Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘ද බීට්ල්ස්’ වෙන් වීමට හේතුව පෙම් හබයක් ද?

ජෝන් ලෙනන්, පෝල් මැකාට්නි, ජෝර්ජ් හැරිසන් සහ රින්ගෝ ස්ටාර් යන සිවු දෙනාගෙන් සැදුම්ලත් ‘ද බීට්ල්ස්’ සංගීත කණ්ඩායම පිළිබඳ අසා නැති කෙනෙක් නොමැති තරම් ය. එංගලන්තයේ ලිවර්පූල් නගරයේ ආරම්භ වූ මෙම සංගීත කණ්ඩායම ඉතා කෙටි කාලයක් තුළ සංගීත ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් සිදු කරන්නට සමත් විය.

1963 වසරේ දී “Please Please Me” ඇල්බමය නිකුත් කරමින් කරළියට පැමිණි ඔවුන් ගේ අවසාන ඇල්බම වූයේ 1969 වසරේ දී නිකුත් කළ  “Let It Be” සහ “Abbey Road” යන ඒවා යි.

‘ද බීට්ල්ස්’ කණ්ඩායමේ ලාංඡනය – www.wikimedia.commons.org

ලෙනන්, මැකාට්නි, හැරිසන් සහ ස්ටාර් නව යොවුන් වියේ දී සංගීත ක්ෂේත්‍රයට පිවිසි අතර වයස අවුරුදු 20 වන විට ඔවුන් සුපිරි තරු බවට පත් වී තිබිණි. කෙසේ නමුත් ‘ද බීට්ල්ස්’ සංගීත කණ්ඩායම පිහිටුවා වසර හතක් වැනි ඉතා සුළු කාලයක් තුළ ලෙනන් කණ්ඩායම හැර ගියේ ය.

එතැන් පටන් බීට්ල්ස් කණ්ඩායම විශාල පසුබෑමකට ලක් විය. එම වෙන්වීමට බලපෑ හේතු කිහිපයක් පිළිබඳ විවිධ මත තිබෙන අතර මෙම ලිපිය ඒ පිළිබඳව යි.

කණ්ඩායමේ සාමාජිකයෝ – www.britannica.com

කළමනාකරු සමඟ ඇති වූ මත ගැටුම්

‘ද බීට්ල්ස්’ සාමාජිකයන්ගේ වෙන් වීම ආරම්භ වූයේ 1967 අගෝස්තු 27 දින ඔවුන්ගේ කළමනාකරු ලෙස කටයුතු කළ බ්‍රයන් එප්ස්ටයින් ගේ මරණයත් සමඟ බව සමහරුන්ගේ මතය යි.

ශබ්දාගාර සඳහා අවශ්‍ය උපකරණ අලෙවිසලක හිමිකරුවකු වූ එප්ස්ටයින්ට සංගීත කණ්ඩායම් කළමනාකරණය පිළිබඳ ව කිසිදු දැනුමක් නොතිබුණත් ‘ද බීට්ල්ස්’ කණ්ඩායම ලොව පුරා ප්‍රචලිත කරන්නට ඔහු සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේ ය. ඊට අමතර ව ඔහු ‘Northern Songs Ltd.’ නමින් සමාගමක් ආරම්භ කර ලෙනන් සහ මැකාට්නිට එම සමාගමේ කොටස් 15% බැගින් ලබා දුන්නේ ය.

ප්‍රේක්ෂකයන්ගේ ඝෝෂාව නිසා තමන් ගායනා කරන හඬ පවා ඇසීමට නොහැකි තරම් විශාල ජනකායක් සහභාගී වූ සංදර්ශනවලට නිරන්තරයෙන් සහභාගී වීම නිසා වෙහෙසට පත්ව සිටි ‘ද බීට්ල්ස්’ සාමාජිකයෝ 1966 වසරේ දී සජීවී සංගීත සංදර්ශනවලට සහභාගී වීම නැවැත්වීමට තීරණය කළහ. ඒ හරහා තමන්ගේ නිර්මාණවල ගුණාත්මක බව වැඩි කරගත හැකි යැයි ඔවුන් සිතූ නමුත් එප්ස්ටයින් එම තීරණයට විරුද්ධ විය.

