Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වටා පවතින අරුම පුදුම විවාහ සිරිත් විරිත්

විවාහයක් කියන්නේ ආදරෙන් බැඳුණු දෙදෙනකුගේ ජීවිතේ තියෙන සුන්දර ම දිනයක්. තමන්ගේ ඥාතීන්, හිතවතුන්, මිතුරන් පිරිවරාගෙන සතුටෙන් සමරන ඒ දිනය, අමතක නොවනසුලු, විශේෂතා එකක් කරගන්නට හැමකෙනෙක් ම බොහොම මහන්සි වෙනවා. දවසින් දවස අලුත් වන, වෙනස් වන විවාහ මංගල සිරිත් විරිත් අතරේ ලෝකය පුරා ප්‍රසිද්ධ වගේ ම අප්‍රසිද්ධ “විවාහ චාරිත්‍ර” කිහිපයක් ගැනයි මේ ලිපිය.

කොංගෝව – සිනහාවීම සපුරා තහනම්!

විවාහ උත්සවයක් කියන්නේ සතුටු සිනහවලින් පිරුණු තැනක්. කොංගෝවේ ඇතැම් ප්‍රදේශවල සිදුවන විවාහයන්වල සිනහව සලකන්නේ “අගෞරවයක් හෝ අපහසයක්” ලෙසට යි. ආදරය, සෙනෙහස පිරුණු අලුත් නිවහනකට තමන්ගේ දියණිය පිටත් කරනව වෙනුවට වැඩි ම ඉල්ලුමට ඇය විකිණීම, එහෙමත් නැත්නම් ගව/එළු පට්ටියකට හෝ අශ්වයකුට ඇය හුවමාරු කිරීම “විවාහය” ලෙස සලකන ඔවුන්, එය දකින්නෙ උත්සවයක් ලෙස නොව වෙළෙඳාමක් ලෙස යි.

ගැහැනියක් සහ පිරිමියෙක් අතර සිදුවන මෙම වෙළඳ හුවමාරුවේ දී, අයෙකු සිනහවීමෙන් ඔවුන් එම හුවමාරුව බරපතල ලෙස නොසලකන බව ඇඟවෙන නිසා, කොංගෝ විවාහ මංගලවල දී සිනහවීම ඔබට සපුරා තහනම්!!!

කොංගෝ විවාහ උත්සවයක්
කොංගෝ විවාහ උත්සවයක් – www.thetravel.com

 

දකුණු අප්‍රිකාව – ගින්දර රැගෙන පැමිණෙන්න

“ගෙයි ගින්දර පිටත දෙන්න එපා” කියලයි කතාවට කියන්නේ. දකුණු අප්‍රිකාවේ සිදුවෙන එක්තරා විවාහ චාරිත්‍රක දී නම් ඒ කතාව වලංගු නැහැ. බොහොම සංවේදී චාරිත්‍රයක් ලෙස සලකන එහි දී, මනාලියගේ සහ මනාලයගේ පාර්ශවේ මව්පියන් සිය නිවසේ උඳුනෙන් ගින්දර රැගෙන එයින් මනාල යුවළගේ නිවසේ ඇති උදුන ආලෝකවත් කිරීම සිදුකරනවා.

තමා කුඩා කාලය ගත කළ නිවසේ තිබූ සතුට, උණුසුම හා ආදරය නව නිවස තුළත් පිරේවා යන ප්‍රාර්ථනය සමඟිනුයි දෙපාර්ශවයේම  මාපියන් මෙය සිදු කරන්නේ.

දකුණු අප්‍රිකානු යුවලක්
දකුණු අප්‍රිකා මනාල යුවළක් – www.thetravel.com

 

චීනය – සතුටු කඳුළු ගංගාවෝ

මනාලියක් බවට පත්වන බහුතරක් තරුණියන් සිය විවාහ දිනයේ දී කඳුළු සලනවා. ඒ සිය පවුලෙන් වෙන්වීමේ දුක වගේ ම, ආදරණීය සහකරුවා සමඟ එක්වීමේ සතුට ප්‍රකාශ කිරීමක් ලෙස යි. චීනයේ ඇතැම් ප්‍රාන්තවල මනාලියන් කඳුළු සැලීම ආරම්භ කරන්නේ තමන්ගේ විවාහයට මාසයකට පෙර යි.

