Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජීවිතයට අපූර්ව පාඩමක් කියාදෙන කිංසුගි කලාව

මොකක්ද මේ ‘කිංසුගි කලාව’ කියන්නේ?

‘කිංසුගි’ එහෙමත් නැත්නම් ‘කිංසුකුරෝයි’ කියන්නේ බොහොම අනාදිමත් කාලෙක පටන් ජපානයේ ස්ථාපනය වූ සම්ප්‍ර‍දායක්. කිංසුගි කලාවේ ආරම්භය පිළිබද මතවාද කිහිපයක් ම පැවතියත් ඒ අතරින් එක් මතවාදයක් ප්‍ර‍මුඛ ලෙස පිළිගැනීමට ලක්ව තිබෙනවා. ඒ අනුව කියවෙන්නේ 15 වන ශතවර්ෂයේ ‘අෂිකාගා යොෂිමාසා’ නම් ජපන් ‍‍‍ෂෝගුන්වරයා කැබලිවලට කැඩී ගිය‍ තමන්ගේ ප්‍රියතම චීන ‍තේ බදුන නැවත පිළිසකර කර ගැනීම සදහා චීනයට යැවූ බව යි. ‍නමුත් එකළ පිළිගත් ප්‍රමිතිය වූ ‍ලෝහ අමුද්‍රව්‍ය භාවිත‍යෙන් මේ පිළිසකර කිරීම සිදු කළත් ඉන් එහි වූ සුන්දරත්වයට හානි වී තිබුණා. කලකිරීමට පත් ‍‍ෂෝගුන්වරයා ‍කැඩී ගිය ‍බඳුන පිළිසකර කිරීමට වඩාත් ප්‍රිය, සුන්දර විසඳුමක් ‍සෙවීමට ජපන් නිර්මාණකරුවන් බදවා ගත්තා. මොවුන්ගේ දෑතින් කිංසුගි කලාව උපත ලැබූ බවයි මේ වන විට ප්‍ර‍කට ලෙස පිළිගැනෙන්නේ.

blatobran.wordpress.com

මෙහිදී සිදු කරන්නේ කැඩී බිඳී ගිය පිඟන් බඩුවල දාර නැවත රත්‍රං වලින් මූට්ටු කිරීමක්. මෙසේ කිරීමෙන් ඒ පිගන් භාණ්ඩවලට පෙර පැවතියාට වඩා වැඩි අලංකාරයක් වගේ ම වටිනාකමක් එකතු වෙනවා. පළමුවෙන් ම කැඩී ගිය කොටස් චීන ලාක්ෂා ශාඛයක් වන උරුෂි ශාඛයේ යුෂ උපයෝගී කරගනිමින් එකට අලවනු ලබනවා. ඉන්පසුව අවසන් උරුෂි තට්ටුව මත රත්රන් කුඩු ආලේප කර ඔප දමනු ලබනවා. කෙසේ නමුත් උරුෂි යුෂ එකතු කිරීම තරමක් අවධානම්. මන්ද යත් එහි පවත්නා ආවේණික විෂ සහිත ස්වභාවය නිසා. එ‍‍හෙත් වරක් වියළී ඝන වූ පසු ව එහි විෂ සහිත ස්වභාවය නැති වන නිසා ලාක්ෂා භාණ්ඩ පරිහරණයට බිය විය යුතු නැහැ.

උරුෂි ශාඛයේ යුෂ ලබා ගැනීම japanjoboji.com

රත්රන් කුඩු ‍මෙන් ම රිදී, තඹ හෝ ලෝකඩ වැනි ලෝහයන් ද භාවිත කරනු ලබනවා. මෙම ක්‍රියාවලිය හුදෙක් පිළිසකර කිරීමේ ක්‍රියාවලියක් පමණක් ම නොවන අතර කලාත්මක කාර්යයක් ද වේ. අද වන විට සාම්ප්‍ර‍දායික ලාක්ෂා ක්‍ර‍මවේදයන්ගෙන් ඔබ්බට ගොස් නූතන ක්‍ර‍මවේදයනුත් මේ සදහා භාවිත කරනු ලබනවා.

