Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

“ඔටිසම්” ගැන දැනගනිමු

අපේ සමාජය තුළ තවමත් ප්‍රමාණවත් දැනුවත් වීමක් නැති වුව ද දරුවන් ගොදුරුවන රෝග තත්ත්වයක් ලෙස “ඔටිසම්” තත්ත්වය හඳුනාගැනීමට පුළුවන. “ඔටිසම්” යනු දරුවන්ගේ  සාමාජයීය හැකියාවන් හා හැසිරීම සම්බන්ධයෙන් ගැටළු ඇති කරවන   තත්ත්වයක් වේ.

psychiatryadvisor.com ( දරුවන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ගැටළු ඇතී කරවන තත්ත්වයකි)

එම තත්ත්වය ළමා වියේදී ඇතිවන අතර මොළයේ ස්නායු වර්ධනයේ ගැටළු එයට හේතු වේ. මෙම ගැටළුකාරී තත්ත්වය උපතින් පසු දරුවකුගේ පළමු  වසර තුල දී පමණ ඇතිවෙනවා. දරුවාට වයස අවරුදු දෙක පමණ කාලය මෙහි රෝග විනිශ්චය සිදු කිරීමට සුදුසුම කාලය වන අතර, ඒ කාලයේ දී රෝගය හඳුනාගැනීම ඉදිරියේදී දරුවාට ඇති විය හැකි සංකුලතා මගහරවා ගැනීමට උදව් වෙනවා. නමුත් බොහෝ විට පෙරපාසල් අවධිය දක්වාම මෙම ගැටලුකාරී තත්ත්වය හඳුනාගැනීම ප්‍රමාද වීමක් දකින්නට පුළුවන්. එයට හේතුව මේ සම්බන්ධව දෙමාපියන්ට නිසි දැනුවත් වීමක් නොතිබීමයි.

ඔටිසම් ඇති වන්නට බලපාන හේතු.

මේ තත්ත්වය සඳහා බලපානවා යැයි කිවහැකි ස්ථිර හේතුවක් මේ දක්වා සොයාගෙන නැහැ. එසේ වුවත් මේ සඳහා බලපාන බවට අනුමාන කරන හේතු කරනා මේ ආකාරයට හඳුනාගන්න පුළුවන්. පළමුකොටම,දරු උපත ආශ්‍රිත ගැටළු මෙයට බලපාන්නට පුළුවන්. බොහෝවිට ගැබිණි සමයේදී මවට ඇති වෙන රෝගවලට ලබා ගන්නා බෙහෙත් දරුවාට බලපාන්නට පුළුවන්. එමෙන්ම ගැබිණි සමයේ දී මව මානසික ගැටළු පීඩා වලට ලක් වීමත් දරුවාට අනිසි ලෙස බලපෑමට හැකියි. මීට අමතරව, දරුවා බිහිවන අවස්ථාවේ දරුවාට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය හිඟ වීම නිසා මොළයට අවශ්‍ය තරම් ඔක්සිජන් නොලැබී යාමෙන් ඇතිවන තත්ත්වයන් ද හේතු විය හැකියි. මේ ආකාරයේ උපත අශ්‍රිතව ඇතිවන විවිධ ගැටළු දරුවාට ඔටිසම් තත්ත්වය ඇති කිරීමේ හේතු වීමට පුළුවන්. එමෙන්ම ජානමය හේතුද ඔටිසම් ඇතිවීම කෙරෙහි බලපාන්නට පුළුවන්. මවගේ හෝ පියාගේ පරම්පරාවේ ඔටිසම් තත්ත්වයට ලක් වූ අයෙකු සිටී නම් දරුවන්ටත් එය ඇති වන්නට සම්භාවිතාවක් තිබෙනවා. තවද ළදරු වියේදී ඇතිවන බරපතල රෝගී තත්ත්වයන්ද ඔටිසම් ඇති වීම සදහා හේතු විය හැකියි.

මිට අමතරව (අපේ රට තුල අඩු මට්ටමක පැවතියත්) ලෝකයේ බොහෝ කාන්තාවන් දුම් බිමට යොමු වී සිටිනවා. එවැනි කාන්තාවන්ට ද  මෙම තත්ත්වයට ගොදුරු වූ දරුවන් බිහි වීමේ අවදානමක් පවතිනවා. එසේම පාරසරික සාධක ද මේ සදහා බලපාන්නට පුළුවන්. මෙහිදී බහුලම සාධකය වන්නේ දරුවන් හුදෙකලා බවට පත්වීමයි. බොහෝ විට දෙමාපියන්ගෙන් ලැබිය යුතු ආදරය, ආරක්ෂාව ඉතාමත් කුඩා කාලයේදීම නොලැබී යාම නිසා දරුවන් මෙම තත්ත්වයට ගොදුරු වීමේ ප්‍රවනතාවයක් පවතිනවා.