‘ද බීට්ල්ස්’ සජීවී ප්‍රසංගයක් අතරතුර – www.rollingstones.com

ඉන් අනතුරුව “Sgt. Pepper’s Lonely Hearts Club Band” කණ්ඩායම සමඟ එක්ව කටයුතු කළ ‘ද බීට්ල්ස්’ සාමාජිකයන් ගේ ආදායම කෙමෙන් කෙමෙන් අඩු වූ අතර ඔවුන් සහ එප්ස්ටයින් අතර තිබූ සම්බන්ධය ද වියැකී යන්නට විය.

එප්ස්ටයින් මිය යාම

1967 අගෝස්තු 27 දින මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් භාවිත කිරීම නිසා එප්සටයින් මිය ගිය අතර එය ‘ද බීට්ල්ස්’ සාමාජිකයන්ට සිදු වූ විශාල පාඩුවකි. කණ්ඩායමේ මූල්‍ය සහ අනිකුත් සියලු කටයුතු කළමනාකරණය කළ එප්ස්ටයින්ගේ අභාවයෙන් පසු වෙනත් කළමනාකරුවකු පත් කරගැනීමට ඔවුහු තීරණය කළහ. එහිදී වෙනත් ආයතනයක කළමනාකරු ලෙස කටයුතු කරමින් සිටි ඇලන් ක්ලෙයින් ‘ද බීට්ල්ස්’ කළමනාකරු ලෙස පත් කරගැනීමට ලෙනන්, හැරිසන් සහ ස්ටාර්ට අවශ්‍ය විය. කෙසේ නමුත් මැකාට්නිට අවශ්‍ය වූයේ ඔහු සමඟ විවාහ වීමට නියමිත ව සිටි ලින්ඩාගේ පියා සහ සහෝදරයා, කණ්ඩායමේ නව කළමනාකරුවන් ලෙස පත් කරගැනීමට යි.

බ්‍රයන් එප්ස්ටයින් –  www.wikipedia.org

කණ්ඩායමේ මූල්‍ය තත්ත්වය පහත වැටීම

මේ කාල වකවානුවේ දී සජීවී සංදර්ශනවලට සහභාගී වීම හරහා උපයාගත් ආදායම අහිමි වීම හේතුවෙන් ඔවුන් මූල්‍යමය වශයෙන් ඉතා දුර්වල තත්ත්වයකට පත් විය. මේ තත්ත්වය තුළ ‘ද බීට්ල්ස්’ සාමාජිකයන් 1967 දෙසැම්බර් 7 දින ලන්ඩන් නගරයේ පිහිටි ගොඩනැගිල්ලක ‘Apple Boutique’ නම් වෙළෙඳසලක් විවෘත කළත් එය ද සාර්ථක නොවී ය. 1968 ජුලි 31 දින එය වසා දැමූ අතර ඒ වන විට ඔවුන්ට එය පවත්වාගෙන යාම නිසා ස්ටර්ලින් පවුම් ලක්ෂ දෙකකට ආසන්න අලාභයක් සිදු වී තිබිණි.

‘Apple Boutique’ වෙළෙඳසල පිහිටි ගොඩනැඟිල්ල – www.agnautacouture.com

1968, 69 සහ 70 කාලය පුරාවට ම ඔවුන් ‘ද බීට්ල්ස්’ කණ්ඩායමට අයත් කාර්යාලයේ සාකච්ඡා සිය ගණනක් පැවැත්වූයේ සිය මූල්‍ය තත්ත්වය ඉහළ නංවා ගත හැකි ආකාරය පිළිබඳව ය. ඒ වන විට ඔවුන් මූල්‍ය දුෂ්කරතාවලින් කොපමණ හෙම්බත් වී සිටියේ ද යත් මේ කාලසීමාව තුළ ‘ද බීට්ල්ස්’ කණ්ඩායම නිකුත් කළ සංගීත ඇල්බම දෙකක් වන “Abbey Road” සහ “You Never Give Me Your Money” හි තේමාවන්  වූයේ මූල්‍ය දුෂ්කරතා සහ ප්‍රේම සම්බන්ධතා වැනි කරුණු ය.