අද වන විට ජපන් සම්ප්‍රදාය තුළට කෙමෙන් මුසු වූ කිංසුගි කලාව චීනය, වියට්නාමය සහ කොරියාව වැනි අසල්වැසි රටවලටත් පැතිරී ගොස් අවසන්.

කිංසුගි පිටුපස පවත්නා දාර්ශනික පසුබිම

සම්ප්‍ර‍දායෙන් එහා ගිය ගැඹුරු දාර්ශනික පසුබිමක් ජපානයේ පෞරාණික බොහෝ කලාත්මක නිර්මාණයන්ගේ මෙන් ම මේ කලාව සම්බන්ධයෙන් ද දැක ගත හැකියි. හයිකු, ඉකෙබානා සහ ජපානයේ සාම්ප්‍ර‍දායික ආහාර පිසීමේ පුරුදු ආදී සියල්ලම පාහේ සරල සහ දැනටමත් අප අවට පවත්නා ලෝකයේ සුන්දරත්වය පිටතට විදහා පෙන්වන ආකාරයේ මූලධර්මයන්ගෙන් යුක්තයි.

කිංසුගි කලාවේ දී කැඩී බිදීයාමක් යනු එම භාණ්ඩය සම්බන්ධ ඉතිහාසයේ එක් කොටසක් ලෙසට සලකනු ලබනවා. එම නිසා එය නැවත පිළිසකර කිරීම අදාළ පලුද්ද සැගවීමකට දරන උත්සාහයක් නොව එය දීප්තිමත් කිරීමට දරන උත්සාහයකි.

Wabi-sabi නම් ජපන් දර්ශනයට සමානතා කිංසුගි තුළත් දකින්නට පුළුවන්. Wabi-sabi ලෙස හැදින්වෙන්නේ පළුදු සහ අසම්පූර්ණතා වැළඳගැනීම පිළිබද දර්ශනයක්. මෙම දර්ශනය අනුව දීර්ඝ කාලයක් පුරාවට තම සන්තකයේ ප්‍රවේසම් කරගත් භාණ්ඩයක් අප ඇසුරු කරනා ජීවී පුද්ගලයන් ලෙසින් ම පරෙස්සම් කළ යුතු යැයි සැලකේ. ඒ අනුව එම භාණ්ඩයට සිදු වූ පළුද්ද  එම භාණ්ඩයේ ජීව කාලය තුළ  වැදගත් එක් අවස්ථාවක් පමණක් වන අතර එහි පැවැත්මේ නිමාව සනිටුහන් කරන්නක් නොවේ.

jeanninecook.com

ඒ වගේම මනුෂ්‍ය ජීවිතයේ වෙනස්වීම් පිළිගැනීම සහ දෛවය වැනි දේ කතා කරන mushin (මනසක් නොමැති බව) දර්ශනයත් මේ හා සමානයි. ඒ අනුව පළුදුවීම් කියන්නේ ඍණාත්මක දෙයක්ය යන පුළුල්ව පැතිර තිබෙන මතවාදය පසෙකලා එම පළුදුවීම් පිළිගැනීමත් එම වෙනස මගින් ඇති වූ නව පැවැත්ම දීප්තිමත් ලෙස  භාරගැනීමත් මෙහිදී සිදුවේ. බොහෝ අවස්ථාවලදී අපට අවශ්‍ය කරන්නේ අලුතින්ම ගත් දෙයක් සේ හොඳින් පවතින බව පෙනෙන ආකාරයට පිළිසකර කරන්න. නමුත් කිංසුගි කියන්නේ ඒ ආකල්පයට විකල්පයක්.

ජීවිතයට කිංසුගි කලාව කියා දෙන අපූර්ව පාඩම

කිංසුගි අපේ ජීවිතවලට හොද උපමාවක්. අපි හැමෝම ජීවිතේ කවර හෝ මොහොතක කුමන හෝ ආකාරයකට කඩා වැටීම්වලට මුහුණ දෙනවා. ඒ කඩා වැටීම්වලට මුහුණ දෙන ආකාරය තෝරාගැනීම අප සතුයි.

