Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොකද්ද ද මේ “කීටො ඩයට්”?

අධිබර (overweight) සහ ස්ථුලතාව (obesity) මේ දවස්වල බොහෝ දෙනෙක් මුහුණපාන ගැටළුවක්. සෞඛ්‍යමය පැත්තෙන් ගත්තත්, ශරීරයේ හැඩය සම්බන්ධයෙන් ගත්තත් අධිබර සහ ස්ථුලතාව කියන්නේ අවම කරගත යුතු ම දෙයක්. මේ නිසාම අධිබර සහ ස්ථුලතාව අඩුකර ගැනීමේ විවිධ ක්‍රම කාලෙන් කාලෙට කරලියට එනවා. විකල්ප ආහාර විධි (alternative diets) කියන්නෙ එහෙම ජනප්‍රිය වුණ එක ක්‍රමයක්. තව ටිකක් විස්තර කරනවා නම්, තමන් හුරු වෙලා තියෙන විධියට වඩා වෙනස් රටාවකට ආහාර ගැනීම යි මේ. මේකෙදි සිද්ධවෙන්නෙ මූලිකවම ආහාරවේලක තියෙන කාබෝහයිඩ්‍රේට් (බත්, අල, බතල, පාන් වගේ දේවලින් ලැබෙන) ප්‍රමාණය අඩු කිරීම. මොකද කාබෝහයිඩ්‍රේට්වලින් ලැබෙන අමතර ශක්තිය තමයි මේද විදියට ශරීරයේ තැම්පත් වෙලා අධිබර සහ ස්ථුලතාව ඇතිකරන්නේ. මේ ලක්ෂණය පාදක කරගෙන විකල්ප ආහාර විධි විවිධ නම්වලින් හඳුන්වනවා. කාබෝහයිඩ්‍රේට් අඩු ආහාර (Low carbohydrate diet), කාබෝහයිඩ්‍රේට් ඉතා අඩු ආහාර (Very-low carbohydrate diet), ප්‍රෝටීන් අධික ආහාර (High protein diet), මේද අධික ආහාර (High fat diet), සහ Ketogenic (Keto) diet විදියට.

Source: sarasotamagazine.com

මේ කතාව තව දුරටත් පැහැදිලි කරගන්න අපේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය සම්බන්ධයෙන් පුංචි අවබෝධයක් ඇතිකරගන්න වෙනවා. අපට ශරීරයේ බොහෝ දේවල් (සෛලයක් තුළට පෝෂක ද්‍රව්‍යක් ලබා ගැනීමේ ඉඳලා ශරීරයේ චලනයන් සිදුකිරීම දක්වා) සිදු කරගන්න ශක්තිය අවශ්‍ය වෙනවා. මේ ශක්තිය ලබා ගන්න ශරීරය ශක්ති ප්‍රභවයන් කීපයක් බාවිතා කරනවා. මේකට හේතුව, එක ශක්ති ප්‍රභවයක් මත පමණක් යැපීම ආරක්ෂාකාරී නොවෙන නිසා (ඒ ශක්ති ප්‍රභවය නැති වුනොත් පරිවෘත්තීය ක්‍රියා නතරවෙන නිසා). ග්ලුකෝස්, මේද අම්ල (fatty acids), සහ කීටෝන දේහ (ketone bodies) තමයි අපේ ශරීරය භාවිතා කරන ශක්ති ප්‍රභවයන් වෙන්නෙ. ග්ලුකෝස් ලබාගන්නෙ කාබෝහයිඩ්‍රේට ජීරණය මඟින් කියලා බොහෝ දෙනෙක් දන්නවා ඇති. ඒ වගේම මේද අම්ල සහ කීටෝන් බොඩීස් ලැබෙන්නෙ ලිපිඩ, එහෙම නැත්නම් මේද ජීර්ණය කිරීමෙන්.

ශරීරය ප්‍රාථමික ශක්ති ප්‍රභවය විදියට පාවිච්චි කරන්නෙ ග්ලුකෝස්. ඒත් ශරීරයට ලැබෙන ග්ලුකෝස් ප්‍රමාණය අඩු වුනොත් අනෙක් ශක්ති ප්‍රභවයන් පාවිච්චි කරන්න පටන් ගන්නවා (මේක දීර්ඝ කාලයක් පරීක්ෂණ කරලා තහවුරු කරගත්ත දෙයක්). මේක තමයි විකල්ප ආහාර විධි හැම එකකටම පදනම් වෙලා තියෙන සිද්ධාන්තය. මෙතෙන දී තර්කය වෙන්නෙ ආහාර විදියට ගන්න ග්ලුකෝස් ප්‍රමාණය අඩු කලොත් ශරීරය අනෙක් ශක්ති ප්‍රභවයන් පාවිච්චි කරන්න පටන් ගන්නවා කියන එක. සරලව කිව්වොත් කලින් ශක්තිය ලබා ගන්න ග්ලුකෝස් පාවිච්චි කරපු සෛල ග්ලුකෝස් හිඟ වීම නිසා මේද අම්ල හෝ කීටෝන් දේහවලින් ශක්තිය ලබාගන්නවා. මෙතන දීම සඳහන් කරන්න ඕන අපේ ශරීරයේ සමහර සෛලවලට ග්ලුකෝස් අත්‍යාවශ යි (රතු රුධිර සෛල, ඇසේ සහ වකුගඩුවල සමහර සෛල). ඒ සෛලවල මේ පරිවර්තනය සිද්ධවෙන්නෙ නෑ. ඒක නිසා යම් තරමක ග්ලුකෝස් ප්‍රමාණයක් මේ සෛලවල පැවැත්මට ශරීරයේ තියෙන්නම ඕනෙ.

