Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දියවැඩියා රෝගීන් සැළකිලිමත් වියයුතු කරුණු

දියවැඩියාව අද වන විට ලංකාවේ බහුලව දැකගත හැකි රෝගයක් බවට පත් වී හමාරයි. වයසට යන විට මේ රෝගය බහුල වශයෙන් දැකගත හැකි නමුත් මෙය වයසට යාම නිසාම ඇති වන රෝගයක් නම් නොවෙයි. මේ රෝගයට ගොදුරු වුණු ළමයින් පවා මේ වන විට දැකගන්න පුළුවන්.

දියවැඩියාව යනු?

දියවැඩියාව යනු ඔබේ ඇස්, මොළය, හෘදය වස්තුව, වකුගඩු, දෙපා ආදී ඕනෑම අවයවයකට විශාල වශයෙන් ආපදා ඇතිකිරිමට සමත් රෝගයක්. දියවැඩියාව ඇති වීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ස්ථුලතාවයි. එසේ වන්නේ ශරීරයේ බර වැඩි වීමත් සමඟ ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය දුර්වල වීම නිසයි.

දියවැඩියාව නිසා ශරීරයේ විශාල නහර අවහිර වන අතර කුඩා නහර වල ක්‍රියාකාරිත්වය ද වෙනස් වෙනවා. මේ තත්ත්වය වකුගඩු වලට බලපෑම මත වකුගඩු වල ක්‍රියාකාරිත්වය දුර්වල වී රෝගියා ඉක්මනින්ම මිය යා හැකි නමුත් වර්තමානයේ සිදුකරන ඩයලයිසිස් ප්‍රතිකාරය නිසා රෝගියාගේ ආයු කාලය වර්ධනය කරගත හැකියි.

නමුත් නහර විශාල ලෙස අක්‍රිය වීම මත පාද වල දැනීම අඩුවන අතර ඒ මත රෝගියා පාද වල ආසාදන ඇතිවුණත්, ඒ පිළිබඳ කිසිදු අවධානයක් යොමුකරන්නේ නැහැ. ඇත්තෙන්ම එය භයානක තත්ත්වයක්.

රෝග ලක්ෂණ

kratomnews.org

දියවැඩියා රෝගියෙකු තුළින් පහත රෝග ලක්ෂණ දැකගත හැකියි.

  • අධික තිබහ
  • අධික බඩගින්න
  • තොල කට වියළීම
  • මුත්‍රා ආසාදන
  • අධික ලෙස ශරීර බර අඩුවීම (ආහාර හොඳින් ගැනීම සහ බඩගිනි දැනීම සුපුරුදු ලෙස සිදු වුවත්)
  • තෙහෙට්ටුව සහ විඩාපත් ගතිය
  • ඇස් පෙනීම දුර්වල වීම
  • හිසරදය

රෝගය උත්සන්න වීමට හේතු

නොදැනුවත්කම

දියවැඩියාවේ මූලික ලක්ෂණ හටගෙන තිබුණත්, ඒ පිළිබඳ නොදැන සිටීම මත වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවීම අපිට දැකගන්න පුළුවන් තත්ත්වයක්. ඒ මත රෝගීන් සුපුරුදු දින චර්යාවම ගත කරන අතර සුපුරුදු ආහාර පාන ලබාගන්නවා. එසේ සීනි, තෙල් ආදී වශයෙන් වූ දියවැඩියාවට අගුණ කෑම බීම කිසිදු පාලනයකින් තොරව ගැනීම සිදුකරන අතර ඒ මත ශරීරය තුළ රෝගය නිහඬවම වර්ධනය වෙනවා. රෝගය උත්සන්න වූ පසුවයි බොහෝ අය ප්‍රතිකාර සඳහා යොමුවන්නේ. රෝගය උත්සන්න වීම සඳහා එය බලපානු ලබනවා.

නොසැළකිලිමත්කම

බොහෝ විට දියවැඩියාවේ රෝග ලක්ෂණ පෙන්නුම් කළත්, තමන්ට රෝගය වැළඳී ඇති බව පිළිගැනීමට බොහෝ අය සූදානම් නැහැ. සමහරුන් තමා රෝගයට ගොදුරු වී තිබුණත් එය අන් අයගෙන් සැඟවීමට උත්සහ කරනවා. ඒ තමන්ට එවැනි රෝග නොසෑදෙන බව පවසමින්. ඒ අනුව තමන්ට දියවැඩියාවේ සුළු සුළු ලක්ෂණ පහළ වී තිබුණත් එය පරික්ෂා කරවාගෙන ප්‍රතිකාර සඳහා යොමු වීමට ඔවුන් කැමැත්තක් දක්වන්නේ නැහැ. එවැනි මතයක සිටීම මත ඇතිවන අවාසි සහගත තත්ත්වයන් බොහොමයි. ඒ අනුව රෝගයට මුල සිටම නිසි ප්‍රතිකාර ලබාගැනීමක් සිදු නොවන අතර රෝගය උත්සන්න වීමට එය බලපානවා.

දියවැඩියා රෝගීන් සැළකිලිමත් විය යුතුයි

ආහාර පාලනය

youtube.com

දියවැඩියා රෝගීන් පැණි රස, තෙල් හා පිටි සහිත ආහාර හැකිතාක් පාලනය කිරිමට සැළකිලිමත් විය යුතුයි. ක්‍රියාශීලි ලෙස ජිවත් වීමට හුරු විය යුතුයි. රෝගී වීමෙන් වසරක දෙකක කාලයක් පමණක් නොව, ජිවිත කාලයටම මෙම පුරුදු පවත්වාගෙන යාම වැදගත්.

