Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයේ ජනප්‍රිය ම පුවත්පත් කාටුන් කතා තීර 5ක්

ඔබ දන්නවා ද, ලෝකයේ තනි පුද්ගලයෙක් නිර්මාණය කළ දීර්ඝත ම කතාව ලෙස සැලකෙන්නේ පුවත්පත් කාටුන් තීරයක් (Comic strip) බව? විදේශීය පුවත්පත්වල ඇති ලෝකය පුරා පුවත්පත් කාටුන් රසිකයන්ගේ හදවත් දිනා ගත් මෙම කාටුන් තීර ගැන ඔබ දැන සිටියා ද?

මෙම ලිපියෙන් ඔබට ගෙන එන්නේ ලෝකයේ ජනප්‍රිය එවැනි පුවත්පත් කාටුන් කතා තීර 5ක් පිළිබඳවයි.

“Garfield” කාටුන් කතා තීරයක් – pinterest.com

1). Garfield – Jim Davis

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් රූපවාහිනී කාටූනයක් ලෙස හඳුනාගෙන සිටින මෙම කතා මාලාව පළමු වතාවට කරළියට පැමිණෙන්නේ පුවත්පත් කාටූනයක් ලෙස යි. නිවෙසක සුරතලකු ලෙස වාසය කරන Garfield නම් බළලෙකුත්, ඔහුගේ ස්වාමියා වන John සහ Johnගේ සුරතල් සුනඛයා වන Odie නම් ප්‍රධාන චරිත වටා ගෙතුණු සිදුවීම් මූලික කරගත් මෙම පුවත්පත් කාටුන් කතා මාලාව මුල්වරට පළවන්නේ 1978 ජුනි 19 වැනිදා ය. Garfield පුවත්පත් කාටූනය කාටුන් ශිල්පී Jim Davisගේ නිර්මාණයක් වන අතර වාණිජමය වශයෙන් ප්‍රචාරණය කළ හැකි චරිතයක් නිර්මාණය කිරීම ඔහුගේ අරමුණ වී ඇත. කෙටි කලකින් ම මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීමට Davis සමත් වුණ අතර Garfield කාටූනය හා බැඳි ප්‍රචාරණ නිෂ්පාදන මඟින් පමණක් වසරකට අමෙරිකානු ඩොලර් මිලියන 750ත්, බිලියනයත් අතර ආදායමක් ලබා ගැනීමට ඔහු සමත් විය.

මීට අමතර ව 2002 වසරේ දී ලෝකයේ වඩාත් ම පුළුල් ලෙස පළවූ පුවත්පත් කාටූනය බවට ගිනස් ලොක වාර්තාවක් තැබීමට පවා Garfield සමත් වුණු අතර මේ වන විට පුවත්පත් 2,580ක පමණ මෙම කතා මාලාව පළ වී ඇත. මෙම කතා මාලාව මූලික කරගෙන රූපවාහිනී විශේෂාංග කතා කිහිපයක්, රූපවාහිනී සජීවීකරණ (animated) කතා මාලා දෙකක්, තිරගත සජීවී රංගන (live-action) සිනමාපට දෙකක් හා පූර්ණ සජීවීකරණ (fully animated) චිත්‍රපට තුනක් නිර්මාණය වී ඇත. Garfield පිළබඳ විශේෂ කරුණක් වන්නේ 1978 සිට වසර 44ක් ගෙවුණ ද තවමත් කාටුන් ශිල්පී Jim Davis දිනපතා පුවත්පත් කාටුන් තීරයක් නිර්මාණය කිරීම යි.

දැනගැනීමට යමක් :- ගෙවුණු වසර ගණනාව ඇතුළත Garfieldගේ හැඩරුව විවිධ වෙනස්කම්වලට භාජනය වුණු අතර මුල් යුගයේ Garfieldට පාද සඳහා තිබුණේ සාමාන්‍ය බළල් පාද ය. කෙසේ නමුත්, රූපවාහිනී විශේෂාංග කතාවක් නිර්මාණය කිරීමේ දී මෙලෙස සාමාන්‍ය පාද තිබීම චරිතය මෙහෙයවීමට අභියෝගයක් වූ නිසා විසඳුමක් සෙවීමේ දී තවත් ප්‍රවීණ කාටුන් ශිල්පියකු වන Charles M. Schulzගේ උපදේශය මත Davis, Garfieldට මිනිසකුගේ මෙන් දෙපා ලැබුණු අතර එතැන් පටන් Garfieldගේ හැඩරුව වූයේ එය යි.