ලෙනන් කණ්ඩායමෙන් ඉවත් වීම

 1969 සැප්තැම්බර් 20 දින ක්ලෙයින් සමඟ පැවති සාකච්ඡාවක් අතරතුර තමන් නිල වශයෙන් ‘ද බීට්ල්ස්’ කණ්ඩායමෙන් ඉවත් වන බව ලෙනන් දැනුම් දුන්නේ ය. ඒ වන විට ඔවුන් මූල්‍යමය අතින් ඉතා වැදගත් ව්‍යාපාරික ගිවිසුමක් සඳහා අත්සන් තැබීමට සැලසුම් කර තිබිණි. එවැනි පසුබිමක කණ්ඩායම් සාමාජිකයකුගේ ඉවත් වීම එම ගනුදෙනුවට බාධාවක් වෙතැයි සිතූ ක්ලෙයින්, ඉවත් වීමට ගත් තීරණය ටික කලක් යන තුරු රහසක් ලෙස තබා ගන්නැයි ලෙනන්ට උපදෙස් දුන්නේ ය. ඉන් අනතුරු ව ඔවුන් අදාළ ගිවිසුමට අත්සන් තැබූ අතර ඒ මගින් කණ්ඩායමේ මූල්‍ය තත්ත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගියේ ය.

ක්ලෙයින් –  www.pinterest.com

1968 වසරේ “Let It Be” ඇල්බමයේ පටිගත කිරීම් අතරතුර ලෙනන්ගේ පෙම්වතිය වූ යෝකෝ ඔනෝ නිරන්තරයෙන් ඔහු පසුපසින් සිටියා ය. 1966 වසරේ දී ඔවුන් මුල්වරට හමු වී තිබූ අතර 1969 වන විට ඔවුන් වෙන් කළ නොහැකි තරම් එකිනෙකාට බැඳී තිබිණි. එම කාලසීමාව තුළ ඇය ‘ද බීට්ල්ස්’ කණ්ඩායමට අදාළ පටිගත කිරීම් කිහිපයක ද පෙනී සිටියා ය. ඇය ලෙනන්ගේ තීරණවලට ද සැලකිය යුතු ලෙස බලපෑම් කළ බව කියැවේ.

කණ්ඩායම වෙන් වීමට හේතුව ලෙනන් ගේ පෙම්වතිය ද?

ඒ නිසා 1960 දශකයේ සිට මේ දක්වා බොහෝ දෙනකුගේ මතය වී ඇත්තේ ‘ද බීට්ල්ස්’ කණ්ඩායම වෙන්වීමට බලපෑ හේතුව ඔනෝ විය හැකි බව යි. කෙසේ වෙතත් වාර්තමානය වන විට බොහෝ විචාරකයන් පෙන්වා දෙන්නේ ‘ද බීට්ල්ස්’ සාමාජිකයන්ගේ වෙන් වීමට ඔනෝ හේතුවක් වූ බවට තහවුරු කළ හැකි තරම් සාධක නොමැති බව යි.

ලෙනන් සිය පෙම්වතිය-ඔනෝ සමග – www.timeout.com

කණ්ඩායමෙන් වෙන් වීම පිළිබඳව ලෙනන් 1970 වසරේ පැවති පුවත්පත් සාකච්ඡාවක් අතරතුර අදහස් දක්වා තිබුනේ මේ අයුරිනි:

“මට තිබුනේ විකල්ප දෙකයි. එකක් ඔනෝ සමග විවාහ වීම, අනික කණ්ඩායම සමග විවාහ වීම. ඒ විකල්ප දෙකෙන් මම තෝරාගත්තේ පළමු විකල්පය,”

විචාරක අදහස්

“ඔනෝ මෙම කණ්ඩායම වෙන් කළ බව යමකුට ඉදිරිපත් කළ හැකි ඉතා ජාතිවාදී සහ මෝඩ තර්කයක් පමණයි. මගේ අදහස ලෙනන් කණ්ඩායමෙන් වෙන් වීමට මග සකසා ගැනීමට මෙම අදහස සමාජගත කළ බවයි.” විචාරකයෙක් පවසා තිබේ.