රෝගය සඳහා ගොදුරු වූවන් පමණක් නොව, සෑම අයෙක්ම රෝගය සෑදීමට පෙර පරිස්සම් වන්නේ නම්, එය වැදගත්. තමන්ට නොහැදුණු ලෙඩක් වෙනුවෙන් මහන්සි විය යුතු නැතැයි සිතා ආහාර පාලනය නොකර සිටීම පසුවට රෝගියෙක් බවට පත් වීමට බලපාන්න පුළුවන්. ඒ නිසා රෝගයක් නැතත් අනවශ්‍ය ලෙස සීනි, තෙල් සහ පිටි සහිත ආහාර ගැනීමෙන් වැළකී සිටින්නේ නම් එය නිරෝගීකම රැකගන්න බලපානවා.

දෙපා රැකගැනීම

thenurseszone.com

ඉතා සුළු සීරිමක් වුවත් දියවැඩියා රෝගියෙකුගේ පාදයක් ඉවත් කිරීම දක්වා දුරදිග යා හැකියි. පාදයේ නියපොත්තක් කැපීමේදී යාන්තමට ඇඟිල්ලේ සම කැපී ගියත් මෙය ද එයට බලපෑ හැකියි.

එමෙන්ම දියවැඩියා රෝගියෙකුගේ ස්නායු වල ක්‍රියාකාරිත්වය නොමැති නිසා

  • පා ඇඟිලි වල හැඩය වෙනස් වීම,
  • යටිපතුළට සිරුරේ බර සමානව බෙදී නොගොස් එක් එක් තැන් වලට වැඩිපුර දැනීම නිසා එම ස්ථාන වල සම ගොරෝසු වීම හා ගල් තැලුම් හට ගැනීම,
  • ගොරෝසු වූ සම නිසා ඊට යටින් ඇති සිනිඳු සමට හානි පැමිණීම,

වැනි බොහෝ කරදරකාරි තත්ත්වයන් ඇතිවීමට ඉඩ ඇත. එම නිසා දියවැඩියා රෝගීන් තම දෙපා ආරක්ෂා සහිතව තබා ගැනීමට වගබලා ගත යුතුයි.

පාද විනාශ වීමට ඉඩ නොදීම

home.bt.com

ශරීරයේ සීනි වැඩිකම නිසා බැක්ටීරියා විනාශ කරවන ස්වභාවික ක්‍රියාවලිය අඩපණ වෙනවා. ලොකු ලේ නහර අවහිර වීම නිසා තුවාල වූ කොටස් වලට ඔක්සිජන් නොලැබී යාමෙන් බැක්ටීරියා විනාශ වීමක් සිදුවන්නේ නැහැ. ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වන අතර ඔක්සිජන් නොමැති වීම මත තුවාල වූ කොටස් නැවත යථා තත්ත්වයට පත්කළ හැකි වන්නේ නැහැ.

මේ නිසාත්, දැනීම නොමැතිකම හේතුවෙන් පාදය පිලිබඳ සොයා නොබැලීම නිසාත්, සුළු සීරීමක් විශාල තුවාලයක් දක්වා දුරදිග යාම දැකගත හැකියි.

දියවැඩියා රෝගීන් තම පාද පිළිබඳ සැළකිලිමත් නොවීම මත කලක් ගතවන විට කකුල අවදානම් කකුලක් බවට පත්වීම වළක්වන්න බැහැ. ඒ සඳහා ඔබ පහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම වැදගත්.

  • ඇඳෙන් බැස සිටින සෑම මොහොතකම, ගෙතුලදීත් දෙපා හොඳින් ආවරණය වන ලෙස පාවහන් පැළඳීම.
  • නිතර පවුලේ කෙනෙකු ලවා දෙපා, ඇඟිලිකරු ආදිය පරික්ෂා කරවා ගැනීම.
  • දියවැඩියා තත්ත්වයන් හොඳින් පාලනය කරගැනීම.

වහා ප්‍රතිකාර සඳහා යොමු වීම

diabetes.greaterGood.com

ඔබට දියවැඩියාවේ රෝග ලක්ෂණ පවතින බව දැන දැනත්, එය ප්‍රතිකාර ගෙන පාලනය කළ යුතු බව නොසිතීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ වයස අවුරුදු 75-80 ක් පමණ ජිවත් වන්නට සිටි අයෙක් වයස අවුරුදු 60-65ක් වැනි කාලයකදී අභාවයට පත් වීමයි. එසේ මිය යන්නේ ද වසර 5-10ක් පමණ කාලයක් රෝහල් වල දුක් විඳ, විශාල මුදලක් ද විනාශ වූ පසුවයි. එම නිසා මුලදීම නිසි ප්‍රතිකාර ගෙන රෝගයට සරිලන පරිදි ජිවත් විය යුතුයි.

නමුත් රෝගය සැදීමට පෙර සිටම පාලනය වුයේ නම්, රෝගය වැළදීමට ඇති ඉඩකඩ අහුරා ආරක්ෂා වුයේ නම්, (prevention) එයයි වැදගත්ම දෙය වන්නේ. නිදසුනක් ලෙස දියවැඩියාවෙන් ආරක්ෂා විමට නම් ඔබේ බර පාලනය කර ස්ථුල වීම වළක්වා ගැනීමට පියවර ගත යුතුයි.

Cover- diabetes.greaterGood.com

මූලාශ්‍ර

What is Diabetes? – Diabetes Australia

Diabetes – Medical News Today

Diabetes Symptoms – MedicineNet

What is Diabetes – NIDDK

Diabetes Overview – WebMD

Understanding Diabetes Symptoms – WebMD

Related Articles