Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව පුරා රටවල පැවැත්වෙන චීස් සැණකෙළි 5ක්

ලොව පුරා රටවල පවත්වන විවිධාකරයේ සැණකෙළි අතරට මෑතකාලීන ව එක් වූ සැණකෙළි විශේෂයක් ලෙස ආහාර සැණකෙළි හැඳින්විය හැකි ය. මේවා බොහෝ විට අමෙරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය සහ කැනඩාව වැනි යුරෝපා රටවල දැකිය හැකි ය. එය වර්තමානය වන විට අනිකුත් කලාපවල පිහිටි රටවලට ද ව්‍යාප්ත වෙමින් තිබේ.

එවැනි ආහාර සැණකෙළි අතර සුවිශේෂී ස්ථානයක් හිමි කරගන්නා චීස් සැණකෙළි රටවල් ගණනාවක පැවැත්වේ. මෙම ලිපිය චීස් සැණකෙළිවල ඉතිහාසය සහ ලොව පුරා පැවැත්වෙන එවැනි ප්‍රධාන පෙළේ චීස් සැණකෙළි කිහිපයක් පිළිබඳව යි.

චීස් සැණකෙළියක් – www.onlyfoods.com

චීස් සැණකෙළිවල ඉතිහාසය

ලොව සෑම මහාද්වීපයක ම පාහේ ජීවත් වන ජනතාව පරිභෝජනයට ගන්නා ආහාරයක් වන චීස් විශේෂ මේ වන විට 1,400කට වැඩි ප්‍රමාණයක් තිබෙන බව ගණන් බලා තිබේ. මුල් කාලයේ දී නිවසේ දී හෝ අවන්හලක් වැනි ස්ථානයක දී චීස් හෝ ඒවා යොදා ගෙන සැකසූ වෙනත් දෑ ආහාරයට ගැනීමට ජනතාව පුරුදු වී සිටියත් 1988 වසරේ දී අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වුණු විස්කොන්සින් මහා චීස් සැණකෙළිය සමග චීස් සැණකෙළි පැවැත්වීම ආරම්භ විය.

විවිධ වර්ගයේ චීස් –  Facebook- DeLallo Italian plate

පැවැත්වුණු පළමු වසරේදී ම විස්කොන්සින් චීස් සැණකෙළිය අතිශයින් ජනප්‍රිය වූ අතර එහි තිබු සුවිශේෂිත්වය නිසා ම දෙස් විදෙස් අවධානය ද එය වෙත යොමු විය. ඉන් අනතුරුව නිව්යෝක් නගරයේ ද චීස් සැණකෙළියක් පැවැත්වීමට චීස්වලට ඇලුම් කරන්නෝ කටයුතු කළහ. මෙම සැණකෙළි පිළිබඳ ව දෙස් විදෙස් අවධානය විශාල වශයෙන් යොමු වීමත් සමඟ වෙනත් රටවල් ගණනාවක ද චීස් සැණකෙළි සංවිධානය කිරීම ආරම්භ විය. චීස් සැණකෙළිවල දැකිය හැකි අංග ලෙස චීස් පිළිබඳ ව සම්මන්ත්‍රණ, චීස් සැකසීමේ වැඩසටහන්, චීස් යොදාගෙන විවිධ ආහාර සකස් කිරීම සහ වෙනත් විවිධ ක්‍රීඩා හැඳින්විය හැකි ය.

 1998 වසරේ දී බ්‍රිතාන්‍යයේ ප්‍රධාන චීස් නිෂ්පාදන සමාගමක් වන ‘ද ක්‍රිමරි’ නම් සමාගම විශාල චීස් සැණකෙළි මාලාවක් පැවැත්වී ය. එම සැණකෙළිය නිසා චීස් වඩාත් ජනප්‍රිය ආහාරයක් බවට පත් කිරීම සඳහා ඔවුන් සිදු කළමෙහෙය අගයමින් එම සමාගම සම්මාන ගණනාවකින් ද පිදුම් ලැබී ය. එතැන් පටන් නව ජවයකින් ලොව පුරා ආරම්භ වූ චීස් සැණකෙළි ගණනාවක් වර්තමානය වන විට ද අඛණ්ඩව පැවැත්වේ.

1. මහා බ්‍රිතාන්‍යයේ චීස් සැණකෙළිය

ලොව චීස් නිෂ්පාදනය කරන රටවල් අතර ප්‍රධාන තැනක් ගන්නා මහා බ්‍රිතාන්‍යය සෑම වසරක ම සැප්තැම්බර් මාසයේ දැවැන්ත චීස් සැණකෙළියක් පවත්වයි. ජුලියට් හර්බට් 2001 වසරේ දී ආරම්භ කළ මෙම සැණකෙළිය ලන්ඩන් නගරය ඇතුළු ස්ථාන ගණනාවකදී පැවැත්වේ. ඊට බ්‍රිතාන්‍ය ජනතාව මෙන් ම වෙනත් රටවලින් පැමිණෙන සංචාරකයන් ද විශාල වශයෙන් සහභාගී වෙයි.