“Dennis the Menace” කාටුන් කතා තීරයක් – joshreads.com

2). Dennis the Menace – Hank Ketcham

Dennis නම් හිතුවක්කාර පස් හැවිරිදි පිරිමි ළමයකු සිදුකරන දඟකාර ක්‍රියාකාරකම් හා එයින් නොසතුටට පත්වන ඔහුගේ අසල්වාසී Wilson වටා ගෙතුණු සිදුවීම් මූලික කරගෙන නිර්මාණය වූ මෙම පුවත්පත් කාටූනය Hank Ketcham නම් කාටුන් ශිල්පියාගේ නිර්මාණයකි. 1951 මාර්තු 12වන දින මුල්වරට පුවත්පත්වල පළවූ මෙම කතා මාලාව බොහෝ ළමා හා වැඩිහිටි ප්‍රජාවගේ අවධානය දිනා ගැනීමට සමත් විය.

එතැන් පටන් 1994 වසර දක්වා මෙම කතා මාලාවට අදාළ කාටුන් තීර Hank Ketcham අතින් නිර්මාණය වූ අතර එම වසරේ කාටුන් ක්ෂෙත්‍රයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව වර්තමානය දක්වා කතා මාලාව ගොඩනැඟීම ඔහුගේ සහායකවරුන් වූ Marcus Hamilton, Ron Ferdinand හා පුතු Scott Ketcham යන අය සිදුකරයි. මෙම පුවත්පත් කාටුන් මාලාවේ සාර්ථකත්වය නිසා ම එය පාදක කර ගෙන සජීවී රංගන චිත්‍රපට 4ක්, සජීවීකරණ චිත්‍රපටයක්, සජීවී රංගන රූපවාහිනී කතා මාලාවක් හා රූපවාහිනී සජීවීකරණ කතා 3ක් ද නිෂ්පාදනය විණි. ශ්‍රී ලංකාවේ මෙම රූපවාහිනී කතා මාලාව දිගහැරුණේ ‘දඟයා’ නමිනි. “Dennis the Menace” පුවත්පත් කාටූනය උදෙසා Ketchamහට 1953 වසරේ විශිෂ්ටත ම කාටුන් ශිල්පියාට හිමි වන Reuben සම්මානය ද හිමි විය.

දැනගැනීමට යමක් :- මෙම කාටුන් කතා මාලාව මුල්වරට පුවත්පත්වල පළවූ දිනයේ ම අහම්බයක් ලෙස “Dennis the Menace” නමින් ම බ්‍රිතාන්‍ය පුවත්පත්වල වෙනත් කාටූනයක් පළවීම ආරම්භ විය. පසුකාලීන ව අමෙරිකානු කාටූනයෙන් මෙම කාටූනය වෙන්කර හඳුනා ගැනීම සඳහා එහි කාටුන් ශිල්පීන් තම කතා මාලාවේ නම “Dennis the Menace and Gnasher” වෙනස් කිරීමට පෙලැඹිණි. කෙසේ නමුත් කතා මාලා ද්විත්වය ම පුදුමාකාර ලෙස සමාන ජනප්‍රියත්වයක් අත් කර ගැනීමට සමත් විය.

