වික්ටෝරියානු යුගය හා සංස්කෘතිය: කෙටි හැඳින්වීමක්

ලංකාවේ සංස්කෘතිය ගැන කතා බහක් ඇදෙන හැම වෙලාවකදීම නොවරදවාම අහන්න ලැබෙන දෙයක් තමයි ‘වික්ටෝරියානු සුචරිතය’/ ‘වික්ටෝරියානු සංස්කෘතිය’ කියන්නේ. නමින් අහල තිබුණට ඇත්තටම වික්ටෝරියානු සංස්කෘතිය, වික්ටෝරියානු යුගය ගැන මෙම ලිපිය කියවන ඔබ දන්නේ කුමක්ද? කිහිප දෙනෙක් හැරෙන්නට වැඩි දෙනෙක් ඒ ගැන වැඩි යමක් දන්නේ නැතිව ඇති. ඉතින් ඒ නිසා ඔය කියන ‘වික්ටෝරියානු යුගය සහ සංස්කෘතිය’ ගැන පොඩි විස්තරයක් ඉදිරිපත් කරන්න අපි තීරණය කළා. මේ සටහනින් අපි විශේෂ අවධානයක් යොමු කරන්නේ ‘සදාචාරය’ කියන දේ එක්ක බැඳුණ ආකල්ප ගැන.

අවුරුදු 18දී රජ පුටුවේ වාඩිවුණ කුමාරි

වික්ටෝරියා රැජින 1882 scottish-country-dancing-dictionary.com

වික්ටෝරියා රැජින 1882 scottish-country-dancing-dictionary.com

ඇලෙක්සැන්ඩ්‍රිනා වික්ටෝරියා කුමාරි ඉපදෙන්නේ 1819 මැයි 24 වෙනිදා. 1837 ජුනි 20 මෙයා රජ පුටුවේ ඉඳගන්නවා. එදා ඉඳන්  මිය යනකල් අවුරුදු 63කුත් මාස හතක කාලය තමයි ‘වික්ටෝරියානු යුගය’ කියන්නේ. මේ කාලෙදි බ්‍රිතාන්‍යයේ ආර්ථිකය, කර්මාන්ත, දේශපාලනය, සංස්කෘතිය, කලාව, ජනතාවගේ සිතුම් පැතුම්, ආකල්ප වගේම හැසිරෙන ආකාරයත් සෑහෙන තරමේ විපර්යාසවලට ලක් වෙලා තියෙනවා. ඒවා එහෙට විතරක් සීමා නොවී ලංකාව වගේ බ්‍රිතාන්‍ය යටත් විජිත විදිහට තිබුණ රටවල්වලටත් පැතිරිලා යනවා.

‘ඉඟ සුඟ ගත හැක මිටින’

The young Victoria චිත්‍රපටයේ දර්ශනයකි. researchandramblings.blogspot.com

The young Victoria චිත්‍රපටයේ දර්ශනයකි. researchandramblings.blogspot.com

මේ කාලේ ඇඳුම කියන්නේ තමන්ට ඇතියයි කියන සමාජ තත්ත්වය අනිත් අයට ප්‍රදර්ශනය කරන්න යොදාගත්ත දෙයක්. වැදගත් කුල කාන්තාවෝ අඳින්න ඕන මෙහෙමයි කියල ලියවුණ පොත් පවා ඒ කාලේ  හරි හරියට මුද්‍රණය වෙලා තියෙනවා.

කාන්තාවෝ ඇඳුම් ඇන්දේ තමන්ට හරී..ම  සිහින් ඉඟක් තියෙනවා කියල පේන්න. ඉතින් උපතින් ලැබිලා තියෙන ඉණ හීනියි කියල ලෝකෙට පෙන්නන්න සෑහෙන මහන්සියක් දරන්න සිද්ධ වෙනවනේ. හිරම හිර යට ගවුම්, එතකොට ගවුම්වල සාය කොටස තවත් මනුස්සයෙක්ව හංගගෙන ඉන්න පුළුවන් තරමට පිම්බිලා පේන්න සායට යටින් අඳින ලී රාමු, හිර යට කලිසම්, පියයුරු උල් හැඩයට පේන්න මහපු තිසර පට ඔය ඔක්කොම අඳින්න ඕන. ඉන් පස්සේ තට්ටු තට්ටු ගොඩක් තියෙන ගවුම් ඒවාට ගැළපෙන ආභරණ වගේම ලොකු තොප්පියකුත් දාගත්තම ඇඳුම සම්පූර්ණයි.