බර අඩු වෙන්නෙ කොහොමද?

ශරීරයට දෛනික ක්‍රියාකාරකම්වලට අවශ්‍ය ශක්තිය ලබාදෙන ශක්ති ප්‍රභව ලැබෙන්නෙ කාබෝහයිඩ්‍රේට සහ මේද ජීර්ණය කිරීමෙන් කියලා මුලින් පැහැදිලි කලා. මේ කාබෝහයිඩ්‍රේට සහ මේද ලබා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් ආහාරවලින්. අනෙක් විදිය ශරීරයේ තැම්පත් කරගත්ත සංචිතවලින්. ආහාරවලින් ලැබෙන ශක්තිය දෛනික ක්‍රියාකාරකම්වලට ප්‍රමාණවත් නොවෙන අවස්තාවල දී, පෙර තැම්පත් කරගත්ත සංචිත ආහාර විදියට ශරීරය පාවිච්චි කරනවා. ඒ වගේම දෛනික අවශ්‍යතාවට වඩා ශක්තිය ආහාරවලින් ලැබුනොත් ආහාර හිඟ වෙලාවක දී පාවිච්චියට තැම්පත් කරගන්නත් ශරීරය ක්‍රියා කරනවා. ඉතින් කාබෝහයිඩ්‍රේට අඩු ආහාර රටාවකට හුරුවෙලා ප්‍රාථමික ශක්ති ප්‍රභවය මේද අම්ල හෝ කීටෝන් දේහ බවට පරිවර්තනය වුණ කෙනෙක් දෛනික අවශ්‍යතාවට වඩා අඩුවෙන් ආහාර ගත්තොත්, ශරීරයේ සංචිත මේද ජීර්ණය වෙලා මේද අම්ල සහ කීටෝන් දේහ නිපදවනවා. මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවුණොත්, ඒ කියන්නේ මූලික ශක්ති ප්‍රභවය අම්ල සහ කීටෝන් දේහ බවට පරිවර්තනය වීම සහ දෛනික අවශ්‍යතාවට වඩා අඩු ශක්ති ප්‍රමාණයක් ආහාරවලින් ලැබුනොත්, අධිබර සහ ස්ථුලතාව ඇතිකරන මේද සංචිත ක්ෂය වෙන්න පටන් ගන්නවා. සරලව කිව්වොත් බර අඩු වෙනවා.

ශරීරයේ සංචිත මේද ජීර්ණය වෙලා මේද අම්ල සහ කීටෝන් දේහ නිපදවන ක්‍රියාවලිය Ketogenesis විදියට හඳුන්වනවා. Ketogenesis වැඩි කරන ආකාරයේ ආහාර විධි Ketogenic ඩයට් විදියට හඳුන්වනවා. Ketogenic ඩයට් කියන වචන කෙටියෙන් කීටො ඩයට් විදියට හඳුන්වනවා.

කීටෝ ආහාර වේලක අඩංගු විය යුත්තේ මොනවා ද? Source: kemin.com

ආහාර වේලක් කීටො ඩයට් එකක් වෙන්න නම් සම්පූර්ණ කරන්න ඕන අවශ්‍යතාවන් දෙකක් තියෙනවා. පළවෙනි එක, ආහාර වේලෙ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩු වෙන්න ඕනෙ (මුළු ශක්ති ප්‍රමාණයෙන් 5% – 10% නැත්නම් දවසකට ග්‍රෑම් 20 – 50 ප්‍රමාණයක්). ඊළඟට ආහාර වේලෙ අඩංගු ශක්තිය ප්‍රමාණය (මේක මනින්න කැලරි කියන මිනුමි ඒකකය බාවිතා කරනවා) ආහාර වේල ලබාගන්න කෙනාගෙ අවශතාවයට වඩා අඩු අගයක් වෙන්න ඕන.

කීටො ඩයට්වල හොඳ – නරක, සහ දීර්ඝ කාලීන බලපෑම් සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයන් සිදුකරලා තියෙනවා. ඒ වගේම තවමත් අධ්‍යයනයන් කෙරෙමින් පවතිනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු තවත් ලිපියකින් ඉදිරිපත් කරන්නම්.

Source: hvmn.com

Related Articles