ඔබත් ආසයිද ටැටූ එකකට? වේදනාවක් දැනුණට අවසානයෙදි සුන්දරත්වය මවන කලාවට? සමහරවිට ඔබට ටැටූ එකක් ඇඳගන්න කැමැත්තක් හිතේ තියෙනවා වෙන්නත් පුළුවන්. නැත්නම් දැනටමත් ටැටූ එකක් ඇඳගත් කෙනෙක් වෙන්නත් පුළුවන්.

“ටැටූ” නැත්නම් පච්ච ගැන අමුතු අමුතු කතා ගොඩක් අය කියනවනේ. සමහරු මේ කලාව ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම ටැටූ උන්මාදයෙන් පෙලෙන පිරිසකුත් ඉන්නවා. එක එක විදියෙ නිගමන වලට එළඹෙන්න කලින් ටැටූ වල ඉතිහාසය දැනගත්තොත් හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද? කොහෙන් ආපු කලාවක්ද මේ ටැටූ? මේ ලිපිය ඒ ගැනයි

(powellong.com)

පච්ච කොටන්නෙ දාමරිකයොමද?

එහෙම තමයි ගොඩක් අය හිතන්නෙ. ටැටූ එකක් ගහගෙන ඉන්න කෙනෙක් දිහා සමහරු බලන්නෙත් දාමරිකයෙක් දිහා බලන විදියට. ඒත් මේකත් එක්තරා කලාවක්. තමන්ට අමතක නොවන සිදුවීමක්, විශේෂ පුද්ගලයෙක්, සැමරුමක්, තමන්ගෙ සිතුම් පැතුම් වගේ ඕනෑම දෙයක් සංකේතවත් කරන්න ටැටූ අඳිනවා. පිරිමි පාර්ශවය විතරක් නෙවෙයි කාන්තාවන් අතරත් ටැටූ කලාව හුඟක් ජනප්‍රියයි.

ඉතිහාසික ටැටූ

කැන්වසය ලෙස සම යොදා ගනිමින්, පින්සල් ලෙස උල් තුඩක් සහිත උපකරණ භාවිතා කරමින් ඇඳපු මුල්ම ටැටූ වල කතන්දරය මායාවරුන්ගේ ශිෂ්ඨාචාරයටත් එහා අෑත අතීතයට දිවෙනවා. සම මඳක් තුවාල කිරීමෙන් අනතුරුව ඒ මතට අළු යොදා සීරීමෙන් හෝ සම්පූර්ණයෙන් ඇඳගත් රටාව කපා දැමීමෙන් අතීතයේ පච්ච කොටා තිබෙනවා. ප්‍රාග් ඓතිහාසික මානවයා කුඩා කුහර සැදෙන ලෙස සම විදීම කළ බවද මේ තුවාල මත කළු වර්ණයන් ආලේපයෙන් ඔවුන්ගෙ ගෝත්‍රවල සංකේතයන්  මතුකර ගත් බවටද විශ්වාසයක් පවතිනවා.

(says.com)

පච්ච කෙටීමේදී ඇතිවන වේදනාව, රුධිර වහනය සහ ගින්දර භාවිතා කිරීම වැනි කරුණු නිසා මෙයින් පාරිශුද්ධ බලයන් ලැබෙන බවට ප්‍රාථමික මිනිසා තුළ විශ්වාසයක් පැවතුණා. තර්ජනාත්මක සතෙකුගේ රුවක් හෝ උගේ සංකේතයක පච්චයක් කොටා ගැනීමෙන් එම සතාගෙන් සිදු විය හැකි අනතුරු වළකින බවටත් ඔවුන් විශ්වාස කළා. බොහෝ විට සර්පයින්, වළසුන් සහ හිවලුන් ගේ රූප පච්ච ලෙස කොටාගත් අතර ගෙම්බන් සහ සමනලුන් වැනි සතුන්ගේ සංකේතත් මීට ඇතුළත් වුණා.