“ඔටිසම්” තත්ත්වය හදුනා ගන්නේ කෙසේද?

globaltoynews.com (ඔටිසම් යනු විවිධ ලක්ෂණ රැසක එකතුවක්)

මෙම තත්ත්වය විවිධ ආකාරයේ රෝග ලක්ෂණ රැසක එකතුවක්. එනිසා ඔටිසම් සහිත දරුවන් විවිධාකාර රෝග ලක්ෂණයන් රැසක් පෙන්නුම් කරනවා. මෙම ලක්ෂණයන් තිබූ පමණින්ම එය ඔටිසම් යැයි කිව නොහැකියි.  නමුත් ඔටිසම් බවට හඳුනාගැනීමේදී එම ලක්ෂණ පිළිබදව අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. එහිදී ප්‍රධානම ලක්ෂණ දෙක වශයෙන් දරුවාගේ සමාජමය සන්නිවේදන හැකියාවන් වලට බලපෑමක් සිදු වීම මෙන්ම, නොගැලපෙන චර්යා රටා වර්ධනය වීම හඳුනාගන්නට පුළුවන්.

ඒ අනුව සලකා බලන කල, වයස අවරුදු 1 ½ පමණ කාලය වන විට දරුවා, කතා කරන්නට පටන්ගෙන තිබී එම කතා කිරීමේ හැකියාව එකවරම නතර වීම හා කතා කිරීමට ප්‍රමාද වන අවස්ථා දැකගන්නට පුළුවන්. එමෙන්ම මෙවැනි දරුවන් කතා කරන විට ඇසට ඇස (eye contact) බලමින් කතා කිරීමට අකමැති වෙනවා. වචන වලින් යමක් ඉල්ලීමට අපහසුතා පවතිනවා මෙන්ම සරල ප්‍රශ්නයක් ඇසුවද එයට කල්පනා කර උත්තර දීමේ හැකියාවෙහි ද අපහසුතා ඇති වෙනවා. එමෙන්ම මෙම දරුවන්ට ඇඟිල්ලෙන් යමක් පෙන්වූ විට ඒ දෙස නොබැලීම ද,  දරුවා ද ඇඟිල්ලෙන් එලෙස යම් යම් දේ නොපෙන්වීමද හදුනා ගන්නට පුළුවන්. මෙවැනි සමහර දරුවන් තනිව සිටීමට වැඩි කැමැත්තක් දක්වන අතර සම වයසේ දරුවන් සමග මුහු වෙමින් සෙල්ලම් කරන්නට යොමු වන්නේද නැහැ. එමෙන්ම සෙල්ලම් බඩුවක් දුන් විට එදෙස බල සිටීමටත්, එයට නොගැලපෙන ආකාරයට එය භාවිත කිරීමත් දකින්නට පුළුවන්. උදාහරණ ලෙස, ඔවුන්ට සෙල්ලම් කාරයක් ලබා දුන් විට එය පදවනවා වෙනුවට අනෙක් පස හරවා එහි රෝද දෙස බලා සිටීමත්, රෝද කරකවමින් විනෝද වීමත් දැක්විය හැකියි.  කඩදාසියක් (පුවත්පතක් වැනි) ලබා දුන් විට  එය කැබලි වලට ඉරා දමමින් එය සමගම එක දිගටම සෙල්ලම් කරමින් සිටිනු ද දකින්නට පුළුවන්. මේ දරුවන් කරකැවෙන දේවල් වලටද වැඩි කැමැත්තක් දක්වනවා. එනිසා සිවිලිම් විදුලි පංකාවක් ඇති කාමරයකට ගියහොත් කොතරම් බැලීමට දේවල් තිබුනද  ඔවුන් විදුලි පංකාව කැරකෙන දෙස බලා  සිටිනවා.

එසේමමෙම දරුවන් යම්කිසි දෙයක් සිදුවෙමින් පවතින ආකාරය වෙනස් වනවාට කැමති නැහැ. එමෙන්ම ඔවුන් යම්කිසි පිළිවෙලකටම කටයුතු කරන්නට පෙළඹෙන  බවක් දකින්නට පුළුවන්. කිසිදු හේතුවකින් තොරව කැගසා හඩන්නටත් හිනාවන්නටත් යොමු වීමත්, සමහර දරුවන්ගෙන් ප්‍රශ්නයක් ඇසූ විට එයට පිළිතුරු දෙනු වෙනුවට එම ප්‍රශ්නයම පුනරුච්චාරණය කිරීමත් මෙහි ඇතැම් ලක්ෂනයන්. තව ද තමාටම තනිව කතා කරගන්නවා මෙන්ම කලින් අසන්නට ලැබුණු වචන තැනට අනුචිත ආකාරයෙන් පුනරුච්චාරණය කරනු දකින්නටත් පුළුවන්.