මහා බ්‍රිතාන්‍ය චීස් සැණකෙළිය- www.flickr.com

මෙම සැණකෙළිය අතරතුර වඩාත් රසවත් චීස් නිෂ්පාදන තෝරන තරගාවලියක් ද පැවැත්වේ. එය අවසානයේ දී ලෝකඩ, රිදී සහ රන් පදක්කම් ප්‍රදානයක් ද සිදු කෙරෙයි. මෙහි දී එළකිරි, බැටළු කිරි, එළු කිරි, සහ මී ගවයන්ගෙන් ලබා ගත් කිරි යොදා ගනිමින් නිපද වූ චීස් වර්ග 400කට ආසන්න ප්‍රමාණයක් සහ ඒවා යොදා ගෙන සකස් කළ වෙනත් ආහාර රසවිඳීමට සහභාගී වන්නන්ට අවස්ථාව ලැබේ.

2. වින්කොන්සින් මහා චීස් සැණකෙළිය

ලොව පළමු චීස් සැණකෙළිය වන මෙය සෑම වසරක ම ජූනි මස දී මෙරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින් හි දී පැවැත්වේ. පුරා දින තුනක කාලයක් තිස්සේ පැවැත්වෙන මෙය විනෝදාස්වාදයෙන් පිරි සැණකෙළියක් වේ. නොමිලයේ ලබා දෙන චීස් සාම්පල සහ චීස් විශේෂ ගණනාවක් යොදා ගෙන සැකසූ විවිධ ආහාර රසවිඳීමට මිට සහභාගී වන්නන්ට අවස්ථාව ලැබේ. විශාල ප්‍රමාණයේ චීස් කුට්ටි යොදාගෙන කැටයම් කැපීමේ තරගාවලියක් ද මෙහිදී පැවැත්වේ.

චීස් අලෙවි කුටියක් – Facebook- St. James Cheese Company

ගංගාවක් අසබඩ පැවැත්වෙන මෙම සැණකෙළියේ දැකිය හැකි තවත් සුවිශේෂි අංගයක් ලෙස සජීවී සංගීත සංදර්ශන හැඳින්විය හැකි ය. වසර 33ක් තිස්සේ අඛණ්ඩව පැවැත්වෙන මෙම සැණකෙළියෙන් ලැබුණු ආදායමෙන් අමෙරිකානු ඩොලර් මිලියනයට ආසන්න මුදලක් විවිධ ප්‍රජා සත්කාර වැඩසටහන් සඳහා පරිත්‍යාගයන් වශයෙන් ලබා දී තිබීම ද විශේෂ කරුණකි. එම ප්‍රජා සත්කාර වැඩසටහන් අතර චීස් කර්මාන්තය සහ ඒ ආශ්‍රිත අනිකුත් රැකියාවල යෙදෙන අය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ වැඩසටහන් ද වේ.

3. කැනේඩියානු චීස් සැණකෙළිය

ලොව පැවැත්වෙන චීස් සැණකෙළි අතර ප්‍රධාන තැනක් ගන්නා කැනේඩියානු චීස් සැණකෙළිය සෑම වසරක ම ජූනි මස පැවැත්වේ. 2010 වසරේ දී ආරම්භ වූ මෙම සැණකෙළිය කැනඩාවේ ඔන්ටේරියෝ නගරයේ දී පැවැත්වේ. දින දෙකක කාලයක් පැවැත්වෙන මෙම සැණකෙළියට කැනඩාවේ විවිධ ප්‍රදේශවල සිට ඇති දක්ෂ චීස් නිෂ්පාදකයන් රැසක් සහභාගී වේ.

කැනේඩියානු චීස් සැණකෙළිය – www.savvycompany.com

මේ වන විට එම සැණකෙළියට චීස් අලෙවි කිරීමේ කුටි 150කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් ය. ඒවායේ එළකිරි, බැටළු කිරි, මි ගවයන්ගේ කිරි වැනි විවිධ කිරි වර්ග යොදා ගෙන සකස් කළ චීස් වර්ග රැසක් අලෙවි කිරීමට තබා තිබේ. මෙහිදී සුප්‍රසිද්ධ චීස් නිෂ්පාදකයන් සමඟ එක්ව චීස් සෑදීමට ද සහභාගී වන අයට අවස්ථාව ලැබේ. මෙමගින් මේ වන විට චීස් කර්මාන්තයෙන් ඈත් වන තරුණ පරම්පරාව මෙම කර්මාන්තයට ආකර්ෂණය කර ගැනීම ද බලාපොරොත්තු වේ.

කැනේඩියානු චීස් සැණකෙළියේ ඇති විශේෂත්වයක් ලෙස චීස්වලට අමතර ව විවිධ වර්ගයේ බියර්, ජෑම්, අච්චාරු වර්ග, මී පැණි වැනි දේ ද මෙහිදී මිලදී ගත හැකි වීම දැක්විය හැකි ය.