එම විචාරකයාගේ අදහස වන්නේ ලෙනන් අනිකුත් සාමාජිකයන්ට තමන් ඔවුන්ගෙන් දුරස් වන බව පෙන්වීමට සිය පෙම්වතිය ‘ද බීට්ල්ස්’ කණ්ඩායමට සම්බන්ධ කරගත් බව යි. ඒ සමඟ ම අනිකුත් සාමාජිකයන් ලෙනන් සමඟ ඇතිකරගෙන තිබූ අමනාපය වඩාත් උත්සන්න වූ බව ඔහු පවසා තිබේ. ඒ කාලය වන විට ලෙනන් ඉතා දැඩි ලෙස හෙරොයින් භාවිතයට ද ඇබ්බැහි වී තිබිණි.

‘ද බීට්ල්ස්’ සාමාජිකයන්ගේ අවසන් සමූහ ඡායාරූපය ලෙස සැලැකෙන ඡායාරූපය – www.pinterest.com

ලෙනන් 1969 සැප්තැම්බර් මස කණ්ඩායමෙන් ඉවත් වුවත් එය රහසක් වශයෙන් තබාගත් අතර එය ප්‍රසිද්ධ වූයේ 1970 වසරේ අප්‍රේල් මාසයේ දී මැකාට්නි එක්තරා සම්මුඛ සාකච්ඡාවක් අතරතුර එය හෙළි කිරීමත් සමග ය. 1970 වසරේ පටන් ඔවුහු තනි තනි වශයෙන් ගීත ඇල්බම ගණනාවක් නිකුත් කළහ. 

 බීට්ල්ස් හි හිටපු සාමාජික ජෝන් ලෙනන්ට නිව් යෝර්ක් නගරයේ දී උමතු රසිකයකු විසින් වෙඩි තබා මරා දමන ලද්දේ 1980 දී ය.40-හැවිරිදි ජෝන් ලෙනන් මෑන්හැටන් හි පිහිටි ඔහුගේ සුඛෝපභෝගී මහල් නිවාසයට ඇතුළු වනවාත් සමඟ ම මාර්ක් ඩේවිඩ් චැප්මන් නම් පුද්ගලයා ඔහුට .38-කැලිබර් රිවෝල්වරයකින් හතර වතාවක් වෙඩි තබා ඇත. අධික ලෙස ලේ ගලමින් සිටි ලෙනන්, රෝහලට ගෙන යන අතරමගදී මිය ගියේ ය.

චැප්මන්ට පෙර දින ලෙනන් ගෙන් සමරු අත්සනක් ලැබී ඇති අතර ඔහු පොලිසිය තමන් අත්අඩංගුවට ගන්නා තෙක්වෙඩි තැබූ ස්ථානයේ ස්වේච්ඡාවෙන් ම රැඳී සිටියේ ය. මෙමඟින් වියෝවට පත් වූ ඔහුගේ රසිකයන් සිය ගණනක් ඩකෝටා-ලෙනන් මහල් නිවාස ගොඩනැගිල්ලෙන් පිටත සිට ශෝක පෙළපාලි පැවැත්වූහ.

 

කවරයේ ඡායාරූපය- 'ද බීට්ල්ස්' කණ්ඩායමේ සාමාජිකයන් - www.independent.co.uk 

මූලාශ්‍ර:

www.history.com/ Stephen Wood

www.history.com 

www.britannica.com 

www.rollingstones.com 

www.timeout.com 

Related Articles