මොවුන් මෙය කෙනෙකුගේ ආත්මය දෙවියන් සමඟ බද්ධ කරන මාර්ගයක් ලෙසත් සැලකුවා. පච්ච මඟින් ශක්තිය, සරුසාර බව සහ මරණින් පසු දේහයේ ආරක්ෂාව තහවුරු වන බවටත් ගෝත්‍රිකයින් අතර පිළිගැනීමක් තිබුණා.

මරණයෙන් මතුවට

(www.youtube.com)

මරණයත් එක්කත් ටැටූ වලට හුඟක් ළඟ සම්බන්ධයක් තියෙනවා. හැබැයි ඒක බය වෙන්න කාරණයක් නෙවෙයි. ක්‍රිස්තු පූර්ව 1350දි ලිබියාවෙ මිය ගිය මිනිසුන්ගේ මෘත දේහවල අත් – පා වල ටැටූ ඇඳලා තියෙනවා. ඒ වගේම ක්‍රිස්තු පූර්ව 2000දි පවා ඊජිප්තුවේ මමීවල ටැටූ සටහන් කර ඇති බව හොයාගෙන තියෙනවා. මිනිසකු තුළ ඔහුගේ ආත්මය හෝ මනෝකාය නිද්‍රාගතව පවතින බවත් මරණයෙන් පසුව මේ මනෝකාය ශරීරයෙන් නිදහස් වන බවත් ගෝත්‍රික ජනයා තදින් විශ්වාස කරනවා.

ඔවුන් පච්ච ඇඳීමෙන් බලාපොරොත්තු වුණේ මළවුන්ගෙන් මිදෙන මනෝකාය පාපී ආත්ම වලින් බේරගෙන නිරුපද්‍රිතව නොපෙනෙන ලෝකය වෙත යැවීමයි.

ලොව පුරා පැතිරුණු ටැටූ

ටැටූ කලාව ග්‍රීසිය, පර්සියාව, අරාබිය වැනි රටවල ප්‍රචලිත කිරීමට දායක වුණෙ ඊජිප්තුවේ තුන්වන සහ හතරවන රාජවංශයි. ඉන්පස්සෙ ජපානය, චීනය, බුරුමය වගේ ආසියාතික රටවලටත් මෙය පැතිරුණා. අද වන විටත් ආත්මයන් සහ මළවුන් සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීමට ටැටූ යොදා ගන්නවා.

මුල් අවධිවල ශරීර සැරසිල්ලක් ලෙසත් භාවිතා කළ ටැටූ පසුකාලීනව වහල් සේවකයන් සහ අපරාධකරුවන් වර්ග කිරීමට යොදා ගන්නවා. අපරාධකරුවන් සඳහා යෙදූ පච්ච වල ඔවුන්ගේ නම, සිදු කළ අපරාධය සහ ඒ සඳහා හිමිවන දඬුවමත් සඳහන් වුණා. ඒ පච්ච ඔවුන්ගේ නළලේ කොටනු ලැබුවා. ඒ යුගයේදී මෙය සදාකාලික දඬුවමක සංකේතයක් ලෙස පිළිගැණුනා. නමුත් යම් යම් හේතූන් මත දඬුවමින් නිදහස් වෙන අපරාධකරුවන් තම ශරීරයේ ඇති පච්චය ගැන ආඩම්බරයෙන් ජීවත් වෙලා තියෙනවා. අතීත රෝමයේ සහ ග්‍රීසියේ පච්චයක් සහිත වහල් සේවකයෙක්ට කිසි දිනෙක, වහලෙකු සඳහා වන මිල ගෙවීමෙන්වත් වහල් බවින් මිදෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ.