සමහරු ඒ කඩාවැටීම්වලට ඇලිලා කවදාවත් ම එය සුව කර ගැනීමෙන් වැළකී සිටිනවා. සමහර වෙලාවට අප උත්සාහ කරන්නේ කිසිම කඩා වැටීමක් නැති බව ලෝකයාට අඟවමින් අපේ සෙවණැලි තුළ ඒ බිදීම් සඟවන්නට යි.

තවත් වෙලාවක කඩා වැටීම් සුව කරගන්න අප අපට ම කාලය සහ අවශ්‍ය කළමනා සපයනවා. නමුත් වැදගත් ම දේ මේ පියවරෙන් ඔබ්බට ගිහින් මහන්සියෙන් ක්‍රියාත්මක වෙමින් කඩා වැටුණු කොටස් සුව කිරීමට අමතර ව ඒවා පෙරටත් වඩා ශක්තිමත්ව සහ අලංකාරව වර්ධනයට පියවර ගැනීම.

කිංසුගි කලාවේ දී රත්රන් මගින් භාණ්ඩයේ පලුද්ද පෙරටත් වඩා අලංකාරයෙන් සහ දීප්තිමත්ව ලෝකයට පෙන්වනවා වගේ ම අපගේ ජීවිතයේ ඇති වන කඩා වැටීම් දීප්තිමත් කරන රත්රන් ආලේපය අපේ පවුල, යහළුවන්, අප සමඟ සම්බන්ධතාවයක් ඇති ඕනෑම අයෙක් හෝ හොඳ පොතක් වෙන්නත් පුළුවන්. සමහර අවස්ථාවක දී ඒ ගැටුම හෝ පලුද්ද ඇතිව තිබෙන්නේ අප සම්බන්ධතාවයක් දක්වන්නෙකු සමග නම් සැකය, අපහසුව වෙනුවට ගෞරවය කියන රත්රන් ආලේපය යොදාගෙන ඒ සම්බන්ධතාවය විශිෂ්ට එකක් කර ගැනීමටත් පුළුවන්.

vintageinamodernworld.blogspot.com

ඒ වගේ ම තමයි අපි කතා කරන්න ආස කරන්නේ පරිපූර්ණ ආදර කතා ගැන, පරිපූර්ණ ලස්සන ගැන. එහෙත් අසම්පූර්ණතා පවතින අවස්ථා නිසා තමයි ලෝකය මෙතරම් පුදුම සහගත සහ සුන්දර වෙන්නේ. ඒ කාරණාව තේරුම් ගැනීමට කිංසුගි කලාව උදව් වෙනවා.

තවද මේ කලාව මගින් අපේ ජීවිතයේ බිඳ වැටීම් සඟවා ගැනීම වෙනුවට ඒවා ජීවිත කාලය තුළ දී ඕනෑම කෙනෙකුට මුහුණදීමට සිදු වන දෙයක් බව පිළිගැනීමට සලස්වනවා.  එම නිසා එක් වරක් බිඳ වැටීමක් යනු එය පිළිසකර කළ නොහැකි හානියක් නොවෙයි. පවුල, යහළුවන්, පොත් වැනි අපට වටිනා දේවල් මගින් නැවත එම කඩා වැටීම් යථා තත්ත්වයට පත් කරගෙන පෙරටත් වඩා දීප්තිමත් ලෙසින් ඉදිරියට ම ගමන් කළ හැකියි.

කිංසුගි අපට කියන්නේ මේ කතාව යි. ඔබ ඔබේ ජීවිතයේ කඩාවැටීම්වලින් නැවත සුන්දරත්වය ඇති කරගන්න බලාපොරොත්තු වෙනවා නම් කිංසුගි කියන්නේ හොඳ උත්තේජකයක්.

relevancy22.blogspot.com   

මූලාශ්‍ර‍: http://makezine.com

http://www.thisiscolossal.com

https://www.pachamama.org

https://www.thevintagenews.com

http://mykintsugilog.blogspot.com

Related Articles