චීස් සමග වයින් වැනි වෙනත් දෑ අලෙවි කරන අයුරු – Facebook- Georgia

4. අමෙරිකානු චීස් සමාජයේ චීස් සැණකෙළිය

අමෙරිකා එක්සත් ජනපදයේ වාර්ෂික ව පැවැත්වෙන චීස් සැණකෙළි අතර ප්‍රධාන තැනක් ගන්නා අමෙරිකානු චීස් සමාජයේ චීස් සැණකෙළිය සංවිධානය කරන්නේ අමෙරිකානු චීස් සමාජය යි. අමෙරිකාවේ චීස් නිෂ්පාදන කර්මාන්තය සංවර්ධනය කිරීම මුලික අරමුණ කර ගත් අමෙරිකානු චීස් සමාජය 1983 වසරේ දී පිහිටු වූ ලාබ නොලබන සංවිධානයකි.

මෙම සැණකෙළිය සෑම වසරක ම අගෝස්තු මාසයේ දී පැවැත්වේ. එය පැවැත්වෙන නිශ්චිත ස්ථානයක් නොමැති අතර ඒ ඒ වසරවලදී මෙම සැණකෙළිය පැවැත්වෙන ස්ථාන වෙනස් වේ. චීස් රස බැලීම සහ විනෝදාස්වාදය මූලික කරගත් අනිකුත් චීස් සැණකෙළි අතර මෙම චීස් සැණකෙළිය තරමක වෙනස් ස්වරූපයක් ගනී. ඒ, මෙම සැණකෙළිය බොහෝ විට අධ්‍යාපනික ස්වරූපයක් ගැනීම යි.

චීස් සැණකෙළියක් -www.nextpittsburgh.com

අමෙරිකානු චීස් සමාජයේ සාමාජිකත්වය දරන ලොව පුරා රටවල් ගණනාවක් නියෝජනය කරන චීස් නිෂ්පාදකයන් 1,500කට ආසන්න ප්‍රමාණයක් මෙම සැණකෙළියට සම්පත් දායකත්වය ලබා දේ. මෙම සැණකෙළියට සහභාගී වන අයට චීස් නිෂ්පාදනය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් විශාල දැනුමක් ද ලබා ගත හැකි ය. එම දැනුම ඔවුන්ට චීස් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ එකට හිඳ ලබා ගැනීමට මෙම සැණකෙළියේ දී අවස්ථාව සලසා දී තිබීම සුවිශේෂී ය.

5. කැලිෆෝනියා චීස් සැණකෙළිය

චීස් පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීම, චීස් නිෂ්පාදනය කරන කර්මාන්තකරුවන්ට අනුග්‍රහය ලබා දීම වැනි අරමුණු මුල් කර ගෙන පිහිටුවා ඇති ලාභ නොලබන ආයතනයක් සංවිධානය කරන කැලිෆෝනියා චීස් සැණකෙළිය සෑම වසරක ම මාර්තු මස දී පැවැත්වේ.

මෙහිදී ගුණාත්මක බැවින් වැඩි චීස් පිළිබඳ ව පාරිභෝගිකයන්ට අවබෝධයක් ලබා දීම සිදු කරයි. එහිදී විවිධ වර්ගයේ චීස් යොදා ගෙන සකස් කළ හැකි විවිධ ආහාර වර්ග සහ අනිකුත් නිෂ්පාදන පිළිබඳ ව ද පාරිභෝගිකයන් දැනුම්වත් කරයි. ඊට අමතර ව චීස් නිෂ්පාදකයන්ට සහ වෙළෙන්දන්ට ද සිය නිෂ්පාදන පාරිභෝගිකයන් වෙතට රැගෙන යාම සඳහා අවශ්‍ය වේදිකාවක් සකස් කර දීම මෙම සැණකෙළියේ අරමුණ යි.

චීස්වලින් කළ කැටයමක් – Facebook- Valdosta Daily Times

 කැලිෆෝනියා චීස් සැණකෙළියට සහභාගී වීම සඳහා ජනතාව මිල දී ගන්නා සෑම ටිකට්පතකින් ම 10% ක පමණ කොටසක් චීස් කර්මාන්තය සඳහා අත්‍යවශ්‍ය එළදෙනුන්, බැටළුවන් සහ එළුවන් සඳහා අවශ්‍ය තෘණ භූමි පවත්වාගෙන යාමට දායක වන සංවිධානවල අභිවෘද්ධිය සඳහා බැර කෙරේ. එමගින් චීස් කර්මාන්තයේ ඉදිරි ගමනට දායක වීම සිය අරමුණ බව මෙම සංවිධානය පවසා තිබේ.

කවරයේ ඡායාරූපය- www.themorningnews.com

මූලාශ්‍ර:

www.dummies.com

www.cheesestore.com

www.vickyflipfloptravels.com

www.britannica.com

Related Articles