සෑම දිනක ම පැයක් මෙම “ඇඬීමේ චාරිත්‍රය” වෙනුවෙන් වෙන් කරන ඔවුන්, පළමු සතිය තනිවත්, දෙවෙනි සතිය සිය මව සමඟත් හැඬිම සිදු කරනවා. තෙවැනි සතියේ දි ඇගේ මිත්තණියත්, සිවු වන සතියේ දී ඇගේ සහෝදරියනුත් මෙම චාරිත්‍රය වෙනුවෙන් ඇය හා එක්වෙනවා.

තම නෑදෑ පිරිවර සමඟින් හඩාවැටෙන චීන මනාලියක්
තම නෑදෑ පිරිවර සමඟින් හඩාවැටෙන චීන මනාලියක් – www.pinterest.com

 

ජර්මනිය – පිඟන් බිඳිමු

ජර්මානුවන් සැලකෙන්නේ බොහො ම පිළිවෙළට, පිරිසුදුවට කටයුතු කරන්නන් විදිහට. විවාහ උත්සවවලදි නම් ඔවුන් ජංජාල මවන්න රුසියෝ! විවාහ දිනයේ දී හෝ ඊට පෙර දිනක මනාලියගේ සහ මනාලයගේ මිතුරන් එක්වන්නේ පෝසිලේන් බඳුන් අත දරා ගෙන යි. ඒ මනාල යුවළට තෑගි දෙන්න නම් නෙමෙයි, පොළොවෙ ගහල කුඩු කරන්න.

කැඩිල බිඳිලා යන පිඟන් කැබලිවලින් වැසුණු පොළොව පිරිසුදු කිරීම තමයි මනාල යුවළගේ රාජකාරිය. මෙම චාරිත්‍රයෙන්, අවාසනාව උදා කරන යක්ෂ බලවේග පලවා හැර වාසනාව රැගෙන එන බවත්, අනාගතයේ දී තමන්ට මුහුණ දෙන්නට වන සියලු දුෂ්කර අවස්ථාවලට එකමුතු ව මුහුණ දීමට මනාල යුවළ දිරිමත් කරන බවත් ජර්මානුවන් විශ්වාස කරනවා.

විවාහ දිනයක් දා පිඟන් බිඳින ජර්මානුවන් පිරිසක්
විවාහ දිනයක් දා පිඟන් බිඳින ජර්මානුවන් පිරිසක් – www.thetravel.com

 

මොරිටේනියා – තරබාරු මනාලියෝ

තමන්ගේ විවාහ දිනය දවසේ ලස්සන මනාලියක් විදිහට පෙනී ඉන්න එක හැම ගෑනු ළමයකුගො ම හීනයක්. ඒ වෙනුවෙන් සති, මාස පුරාවට වෙහෙසෙන ඔවුන්, තමන් ගන්න කෑමබීම ගැනත් බොහොම සැලකිලිමත් වෙනවා. වයඹදිග අප්‍රිකාවේ රාජ්‍යක් ලෙස සලකන මොරිටේනියාවේ තරුණියන්ට නම් ඒ වගේ ගැටලු නැහැ. කෑමබීම පාලනය කරනව වෙනුවට එයාලට සිද්ධවෙනව වෙනදට වැඩියේ කෑම ගන්න.

ඒකට හේතුව, මහත තරුණියන් ධනවත් බවේ සහ සරාගීත්වයේ සංකේතයක් ලෙස මොරිටේනියා වැසියන් සැලකීම යි. මෙම විවාහ චාරිත්‍රය බොහොම විනෝදජනක දෙයක් ලෙස පෙනුණත් කුඩා කල පටන් බලහත්කාරයෙන් ආහාර ලබා දෙමින් තරබාරු කරන තරුණියන් සිය ඉතිරි ජීවිත කාලය ගත කරන්නේ අධික තරබාරුව නිසා වැලඳෙන බෝ නොවන රැසකින් පීඩා විඳිමිනු යි.