(www.youtube.com)

ටහිටි නගරයේ ටැටූ සඳහා තිබුණේ වෙනස්ම කතාවක්. ඔවුන් පච්චයකින් පුද්ගලයෙකුගේ ජීවිත ඉතිහාසය සංකේතවත් කළා. වැඩිහිටි පිරිමින් විවාහ වෙන දිනයේදී පච්චයක් කොටා ඔහු විවාහක පුද්ගලයෙකු බව ලොවට කියා පෑවා.

සමාජ මට්ටම්

(www.youtube.com)

ටැටූ සමාජ තත්ත්වය පිළිබිඹු කරන සාධකයක් විදියටත් පිළිගන්නවා. මිය යාමෙන් පසු තමන්ගේ සමීපතමයන් දිව්‍ය ලෝකයේදී හඳුනාගැනීම පහසු වනු පිණිසත් ටැටූ ඇඳලා තියෙනවා. එක් එක් පවුල්වලට ආවේණික ටැටූ වලින් ඒ ඒ පවුලේ සාමාජිකයින් හඳුනාගනු ලැබුවා. විවාහ කටයුතුවලදි තම කුලයට සහ පවුලට ගැළපෙන සහකරුවන් සොයා ගැනීමට මෙය බොහෝ වැදගත් වුණා.

විවාහක දෙපළක් මිය යාමෙන් පසුව මළවුන්ගේ ලෝකයේදී එකිනෙකා හඳුනාගැනීමටත් මෙය උපකාරී වනු ඇතැයි ඔවුන් විශ්වාස කළා. පච්චයක් රහිත මනාලියක් කෙලින්ම නරකාදිය වෙත යැවෙන බවත්, බියකරු ආත්මයන්ගේ ඇල්ම බැල්මට යටත් වෙන බවත් ඔවුන් තරයේ ඇදහුවා.

මෙවලම් සහ වර්ණ

සම සිදුරු කිරීම සඳහා ගෝත්‍රික ඇමරිකානුවන් සිහින් උල් කටු භාවිතා කළ අතර සීරුම් ස්ථාන වලට සියුම් ලෙස වර්ණ එන්නත් කිරීමත් සිදු කළා. ගෝත්‍රික එස්කිමෝවරු සමෙහි හිල් විදීම සඳහා ඉඳිකටු භාවිතා කළා. මොවුන් සම තුළින් සිහින් නූල් වැනි රැහැනක් යවා තමන්ට අවශ්‍ය රූ සටහන් ඇඳගෙන තිබෙනවා.

දකුණු පැසිපික් වාසීන් රේක්කයකට සමාන කුඩා උපකරණයකින් පහුරු ගෑමෙනුයි පච්චයන් කොටාගෙන තිබෙන්නේ. මේ උපකරණ සාදා ගැනීමට ඔවුන් සත්ත්ව අස්ථි, ලෝහ වර්ග, ලී සහ ගල් පතුරු වැනි දේවල් යොදාගෙන තියෙනවා.

සමහර ගෝත්‍ර වල පච්ච කෙටීම සඳහා අවසර ලැබිලා තියෙන්නෙ තොල් සහ නිකට ප්‍රදේශ වල පමණයි. සම්පූර්ණයෙන්ම නිල් පැහැ දෙතොලක් හිමි කාන්තාවන් බොහෝ සුන්දර ලෙස ඔවුන් දැක්කා. කළු, නිල් සහ වර්මිලියන් රතු පැහැය පච්ච සඳහා බොහෝ අවස්ථාවලදී භාවිතා කර තිබෙනවා.

ඉවසීම සහ දරාගැනීම

අපහසු වුණත් ඔවුන් මින් දැනෙන වේදනාව දරා ගත යුතුමයි. (www.youtube.com)

තරුණයෙකුට පච්චයකින් දැනෙන වේදනාව දරාගත නොහැකි නම් ඔහු යුද්ධය සඳහා නුසුදුස්සකු ලෙසත්, තරුණියකට එම වේදනාව දරාගත නොහැකි නම් ඇය දරුවෙකුට උපත දීම සඳහා නුසුදුස්සියක ලෙසත් අතීත ජනයා සැලකුවා.