“Bloom County” කාටුන් කතා තීරයක් – artpic.work

3). Bloom County – Berkley Breathed

1980 දෙසැම්බර් 8වන දින ප්‍රථම වරට පුවත්පත්හි පළවූ මෙම කා⁣ටූනය Bloom County නම් කුඩා නගරයක වෙසෙන වැඩිහිටි ගති පැවතුම් ඇති ළමයින් හා කතා කිරීමට හැකි සතුන් කිහිපදෙනෙක් ⁣ලෝක දේශපාලනයේ හා සංස්කෘතියේ විවිධ කරුණු හාස්‍යජනක ව දකින අයුරු පදනම් කර ගෙන නිර්මාණය වූවකි. ⁣වසර නවයක කාලයක් පමණක් පුවත්පත්වල පළ වීමෙන් අනතුරු ව 1989 වසරේ දී මෙම කතා මාලාව අවසන් කළ Breathed, එම වසරේ ම “Outland” නම් නව කාටුන් තීරයක් රචනය ආරම්භ කළ අතර පසුකාලීන ව තම පෙර කාටූනයේ චරිත ද එයට ඇතුළත් කළේ ය. ඒ, එම චරිත පෙර කාටූනයෙන් බොහෝ පාඨකයන්ගේ මනසේ රැඳී තිබූ නිසා ය.

1995 වසරේ දී “Outland” අවසන් කිරීමෙන් පසු “Bloom County”හි ම ප්‍රධාන චරිතයක් වූ Opus the Penguin චරිතය යොදා ගනිමින් “Opus” නම් කාටුන් මාලාවක් 2003 වසරේ සිට 2008 වසර දක්වා නිර්මාණය කළේ ය. මුල් කතා මාලාව අවසන් ව වසර 25කට පසුව Breathed නැවතත් “Bloom County” කාටුන් තීරය 2015 ජූලි 13 සිට රචනය ආරම්භ කර තම Facebook පිටුව හරහා මේ දක්වා ප්‍රකාශයට පත් කරයි. 1987 ව⁣සරේ දී සංස්කාරක කාටුන් නිර්මාණය සඳහා වන Pulitzer ත්‍යාගය මෙම පුවත්පත් කාටූනය සඳහා හිමි කර ගැනීමට ද Breathed සමත් විය. මේ වන විට “Bloom County” රූපවාහිනී කතා මාලාවක් නිෂ්පාදනය කිරීම ආරම්භ වී ඇත.

දැනගැනීමට යමක් :- “Bloom County” කාටූනය බොහෝ අවස්ථාවන්හි දී වෙනත් පුවත්පත් කාටුන් හා සම්බන්ධ වූ තීර එකතු කළ අතර “Peanuts” හා “Calvin and Hobbes” එලෙස එකතු වූ අනෙකුත් කාටුන් ය.

“Calvin and Hobbes” කාටුන් කතා තීරයක් – pinterest.com

4). Calvin and Hobbes – Bill Watterson

1985 සි⁣ට 1995 දක්වා වූ වසර දහයක කාලයක් පමණක් පළ වූ මෙම පුවත්පත් කාටූනය ඉහළ මෙන් ම ස්ථාවර ගුණාත්මක භාවයකින් යුතු කතා මාලාවක් ලෙස විචාරක හා ප්‍රේක්ෂක යන දෙපාර්ශවය ම අතර ඉහළ ජනප්‍රියත්වයක් හිමි කර ගත් කතා මාලාවකි. Calvin නම් සය හැවිරිදි කෙළිලොල් පිරිමි දරුවකුත්, ඔහුගේ මිතුරා වන Hobbes නම් කොටියාත් අතර සිදුවන සංවාද හා සිදුවීම් ඇතුළත් වුණු මෙහි කොටියාගේ චරිතය සැබෑ අයකු ලෙස පෙනෙන්නේ Calvinහට පමණක් වන අතර අනෙකුත් අයට ඌ පෙනෙන්නේ සෙල්ලම් කොටියකු ලෙස ය.