තරබාරු වීමේ අරමුණින් කිරි පානයට සූදානම් වන මොරිටේනියානු තරුණියක්
තරබාරු වීමේ අරමුණින් කිරි පානයට සූදානම් වන මොරිටේනියානු තරුණියක් – www.pinterest.com

 

ස්කොට්ලන්තය – ආදරේ පාට “කළු”

තමන්ගේ ආදරණීයයන්ට ආදරේ පෙන්වන්න පුළුවන් නොයෙකුත් විධි තියනවා. ඒක හාදුවක්, නැත්නම් උණුසුම් වැලඳගැනීමක්, ආදරණීය ඇමතුමක්, සිනහවක් වගේ ඕනෑ ම ආකාරයේ දෙයක් වෙන්න පුළුවන්. නමුත් කුණුවලින් නාවල ආදරේ පෙන්වන්න පුළුවන් ද?

ස්කොට්ලන්තයේ දී, සිය විවාහ දිනයට පෙර ඔවුන්ගේ මිතුරන් ලබා දෙන, පාන්පිටි, කුණු බිත්තර, සෝස් වර්ග, මස්, මාළු ඇතුළු මුළුතැන්ගෙයින් හොයා ගන්න නොයෙකුත් දේවලින් සමන්විත කළු පැහැයට හුරු, අප්‍රසන්න සුවඳක් සහිත ද්‍රාවණයකින් නැහැවෙන්න මනාල යුවළට සිද්ධවෙනව. මේ චාරිත්‍රය, විවාහ ජීවිතයේ ඕන ම අභියෝගයක් ජයගත හැකි, ඕන ම අපහාසයක් දරා ගත හැකි ශක්තිමත් යුවළක් බිහි කරන බව වයිකිං දේශයේ වැසියන්ගේ අදහස යි.

කුණුවලින් නැහැවුණ ස්කොට්ලන්ත මනාල යුවලක්
කුණුවලින් නැහැවුණ ස්කොට්ලන්ත මනාල යුවලක් – m.weddingz.in

කෙන්යාව – කෙළ ප්‍රහාර

කෙනකුට කෙළ ගහනව කියන්නෙ කිසිසේත් ම ශිෂ්ට සම්පන්න දෙයක් නෙමෙ යි. කෙන්යාවේ මසා‍යි (Maasai) ගෝත්‍රිකයන් අතර තියෙන අරුම පුදුම විවාහ චාරිත්‍රයක් තමයි, මනාලියට කෙළ ගැසීම. එය සිදු කරන්නෙ මනාලියගේ පියා යි. මෙවැනි ගෝත්‍ර අතර සිදුවන්නේ විවාහයක් එහා ගිය ගනුදෙනුවක්. මනාලියක් හුවමාරු වෙන්නේ මුදලට හෝ වෙනත් වටිනා භාණ්ඩයක් වෙනුවෙනුයි.

බොහෝ තරුණියන්ට විවාහ වන දිනය තෙක් සිය ස්වාමි පුරුෂයා සමඟ කතාබහ කරන්නට හෝ අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. විවාහ මංගල දිනයේ දී ඇයට සිද්ධවෙනවා සිය හිස මුඩු කිරීමට. මුඩු හිස මතට බැටළු මේදය සහ අනෙකුත් තෙල් ආලේප කළ පසු, මනාලියගේ පියා ඇගේ හිසට සහ පපුවට කෙළ ගැසීම සිදුකරනවා. එම චාරිත්‍රය මඟින් අලුත විවාපත් දෙපළට වාසනාව උදාවන බව මසායි වැසියන් විශ්වාස කරනවා.

මුඩුකළ හිසින් යුත් මසායි මනාලියක්
මුඩුකළ හිසින් යුත් මසායි මනාලියක් – www.thetravel.com

 

කවරයේ ඡායාරූපය- Mangli Munda නම් මෙම තරුණියට ඇති අපල උපද්‍රව නිසා, ඇය විවාහපත් වන පළමු පුරුෂයා මිය යන බවට විශ්වාස කළ ඉන්දියානු ගැමියන් පිරිසක් ඇය බල්ලකුට විවාහ කර දුන් අවස්ථාවක් - dogtime.com

මූලාශ්‍ර :

www.thetravel.com

 m.weddingz.in 

Related Articles