පච්චයක් තිබීම කෙනෙක් තම ගෝත්‍රික කණ්ඩායමේ පිළිගත් පුද්ගලයෙකු කිරීමට අත්‍යාවශ්‍ය සාධකයක් වුණා. පච්චයක් ඇඳීමට පෙර දෙවියන් යැදීම සිදු කරන අතර එයින් ලැබෙන ආශිර්වාදයෙන් එම කටයුත්ත සාර්ථක කර ගැනීමටත්, වඩාත් සුන්දර පච්ච නිර්මාණයක් කර ගැනීමටත් හැකිවේ යැයි ඔවුන් විශ්වාස කළා.

ශරීර සෞඛ්‍යය

ආසියානු සංස්කෘතියේදි යහපත් ශරීර සෞඛ්‍යය සඳහාත් ටැටූ භාවිතා කරලා තියෙනවා. ටිබෙට් ජාතිකයන් ශරීරයේ චක්‍ර (energy points) පිහිටන ස්ථානවල ටැටූ අඳිනු ලැබුවා. මෙය ශරීරය, මනස සහ ආත්මය සුවපත් කිරීමට උපකාර වේ යැයි ඔවුන් විශ්වාස කරනවා. සමහර අවස්ථාවලදී ටැටූ වර්ණක ලෙස ඖෂධ භාවිතා කරන අතර නිල ස්ථානවල ටැටූ ඇඳීමෙන් රෝග සුවපත් කරගත හැකි බවට මතයක්ද ඔවුන් අතර පවතිනවා.

තුවාල වේලීම සඳහා මැටි සහ අළු අඩංගු මිශ්‍රණයක් ගල්වනවා. (www.youtube.com)

වාසනාවන්ත ටැටූ

(www.youtube.com)

මෙතුවක් කතන්දරේ ටිකක් භයානකයි වගේ පෙනුණට වාසනාව ගේන ටැටූ වර්ගත් තියනවා. තමන්ගෙ ලග්නයට අදාල සත්ත්ව රූපයේ ටැටූ එකක් ඇඳ ගැනීමෙන් වාසනාව ලැබෙන බවට චීන ජනතාව විශ්වාස කරනවා. ඌරා, අශ්වයා, ගෝල්ඩ් ෆිෂ් වගේ සතුන් සෞභාග්‍යය සහ ධනය ගෙනෙන සංකේත ලෙසද සැලකෙනවා. උරහිසේ ගිරවෙකුගේ පච්චයක් කොටා ගැනීම වාසනාවන්ත බවයි බුරුම වැසියන්ගේ පිළිගැනීම.

(asianitinerary.com)

ඔන්න ඔහොමයි ටැටූ වල ඉතිහාස කතාව. අද ලෝකය පුරාම මේ කලාව ජනප්‍රිය වෙලා තියෙනවා. ලංකාවෙත් ටැටූ වලට කැමති පිරිසක් ඉන්නවානේ. වර්තමානයේදි මේ සඳහා කුඩා මැෂිමක් භාවිතා කරන අතර හමේ ඉහළ ස්ථරයේ සෛල කෘත්‍රීම ඩයි වර්ග යොදාගෙන වර්ණ ගන්වනවා.

ටැටූ කලාව, ටැටූ ඇඳීම ගැන තාමත් ඔබේ හිතේ තියෙන්නෙ අයහපත් ආකල්පයක්ද? ඇත්තටම ටැටූ එකක් ඇඳ ගැනීම මහා ලොකු වරදක් නෙවෙයි. ටැටූ කියන්නෙත් එදා ඉඳන් තිබුණ ජීවන රටාවක්. අනික දැන් වගේ නෙවෙයි ඒ කාලෙ නම් ටැටූ මහා අරුමයක් වෙලා නැහැ!

මූලාශ්‍ර- www.thetattoocollection.com, www.youtube.com

කවරයේ පින්තූරය- powellong.com