කෙතරම් ඉහළ ජනප්‍රියත්වයක් අත් කර ගත්ත ද, වෙනත් පුවත්පත් කාටුන් නිර්මාණ මෙන් නොව කිසිදු ආකාරයක රූපවාහිනී හෝ සිනමා නිර්මාණයක් මෙම කතාව ඔස්සේ නිර්මාණය නොවුණු අතර කිසිදු ආකාරයක නිල ප්‍රචාරණ නිෂ්පාදනයක් ද  බිහි නොවිණි. එයට මූලික හේතුව වූයේ නිර්මාණකරුවා වූ Watterson පුවත්පත් කාටූනය යනු එයට ම ආවේණික වූ වැදගත් කලා මාධ්‍යයක් ලෙස පිළි⁣ගැනීමත්, එවැනි කලා මාධ්‍යයක් මූල්‍යකරණයට ලක්කිරීමට ඔහු තුළ වූ විරෝධතාවත් නිසා ය.  එතෙක් පැවති ඉරිදා පුවත්පත්හි ආකෘතිකගත සමාන්තර තීර තුළ කතාව අඩංගු කිරීම වෙනස් කිරීමට ඔහු පියවර ගත් අතර හොඳ ම පුවත්පත් කාටූනය සඳහා වන සම්මාන ගණනාවක් ම Watterson දිනා ගත්තේ ය. මෙම කාටුන් තීර ඇතුළත් වූ පොත් පිටපත් පමණක් ආසන්න වශයෙන් මිලියන 45ක පමණ අලෙවි වී ඇත.

දැනගැනීමට යමක් :- මෙම කතා මාලාවේ Calvinගේ චරිතයට එම නම 16වන සියවසේ විසූ දේවධර්මාචාර්යවරයෙක් වූ John Calvinගේ නමින් ලබා දී ඇති අතර Hobbesගේ චරිතයට එම නම ලැබී ඇත්තේ 17වන සියවසේ සිටි දාර්ශනිකයකු වන Thomas Hobbesගෙනි.

“Peanuts” කාටුන් කතා තීරයක් – pinterest.com

5). Peanuts – Charles M. Schulz

ළමා චරිතවලට පමණක් මූලිකත්වය දීම නිසා ම අනෙකුත් පුවත්පත් කාටුන් කතා මාලා අතර විශේෂ අවධානයක් දිනාගැනීමට සමත් වුණු මෙම කාටූනයේ කිසිම විටක වැඩිහිටි චරිතයක් දකින්නට හෝ අසන්නට නැත. මෙම කතා මාලාවේ ප්‍රධාන චරිතය Charlie Brown නම් හැකියාවන්ගෙන් මඳක් අඩු, එහෙත් යහපත් හදවතක් ඇති පිරිමි ළමයකු වන අතර ඔහුගේ ඥානවන්ත සුරතල් සුනඛයා වන Snoopy ද කතා මාලාව පුරා අවධානය දිනා ගත් චරිතයකි.

1950 ව⁣සරේ සිට 2000 වසර දක්වා අඛණ්ඩ ව දිවවුණු මෙහි සියලු කතාංග Schulz ම නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. සම්පූර්ණ කාටුන් තීර 17,897ක් ඔහු  මේ අයුරින් නිම කර ඇති අතර එනිසා ම “Peanuts” තනි පුද්ගලයකු රචිත දීර්ඝත ම කතාව ලෙස සැලකේ. මෙහි අධික ජනප්‍රියත්වය නිසා ම රූපවාහිනී සජීවීකරණ විශේෂාංග කතා හා කතා මාලා කිහිපයක් ම නිර්මාණය වූ අතර 2015 වසරේ පූර්ණ සජීවීකරණ චිත්‍රපටයක් ද නිර්මාණය විය. මෙම කතා මාලාව හා ඒ සම්බන්ධව නිෂ්පාදනය වූ ප්‍රචාරණ නිෂ්පාදන මඟින් Schulz අමෙරිකා ඩොලර් බිලියනයකට වැඩි ආදායමක් ඉපයීමට සමත් විය.

දැනගැනීමට යමක් :- නාසා ආයතනය මඟින් 1969 ව⁣සරේ මැයි මස සිදු කළ Apollo 10 චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමේ දී යොදා ගත් චන්ද්‍ර මොඩියුලයට හා විධාන මොඩියුලයට සන්නිවේදන නාම ලෙස “Peanuts” චරිත ඇසුරින් Snoopy සහ Charlie Brown යන නාම පිළිවෙළින් භාවිත කර ඇත.

කවරයේ ඡායාරූපය - "Bloom County" හා "Calvin and Hobbes" කාටුන් තීර එක්වූ අවස්ථාවක් - afnews.info

මූලාශ්‍ර :

garfield.fandom.com

menace.fandom.com

bloomcounty.fandom.com

calvinandhobbes.fandom.com

peanuts.fandom.com

gocomics.com

Related Articles