ගවුමේ තට්ටු ගාන, පිම්බෙන ප්‍රමාණය, විසිතුරු කරලා තියෙන ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න වංශක්කාරකමත් වැඩි වෙනවා කියන එක තමයි පිළිගැනීම වුණේ.

ඔය ඔක්කොම ඇන්දට පස්සේ ඒවා ඇඳගෙන ඉන්න එක තමයි ලොකුම අභියෝගය වුණේ. ඇයි දෙයියනේ හුස්ම ගන්නත් බැරිවෙන තරමට හිරට වගේම තමන්ට වඩා මීටරයක් දෙකක් ඉස්සරහින් යන ගවුම්, සායවල් ඇඳලා ඇවිදිනකොට පුදුමාකාර සනීපයක්නෙ තියෙන්නේ. සනීපෙ කොච්චර ද  කියල කියනවනම් පැය බාගයක් විතර හිටගෙන එහෙම ඉන්න වුණාම කට්ටිය කලන්තේ දාලා වැටෙන එක සාමාන්‍ය දෙයක් වුණාලු.

පිරිමි පාර්ශවය  අත් දිග කමිස, වේස්ට්කෝට්, දිග ඕවර්කෝට් සහ කලිසම් ඇන්දා.‘ටොප් හැට්’ තොප්පි, බස්තම්, සාක්කු ඔරලෝසු වගේ ඒවත් ඇඳුමේම කොටසක් වුණා. මේවා කාන්තා ඇඳුම් තරම් සංකීර්ණ වුණේ නැහැ.

“ගෑණු ඉන්න ඕන ඇහෙන්න නෙවෙයි පේන්න”

වික්ටෝරියානු  යුගයේදී ‘ගෑණු වැඩ’ සහ ‘පිරිමි වැඩ’ පැහැදිලිවම බෙදා  වෙන් කරලයි තිබුණේ. පිරිමින්ගේ වැඩේ වුණේ වැඩ කරලා මුදල් උපයන එක. ගෑණු ටික කලේ ගෙවල්වලට වෙලා වැඩක් බලාගෙන හිටිය එක. වංශක්කාර පවුල්වල නෝනලා ගෙදර වැඩ කළෙත් නැහැ. එයාලා අඳින පළඳින විදිහට වැඩ කරනවා තියා කකුල් පැටලිලා වැටෙන්නේ නැතුව අඩි දහයක් ඇවිදගන්නත් බෑනෙ. ඉතින් එයාලා සේවක සේවිකාවන්ට වැඩ බාර දීලා ඒවා පාලනය කරපු එක සහ ළමයි බලාගන්න එක තමයි කළේ. ගැහැණු ගෙදර දොර වැඩට වඩාත් ගැළපෙන, පිරිමින්ට වඩා දුර්වල කොටසක් කියන පිළිගැනීම නිසා තමයි එහෙම වුණේ.

 “පවුලක් නඩත්තු කිරීමට ධනය ඇති පුතුට දත් පෙන්නා සිනා නොවන දියණියක් ඕනෑ කර තිබේ”

ගැනු ළමයත් එක්ක එලියට ඇවිත්. byuprideandprejudice.wordpress.com

ගැනු ළමයත් එක්ක එලියට ඇවිත්. byuprideandprejudice.wordpress.com

ඔය කාලේ තරුණ පිරිමියෙක්ට කසාදයක් කරගන්න ඕන නම් පවුලක් නඩත්තු කරන්න පුළුවන් වෙන තරමට ධනය තිබීම අනිවාර්ය කාරණයක් වුණා. නැත්නම් සිද්ධ වුණේ හිත ගිය කෙනා එක්ක විවාහ ගිවිසගෙන ඉවර වෙලා සල්ලි හොයාගෙන ඇවිත් කසාද බඳින්න.

තරුණියෝ ඉපදුණ දවසේ ඉඳන්ම අනාගතයේ වැදගත් කුල කාන්තාවක්, හොඳ අම්ම කෙනෙක්, හොඳ බිරිඳක් වෙන්නේ කොහොමද කියන එකට ගැළපෙන විදිහේ අධ්‍යාපනයක් ලබා ගත්තා. සම්මත පිළිගැනීම අනුව ‘හොඳ, වැදගත් ගෑණු ළමයෙක්’ කිව්වේ මහන්න ගොතන්න දන්න, ගෙදරක් පාලනය කරන්න පුළුවන් කෙනෙක්ට. සංගීතය, චිත්‍ර කලාව, භාෂා හැකියාවන් තිබීමත් හොඳ තැනකින් කටයුත්තක් කරගන්න අමතර සුදුසුකම් විදිහට සැලකුණා.