මෙම දරුවන් කෑම සැපීමෙන් තොරව ගිලීමටත්, සූප්පු කර විසි කරන්නටත් මෙන්ම, කෑම ගැනීමට දැඩි අකමැත්තක් හෝ දැඩි කැමැත්තක් දක්වනවා දැකගන්නට පුළුවන්. ඔවුන්ගේ ඇති අසාමාන්‍ය ස්නායු සන්නිවේදනයන් මෙයට හේතු වෙනවා. එමෙන්ම ඇතැම් දරුවන් අන් අයට තුරුළු වී සිටින්නට හෝ, තම ශරීරයට කොනිත්තගනිමින් රිදවා ගන්නට කැමති වන්නට ද පුළුවන්.

ඔටිසම් තත්ත්වය ඇති දරුවෙකු පැහැදිලිවම අධි ක්‍රියාකාරී හෝ කම්මැලි බවක් දකින්නට හැකි වෙනවා. සමහර දරුවන් විවිධ අංග චලන හා ශබ්ද භාවිතා කරනු දකින්නට පුළුවන්.  එනම් පැද්දෙමින් සිටීම, ඇඟිලි සොලවමින් ඒ දෙස බලා සිටීම, උඩ පැනීම හෝ වේගයෙන් දිව යාම අදිය මෙන්ම කන් වලට ඇඟිලි ගසාගෙන කෑගැසීම ආදියයි. මෙම දරුවන් සමහර විට ශබ්ද වලට අධික සංවේදීතාවයක් දැක්වීමද දකින්නට පුළුවන්.

specialworld.net (ශබ්ද වලට අධික සංවේදීතාවයක් දැක්වීමද දකින්නට පුළුවන්)

මොවුන්ගේ කන් ඇසීම හා ඇස් පෙනීම සාමාන්‍ය තත්ත්වයක පැවතුන ද මව්පියන්  කතා කරන විට ඔවුන්ට ප්‍රතිචාර නොදක්වා  සිටීම ද දකින්නට පුළුවන්.

ඔටිසම් තත්ත්වය ඇති දරුවකු රැකබලා ගන්නේ කෙසේද?

මෙම තත්ත්වයට ලක් වූ දරුවකු සමග කටයුතු කරන විට ඉතාමත් සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වෙනවා. මන්ද යත් වැරදි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමෙන් දරුවාට ඇති අපහසුතා තවත් උග්‍ර වීමට හැකි නිසායි. එනිසා මෙවැනි දරුවෙකුට සැරවැර කරමින් තරවටු කිරීම ඉතාමත් නුසුදුසුයි. දරුවාට අවශ්‍ය ආදරය සැමවිටම ලබා දීමට වගබලා ගත යුතුයි. එමෙන්ම දරුවාගේ පවතින යහපත් හැසිරීම් වර්ධනය කරන්නටත්, නොගැලපෙන හැසිරීම් ක්‍රමයෙන් පාලනය කරන්නටත් නිතර අවධානය යොමු කළ යුතු වෙනවා. එහිදී දරුවාට  සම්පූර්ණ අවධානය යොමු කිරීම අවශ්‍යයි.

mensahmedical.com (දරුවාට අවශ්‍ය ආදරය ලබා දෙමින් රැක බලා ගැනීම.)

මේ තත්ත්වය දරුවකුගේ ජීවිත කාලය පුරාවටම බලපාන තත්ත්වයක් බැවින් කුඩා කාලයේ සිටම නිවැරදිව තත්ත්වය හඳුනාගෙන  ප්‍රතිකාර කිරීම මගින් වැඩිහිටි වියේදී තත්ත්වය පාලනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා.

කෙසේ නමුත් මේ සදහා නිශ්චිත ප්‍රතිකාරයක් මෙතෙක් සොයාගෙන නොමැති අතර විවිධ ආකාරයේ මනෝ සහ රසායනික චිකිත්සක ප්‍රතිකාරයන් ලබාදිය හැකියි. මොලයේ ස්නායු රසායන ද්‍රව්‍ය වල හැසිරීම වෙනස් කරන විශේෂ බෙහෙත් වර්ග, කථන හා භාෂා චිකිත්සාව මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා.

ඔබේ දරුවාටත් ඔටිසම් රෝගය ඇතැයි සැක කරනවා නම් සෞඛ්‍ය වෘත්තිකයෙකු සම්බන්ධ කරගැනීම අනිවාර්යයි.

කවරයේ පින්තුරය : funwithlittleones.com (එකිනෙකට වෙනස් විය හැකි ලක්ෂණ මෙම දරුවන් තුල දැකගැනීමට පුළුවන.)

මුලාශ්‍ර :

Related Articles