාරයක් ලෙස වැඩිවියට පත් නොවූ පිරිමි දරුවන්ගේ මුත්‍ර යොදා ගෙන තම්බා ගන්නා බිත්තර ලෙස ‘වර්ජින් බෝයි බිත්තර’ හැඳින්විය හැකි ය.

වර්ජින් බෝයි බිත්තර සැකසීමේ ක්‍රියාවලිය – newyorktimes.com

වර්ජින් බෝයි බිත්තර

චීනයේ Zhegiang පළාතේ Dongyang ප්‍රදේශයේ ජනයා අතර ප්‍රචලිත සාම්ප්‍රදායික ආහාරයක් ලෙස වර්ජින් බෝයි බිත්තර හැඳින්විය හැකි ය. මෙහිදී සිදු වන්නේ සාමාන්‍ය බිත්තර වයස අවුරුදු දහයට අඩු, එනම් වැඩිවියට පත් නොවූ පිරිමි ළමයින්ගේ මුත්‍ර යොදා ගෙන තම්බා ආහාරයට ගැනීම යි.

මෙම ආහාරයේ ඇති සුවිශේෂී බව නිසා ම, එය Zhegiang පළාතට ආවේණික ස්පර්ශ කළ නොහැකි සංස්කෘතික උරුමයක් ලෙස නම් කිරීමට ද චීනයේ බලධාරීන් කටයුතු කර ඇත.

බිත්තර මුත්‍රවල බහා ඇති අයුරු –  www.laweekly.com 

ඉතිහාසය

දීර්ඝ කාලයක් තිස්සේ ආහාර සංරක්ෂණ ක්‍රම භාවිත කළ රටක් ලෙස චීනය ප්‍රසිද්ධ බැවින් වර්ජින් බෝයි බිත්තර සැකසීම ද ඇති වූයේ ආහාර සංරක්ෂණය කිරීමේ තවත් එක් ක්‍රමයක් ලෙස යයි මතයක් ඇත.

බොහෝ දෙනකු පවාසන්නේ වර්ජින් බෝයි බිත්තර සැකසීම ආරම්භ වූයේ ආහාර කල් තබාගැනීමේ ක්‍රමයක් ලෙස නොවන බව යි. විශේෂයෙන් ම මුත්‍ර යොදා ගෙන බිත්තර තම්බා ආහාරයට ගැනීම නිසා සෞඛ්‍යමය වාසි සැලසෙන බවට වන විශ්වාසයක් නිසා මෙම ආහාරය බිහි වූ බව බොහෝ දෙනෙක් විශ්වාස කරති.

චීනයේ වෙළෙඳසල්වල අලෙවි කිරීම සඳහා තබා ඇති බිත්තර – Reuters.com

අතීතයේ දී චීනයේ බොහෝ දෙනකු කෘෂිකර්මාන්තයේ යෙදුණු අතර ඔවුන් වී වගා කිරීමට අමතරව සිය ගෙවතුවල ඌරන් සහ කුකුළන් ද ඇති කර තිබේ. ඒ අනුව නිරන්තරයෙන් ම ඔවුන්ගේ නිවෙස්වල බිත්තර ආහාරයට ගත් බවත්, එහි ඇති පෝෂ්‍යදායි බව වැඩි කිරීමේ අරමුණින් ඒවා මේ ආකාරයෙන් වැඩිවියට පත් නොවූ පිරිමි ළමයින්ගෙන් ලබා ගත් මුත්‍රවලින් තම්බා ගෙන ආහාරයට ගත් බවත් චීනයේ පැරැණි මූලාශ්‍රයන් හි සඳහන් වේ.

සාදාගන්නා අයුරු

බොහෝ විට වයස අවුරුදු දහයට අඩු පිරිමි ළමයින්ගෙන් ලබා ගත් මුත්රා භාජනයකට දමා, එය ලිප තබා බිත්තර තම්බා ගැනීම මෙහිදී සිදු වේ. සම්පූර්ණයෙන් තැම්බුණු පසු බිත්තරවල පිටත තිබෙන කටුව පුපුරා යන අතර ඉන් අනතුරු ව නැවතත් ඒවා මුත්‍ර සහිත භාජනයකට දමා, ලිප තබා රත් වෙන්නට හරියි. මේ ආකාරයෙන් වරින් වර එම භාජනයේ ඇති මුත්‍රා ඉවත් කරමින් සහ අලුත් මුත්‍ර එකතු කරමින් බිත්තර පිළියෙළ කර ගනී.

මෙම ක්‍රියාවලිය සඳහා දිනකට ආසන්න කාලයක් ගත වේ. මුත්‍රවලට අමතරව මෙම බිත්තර සැකසීමේ දී විවිධ පැළෑටි වර්ග ද යොදා ගනී. මේ ආකාරයෙන් දිනක පමණ කාලයක් පිළියෙළ කරගත් පසු බිත්තරයේ ඇතුළත, සුදු මදය රන්වන් පැහැයකුත්, කහ මදය කොළ පැහැයකුත් ගනී.