විනීත තරුණියෝ කියල කිව්වේ පොළොවට නොරිදෙන්න ඇවිදින (අර ඇඳුම් ඇඳගෙන ඇවිදින්න බැරි එක වෙනම කතාවක්), පිරිමියෙක් දිහා කෙලින් බලල කතා නොකරන, හයියෙන් හිනා වෙන්නේ නැති, තමන්ට බැන්නත් ගැහුවත් ආපිට වචනයක් නොකියන ජාතියේ අයට. පිරිමි විවාහ කරගන්න හෙව්වේ මේ වගේ අයව. ඔය වගේ ‘ගෑණුකමක්’ නොතිබුණ අයට සිදුවුණේ විවාහ නොවී ඉන්නයි.

“සෙක්ස්? ඊයා හලෝ..”

ඊයා! 67.media.tumblr.com

ඊයා! 67.media.tumblr.com

කලින් යුගයන්වලදී ලිංගිකත්වයට යම් නිදහසක් ලැබී තිබුණත් රැජිණ ඒක වෙනස් කළා. ඊට පස්සේ පිළිගැනුණේ ලිංගිකත්වය කියන්නේ තමන්ගේ වෛද්‍යවරයා හැරුණුකොට කිසි කෙනෙක් එක්ක කතා කරන්න හොඳ නැති අසභ්‍ය දෙයක් විදිහට. ලිංගිකත්වය දරුවෝ හදන්න ඕන නිසා වෙන්න ඕන දෙයක් විදිහට පිළිගැනෙන්න ගත්තා. බිරිඳගේ යුතුකම වුණේ සැමියට අවශ්‍ය වුණ ඕනෑම වෙලාවක ලිංගික තෘප්තිය සපයන එක.

‘ස්වයං වින්දනය’ වගේ වචන ඇහෙනකොටත් මිනිස්සු “හෑයි” ගාපු කාලයක් තමයි ඒ. (ලංකාව, ඉන්දියාව වගේ රටවල්වල තාමත් එහෙම වෙන්නේ ඇයි කියන එක වෙනම හිතන්න ඕන කාරණයක්). වෛද්‍යවරු පවා ඒවා හැඳීන්වුවේ ‘රෝගයක්’ කියායි. විශේෂයෙන්ම ගැහැණුන්ට ලිංගිකත්වය ගැන එතරම් හැඟීම් දැනීම් නැහැ කියල තියෙන පොත් පවා වෛද්‍යවරුන් අතින් රචනා වුණා.

වික්ටෝරියා රැජිණ එයාගේ දෝණියැන්දා වෙන රටක කුමාරයෙකුට දීග යනකොට කිව්වය කියන “වෙන මොනවත් කරන්න එපා, දිග ඇරිලා එංගලන්තේ ගැන හිතන්න” කියන දේ ඒ කාලේ අම්මලා තමන්ගේ බඳින්න ඉන්න දූවරුන්ට උපදේශයක් විදිහටත් දුන්නලු.

ගණිකා නිවාස තිබුණත් ඒවායේ වැඩ කරන කාන්තාවෝ දිහා සමාජය බැලුවේ පිළිකුලෙන්. තමන්ගේ ස්වාමි පුරුෂයෝ ගණිකා නිවාසවලට යන එක වළක්වන එකත් බිරිඳකගේ වගකීම් ගොන්නට අයත් වූවක්.

ඉතින් වික්ටෝරියානු යුගයේ සිදුවුණ ජනතාවගේ හැසිරීම්, සිතුම් පැතුම් ගැන පොඩි අවබෝධයක් දෙන්න ලියවුණ මේ සටහන මෙතනින් නිමා වෙනවා. අවුරුදු හැටහතරකට ආසන්න කාලයක් තිස්සේ රටක, අධිරාජ්‍යයක සිදුවුණ වෙනස් වීම් සියල්ල ගැන මෙවැනි ලිපියකින් කතා කරන්න අමාරුයි. ඒ නිසා අපිට මග ඇරුණු, ඒත් කතා කරන්න ඕනය කියල ඔයාලට හිතෙන දේවල් පහලින් කමෙන්ට් එකක් දාලා මතක් කරල යන්න අමතක කරන්න එපා.

කවරයේ පින්තුරය: pinterest/ජෝන් තොම්සන්

Related Articles