හොඳින් තැම්බුනු වර්ජින් බෝයි බිත්තර –  www.themarysue.com 

මුත්‍ර එක්රැස් කර ගන්නා අයුරු

වර්ජින් බෝයි බිත්තර සකස් කිරීම සඳහා අවශ්‍ය මුත්රා එකතු කිරීම සිදු කරන්නේ මෙම බිත්තර අලෙවි කරන වෙළෙන්දන් ය. ඔවුන් බොහෝ විට ප්‍රාථමික පාසල්වලට ගොස් වයස අවුරුදු දහයට අඩු පිරිමි ළමයින්ගෙන් මුත්‍ර එකතු කරගැනීම සිදු කරති. දීර්ඝ කාලයක් තිස්සේ මෙම විශේෂ ආහාරය සමඟ බැඳුණු සංස්කෘතියට හුරු වී සිටින මව්පියන් ඒ පිළිබඳ සිය දරුවන්ට ද කියා දෙන බැවින් ඔවුන්ට ද එය සාමාන්‍ය දෙයක් බවට පත් ව ඇත.

බොහෝ විට මෙම පාසල්වල වයස අවුරුදු දහයට අඩු පිරිමි ළමයි මුත්‍ර කිරීම සඳහා වැසිකිළියකට නොයන අතර ඒ වෙනුවට මුත්‍ර එකතු කරන වෙළෙන්දන් පාසලේ විශේෂිත ස්ථානයක තබා තිබෙන බේසම්වලට මුත්‍ර කරති. සමහර වෙළෙන්දන් පාසල්වලට පමණක් නොව මහජන උද්‍යාන සහ පොදු වැසිකිළි අසලට ද ගොස් මව්පියන්ගේ අවසරය මත ළමයින්ගේ මුත්‍ර මේ සඳහා එකතු කර ගනියි. එහිදී උණ, සෙම්ප්‍රතිශ්‍යාව හෝ වෙනත් යම්කිසි අසනීපයකින් පෙලෙන සිසුන්ගෙන් මුත්රා ලබා නොගනී.

පාසලේ තබා ඇති බඳුනකට මුත්‍ර කරන කුඩා දරුවෙක් -A fied guide to Chinese street food

 

අලෙවි කිරීම සහ නිවසේදී ම සකස් කර ගන්නා වර්ජින් බෝයි බිත්තර

මෙම බිත්තර අලෙවි කිරීම සඳහා ම වෙන් වූ විශේෂ අලෙවිසල් චීනයේ Dongyang ප්‍රදේශය සහ ඒ අවට පිහිටා තිබේ. ආසන්න වශයෙන් යුවාන් 1.50ක්, එනම්, රුපියල්. 48ක් වැනි මුදලකට මෙම බිත්තරයක් මිලදී ගත හැකි ය.

වර්ජින් බෝයි බිත්තර අලෙවි කරන වෙළෙන්දෙක් – reuters.com

 එවැනි වෙළෙඳසල්වලින් මිලදී ගැනීම වෙනුවට සමහරු සිය නිවෙස්වලදී ම මෙම බිත්තර සකසා ගැනීමට පුරුදු වී සිටිති. ඒ අනුව නිවෙස්වල සහ අසල්වැසි නිවෙස්වල ජිවත් වන කුඩා පිරිමි ළමයින්ගේ මුත්‍ර යොදා ගෙන නිවසේදී ම වර්ජින් බෝයි බිත්තර සකස් කරගැනීමට ඔවුහු හුරු වී සිටිති.

සෞඛ්‍ය මත

විද්‍යාත්මක පදනමක් පිළිබඳ නිශ්චිත සඳහනක් නොමැති වුවත්, වර්ජින් බෝයි බිත්තර ආහාරයට ගැනීමෙන් සෞඛ්‍යමය වාසි රැසක් සැලසෙන බවට චීන ජනතාව විශ්වාස කරති. දීර්ඝ කාලයක් තිස්සේ විවිධ ප්‍රතිකාර ක්‍රම සඳහා  මුත්‍රා යොදා ගැනීමට චීන ජනතාව හුරු වී සිටිති. මුත්‍රා ස්ඵටික ආකාරයට පත් වන විට චීන ඖෂධවලදී යොදා ගන්නා එක්තරා ද්‍රව්‍යයකට සමාන බවට බොහෝ දෙනෙක් විශ්වාස කරති.

විශාල භාජනවල බිත්තර බහා ඇති අයුරු –  www.nydailynews.com 

වර්ජින් බෝයි බිත්තර ආහාරයට ගැනීම මගින් මුත්‍රා දැවිල්ල, උෂ්ණ රෝග, සහ චර්ම රෝග වැනි දේ සුව කළ හැකි බවට චීන ජනයා අතර විශ්වාසයක් ඇත. ඊට අමතර ව මෙම බිත්තර ආහාරයට ගැනීම ශරීරයේ අභ්‍යන්තර උණුසුම අඩු කිරීමට සහ අයඩින් ඌනතාව සුව කිරීමට ද හේතු වන බව චීන ජනතාව  විශ්වාස කරයි.

  වර්තමානයේදී වෛද්‍යවරුන් සහ අනිකුත් සෞඛ්‍ය විශේෂඥයන් මේ පිළිබඳ ව දරන්නේ වෙනස් මතයකි. ඔවුන් සඳහන් කරන්නේ මුත්‍රා යනු ශරීරයෙන් බැහැර කරන අපද්‍රව්‍යයක් බැවින් ඒවා ආහාර සඳහා හෝ ඖෂධ සඳහා යොදා ගැනීමෙන් විවිධ විෂබීජ ශරීරයට ඇතුළු වනවා විනා කිසිදු වාසියක් සැලසීමක් සිදු නොවන බව යි.

 

කවරයේ පින්තූරය- අඩක් තැම්බුණු වර්ජින් බෝයි බිත්තරයක් - reuters.com

මූලාශ්‍ර- www.reuters.com

www.nomnompaleo.com

www.nytimes.com

www.dbpedia.com

www.nbcnews.com

Related Articles